රට වටා යන ගවේෂණ චාරිකාවේදී දකුණු ලක බෙන්තොට, කොස්‌ගොඩ, අහුන්ගල්ල, බලපිටිය නොහොත් වැලිතර, අම්බලන්ගොඩ, තෙල්වත්ත, තොටගමුව, හික්‌කඩුව, දොඩන්දූව, ගාල්ල නගරය පසුකර කොග්ගල, වැලිගම ඔස්‌සේ මාතර පෙදෙසට යන ගමන අපට මහත් අත්දැකීම් ගෙන දෙන්නක් බවට පත්වෙමින් තිබෙන අතර, ජාතිය - ආගම පිළිබඳ අතීතය නැවත කියවීමක් බවට පත්ව තිබීම අපටම මහත් ආශ්වාදයක්. ඒ වගේම අපි සැලසුම් කළ අපේ ගමනත් මේ නිසා තරමක් ප්‍රමාද කරන්න සිදුවුණේ මේ රසබර හා විටෙක දුක්‌බර කතාන්දර මගහැර යන්න අපට හැකියාවක් නැති නිසා. ඒ නිසාමයි අද හික්‌කඩුවේ කඳවුරු බඳින්නට හිටි අපට "සීනිගම" නමැති සුන්දර වෙරළ තීරයේ අද දිනය ගත කරන්නට සිදු වුණේ. ඉතින් විමසා බලමු අම්බලන්ගොඩ සිට සීනිගම දක්‌වා ඇති වෙරළ බඩ තීරයේ අමතක නොකළ හැකි තොරතුරු.
විශ්මිත ඝණ්‌ඨාර තොරණ
අම්බලන්ගොඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරයේ තිබෙන අවුරුදු 250 කටත් වඩා පැරණි ඝණ්‌ඨාර තොරණ බලන්නත් මේ සංචාරයේදී අප අමතක කළේ නෑ. මහල් හතරකින් සමන්විත මෙම කැටයම් සහිත අලංකාර තොරණ උසින් අඩි 75 ක්. පළල අඩි 40 ක්. 1875 දී ආරම්භ කර ඇති මෙය 1910 දි තමයි අවසන් කරල තියෙන්නේ. හොණ්‌ඩර 5 කින් සමන්විත ඝණ්‌ඨාරයකින්ද සමන්විත මේ ඝණ්‌ඨාර තොරණේ නිර්මාතෘවරයා අන්කවරකු සේ නොව වෙස් මුහුණු කර්මාන්තයේම පුරෝගාමීන් වන ජුවන්වඩු වඩුආරච්චි ගුරුන්නාන්සේ. ලෝකයේ මෙවැනි තොරණක් තවත් දැකගන්න නොලැබෙන බවයි බොහෝ දෙනා කියන්නෙ. හුණු ගා මැටි බදාම, වලින් නිර්මිත මේ තොරණ දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, ප්‍රදේශවාසීනුත් එකතුවෙලා ප්‍රතිසංස්‌කරණය කරනවා.
මාදම්පාගම
අම්බලන්ගොඩ අවසන් වනවිට හමුවන මාදම්පාගම නොහොත් මහදම්පාගම ගැනත් වචනයක් දෙකක් සිහිපත් කළ යුතුයි.
රෝස මලේ නටුවෙ කටූ
වන බඹරෝ ඔහොම හිටූනටුව නෙවෙයි මල සිඹිමී
මම ළමයෝ පැණි උරමීළමයින් නොව වැඩිහිටියන් කොයි කා අතරත් ප්‍රකට මෙම කවිය ලියූ ආනන්ද රාජකරුණා ශූරීන්ගේ ගම මේ මාදම්පාගමයි. මාතර යුගයේ අවසන් කවියා ලෙසද කොළඹ යුගයේ පළමු කවියා ලෙසද ඉතිහාසගත වන ආනන්ද රාජකරුණා කවියා මිහිදන් වූ සොහොන් බිමත් රටවට චාරිකාවේදී මාදම්පේ ඌරාවත්ත ගාලුපාර අද්දරදී අපට හමු වුණා.
මාදම්පාවිල
අම්බලන්ගොඩ සිට දකුණු දෙසට යන විට හමුවන ගම්මානය මාදම්පාගමයි. මේ අසලින් මහ මුහුද සිපගන්නා දිය දහර මාදම්පා ගඟයි. මේ මාදම්පා ගඟ සැබවින්ම ස්‌වභාවික වැවක් නොහොත් විලක්. අම්බලන්ගොඩ නගරයට නැගෙනහිර දෙසින් බටපොල පෙදෙසට වන්නට පිහිටා ඇති මෙම මාදම්පාවිලේ විශාලත්වය අක්‌කර 3045 ක්. මෙම විලත් එහි වටිනා කඩොලාන ඇතුළු දූපත් හා විල් ඉවුරද ඇතුළත්ව අභයභූමියක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ 2007 දී.
කිවුල් ජල තලයකින් සමන්විත මාදම්පාවිලේ පුළුල් පෙදෙසක් අලංකාර, නිසසල පරිසර පද්ධතියක්. මෙහි ඉවුරු දෙපස සුළභව කිරළ ශාකය දකින්නට ලැබෙනවා. එසේම ගිංපොල් ශාකය බහුල වශයෙන් දැකගන්නටත් මාදම්පාවිල සුවිශේෂී තැනක්. කැරංකොකු, මල් කඩොල්, මහ කඩොල්, වැනි කඩොලාන ශාකයන්ගෙන් සමන්විත මෙම විල එක් පැත්තකින් මාදු ගඟට සම්බන්ධ වන අතර කරන්දෙණිය ප්‍රදේශයෙන් පෝෂණය ලබනවා. එම ප්‍රදේශයෙන් මාදම්පාවිලට ගලා එන හල්වතුර ඔය මෙම විලේ ප්‍රධාන ජලපෝෂක ඇළයි. මෙම ඇළ දිගේ බෝට්‌ටුවකින් ගමන්ගත් අපට නෙළුම්, මානෙල් වැනි අලංකාර ජලජ ශාක ගොමු අතරින් ගොස්, මේ සුන්දර ජල තටාකයේ පහස මෙන්ම අලංකාරයත් හිත පුරා විඳගන්න හැකි වුණා. විශේෂයෙන්ම විල මැද පිහිටි දූපත් ගණනාවක් අතරින් දෙල්දූව විහාරය පිහිටි දෙල්දූව වටා ගිය ගමනත්, ජල මැද පිහිටි එහි සීමා මාලකයත්, අවට රුක් ගොමු තුළ ගැවසගත් සියොත් කැළගේ කිචි බිබිචියත් පහසුවෙන් අමතක කරන්න බැහැ.
සුනාමි මතකය
මාදම්පාවිලෙන් සමුගෙන මීළඟට අප ප්‍රවිශ්ඨ වුණේ තවත් අමතක නොවන මතකයක් ඇති පුරවරයකට. ඒ තමයි අකුරල, කහව, තෙල්වත්ත, පැරෑලිය හා සීනිගම. මේ ගම්මානත් අපේ රටට මහා විනාශයත් සිදුකළ සුනාමි ෙ€දවාචකයත් අපට අමතක කරන්න පුළුවන්ද? මේ දෙක අතර තිබෙන්නේ දැන් කිට්‌ටු බැඳීමක්. ඒ 2004 දෙසැම්බර් 26 වැනිදා ඇති වූ සුනාමියෙන් මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වීම. මුහුද අද්දරම තැනිතලාවේ පිහිටි මේ ප්‍රදේශය ජනයාගෙන් ශූන්‍ය වුණේ දහස් ගණනකට මරු කැඳවමින්. ඒ අතර දහසකට වැඩි මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගත් දුම්රිය ෙ€දවාචකය ඔබට මතකද? දකුණේ සංචාරයේදී කහව, තෙල්වත්ත, පැරෑලිය පමණක් නොවෙයි, ඒ දුම්රිය විනාශ වුණු තැනත් බලන්න අපි අමතක කළේ නැහැ. පැරෑලිය සුනාමි ස්‌මාරකය හා සුනාමි ස්‌මාරක බුදු පිළිම වහන්සේට නුදුරින් ඒ අමිහිරි මතකය අපි නැවතත් අනුස්‌මරණය කළා. ඒ සුනාමි ස්‌මාරකයට හා බුදු පිළිම වහන්සේට මලක් පුදමින්.
අකුරල, කහව, තෙල්වත්ත, පැරෑලිය
පුරාණ තොටගමු මහා විහාරය
තෙල්වත්ත ගැන කතාකරන විට අපට තවත් වැදගත් ස්‌ථානයක් සිහියට නැඟෙනවා. ඒ තමයි පුරාණ තොටගමු රත්පත් විහාරය. මේ තමයි ෂඩ් භාෂා පරමේස්‌වර සැළලිහිණි, ගිරා සංදේශ කාව්‍යවල කර්තෘවර පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල පණ්‌ඩිතාචාර්යවරයාණන් වහන්සේ වැඩ විසූ විහාරස්‌ථානය. ඒ විතරක් නොවෙයි හික්‌කඩුවේ සුමංගල හාමුදුරුවන් වහන්සේත් මහණ දිවියට ඇතුළත් වී ඇත්තේ මේ රත්පත් විහාරයේදී. විහාරයේ පැවැති විජයබා මහ පිරිවෙණ ගිහි - පැවිදි බොහෝ දෙනකුගේ නැණැස පෑදූ ශාස්‌ත්‍රාලයක්.
කැලණිතිස්‌ස රජුගේ සමයේ සිට විහාරය පැවැති බවත්, මහා විජයබා රජතුමා (ක්‍රි.ව. 1051-1106) ප්‍රාසාදයක් ගොඩනඟා විජයබාහු පිරිවෙණ කළ බවත් පවතින විශ්වාසයයි. (මහාවංශය) එහෙත් මෙම විහාරයේ ඉතිහාසය දෙවන පෑතිස් රජ සමය (මහානාග කුමරුන් විසින් සාදන ලද) දක්‌වා දිවයන බවද පවතින මතයක්.
කෙසේ හෝ 1588 දී තෝ මේද සුසා නමැති පරංගි සෙනවියාගේ මෙහෙයවීමෙන් සිදු කළ මුහුදු බඩ විහාරස්‌ථාන විනාශයට විජයබා මහ පිරිවෙණද ගොදුරු වී විනාශ වී තිබෙනවා. මහාවංශයේ "තිත්ථගාම" ලෙස හැඳින්වූ මේ තොටගමු විහාරය පසුව හෙළ සාහිත ගැඹරේ මහා ප්‍රබෝධයක් ඇති කළ පුණ්‍ය භූමියක් බවට පත් වුණා. ඒ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් නිසා. කෝට්‌ටේ රාජධානිය පැවැති හයවැනි පැරකුම්බා රජ දවස විජයබා පරිවෙණාධිපතිව වැඩ විසුවේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ය. උන්වහන්සේ විසින් විරචිත සැළලිහිණි හා ගිරා සංදේශ මෙරට සාහිත සයුර පොබ කළ මා හැඟි නිර්මාණ දෙකක්.
විඳි විහිගුම් සමුදුර වෙරලත හමුව
සුරපුර බිම් බටමෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙඋයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොට ගමුව
(ගිරා සංදේශය)
ක්‍රි.ව. 1409 දී වැලිතර, රන්දොඹේදී බ්‍රාහ්මණ කතකට දාව උපන් ජයබා වීර සුන්දර ළදරුවා වාචිස්‌සර නමින් පැවිදි දිවියට ඇතුළත් වූ බව සඳහන්. රජ පරපුරට නෑකම් ඇතිව උපත ලද මෙම දරුවා තමාගේ දුක සැප විමසූ රජුට දරුවෙකු ලෙස පැවසූ කවිය අප කා අතරත් අදටත් ප්‍රකට වූවක්.
මා වැනි බිලින්දා
වර වර ළඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා
පැවිදිවීමෙන් පසු "සිද්ධාර්ථ රසය" නම් තෛලය වැළඳු නිසා සිරි රහල් හිමියන්ගේ ධාරණ ශක්‌තිය හොඳින් පිහිටා තිබූ බවද මේ හිමියන් යකුන්ගෙන් පවා වැඩගත් අයකු බවද සඳහන් වෙනවා. ගිරා සංදේශය, සැළලිsහිණි සංදේශය, කාව්‍යශේකරය, පංචිකා ප්‍රදීපය, බුද්ධිප්පා සාදිනී යන ග්‍රන්ථ රචනා කළ රාහුල මාහිමියෝ සංඝරාජ පදවියකින්ද පිදුම් ලද යතිවරයෙක්. උන්වහන්සේගේ විජයබා පිරිවෙණේ උගත් අය අතර වෑත්තෑවේ හිමි (ලෝවැඩ සඟරාව ලියූ) ද සිටිනවා.
කෝට්‌ටේ රජ කළ හයවැනි පරාක්‍රමබාහු රජු තොටගමුවේ රාහුල හිමියන් ළඟින් ඇසුරු කළ අතර නිරතුරු ගුරුහරුකම් ලබාගත්තා. එහෙත්, රජුගේ මරණයෙන් පසු ජයබාහු හා සපුමල් කුමරු අතර ඇතිවුණු අරගලයේදී සිදුවූ මිනිස් ඝාතන නිසා වනවැදුණ බව කියන රාහුල හිමියන් ඇල්පිටියේ අම්බන වනයේ අප්‍රකටව සිට ගල්ලෙනක් තුළ අපවත්වී ඇති බව විශ්වාස කරනවා. උන්වහන්සේගේ දේහය එම ගල්ලෙන තුළ නොදිරා තිබුණු අතර හිසකෙස් හා රැවුල, නියපොතු වැවීම දිනපතා සිදුවූ නිසා මෙම ශ්‍රී දේහය ලබාගත් පෘතුගීසිහු දේහය තමන්ගේ පූජකවරයකුගේ යෑයි සිතා ඉන්දියාවේ ගෝවට ගෙන ගිය බව ද සඳහන්. අදටත් මෙම දේහය කෙස්, නිය වැවෙමින් ගෝවේ තැන්පත් කර ඇති බව කියනවා. උන්වහන්සේ විසින් වැළ» "සිද්ධාර්ථ රසය" නම් මහා බලගතු තෛලය මේ විශ්මයට හේතුව බවද කියනවා.
සීනිගම දෙවොල
තොටගමු රාජ මහා විහාරයට හා එහි විජයබා පිරිවෙණට උක් සකුරු හා සීනි සැපයූ ගම "සීනි ගම" ලු. කහව- තෙල්වත්ත - පැරූලිය පසු කළ විගස අපට හමුවන්නේ සීනිගම. දැන් සීනිගම ප්‍රචලිත අන් කිසිවක් සඳහාත් නොව එහි පවතින දෙවොල් දෙවියන්ගේ දේවාලය නිසායි. නැතහොත් සීනිගම දේවාලය නිසා. මුහුද මැද දූපතක පිහිටා තිබෙන මේ දේවාලයේ පරිවාරක දේවාලය ගාලුපාර අද්දර පිහිටා තිබෙනවා. අපි සීනිගම දේවාලය වැඳ පුදාගෙන එහි තොරතුරු සොයා බලන්නත් අමතක කළේ නැහැ.
ප්‍රකටම දෙවිවරයෙක් නොවුවත්, දෙවොල් දෙවියන් "දෙවොල් මඩු" ශාන්තිකර්මයේදී සිහිපත් කෙරෙනවා. ඉන්දියාවේ "දෙබාල්" දේශයේ (වෙළෙඳ මධ්‍යස්‌ථානයේ) පැවැති දෙවොල් දෙවි ඇදහීම ලංකාවට ගෙන ආවේ පැරැණි යාත්‍රාකරුවන් විසින් බව එක් මතයකින් කියන අතර තවත් මතයකින් කියෑවෙන්නේ ඉන්දියාවෙන් ලක්‌දිවට දෙවොල් දෙවියන් පැමිණි බවයි. කෙසේ වෙතත් සීනිගමට අරක්‌ගෙන මෙම දෙවියන් වැරැදි කරන වුන්ට දඬුවම් දෙන, යහපත් අයට සෙත සලසන දෙවි කෙනෙක් හැටියට ප්‍රකටයි. වැරැදිකරනවුන්ට පළි ගසා ගම්මිරිස් ඇඹරීම මෙම දෙවොල් දේවාලය හා බැඳී පවතී. නීතියෙන් හා විවිධ කරදර බාධකවලින් සාධාරණය පතා රටවටෙන් මෙහි පැමිණෙන බැතිමතුන් බොහෝමයි.
ස්‌තුතිය - දේ. සු. ද සොයිසා, තොටගමුවේ රාජ මහා විහාරාධිපති පූජ්‍ය පිටුවල සුමන හිමි
අදහස් ratawata.divaina@gmail.com
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
http://www.divaina.com/2010/12/19/nimna04.html
0 comments:
Post a Comment