Pages

Sunday, August 14, 2011

1: එන්න, රට වටා යන්න...



දෙව්-බඹුන් පිදූ මේ පින්බිමේ, රන්වැටක්‌ වැනි වූ වෙරළ තීරයකින් අපේ දිවයින, ශ්‍රී ලංකාද්වීපය රැකවරණය ලබයි. ඉන්දියන් සයුරේ මුතු ඇටය මෙන් දිදුලන, අපේ දෙරණට ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසීන් පමණක්‌ නොව චෝලයන්, පාණ්‌ඩ්‍යයන් ගෙන් එහා ගිය දකුණු ඉන්දීය රාමයන් පවා කඩා පිනුවේ මේ දිවයිනේ පැවැති විශ්මයන් අත්විඳිනු පිණිසය. ඒ අතරතුර ඕකන්දෙන් ගෙවැදුණු ස්‌කන්ධකුමරුන් හා වල්ලිඅම්මාද, හාල්කන්දට ගොඩබට තපස්‌සු-භල්ලුක වෙළෙඳ දෙබෑයන් ද, තම්බපණ්‌ණියෙන් පැමිණි විජයකුමරුන්ද, දඹකොළ පටුනෙන් වැඩි සංඝමිත්තාවන්ද, ලංකා පටුනෙන් ආ හේමමාලා දන්ත කුමරුවන් ද මේ පිංබර දිවයිනට රැගෙන පැමිණි දෑහි වටිනාකම අමිලය. අසීමිතය. එය තවත් ශිෂ්ටාචාරයක ආරම්භයද විය. රන් වැටක්‌ බඳු ඒ වෙරළත සිපින පාරිසරික ආගමික, සංස්‌කෘතිකමය හා සෞන්දර්යාත්මක උරුමය සොයා යන්නටයි අපගේ සුදානම. හුදෙක්‌ සෞන්දර්යාත්මක චාරිකාවක්‌ නොව, ගවේෂණාත්මක අත්දැකීමක්‌ වන ඒ චාරිකාවයි. "රට වට බැඳි රන් වැට"

රට දැන් නිදහස්‌ය, නිවහල්ය. ලැබූ අලුත් නිදහසෙන් රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර අපට ගමන්කළ හැකිය. කැලණි ගං තොටින් අරඹා කොළොංතොට ඔස්‌සේ දකුණේ කළුතොට, ගිංතොට, මාතොට මාගමින් අවසන් නොකොට යාල කුමන හරහා ගොස්‌ ඕකන්දේදී කතරගම දෙවිඳුන් වැඳ මුහුදු මහා විහාරය, ලංකාරාමය, ගෝකණ්‌ණනැව් තොටින් නොනැවතී වෙල්ලමුල්ලිවයික්‌කාලේ නන්දිකඩාල් කළපුව පැන වල්ලිපුරම, නාගද්වීපය, දඹකොළ පටුන දැක මාන්තොටින් තම්බපණ්‌ණියට පැමිණීමට මෙන්ම, බත්තලංගුණ්‌ඩුව, කල්පිටිය, හලාවත මුතුපරයේ කිමිද, ඕලන්දඇළ දිගේ හැමිල්ටන් ඇළට පැමිණ නැවතත් කැලණිගං මෝදරට පැමිණෙන්නට තරම් නිදහසක්‌ අපේ රණවිරුවන් අපට දිනාදී ඇත. මේ විශ්මිත ජයග්‍රහණයෙන් හෙළි පෙහෙළි කර දුන් උතුම් ශ්‍රී ලංකාද්වීපයේ පාරිසරික සෞන්දර්යාත්මක, ආගමික හා සංස්‌කෘතිත උරුමය සොයා යන අපූර්ව චාරිකාව "රට වට බැඳි රන්වැට" යි.



ශ්‍රී ලංකාව


වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 65525
වෙරළ තීරයේ දිග - කිලෝ මීටර් 1620
උපරිම දිග - පේදුරු තුඩුවේ සිට දෙවුන්දරතුඩුව
දක්‌වා කිලෝමීටර් 432
උපරිම පළල - කිලෝ මීටර් 224 කොළඹ සිට
සංගමන්කන්ද තුඩුව දක්‌වා
උසින් වැඩිම ස්‌ථානය - පිදුරුතලාගල මීටර් 2524
දිගින් වැඩිම ගංගාව - මහවැලි කිලෝමීටර් 335
උසින් වැඩිම දියඇල්ල - බඹරකන්ද මීටර් 263
රට වටා මුහුදට ගලා යන ගංගා 103
ප්‍රධාන කළපු - 20
ප්‍රධාන දූපත් - 14
ප්‍රධාන වරායන් - 06
ප්‍රදීපාගාර - 13
උෂ්ණත්ව පරාසය - 28C0 11.5C0
වාර්ෂික වර්ෂාපතන පරාසය - මිලිමීටර් 950 - මිලි මීටර් 5475

වර්ග කිලෝමීටර් 65,525 කින් සමන්විත ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති මධ්‍යම ප්‍රමාණයේ දූපතකි. උතුරු අක්‍ෂාංශ 50.55. සහ 90.51. අතරත් නැගෙනහිර දේශාංශ 79042. සහ 81052. අතරත් ශ්‍රී ලංකාව පිහිටා තිබේ.
ස්‌ථානගතවීම සහ භූවිෂමතා විවිධත්වය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ සුවිශේෂ ගොඩබිමක්‌ ලෙස සැලකේ. වෙරළබඩ තැනිතලාව, අභ්‍යන්තර තැනිතලාව සහ කඳුකරය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූවිෂමතා කලාප තුනකි.

රට වටා යන චාරිකාවේදී ඉහත වෙරළබඩ කලාපය අපට බොහෝ සෙයින් වැදගත්වේ. මෙම කලාපය දකුණේදී කිලෝමීටර් 3 ක්‌ පමණ පටුවන අතර උතුරේදී කිලෝ මීටර් 32 ක්‌ පමණ පුළුල්වේ. මෙහි බාහිර මායිම වෙරළයි. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙහි දිග කිලෝමීටර් 1620 කි. මෙහි ගංගාමෝය, කළපු, බොකු, ලේවායන් වැනි ස්‌වභාවික පාරිසරික පද්ධති හා නිකේතන ගණනාවකි. ඇතැම් මුහුදු බොකු ධීවර වරායන් සහ නැව් තොට ලෙසද භාවිතයට ගැනේ. දකුණු වෙරළේ ගාල්ලද, ඊශාන වෙරළේ ඇති ත්‍රිකුණාමලයද පෙරදිග ඇති ඉස්‌තරම් ස්‌වභාවික වරාය දෙකකි. කොළඹ ප්‍රධාන නැව් තොට වෙරළෙහි පැවැති සාමාන්‍ය කඩතොල්ලක්‌ ආශ්‍රයෙන් තනා ගත් කෘත්‍රිම වරායකි.

ගංගා, ඔය 103 ක්‌ අරීයව රට වටෙන් මුහුදට එක්‌ වන අතර ඒ අතර ප්‍රධාන ගංගා 34 කි. මේ නිසා වෙරළ බඩ තැනිතලාවේ ප්‍රධාන ගං මෝයද 34 කි.

දෙවුන්දර තුඩුව පේදුරු තුඩුව, සංගමන්කන්ද තුඩුව, ඇත්තුඩුව, µවුල් තුඩුව, රාක්‍ෂ තුඩුව, කුදිරමලේ තුඩුව යනාදී තවත් වැදගත් වෙරළගත භූ ලක්‍ෂණයන් රටේ ක්‍ෂේත්‍රඵලය වැඩිකර දේ. ශ්‍රී ලංකාවේ උපරිම දිග මනිනු ලබන්නේ මෙවන් තුඩු දෙකක්‌ වන උතුරින් පේදුරු තුඩුව හා දකුණින් දෙවුන්දර තුඩුව අතරය. එහි දිග කිලෝ මීටර් 432 කි. ශ්‍රී ලංකාවේ පළලම ස්‌ථානය වන්නේ බටහිරින් කොළඹ සිට නැගෙනහිරින් සංගමන්කන්ද තුඩුව අතරය. එහි දිග කිලෝමීටර් 224 කි.

සාගරයට සම්බන්ධව ඇති කරදිය පිරුණු ජලාශ ලේවායන් ලෙස හඳින්වේ. පුත්තලම, අලිමංකඩ, හම්බන්තොට ඇති මෙවන් ප්‍රධාන ලේවායවල ලුණු නිෂ්පාදනය කෙරේ. වෙරළට ආසන්නව පිහිටි දූපත්ද වෙරළබඩ ලක්‍ෂණ ගැන කතා කරන විට අවධානය යොමුකළ යුතු සුවිශේෂ ස්‌ථානයන්ය. ශ්‍රී ලංකාවේ වයඹදිග කලාපයේ හා උතුරේ සැලකිය යුතු දූපත් ප්‍රමාණයක්‌ පිහිටා ඇත.

වයඹ මුහුදු තීරයේ බත්තලංගුණ්‌ඩුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ වන වැලිවැටිය නොහොත් ආදම්ගේ පාලම ඔස්‌සේ දිවෙන තලෙයිමන්නාරම ඇතුළු දූපත්ද, බුදුන් වැඩි නාගදීපය (නයිනතිව්) ත්‍රිකුණාමලයේ පරෙවි දූපත් හා ගිනිකොණ දිග වෙරළේ මහා රාවණා (ගේ්‍රට්‌ බාසස්‌) සහ කුඩා රාවණා, ලිට්‌ල් බාසස්‌) ගල්පර සහිත කුඩා දූපත් දෙකද ශ්‍රී ලංකා වේ ප්‍රකට දූපත්වලට නිදසුන්ය.

වෙරළබඩ තැන්නෙහි ගංගාමෝය ආශ්‍රිතව වගුරුබිම්ද දක්‌නට ලැබේ. ගං මෝය ඇහිරීමෙන්ද, ගංගා පිටාර ගැලීමෙන්ද, කිවුල් දිය ගලා ඒමෙන්ද වගුරුබිම් ඇතිවෙයි.

මුතුරාජවෙල, දෙද්දුව, බොල්ගොඩ එවන් වගුරු හෙවත් තෙත්බිම්ය. තවද, ගංගා මෝයවලදී ඩෙල්ටාවන් වැනි භූ රූප දක්‌නට ලැබේ. කළු ගංමෝය, මහවැලි ගං මෝය එවැනි ඩෙල්ටා ඇති ස්‌ථානය.

මෙවන් අසිරිමත් ස්‌වභාවික සම්පත් හා පාරිසරික නිකේතන මෙන්ම, ප්‍රෙෘඩ ඉතිහාසයකට උරුමකම් කියන රාජ්‍යයක්‌ ලෙස මෙම දිවයිනට වෙරළබඩ තීරයෙන් හිමිවූ ලාබ ප්‍රයෝජන ආරක්‍ෂාව, බලපෑම්, උරුමයන් යනාදියද බොහෝය. මෙම වෙරළබඩ කලාපය සැබවින්ම අපට වාසනාව කැන්දූ පුණ්‍ය භූමියකි. කවියාට මෙය රන් වැටකි. ඒ රන්වැටේ තතු සොයා යන සැබෑ ගවේෂණ චාරිකාවයි. "රට වට බැඳි රන්වැට"

සොයමු. බලමු හඳුනා ගනිමු. රස විඳිමු.

ඨඡී භ්ඩසට්‌එදර කණ්‌ඩාංක
ශ්‍රීලංකාවේ දිග 438.1 නප
(දෙවුන්දර තුඩුව සිට පේදුරු තුඩුව)
ශ්‍රී ලංකාවේ පළල 226.6නප
(කොළඹ වරාය සිට සංගමකන්ද තුඩුව)


අලුත් දෙයක්‌ නැවුම් අත්දැකීමක්‌

රට වටා ගවේෂණයේ යෙදෙන මේ චාරිකාව ඔබට මෙන්ම අපටත් නැවුම් අත්දැකීමක්‌ වේවි. අප නොදත් දෑ ගැන පමණක්‌ නොව, දැනගත් දෑ ගැන ද තව තව දැනගන්නටත්, අපට මින් පෙර නොපෑගුණු පොළොවෙහි පා තබන්නටත් ලත් මේ අවස්‌ථාව හුදෙක්‌ සාම්ප්‍රදායික විශේෂාංගයකට කොටු නොකර, රසවත්ව හා නැණවත්ව විඳීමටත් "රට වට බැඳී රන් වැට" අලුත් ආරක, අලුත් වැඩක්‌ අලුත් දෙයක්‌ කරන්නට අපි උත්සාහ කරන්නෙමුq. විඳින්න· ඒ නවමු අත්දැකීම ලබන සතියේ සිට දිවයින ඉරිදා සංග්‍රහයෙන්.....

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

1 comments:

කැලුම් නිරංජන. said...

උපුටා ගැනීම :
http://www.divaina.com/2010/10/03/nimna04.html

Post a Comment