Pages

Tuesday, August 30, 2011

46 : සියොත් කැල රැව් දෙන චුණ්ඩිකුලම්


bb


http://www.divaina.com/2011/08/28/feature04.html

45 : විජයග්‍රහණයේ පෙර මග සලකුණ - නන්දිකඩාල් මුලතිව්


වැඩි විස්තර...
http://www.divaina.com/2011/08/21/feature01.html

Monday, August 15, 2011

44 : උතුරු දිග වෙරළේ හෙළ ලකුණ කෝකිලායි


නැගෙනහිරට සමුදීල අද අපි උතුරුදිග චාරිකාව නිල වශයෙන් ආරම්භ කරනවා. ඒ උතුරු දිග වෙරළේ අවසාන ගම්මානය වන කෝකිලායි වලින් පටන්ගෙන. පසුගිය සතියේ පුල්මුඩේ ගතකළ අපි කෝකිලායි යන ගමනේදී තවත් වැදගත් තැනක්‌ බලන්න යන්න අමතක කළේ නෑ. ඒ තමයි පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාව. එතැනින් නික්‌මුණු අපි කෝකිලායි වෙත ගියේ කෝකිලායි කළපුව දක්‌වා වැටී ඇති අභය භූමිය ඔස්‌සේ. කෝකිලායි වෙත පුල්මුඩේ පැත්තෙන් යනවා නම් කළපුවෙන් එගොඩවීම සඳහා බෝට්‌ටුවක්‌ භාවිත කළ යුතුයි. එහෙත් වාහනයකින් යනවා නම් තවත් සැතපුම් 40-50 ක්‌ වත් වැඩිපුර ගෙවා පදවිය, පරාක්‍රමපුර, ජනකපුර ඔස්‌සේ පැමිණිය යුතුයි. මේ දෙආකාරයෙන්ම අපි කෝකිලායි සංචාරයේ නිරත වුණා.

ඛනිජ වැලි සංස්‌ථාව

ලංකා ඛනිජ වැලි සංස්‌ථාව පූර්ණ වශයෙන් රජයට අයත්ව තිබූ ආයතනයක්‌. එහෙත් කාලයාගේ ඇවෑමෙන් එය සමාගමක්‌ බවට පත්වුණා. මෙම සමාගම මගින් පුල්මුඩේ අවට ඇති රළු (ඛනිජ) වැලි එකතුකර පිරිපහදුකර අගය වැඩිකළ එක්‌ එක්‌ ඛනිජ වැලි වර්ග කිහිපයකට බෙදා වෙන් කරනවා. මෙරට පැරණිම කර්මාන්ත ශාලාවක්‌ වන මෙමගින් වෙන් කරගන්නා ඉල්මනයිට්‌, මොනසයිට්‌, රූටයිල්, සර්කෝන් යනාදිය විදේශයන්ට අපනයනය කරනු ලබනවා. මෙමගින් සැලකිය යුතු විදේශ විනිමයක්‌ අපේ රටට ලැබෙනවා.

පුල්මුඩේ (යාන්ඔය) සිට නයාරු ප්‍රදේශය දක්‌වා ඛනිජ වැලි නිධියක්‌ පවතින බවයි සංස්‌ථාව සතු සිතියම්වල දැක්‌වෙන්නේ. ඉදිරියේදී අපි තවදුරටත් ඒ ගැන කතා කරනවා.ඛණිජ වැලි සංස්‌ථාව යුද්ධයේ අතවරයන්ට නිරතුරුව ගොදුරු වූ ස්‌ථානයක්‌. මෙම ප්‍රදේශය ත්‍රස්‌තවාදින්ගේ සෙවණැලි වලින් භීතියට පත්වෙද්දී විටෙක මෙහි පැමිණි වැලි පුරවාගත් චීන නැවක්‌ද ප්‍රහාරයට ලක්‌ව මුහුදුබත් වුණා. එවන් අඳුරු මතක සටහන් මතින් අද නැවතත් ඛනිජ වැලි සංස්‌ථාව පිබිදෙමින් සිටිනවා. පුල්මුඩේ ගත කළ දිනවලදී අපි සංස්‌ථා පරිශ්‍රය තුළ ඇවිද යමින් එහි ක්‍රියාකාරිත්වය මෙන්ම සංස්‌ථාවේ අනාගත සැලසුම් හා වැඩපිළිවෙළ පිළිබඳවද එහි නිලධාරීන් හා කතාබහ කළේ රටේ මෙවන් වැදගත් කර්මාන්ත දියුණු කිරීම සඳහා යුද්ධය නිමවීමෙන් පසු ලැබී ඇති ඉඩ ප්‍රස්‌ථාව අගය කිරීමකට ලක්‌ කරමින්.

කෝකිලායි අභය භූමිය

කෝකිලායි අභය භූමිය මෙරටේ ඇති තවත් වැදගත් එමෙන්ම සුවිසල් අභය භූමියක්‌. 1951 මැයි 18 වැනිදා වනජීවී සංරක්‌ෂණ දෙපර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති මෙහි භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 1995 ක්‌. කෝකිලායි කලපුව මෙන්ම වටා පවතින ගණ රූස්‌ස වන වදුල මෙන්ම ලවණහැල් හා තෘණ පිටි මෙම අභය භූමියට අයත් වෙනවා. කෝකිලායි ගම්මානයද අයත්ව ඇත්තේ අභය භූමිය තුළටයි. ජලජ කුරුල්ලන් රැසකගේ අභය ස්‌ථානයක්‌ වන මෙහි වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති තිත්හොට පැස්‌තුඩුවන් සැලකිය යුතු පිරිසක්‌ තම ආහාර බිම් හා කැදලි බිම් ලෙස තෝරාගෙන දිවි ගෙවනවා.

වන අලින් සැලකිය යුතු පිරිසක්‌ දිවි ගෙවන කෝකිලායි අභයභුමියේ තිත්මුවා, ගෝනා, වළසා, කොටියා, ඌරා වැනි සතුන්ද දිවි ගෙවන බවට තොරතුරු ලැබී තිබෙනවා. එහෙත් පැවති යුදමය වාතාවරණය හේතුකොටගෙන මෙහි සැලකිය යුතු ජෛව විවිධත්ව පර්යේෂණයක්‌ මෙතෙක්‌ සිදුවී නැහැ. එසේම යුද්ධයේ නිමාවත් සමගම නැවත පදිංචි කිරීම් හා සංවර්ධන කටයුතු හේතුවෙන් කෝකිලායි අභය භූමියේ වැදගත් වනාත්තර පෙදෙස්‌ දැඩි විනාශයකට ලක්‌ව ඇති බවකුත් මේ සංචාරයේදී අපට දැකගත හැකි වුණා.

කෝකිලායි

කෝකිලායි යනු මෙරටේ පැරණිතම ධීවර ගම්මානයක්‌. උතුරු පළාතේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් කෝකිලායි යුද සමයේදී පවා එහි තිබූ අවසන් සිංහල ගම්මානය ලෙසටයි ප්‍රකටව තිබුණේ. තිස්‌ වසරක යුද්ධය හේතුවෙන් කෝකිලායි සහ ඒ ආසන්නයේ තිබූ නයාරු ගම්මාන දැඩි ලෙස තර්ජනයට ලක්‌වූ අතර මෙම ගම්මානවලට ත්‍රස්‌ත ප්‍රහාර ගණනාවක්‌ එල්ල වුණා. ඒ අනුව නයාරු ගම්මානය ගම්වැසියන් විසින් අතහැරදමා යද්දී හමුදා ආරක්‌ෂාව මධ්‍යයේ අවසානයට ඉතිරි වූයේ පහළින් පිහිටි කෝකිලායි ගම්මානය පමණි. කෝකිලායි එකල මීගමුව ප්‍රදේශයේ සංක්‍රමණික ධීවරයන්ගෙන් සැදුම්ලත් ගම්මානයක්‌ බවට පත්ව තිබුණත් පසුව මෙහි ස්‌ථිර නිවාස, පාසලක්‌, පල්ලියක්‌ යනාදිය ඉදිවීමෙන් පසු ස්‌ථිර ජනාවාසයක්‌ බවට පත්ව තිබෙනවා. සුනාමි ව්‍යසනයෙන්ද විනාශයට පත්වූ කෝකිලායි ගම්මානය යුද්ධයේ නිමාවත් සමග දැන් යළිත් සංවර්ධන සිහින මැදින් පිබිදෙමින් පවතිනවා.

කෝකිලායි ගම්මානයට යන්න ක්‍රම දෙකක්‌ තියෙනවා. පුල්මුඩේ පැත්තෙන් යනවානම්, කෝකිලායි වෙරළ තීරය දක්‌වා ගොස්‌ බෝට්‌ටුවකින් කළපුවෙන් එගොඩ විය යුත්තේ තවමත් කළපුව හරහා පාලමක්‌ ඉදිවී නැති හින්දා. වාහනයක්‌ අරගෙන යනවානම් ඉතින් තවත් විශාල අමතර දුරක්‌ ගෙවාගෙන පෙර කිව් විදියට පදවිය, ජනකපුර හරහා පැමිණිය යුතුයි. අපි පළමුව කෝකිලායි ගියේ බෝට්‌ටුවෙන්. වෙරළේ සිට විනාඩි 7-8 කින් කෝකිලායි ගමට පැමිණිය හැකියි. ජීප් රථයෙන් කළපුව වෙත ගිය අපි කෝකිලායි ගමට යන්න තෝරාගත්තෙ නාවික හමුදාව මගින් සූදානම් කර තිබූ බෝට්‌ටුවක්‌. තවත් මොහොතකින් අප රැගත් මෝටර් බෝට්‌ටුව කලපුව තරණය කරමින් කෝකිලායි බෝට්‌ටු අංගනයට පැමිණියේ කළපුවේ වගේම හාත්පස සුන්දරත්වයත් අපගේ කැමරා කාච තුළ සටහන් කරගෙන. මේ ආපු ගමනේදී අපි ගමේ තොරතුරු ගැන වැඩිපුර කතාකරන්න ගියේ නෑ. මන්ද කෝකිලායි ගමට පැමිණෙන ආගන්තුකයන් යුද හමුදාව යටතේ අවසරයකින් ඇතුළු විය යුතු නිසා. මේ නිසා එදින බෝට්‌ටු ගමනේ අත්දැකීම විඳගත් අපි නැවතත් කලපුව තරණය කරමින් පුල්මුඩේට පැමිණියේ අපගේ ජීප් රථයෙන්ම නැවතත් කෝකිලායි යන බලාපොරොත්තුවෙන්.

ජීප් රථයෙන් කෝකිලායිවලට

පුල්මුඩේ, කැබිතිගොල්ලෑව මාර්ගයේ බෝගස්‌හන්දියට පැමිණි අප රැගත් ජීප් රථය ඉන්පසු ඇදුණේ පදවිය නගරයට. අනතුරුව ජනකපුරට ළඟා වුණු අපිට එහිදී යුද හමුදා නිලධාරීන්ගේ සහාය හා මඟ පෙන්වීම කෝකිලායි ගම්මානය දක්‌වාම යන ගමනේදී ලැබුණා. ආරක්‌ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය මත පැමිණි අපට වන්නි ආරක්‌ෂක සේනා මූලස්‌ථානයේ කර්නල් චමිල මුණසිංහ මහතාගේ දැනුම් දීම පරිදි කර්නල් රණවක මහතාගේ අධීක්‌ෂණය යටතේ යුද හමුදා මඟ පෙන්වීම හිමිවුණා. කෝකිලායි ගම්මානයට ගිය අප ආගන්තුක සත්කාර සහිතව පිළිගත් මේජර් මහේෂ් මහතා කෝකිලායි ගම්මානයේ තොරතුරු ඡායාරූප ගැනීම සඳහාත් දෙවැනි වරටත් එම ගම්මානයේ සුන්දරත්වය අත්දැකීමටත් උදව් උපකාර කළා. මෙහිදී අපට දැකගන්නට ලැබුණේ කෝකිලායි ගම්මානයට අමතරව ඒ ආශ්‍රිතව සිටි අවතැන් වූ දමිළ ගම්වැසියන් ලහි ලහියේ තමන්ගේ පැරණි නිවාස තිබූ තැන්වල අලුතෙන් පදිංචි වන ආකාරයයි. පාසල, රෝහල, පල්ලිය වගේම පන්සලත්, වතුර පහසුකම් යනාදියත් ලබාදෙමින් නව පදිංචිකරුවන් සඳහා යුද හමුදාව ප්‍රමුඛ සිවිල් නිලධාරීන් උදව් උපකාර කරන අයුරුත් මෙහිදී අප ඉතා හොඳින් නිරීක්‌ෂණය කළා.

කෝකිලායි ගමට පැමිණීම මෙතෙක්‌ රටවටා ගවේශනයේ යෙදෙන අපට මහඟු අත්දැකීමක්‌ වනවා සේම අපගේ චාරිකාවේ සන්ධිස්‌ථානයක්‌ බවත් සහිපත් කළ යුතුයි. මන්ද බස්‌නාහිර, දකුණු, නැගෙනහිර හා උතුරු මැද (පුල්මුඩේ) පළාත් ඔස්‌සේ රට වටා පැමිණෙන අපි මෙතැන්පටන් උතුරු පළාතට අවතීර්ණ වෙනවා. කෝකිලායි ගම්මානය උතුරු පළාතේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත්ව තිබුණත් පසුගිය යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයට අනුයුක්‌තවයි තිබුණේ. එහෙත් එය යළිත් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේම ගම්මානයක්‌ බවට නුදුරේදී පත්වේවි. එසේම ඉදිරි සතියේදී අපට මුණගැසෙන නයාරු ගම්මානයේ මතක සටහන් මැදින් උතුරුට ඇදෙන අපට දමිළ - සිංහල බේදයකින් තොරව එදා මේ ගම්වැසියන් ගතකළ ඒ සහෝදරාත්මක දිවිය ගැනත් බොහෝ දැ උගෙනගත හැකිවේවි.

දැනටමත් අනුරාධපුරය නගරය ඔස්‌සේ කැබිතිගොල්ලෑව, පදවිය, ජනකපුර හරහා කෝකිලායි දක්‌වා බස්‌ රථ සේවා ක්‍රියාත්මක වන අයුරුත් සිවිල් පාලනය ඉතා හොඳින් මෙහි ස්‌ථාපිත වී ධීවර කටයුතු හා ගොවිතැන් යනාදියත් සාර්ථකව ඉටුවනු කෝකිලායි ගිය ගමනේදී දැකගත හැකි වූ බවත් රටවටා ගවේශන කණ්‌ඩායම ලෙස අප මෙහි සටහන් කරනුයේ හදපිරි සතුටකින්.



අදහස්‌ jagathkanahara@gmail.com


http://www.divaina.com/2011/08/14/feature17.html

43 : තපස්සු භල්ලුක වෙළඳ වරාය අසිරිමලේ ( හාල්කන්ද )







වැඩි විස්තර බලාපොරොත්තුවන්න....

http://www.divaina.com/2011/08/07/feature20.html

42 : කේශධාතූන් වැඩ වසන ගිරිහඬුසෑය (තිරියාය)

කේශධාතූන් වැඩ වසන ගිරිහඬුසෑය (තිරියාය)

පසුගිය ඉරිදා රටවටා ගවේෂණ චාරිකාවට නිවාඩුවක්‌ ලැබුණු හින්ද අපේ විශේෂාංගය ගිය ඉරිදා පළවුණේ නෑ. ත්‍රිකුණාමලයට සමුදීල දුම්රියෙන් කොළඹට ළඟාවුණු අපි කෙටි විවේකයෙන් පස්‌සෙ ආයිමත් අද පටන් චාරිකාව උතුරු දෙසට ආරම්භ කරනවා. ඒත් ත්‍රිකුණාමලයෙ ගතකළ ඒ සුන්දරබර මතකය අපට ලේසියෙන් පහසුවෙන් අමතක කරන්න අමාරුයි. ඒ නිසාමයි අදත් ඒ ගැන ටිකක්‌ ආවර්ජණය කරමින් තමයි උතුරුදිග චාරිකාව අපි ආරම්භ කරන්නෙ. ගුවන් චාරිකාවට පෙර අපි නිලාවැලි පරෙවිදූපත ගැනත් කතා කරමින් පරෙවි දූපතේ කඳවුරු බැඳි හැටිත් ඔබට මතක ඇති. අද අපි පටන් ගන්නෙ ඒ නවතපු තැනින්. නැත්නම් නිලාවැලියෙන්.

ඉරක්‌කණ්‌ඩි

නිලාවැලි පසුකර ඉදිරියට යනවිට අපට හමුවන්නෙ ඉරක්‌කණ්‌ඩි ප්‍රදේශය. ප්‍රකට ඉරක්‌කණ්‌ඩි පාලම පිහිටල තියෙන්නෙත් මේ ස්‌ථානයේම තමයි. ත්‍රිකුණාමලයත් - පුල්මුඩෙත් අතර මාර්ගය ඉතා දුෂ්කර මාර්ගයක්‌ ලෙසයි යුද්ධයට පෙර පැවතියේ. වළ ගොඩැලි සහිත මේ මාර්ගය යුද්ධය නිසා හොඳටෝම අබලන් තත්ත්වයට පත්වුණා. ඒ වගේම ඉරක්‌කණ්‌ඩි, පොඩුවකට්‌ටු ප්‍රදේශවල පවතින කලපු නිසාත්, එතැනින් එහා යාන්ඔය නිසාත් මේ මාර්ගයේ ගමන්ගත් යාන වාහන එගොඩ, මෙගොඩ වුණේ පාලම් පාරුවලින්. ඒත්, යුද්ධයේ නිමාවත් සමඟ ත්‍රිකුණාමල - පුල්මුඩේ මාර්ගය අති නවීන මාර්ගයක්‌ ලෙස නවීකරණය කරන්න වත්මන් රජය කටයුතු කළා. කාපට්‌ අතුරා තැනූ මාර්ගය විතරක්‌ නෙමේ, ඉරක්‌කණ්‌ඩි, පොඩුවකට්‌ටු හා යාන්ඔය යන ස්‌ථානවල නවීන, අලංකාර ගෘහ නිර්මාණ හැඩයන්ගෙන් සමන්විත පාලම් තුනකුත් ඉදිකළා. සංචාරක නෙත - සිත පැහැර ගැනීමට සමත් මේ පාලම් අසල මඳක්‌ නැවතී යන්න මේ නිසා කවුරුත් දක්‌වන්නේ නොමඳ ආශාවක්‌. මේ නිසාම ඔන්න අපි ළඟාවුණේ ඉරක්‌කණ්‌ඩි ආරුක්‌කු පාලම අසලට. එහිදී පාරිසරික සුන්දරත්වය හිතේ හැටියට විඳගත් අපි ඉරක්‌කණ්‌ඩි පාලමේ ඡායාරූප ගන්නත් අමතක කළේ නෑ.


කුච්චවේලි

ඉරක්‌කණ්‌ඩි පාලමෙන් එගොඩ වෙලා සැතපුම් කිහිපයක්‌ ගියවිට අපට හමුවන්නේ කුච්චවේලි ප්‍රදේශය. මෙය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක්‌ හැටියටයි ගැනෙන්නේ. නිලාවැලි ප්‍රදේශයත් අයත්වන්නේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා යටතට කුච්චවේලි ප්‍රදේශයට පැමිණෙන අපට විවිධ සංවර්ධන වැඩසටහන් ගණනාවක්‌ දැකගත හැකියි. ජර්මන් හඬ ගුවන්විදුලි මධ්‍යස්‌ථානය වගේම රජයේ බොහෝ ආයතනත් අපට දැකගත හැකි වන්නේ යුද්ධය නිසා බැටකෑ ජනතාවක්‌ වෙසෙන නටබුන් සහිත ගෙවල් දොරවල් ද අතරිනි.

පොඩුවාකට්‌ටුව

තවත් මොහොතකින් කුච්චවේලිය පසුකර අපි පොඩුවාකට්‌ටුවට ළඟා වෙනවා. පොඩුවාකට්‌ටු කලපුව අසලදීත් අපට දැකගන්නට ලැබෙන්නේ ඉරක්‌කණ්‌ඩිවලදී දැකගත් ආකාරයේම ආරුක්‌කු පාලමක්‌. නවීනතම පාලමක්‌ වන මෙයත් ඉදිකර ඇත්තේ යුද්ධයේ නිමාවෙන් පසුව. පොඩුවාකට්‌ටුව පසුකරමින් මීළඟට අපි ළඟා වෙන්නේ අද දවසේ අපගේ කඳවුරු බිම බවට පත්වන තිරියායට. අතිශයින් අලංකාර නීලවන් මහමුහුද අද්දරින් වැටී ඇති පුල්මුඩේ මාර්ගයේ පැමිණි අපි තිරියායට පැමිණීමෙන් පසුව තවත් වැදගත් ස්‌ථානයක්‌ සොයා යා යුතුමයි. ඒ තමයි තිරියාය කියූ පමණින් අපගේ මතකයට නැගෙන ගිරිහඩුසෑය. තිරියායේ සිට කිලෝමීටර් 3 ක පමණ දුරකින් පිහිටි මේ සඳහා ගොඩබිම දෙසට අතුරු පාරක යා යුතුයි. එසේ ගියවිට හමුවන ගිරිහඩු මහා සෑය, අන් කවරක්‌වත් නොව අප අමාමහ බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදී තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට පිරිනැමූ කේෂ ධාතුන් නිධන් කළ අති උතුම් පිං බිමයි. කඳු මස්‌තකයක්‌ මත පිහිටි මෙම වෙහෙර ත්‍රස්‌තවාදීන්ගේ තර්ජන පහරදීම් හමුවේ විනාශ මුඛයට යා නොදී අපගේ වීරෝදාර ආරක්‍ෂක හමුදා මගින් ආරක්‍ෂාකර ජාතියට පුදදුන් බවද මෙහිදී සිහිපත් කිරීම වටී.


ගිරිහඬුසෑය

ත්‍රිකුණාමලයට උතුරුදිගින්, එහි සිට කිලෝමීටර් 30 පමණ දුරින් තිරියායේ පිහිටි ගිරිහඬු සෑය ප්‍රචලිතව ඇත්තේ අප අමාමහ සම්බුද්ධ රාජයාණන් වහන්සේ ජීවතුන් අතර සිටියදී, තපස්‌සු භල්ලුක නම් වෙළෙඳ දෙබෑයන්ට ලබාදුන් කේශ ධාතූන් නිදන් කොට තැනූ දාගැබ ලෙසයි. බුදුන් වහන්සේ බුද්ධත්වය අවබෝධකරගැනීමෙන් අනතුරුව සත් සතියක්‌ සමාධි සුවයෙන් වැඩවිසූ බව බුද්ධ චරිතයෙන් අපට ඉගැන්වෙනවා. මෙම සත් සතිය ගත කිරීමේදී අවසන් සතිය උන්වහන්සේ ගතකළ බව කියනු ලබන්නේ කිරිපළු නුගරුක්‌ සෙවණෙහි. එහිදී සෘජු කයෑතිව එහි හිඳ සිටි බුදුන්වහන්සේ වෙත පැමිණි තපස්‌සු භල්ලුක වෙළෙන්දො උන්වහන්සේට මහත් ගෞරව පූර්වක ලෙස විළඳ හා මී පැණි (මී සකුරු) ආහාර පිණිස පිළිගැන්වූ බව කියනවා.

බුදුන්වහන්සේ උපේක්‍ෂා සිතින් එම දන් වැළ»හ. මෙහිදී වෙළෙඳ දෙබෑයෝ බුදුන්ගෙන් බණ අසා බුදුන් හා දහම් සරණ ගියහ. තපස්‌සු භල්ලුක දෙපළ බුදුන් හා දහම් සරණ ගිය ප්‍රථම උපාසකයෝ බවටද මෙහිදී පත්වූහ. අනතුරුව තමන්ට පුදන්නට යමක්‌ දෙන ලෙස මෙම වෙළෙඳ දෙබෑයෝ බුදුන්ගෙන් ඉල්ලා සිටි අවස්‌ථාවේදී බුදුන් වහන්සේ තම හිස පිරිමැද කේaශධාතූන් මිටක්‌ ඔවුන්ට ලබාදුන් බවයි කියන්නේ. මෙම කේශ ධාතූන් රැගෙන උක්‌කලාහි දේශයට ගිය මෙම වෙළෙඳ දෙපළ දාගැබක්‌ තනවා කේශ ධාතූන් නිදන් කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. මෙම කේශ ධාතූන් නිදන් කරන ලද්දේ ලංකා ද්වීපයේ බවත්, එම නිදන් දාගැබ තිරියායේ ගිරිහඬු සෑය බවත් විශ්වාස කරනු ලබනවා.

අතීතයේදී ලංකා ද්වීපයෙන් භාරතයට වෙළෙ¹මේ ගිය වෙළෙන්දොa තිරියායට ඉහළින් ඇති හාල්කන්ද නොහොත් අරිසිමලේ තම වෙළෙඳ තොටුපළ ලෙස භාවිත කළ බවත්, භාරතයේ සිට කේශ ධාතු රැගෙන හාල්කන්දට පැමිණි වෙළෙඳ දෙබෑයන් එකල එම මුහුදු තීරයේ ආරක්‍ෂිත ඉහළ ස්‌ථානයක්‌ වූ තිරියායේ කඳු මුදුනක ගිරිහඬු සෑය නමින් දාගැබක්‌ ඉදිකොට එහි ධාතුන් නිදන් කළ බවත් කියනු ලබනවා. අද අපගේ කඳවුරු බිම බවට පත්වන ගිරිහඬු සෑය අති උතුම් පින්බිම එවන් වටිනාකමක්‌ සහිත ස්‌ථානයක්‌. බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්‌තව අද අප මෙම පිං බිමේ නවාතැන් ගනු ලබන්නේ හිරු බැසයන සැදැවේ එම කඳු මස්‌තකය මත සිට තිරියායේ මෙන්ම අලංකාර නැගෙනහිර වෙරළ තීරයේද අසිරිය විඳ ගනිමින්. අද ගිරිහඬු සෑය ඕනෑම අයකුට වැඳ නමස්‌කාර කළ හැකි ආරක්‍ෂිත මෙන්ම ජලය, විදුලිය වැසිකිළි නවාතැන් පහසුකම් සහිත විහාරයක්‌ බවද අප මෙහිදී විශේෂයෙන්ම ලියා තබන්නේ මෙහි පැමිණීමට කැමැති ජනතාවගේ පහසුවද පිණිසයි.

ගිරිහඬු සෑය අලංකාර වටදා ගෙයකින් නිර්මිත විහාරයක්‌. අතීතයේදී මෙහි සුවිසල් විහාරයක්‌ පැවැති බවට අවට නටබුන් සාක්‌ෂි දරනවා. සෑය පිළිබඳ තතු දැක්‌වෙන ඉපැරණි සෙල්ලිපියක්‌ද මෙහි පසෙකින් දැකගත හැකියි. ඉතා අලංකාර තුරු වදුලක්‌ යටින් ශෛලමය පියගැට පෙළක්‌ නැග යා යුතු මෙම විහාරය සිත් බඳනා සුළු ස්‌ථානයකයි පිහිටා තිබෙන්නේ. ඒ වගේම අම්බලන්තොට අප ගිය ගමනේදීත් ගිරිහඩු සෑය නමින් මෙවන් කතා පුවතක්‌ සහිත විහාරයක්‌ අපට හමුවූ බවත් සඳහන් කළා ඔබට මතක ඇති. ඒ වගේම භාරතය අවටත් කේaශ ධාතු චෛත්‍යය කිහිපයක්‌ම හඳුනාගත හැකි බවත් පොත් පත්හි සඳහන් වෙන බව සිහිපත් කළ යුතුයි.

කොහොම වුණත් මේ අගනා පුන්‍ය භූමියට ගොඩවැදී එහි කඳවුරු බඳින්නට තරම් වාසනාවක්‌ අපටත් අත්වූ බව සඳහන් කළ යුතුයි.



Designed By - Ashan R.Perera
අදහස්‌ jagathkanahara@gmail.com


http://www.divaina.com/2011/07/31/nimna01.html

42 : බෙල් 212 හෙලිකොප්ටරයක සිට ත්‍රිකුණාමලයේ අසිරිය දුටිමු

ත්‍රිකුණාමලයේ අසිරිය විඳින්න "දියෙන් ගොඩෙන්" ගිය ගමන දැන් ඉතින් නිමයි. ඒත් මේ සංකීර්ණ මුහුදු කලාපයේ සැබෑ චිත්‍රය ගුවනේ ඉඳන් බලන්නට ඇත්නම් කියලත් අපට හිතුනෙ වරක්‌ දෙවරක්‌ නොවේ. ගුවන් දර්ශනයකින් ඔය කියන කළපු, බොකු, තුඩු, වරාය, දූපත් යනාදියත් මේ සුන්දර වෙරළබඩ නගරයේ අසිරියත් කදිමට විඳගත හැකි නිසා ගුවන් චාරිකාවක්‌ යන අදහස අපි මුලින්ම ඉදිරිපත් කළේ ගුවන් හමුදාවට. අවසානයේදී ත්‍රිකුණාමලය අවට ගුවන් චාරිකාවක්‌ සඳහා අපට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීම අත්‍යාවශ්‍ය වුණා. අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කළ අපේ ඉල්ලීමට ඒ අනුව අපට අවසර හිමිවුණා. මේ වන විට අපි අපේ ගවේෂණ චාරිකාවෙ නිරතවෙලා හිටියෙ ත්‍රිකුණාමල ප්‍රදේශයේ. ඒ ඉන්න අතර තමයි ගුවන් චාරිකාවක්‌ සඳහා දිනය වගේම වේලාවත් අපට දැනගන්නට ලැබුණෙ. ඒ කිව්ව දිනයේ හරියටම වේලාවට අපි චීන වරාය (චයිනා බේ) ගුවන් කඳවුරේ මඟී පර්යන්තයට ළඟාවුණා. අවසරපත් පරීක්‍ෂාවෙන් අනතුරුව ඔන්න දැන් අපි ගුවන් ගමනට සූදානම්. තවමත් චීන වරාය ගුවන් පථයට යානය ළඟාවී නොතිබුණත් අපට දැනගන්නට ලැබුණේ ත්‍රිකුණාමල අසිරිය විඳ එහි සෞන්දර්යාත්මක ඡායාරූප ලබාගැනීම සඳහා වඩා පහසුවන පරිදි ගුවන් හමුදාවේ "හෙලිටුවර්ස්‌ සේවාවේ" බෙල් 212 හෙලිකොප්ටර් යානයක්‌ තවත් මොහොතකින් අප කැඳවාගෙන යන්නට එහි පැමිණෙන බවයි.

ඔන්න නිමේශයකින් හෙලිකොප්ටර් යානාවක හඬ ඇසෙන්නට වුණා. චීන වරායට ඉහළින් මතුවුණ යානය තවත් මොහොතකින් ගුවන් කඳවුරේ හෙලිකොප්ටර් අංගණයට ගොඩබැස්‌සේ වාතලය කළඹමින්. ගුවන් නිලධාරීන්ගේ සහායෙන් වහ වහා යානය වෙත දිවගිය අපි, යානයට ගොඩවුණේ අප විසින් ලබාදී තිබූ සැලැස්‌මට අනුව ගමන් ආරම්භ කිරීම සඳහා ගුවන් නියමුවන් සමඟ කතාකර ගැනීමෙන් පසුව. අප රැගත් හෙලිකොප්ටර් යානාව පදවනු ලබන්නේ ප්‍රවීණ ගුවන් නියමුවන් දෙදෙනකු විසින්. ප්‍රධාන නියමු බලඝණ නායක සමීර විදානපතිරණ සහ සහායක නියමු බලඝණ නායක ප්‍රසන්න ගුණරත්න එහිදී අපව ඉතා සුහදව පිළිගත්තා. කාලවේලාව අනුව ගමන තීරණය කරගත් අපි ඔන්න පළමුව යන්න තීරණය කළේ කින්නියා පාළම බලාගෙන සාම්පූර්වලට.

තෙල් ටැංකි සංකීර්ණය

චීන වරාය ගුවන් කඳවුරෙන් ඉහළට එසැවුණු යානය දකුණු දිගට කරකවා පළපුරුදු ගුවන් නියමුවන් අපට පළමුව පෙන්නුවේ ත්‍රිකුණාමල (චීන වරාය) පැරණි තෙල් ටැංකි සංකීර්ණය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදි වූ මෙම සංකීර්ණයේ ටැංකි 105 ක්‌ තිබෙනවා. දෙවැනි ලෝක යුද සමයේදී ජපන් ගුවන් යානා මගින් මෙම ටැංකිවලටත් බෝම්බ හෙළා තිබෙනවා. ඉන් එක්‌ ටැංකියක්‌ පුපුරා විනාශ වුණා. අද විශාල ප්‍රදේශයක කැළෑවට යටවී ඇති මෙම තෙල් ටැංකි යකඩවලට කපාගෙන යැමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාව ලබාගෙන තිබෙනවා.

ලංකාවේ දිගින් වැඩිම පාලම වන මේ ගැන පාලම මත සිට වගේම කොට්‌ටියාර් බොක්‌කේ නාවික සංචාරයේදීත් අප ඔබට මතක්‌ කළා. අද, අඩි 400-500 ක්‌ ඉහළ අහසේ සිට මෙහි අපූරුව වගේම කොට්‌ටියාර් බොක්‌කේත්, චීන වරාය ධීවර වරායේත්, වරාය හා සිමෙන්ති කර්මාන්තශාලාවේත්, ප්‍රීමා පිටි කම්හලේත් නගරයේ අනෙකුත් ප්‍රදේශවලත් ගුවන් දර්ශන අපි මීළඟට දැකගත්තෙ ගුවන් යානය තවත් දකුණතට හරවා සාම්පූර් වෙත යොමුකරන මොහොතේ.

සාම්පූර්

පෙර දිනෙක මුහුදින් ගොස්‌ දුටු රවුන්ඩ් අයිලන්ඩ්, එළිසබෙත් දූපත, එළිෆන්ට්‌ අයිලන්ඩ් වගේම, ප්‍රකට අභයභූමිය සෝබෝර් දූපත් දෙකත් අපි රූපගත කළේ ඒ යන ගමනේදීමයි.

දැන් කොට්‌ටියාර් බොක්‌කට ඉහළින් ඉගිලෙන හෙලිකොප්ටර් යානාවේ ඉදිරි වීදුරුවෙන් ඈත පුංචිවට අපට දිස්‌වන්නෙ සාම්පූර් ගොඩබිම හා ෆවුල් තුඩුව ප්‍රදීපාගාරය, මඳ වේලාවකින් යානය සාම්පූර් ගොඩබිම මතින් ගොස්‌ වාමාවර්තව ගමන්ගත්තෙ අපට ෆවුල් තුඩුව ප්‍රදීපාගාරයේ ඡායාරූපගත හැකිවන පරිදි. අපි හනි හනිකට කැමරා කෝණ හොයමින් සාම්පූර්, ෆවුල් තුඩුව, ගල්පර ප්‍රදේශය ඡායාරූපගත කළා.

කෝනේෂ්වරම්

ඉන්පසුව යානාව ආයිමත් කොට්‌ටියාර් බොක්‌කට ඉහළින් පියාසර කළේ කෝනේෂ්වරම් තුඩුව බලා. මේ කඳුගැටය අපට විටෙක කඳවුරු බිමක්‌ වුණා. නාවික සංචාරයේදී අපි කෝනේෂ්වරම් දුටුවේ අඩි 75-100 ක්‌ පමණ පහළ ජල තලය මතුපිට ඉඳන්. අද මෙහි සුන්දරත්වය හා අපූරුව අපි දකින්නෙ ගුවන් යානයක ඉඳල. කෝනේෂ්වරම් වටකොට වාමාර්තව හරවපු යානාව ඉන්පසු පෙඩි්‍රක්‌ කොටුපවුර පෙනෙන මානයෙන් ත්‍රිකුණාමල නගරයට ඉහළින් පියාසර කර ආයිමත් වරාය සීමාවට ආවා. එහිදී තමයි කොට්‌ටියාර් බොක්‌කේ පුළුල් දර්ශන තලයක්‌ අපට දැකගන්නට ලැබුණෙ. දූපත්, බොකු, වරාය, තුඩු යනාදිය මෙහිදී ඉතා හොඳින් අප ග්‍රහණය කරගත්තා. මෙහිදී වරාය පරිශ්‍රය වගේම, නාවික හමුදා පරිශ්‍රයත් දැකගත් අපි, සෝබෝර් දූපත්වලට ඉහළින් ගොස්‌ අපගේ ගමනාන්තයට ළඟාවුණා.

චීන වරාය කඳවුරෙන් ගමන් ආරම්භ කළ අපි දැන් ගොඩබසින්නට සූදානම් වන්නේ ප්ලාන්ටන් පොයින්ට්‌ හෙලිකොප්ටර් අංගනයට. තවත් මොහොතකින් ප්‍රධාන ගුවන් නියමු සමීර විදානපතිරණ සහ සහායක නියමු ප්‍රසන්න ගුණරත්න යළිත් අපේ යානාව ගොඩබස්‌වන බව අපට දැනුම් දුන්නා. අපේ කාර්යය සාර්ථකව නිමකරමින් ද මෙවන් ගුවන් ගමනක අපූරු අත්දැකීමක්‌ සහිතව ද ඉන් මඳ වේලාවකට පසු අපි ප්ලාන්ටන් පොයින්ට්‌ හෙවත් කෙසෙල් තුඩුව අංගණයට ගොඩබැස්‌සෙ ත්‍රිකුණාමලයේ ගවේෂණ චාරිකාව හිතුවාටත් වඩා සාර්ථකව නිමකිරීමේ සතුටින් ඉපිල යමින්.

බෙල් 212 හෙලිකොප්ටර් යානාව ඇමෙරිකාවේ නිෂ්පාදනයක්‌. එන්ජින් දෙකක්‌ සහිත මගීන් 15 දෙනෙක්‌ සඳහා ඉඩ පහසුකම් සහිත මෙම යානාව ලෝකයේ යුද හා සිවිල් කටයුතු සඳහා භාවිත කරන විශ්වාසවන්ත, පහසුවෙන් හැසිරවිය හැකි යානාවක්‌. ලෝකයේ බොහෝ රටවල ප්‍රභූ ප්‍රවාහන කටයුතු සඳහා ද භාවිත කරන බෙල් 212 යානාව ආපදා හා හදිසි උපකාර සේවා සඳහා භාවිතයට ගනු ලබනවා. අපේ රටේ මානුෂීය මෙහෙයුමේදී සුවිසල් කාර්ය භාරයක්‌ ඉටුකළ මේ මගින් 1991 දී යාපනයේ කොටුවේදී ත්‍රස්‌ත උගුලක පැටලී සිටි හමුදා සෙබළුන් මුදාගැනීමට Operation Eeagle I හා II ක්‍රියාත්මක කරනු ලැබුවා. අද අපගේ චාරිකාවට එක්‌වන්නේත් එවන් යානාවක්‌.

ස්‌තුතිය - ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, එම සහායක හමුදා සම්බන්ධතා නිලධාරි ගෲප් කැප්ටන් ෂෙහාන් ප්‍රනාන්දු, ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම, අධ්‍යක්‍ෂ ගුවන් මෙහෙයුම් එයාර් වයිස්‌ මාෂල් ගගන් බුලත්සිංහල, චීනවරාය ගුවන් කඳවුරේ සේනාවිධායක එයාර් වයිස්‌ මාෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් ඇන්ඩි විඡේසූරිය මහත්වරුන්ට.

සතියක විරාමයකින් පසුව හමුවෙමු


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/07/17/nimna01.html

41 : දූපත් වනෝද්‍යානය පරෙවි දූපත (නිලාවැලි)

ෆෙඩ්‍රික් කොටුව

ෆෙඩ්‍රික් බලකොටුව මුලින්ම තැනුවේ පෘතුගීසීන් විසින්. ඒ 1623 වසරේදී. ඒ වන විටත් ත්‍රිකුණාමලය නොහොත් ගෝකණ්‌ණ වරාය චීන, අරාබි, ගී්‍රක, ඊජිප්තු වැනි වෙළෙඳුන්ගේ පාරාදීසයක්‌ බවට පත්වෙලා තිබුණා. කොහොම නමුත් ත්‍රිකුණාමලයේ බලය අල්ලාගත් පෘතුගීසීන් එහි බලකොටුවක්‌ තැනුවා. ඉන්පසු එය ලන්දේසීන් අතට පත් වුණා. ඒ 1639 දී. ලන්දේසීන් විසින් මෙම බලකොටුව ශක්‌තිමත්ව හා පුළුල්ව ගොඩනැඟුවා. ඒ තුළ නගරයක්‌ ද නිර්මාණය කළා. ලන්දේසි වරාය නොහොත් ලන්දේසි බොක්‌ක පිහිටියේ මේ බලකොටුව පාමුල. කෙසේ හෝ ඉන් පසුව බලකොටුව ඉංගී්‍රසීන්ගේ ග්‍රහණයට නතු වුණා. ඒ 1782 දී. වරින්වර මෙයට ප්‍රංශ හමුදාව ද ප්‍රහාර එල්ල කළා. කෙසේ හෝ 1795 දී පූර්ණ වශයෙන් බලකොටුව ඉංගී්‍රසීන්ට අයත් වුණා. එතැන් පටන් දියුණු වූ මේ තුළ නාගරික අවශ්‍යතා ගොඩනැඟුණා.

බල්ලන් වෙනුවෙන් සුසානයක්‌

ෆෙඩ්‍රික් කොටුව තුළ බල්ලන් වෙනුවෙන් තැනුණු සොහොන් කොත් කිහිපයක්‌ අදටත් දැකගත හැකියි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම සොහොන් ඉදිවී ඇත්තේ ත්‍රිකුණාමලයේ දිවි ගෙවූ බ්‍රිතාන්‍ය හමුදා සේනාංක සඳහා සේවය කළ සුනඛයින් වෙනුවෙන්. අද කැලෑ වැදී ඇතත්, එකල මේවාට නිසි සැලකිල්ල හා ගෞරව පවා දක්‌වන්න ඇති. හමුදා කඳවුරු, ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස යනාදිය එකල පිහිටා තිබී ඇත්තේ ෆෙඩි්‍රක්‌ කොටුව තුළ. ඒත් අද මෙය බොහෝ සෙයින් පාළු ස්‌වභාවයක්‌ උසුලනවා. ගෝකණ්‌ණ විහාරය, කෝනේෂ්වරම් දෙවොල හා කඳවුරු කිහිපයක්‌ම මේ තුළ තිබෙනවා.

ත්‍රිකුණාමලය යුද සුසාන භූමිය

දෙවැනි ලෝක යුද සමයේ දී ත්‍රිකුණාමල වරාය ඉන්දියන් සාගරයේ වැදගත්ම යුද කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස භාවිතයට ගත්තා. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන්හි නාවික නැවතුම්පළක්‌ ලෙස භාවිතයට ගත් අවස්‌ථාවේදී ජපනුන් ඇතුළු සතුරු හමුදා ප්‍රහාරවලට මුහුණදීමට මෙම හමුදාවන්ට සිදු වුණා. එහිදී සැලකිය යුතු සෙබළුන් පිරිසක්‌ ලංකාවේදී මරණයට පත්වුණා. ඔවුන්ගේ සිරුරු මිහිදන් කළ යුද සුසාන නොහොත් යුද ස්‌මාරක ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 3 ක්‌ උතුරු දෙසින් නිලාවැලි මාර්ගය අද්දර පිහිටුවා තිබෙනවා. 1948 දී පිහිටුවන ලද මෙහි සොහොන් කොත් 362 ක්‌ දැකගත හැකියි. ශ්‍රී ලංකාවේ සෙබළුන් කිහිප දෙනකුගේ සුසාන ද ඒ අතර වෙනවා. වර්තමානයේ පොදු රාජ්‍ය මණ්‌ඩලය මගින් පාලනය කරනු ලබන මේ සඳහා නඩත්තුව, ආරක්‌ෂාව ඇතුළු සියලු කටයුතු සඳහා ද එම සංවිධානය මගින් ප්‍රතිපාදන ලබාදෙනවා.

සල්ලි කෝවිල

සල්ලි කෝවිල අපට හමුවන්නෙ ත්‍රිකුණාමල නගරය පසුකර තරමක්‌ උතුරු දිසාවට, එනම් නිලාවැලි ප්‍රදේශය දෙසට යන විට.

මේ මාර්ගයේ කිලෝමීටර් 2 ක්‌ පමණ යන විට මාර්ගයේ වම්පස විශාල, අභිනවයෙන් ඉදිවන කෝවිලක්‌ දැකගත හැකියි. එහෙත්, එය පසුකර තරමක්‌ ඉදිරියට ගොස්‌ සාම්පල් තිව් කියන ගම් ප්‍රදේශයට යන මාර්ගයේ පැමිණ තමයි මේ සල්ලි කෝවිලට නොහොත් සල්ලි අම්මන් කෝවිලට ළඟා විය හැක්‌කේ. මුහුද අද්දරම සුන්දර ස්‌ථානයක පිහිටි මෙය පෙර දා කෝනේෂ්වරම් සිට පරෙවි දූපත දක්‌වා යන ගමනේදීත් අපට සාගරයේදී දැකගත හැකි වුණා. සල්ලි අම්මන් කෝවිල ත්‍රිකුණාමලයටම විශේෂිත වූ ස්‌ථානයක්‌. හින්දු බැතිමතුන්ගේ අති උතුම් පූජනීය බිමක්‌ වන මෙය කාලිඅම්මා, භද්‍රකාලි වෙනුවෙන් පුද පූජා පවත්වන තැනක්‌. කාලි අම්මා වෙනුවෙන් කෝවිල් රටේ වෙනත් තැන්වලත් ඉදිවී තිබුණත්, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ ආකාරයෙන් අදහන නිසා සල්ලි (අම්මන්) කෝවිල ත්‍රිකුණාමලයට විශේෂිත ස්‌ථානයක්‌ බවයි මෙහිදී අපට කරුණු දැක්‌වූ හින්දු බැතිමතෙක්‌ සඳහන් කළේ.

නිලාවැලි

සාම්පල්තිව් මුහුදු තීරයෙන් නික්‌මුණු අපි නැවතත් ත්‍රිකුණාමල පුල්මුඩේ මාර්ගයට එකතු වුණා. එතැන් සිට තවත් කිලෝමීටර් 5-6 ක්‌ ගිය විට තමයි සුප්‍රකට නිලාවැලි මුහුදු තීරය මුණගැසෙන්නේ. සංචාරක කලාපයක්‌ සේ ප්‍රකට නිලාවැලියට අතීතයේ පටන් දෙස්‌-විදෙස්‌ සංචාරකයන් ඇලුම් කළා. එහෙත්, රටේ පැවැති යුද බිය නිලාවැලිය සංචාරකයන්ගෙන් තොර කලාපයක්‌ බවට පත් කළා. යුද්ධය නිමවීමෙන් පස්‌සෙ ආයිමත් නිලාවැලි සුරකොමළිය නිදි ගැට හැරදා පිබිදෙනවා. දැන් ආයිමත් නිලාවැලිය පාසිකුඩා, අරුගම්බේ වෙරළ වගේම සංචාරකයන් අතර ජනප්‍රියයි. ත්‍රිකුණාමලයට යන උදවිය නිලාවැලි යන්නත් අමතක කරන්නේ නෑ. ඒ හින්ද අපිත් ඔන්න නිලාවැලියට ගොඩවැදුණා. අපට මතක්‌ වෙනවා පෙර දිනෙක නාවික යාත්‍රාවකින් පැමිණ නිලාවැලියට ආ ඒ සුන්දර මුහුදු චාරිකාව. මේ වෙරළේ ඉඳගෙන හාත්පස සුන්දරත්වය විඳිද්දී නැගෙනහිර මුහුදේ ප්‍රකට "පරෙවි දූපත" දිස්‌වෙනවා.

පරෙවි දූපත

පරෙවි දූපත තමයි ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ ප්‍රකාශයට පත් කර ඇති එකම දූපත් ජාතික උද්‍යානය. කුච්චවැලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මෙය දූපත් දෙකක්‌ වශයෙන් පිහිටා තිබෙනවා. ප්‍රමාණයෙන් වඩා විශාල දූපත තමයි "පරෙවි දූපත" කියල කියන්නෙ. අනෙක්‌ දූපත කාක දූපත කියලයි හඳුන්වන්නෙ. ඒත්, නිල වශයෙන් මේ දූපත් දෙක හා නොගැඹුරු, කොරල් සහිත හෙක්‌ටයාර් 471 ක්‌ විශාල ප්‍රදේශයක්‌ තමයි මෙසේ පරෙවි දූපත ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කර තියෙන්නේ.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරෙවි දූපත් ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2003 දී. එහෙත් නිල වශයෙන් සංචාරකයන්ට විවෘත කරනු ලැබුවේ 2011 මැයි 28 වැනිදා. මේ සඳහා ඇතුළුවීමේ ගාස්‌තුවක්‌ අය කරන අතර, නිලාවැලි වෙරළේ සිට බෝට්‌ටු සේවාවක්‌ ක්‍රියාත්මක වෙනවා.

පරෙවි දූපත් ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත, හොඳ වනගහනයක්‌ සහිත දූපත් ලෙසයි සැලකෙන්නේ. මෙහි ගල් පරෙවියන් බහුලව දකින්නට ඉන්න නිසයි පරෙවි දූපත කියල කියන්නෙ. උන්ගේ කැදලි රැසක්‌ මෙහි ගල්පර අතර තිබෙනවා. ඒ වගේම කටුස්‌සන් වැනි උරග විශේෂ, මුහුදු ලිහිණියන්, බමුණු පියාඋකුස්‌සන් කපුටන්, පරෙවියන් වැනි කුරුලු විශේෂ හා ගල්පර ආශ්‍රිත මසුන් රැසක්‌ ද ඉතා හොඳ කොරල් විවිධත්වයක්‌ ද වාර්තා වෙනවා. පොතු කැස්‌බෑවන් ද මෙහිදී වාර්තා වී තිබෙනවා. පරෙවි දූපතේ එක්‌ වෙරළ කලාපයක්‌ තනිකරම කැඩී ගිය කොරල්වලින් සමන්විතයි. එය දූපතට අලංකාරයක්‌ එකතු කරනවා. පරෙවි දූපත සංචාරක රජදහනක්‌ ලෙස හැඳින්වීමත් නිවැරැදියි. කිමිදුම්කරුවන් ඉතාමත් ආස කරන දූපත් ප්‍රදේශයක්‌ ලෙසත් පරෙවි දූපත සැලකෙනවා.

මේ අලංකාර දූපතට සංචාරකයන් වගේම රට වට ගවේශනයේ යෙදෙන අපේ කණ්‌ඩායමත්

බොහෝ සේ ඇලුම් කළා.

ඒ නිසාමයි අද අපේ කඳවුරු බිම හැටියට පරෙවි දූපත තෝරාගත්තේ.


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/07/10/nimna06.html

40 : නාවික යාත්‍රාවක ගිය කොට්‌ටියාර් බොක්‌කේ සංචාරය

මඩකලපුවේ අපි ගතකළ කාලයේදී කොළඹ කොටුවේ සිට මඩකලපු දුම්රිය ස්‌ථානය දක්‌වා දුම්රිය එන්ජිමක්‌ තුළ ගිය ගමන ගැනත් අපට ඉතා හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. ඉතින් · මේ දිනවල ත්‍රිකුණාමලය අවට චාරිකාවේ යෙදිල ඉන්න අපි, ගෝකණ්‌ණ තොට ගැන විතරක්‌ නෙමේ, ත්‍රිකුණාමලය බොක්‌ක (කොට්‌ටියාර් බොක්‌ක) තුළ පිහිටි තුඩු, බොකු, දූපත්, වරාය යනාදිය ගැනත් තොරතුරු කිව්වටම මදිනෙ. ඒවා දෑහින් දැකබලාගෙන, ඒ දූපතකට දෙකකට ගොඩවෙන්නට ඇත්නම් ඒකත් කෙතරම් අත්දැකීමක්‌ද කියල අපිට හිතුණ. අපි ගමනක්‌ ගිහිං අත්දැකීමක්‌ ලැබුව කියන්නෙ, ඔබටත් ඒ අත්දැකීමේ නැවුම් තොරතුරු කොටසක්‌ කියවන්න ලැබෙන කියන එක. ඒ හින්ද ඔන්න අපි ඔබව අද ත්‍රිකුණාමලය අවට සාගරයේ චාරිකාවකට කැඳවාගෙන යනවා. ත්‍රිකුණාමල වරායෙ නාවික කඳවුරේ ජැටියෙන් පිටත්වන අපි පළමුව සෝබෝර් දූපත්, රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය, එලිසබෙත් දූපත පසුකරල සාම්පූර් ජැටියට ළඟා වෙනවා. ඉන්පසු එතනින් ෆවුල් තුඩුවට යන්නෙ පෙර දවසක අපි කඳවුරු බැන්ද "ෆවුල් පොයින්ට්‌" මුහුදින් ගිහිං බලන්න ඕන හින්ද. ආයිමත් එතනින් මුහුදු චාරිකාවෙ දෙවැනි කොටස පටන් ගන්න අපි, කින්නියා පාලම, මාබල් බීච් ප්‍රදේශ පසුකරමින් කෝනේෂ්වරම් කඳුගැටය පාමුලට යනවා. ඉන්පසු යන්නෙ නිලාවැලි පරෙවි දූපතට. ඉතින්, අද එකතුවෙමු මහ මුහුදේ අසිරිය විඳින්න. මේ චාරිකාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වගේම නාවික හමුදාව අපට විශේෂ අවසරයක්‌ හා විශාල සහයෝගයක්‌ දුන් බවත් කිව යුතුමයි. චාරිකාව සඳහා භාවිත කළේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත "වෝටර් ජෙට්‌" වර්ගයේ අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක්‌.

නාවික ජැටියේ සිට සාම්පූර් දක්‌වා

නාවික සංචාරය සඳහා ත්‍රිකුණාමලයට ළඟාවුණු අපට, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතාගේ දැනුම්දීම පරිදි ත්‍රිකුණාමලයේදී සම්බන්ධ වුණේ නැගෙනහිර නාවික විධාන මෙහෙයුම් නිලධාරි කමාන්ඩර් පූජිත විතාන මහතා. ඔහුගේ දැනුම් දීම පරිදි හරියටම පෙරවරු හතහමාරට අපි නාවික හමුදා ගම්මිරිස්‌ (p.p) ජැටියට ළඟාවුණා. ඒ වන විටත් p-158 දරන "වෝටර් ජෙට්‌" වර්ගයේ යාත්‍රාව අප එන මඟ බලාපොරොත්තුව එහි රඳවා තිබුණා. නැගෙනහිර නාවික මාධ්‍ය අංශයේ රංගන සොයුරා අපව පිළිගෙන එහිදී අපව යාත්‍රාවට රැගෙන ගියා. ඔන්න දැන් අපේ ගමන ආරම්භ කරන්න සූදානම්.
පළමු ගමන අප යන්නෙ සාම්පූර් දක්‌වා. ඒ යන ගමනේදී සාම්පූර් නාවික ජැටියෙන් බැස ෆවුල් තුඩුව දක්‌වා ගමන් කරන්නත් කතිකා කරගත්තා. මොකද, මේ ගමනේදී නාවික යාත්‍රා ෆවුල් තුඩුවට ළංකරන්න බැරි බව යාත්‍රාවේ සෙබළ සොයුරන් අපට දැනුම් දුන්නා. ඒ ෆවුල් තුඩුව ආශ්‍රිත ප්‍රදේශයේ සාගරය ගල්පරවලින් සමන්විත වන නිසා.

ජැටියෙන් ගමන් ආරම්භ කළ "වෝටර් ජෙට්‌" යාත්‍රාව දිය දෙබෑ කරමින් සාම්පූර් (දකුණු දෙසට) බලා ඇදෙනවා. වම්පසින් නාවික අංගනය. එහි නොයෙකුත් නාවික යාත්‍රා රැසක්‌ දක්‌නට ලැබෙන අතර විශාල නෞකාත් නැංගුරම්ලා තිබෙනවා. දකුණු පස ඉදිරියෙන් අපට දක්‌නට ලැබෙන්නේ ත්‍රිකුණාමල ප්‍රීමා පිටි කම්හල. මෙම කර්මාන්තශාලාවට තිරිඟු රැගෙන පැමිණි නැව් කිහිපයකුත් මෙහිදී දැකගත හැකියි. මෙම කම්හල පසුකරන විටම තමයි සෝබෝර් දූපත් නෙත ගැටෙන්නේ. කුඩා සෝබෝර් හා මහා සෝබෝර් ලෙස යුගලක්‌ වශයෙන් පිහිටා තිබෙන මෙම දූපත් දෙක අභයභූමි ලෙස 1963 දී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තියෙන්නෙ එහි ඇති ජෛවවිවිධත්ව අගය නිසා. සෝබෝර් දූපත් පසුකළ පසු අපට ඈතින් දකින්නට ලැබෙන්නෙ "රවුන්ඩ් අයිලන්ඩ්" දූපත හා එහි මධ්‍යයේ තිබෙන ප්‍රදීපාගාරය.

රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය

රවුන්ඩ් අයිලන්ඩ් නොහොත් "වට දූපත" කොට්‌ටියාර් බොක්‌කේ තියෙන අලංකාරතම දූපතක්‌. සාම්පූර්, මුතූර්, කින්නියා, මාබල් බීච් වගේ අප පසුකර ආ කොට්‌ටියාර් බොක්‌ක වටා ඇති වෙරළබඩ මාර්ගයේ දිගින් දිගටම මේ දූපත විවිධ පැතිකඩවලින් අලංකාරව අපට දැකගන්නට ලැබුණා. එහෙත්, අද අපි මේ අරුණළු නැගෙන උදෑසන දූපතට සෘජුවම මුහුණලා ළඟ ළඟ ඉඳන් දූපත දකිනවා. ඒ විතරක්‌ නෙමේ එහි මැද පිහිටි පැරණි ප්‍රදීපාගාරයත් කදිමට මේ යාත්‍රාවට දිස්‌වෙනවා. අද අබලන්ව ක්‍රියාවිරහිතව පැවතියත් රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය 1863 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකර ඇත්තේ එකල ත්‍රිකුණාමල වරායට ඇතුළුවන නාවික යාත්‍රා සඳහා කදිම මඟපෙන්වීමක්‌ මේ මගින් ලබාදෙන නිසා. මෙහි උස අඩි 103 ක්‌.

එළිසබෙත් දූපත

මීළඟට අපිට මුණගැසෙන්නෙ තවත් අලංකාර දූපතක්‌ වන එළිසබෙත් දූපත. මෙයට ඒ නම භාවිත කෙරෙන්නෙ ඇයිද යන්න අපි දන්නෙ නැති වුණත්, ගල්පරවලින් සමන්විත මේ දූපතත් කොට්‌ටියාර් බොක්‌කෙ අලංකාර දූපතක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.

එළිසබෙත් දූපත පසුකරනවාත් සමඟ අපගේ යාත්‍රාව පැමිණෙන්නේ වඩාත් පුළුල් මුහුදු කලාපයකට. දකුණුපසින් මාබල් බීච්, කින්නියා පාලම පෙනෙන මහවැලි නදියේ මෝය කලාපය. වම්පසින් නොහොත් නැගෙනහිර දෙසින් පුළුල් වරාය විවරය දිස්‌වෙනවා. එහි පහළ කෙළවර තමයි ෆවුල් තුඩුව. මේ ගොඩබිම් තීරුවේ තවත් පහළට වෙන්නට තමයි සාම්පූර් පිහිටල තියෙන්නෙ. වම්පසින් සාගරයේ පැතිර තියෙන ගල්පර මගහරිමින් අපගේ යාත්‍රාව සාම්පූර්වල නාවික ජැටිය බලා ඇදෙනවා. තවත් මොහොතකින් අපි රැගත් යාත්‍රාව ජැටියට ළඟාවුණේ කලක්‌ කොටි බලකොටුවක්‌ව පැවැති මෙහි, වත්මන් ශ්‍රී ලංකා නාවික හමුදා අභිමානය දරාගත් නාවික සෙබළ කැළ අප බලාපොරොත්තුව එහි රැඳී සිටියදී.

ෆවුල් තුඩුව ප්‍රදීපාගාරය දක්‌වා

සාම්පූර් ජැටියෙන් බැසගත් අපිට, ෆවුල් පොයින්ට්‌ දක්‌වා යන්න ජීප් රථයක්‌ සමඟ එහි පැමිණ සිටියේ නාවික ලුතිනන් අනුරුද්ධ හේරත්. ආගන්තුක සත්කාරයට බොහොමත් කැමැති නාවික නිලධාරීන් සමඟ උදේ ආහාරය සාම්පූර් කඳවුරේදී ගත් අපි මීළඟට කෙළින්ම ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය දක්‌වා ජීප් රථයෙන් ගමන් ගත්තා. මේ ගැන අපි කලින් විස්‌තර කතා කර තියෙන නිසා අද වැඩි දෙයක්‌ කතා කරන්නේ නෑ.

ෆවුල් පොයින්ට්‌ ගමනෙන් පස්‌සෙ අපි "නෝර්වේ දූපතට" යන්න තීරණය කළා. කොට්‌ටියාරම් බොක්‌කෙ නාවික සංචාරයකදී මෙවන් දූපතකට ගොඩබැසීමත් සුවිශාල අත්දැකීමක්‌. ලුතිනන් හේරත් සාම්පූර් ජැටියේ ඉඳල නෝර්වේ දූපතට යන්න ඩිංගි බෝට්‌ටු දෙකක්‌ ලෑස්‌ති කළේ දූපතට ගොඩබහින්න ඕන හින්ද. ඔන්න ගමන ආරම්භ කරල විනාඩි 15 කින් විතර අපි නෝර්වේ දූපතට ගොඩබැස්‌සා. මේ දූපත වගේම, ඊට යාබදව පිහිටි "තට්‌ටගල" දූපතත් පිහිටල තියෙන්නෙ ෆවුල් තුඩුවට වයඹ දිගින්. හුදෙකලා දූපතක්‌ වන මෙය නාවික හමුදා මුරපළක්‌ ලෙස භාවිතයට ගැනෙන තැනක්‌. ඉපිල් ඉපිල් ගස්‌ යායත්, වෙනත් පඳුරු ශාකවලින් සමන්විත මේ දූපත අක්‌කර භාගයකින් පමණ සමන්විත වුවක්‌. මෙය කුරුල්ලන්ගේ කැදලි බිමක්‌ ලෙසත් භාවිත කෙරෙන බව එහි ගිය අපට දැකගන්න ලැබුණා. නෝර්වේ දූපතේ පැය භාගයක පමණ සංචාරයෙන් පස්‌සෙ අපි ආයිමත් ළඟාවුණේ සාම්පූර් ජැටියට. එතැනදී සාම්පූර් නාවික නිලධාරීන්ට සමුදුන්න අපි, නැවතත් අපව රැගෙන ගිය වෝටර් ජෙට්‌ යාත්‍රාවට ගොඩවුණා.

සාම්පූර් සිට කෝනේෂ්වරම් දක්‌වා

සාම්පූර්වලින් පිටත් වූ අපි ඊළඟට නැරඹුවේ වම්පසින් දිස්‌වන කින්නියා පාලම. ලංකාවේ දිගම පාලම මෙය බව ඔබට අපි පසුගිය දිනෙක කිව්වා මතක ඇති. එතැන් සිට නාවික යාත්‍රාංගනය පිහිටි "චැපල් හිල්" නම් කඳුවැටියට පිටින් අපි කෙළින්ම ඇදුණේ කෝනේෂ්වරම් තුඩුව දක්‌වා.

දිය දෙබෑ කරමින් ඇදුණු මේ වේග ප්‍රහාරක යාත්‍රාව මඳ වේලාවකින් ත්‍රිකුණාමල වෙරළ උද්‍යානය පසුකර, පෙඩි්‍රක්‌ කොටුව අසලින් පැමිණ කෝනේෂ්වරම් කඳු පාමුලදී නිසසල වුණේ, අපට එහි සිට කෝනේෂ්වරම් කෝවිලේ ඡායාරූපගත යුතු වූ නිසා. පසුගිය ඉරිදා මේ කෝනේෂ්වරම් දෙවොලේ ගෙමිදුලේ කඳවුරු බැඳ ගෝකණ්‌ණ වරායේ ඡායාරූපගත කරපු හැටි අපට මෙතැනදී මතක්‌ වෙනවා.

කෝනේෂ්වරම් සිට පරෙවි දූපතට

නිලාවැලි - පරෙවි දූපතට කිලෝමීටර් 13 ක විතර සෘජු දුරක්‌ තියෙනවා. ඒත් අධිවේගී යාත්‍රාව විනාඩි 20 ක විතර ගමනකින් පරෙවි දූපත ආසන්නයට පැමිණියා. මෙම යාත්‍රාව දූපතට ළඟා කරවිය නොහැකි නිසාත්, පරෙවි දූපත දැන් ජාතික උද්‍යානයක්‌ නිසාත්, මෙහි ඇතුළුවිය හැක්‌කේ අවසර ගෙන ප්‍රවේශපත් ලබා ගැනීමෙන් පසුව නිසාත් අදාළ කටයුතු කරගෙන අපි දූපතට ළඟා වුණේ තවත් ඩිංගි බෝට්‌ටුවකින්.

දහවල් ආහාරයෙන් පස්‌සෙ නිලාවැලියට සමුදුන් අපි ඊළඟට කෙළින්ම ඇදුනෙ ආයිමත් ඡඡ නාවික ජැටිය බලා. ඒ එන ගමනේදී කොට්‌ටියාර් බොක්‌කේ වැදගත් සුන්දර ස්‌ථාන සියල්ලම පාහේ දැකගන්න අපි අමතක කළේ නෑ. ඒ අනුව කෝනේෂ්වරම් තුඩුව, රොකී පොයින්ට්‌, චැපල් හිල්, කොරල් කෝව් වෙරළ තීරය, ගී්‍රන් බේ, චැපල් බීච්, චැපල් අයිලන්ඩ්, එළිෆන්ට්‌ අයිලන්ඩ්, (දූපත) එළිෆන්ට්‌ පොයින්ට්‌, තට්‌ටගල, නෝර්වේ අයිලන්ඩ් (දූපත), කුඩා සෝබෝර් හා මහා සෝබෝර් දූපත්, එළිසබෙත් දූපත, රවුන්ඩ් අයිලන්ඩ් (දූපත), ෆවුඩර් දූපත, ක්‍රෝව් අයිලන්ඩ් (කාක දූපත) යනාදියේ සුන්දරත්වය හා පිහිටීම් අපූරුවට අප විඳගත්තා. මේ සියල්ලම පාහේ නාවික හමුදාව යටතේ පාලනය වන බවත් මෙහිදී කිව යුතුයි. ඔන්න ඔය විදිහට තමයි කොට්‌ටියාර් බොක්‌කේ අපූරු නාවික සංචාරය අප හමාර කළේ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


ස්‌තුතිය - ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, නාවික මෙහෙයුම් අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා, ආඥපති නැගෙනහිර පෙදෙස රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, නැගෙනහිර විධාන මෙහෙයුම් නිලධාරී කමාන්ඩර් පූජිත විතාන සහ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය යන මහත්වරුන්ට.

http://www.divaina.com/2011/07/03/nimna04.html

39 : ගලේ කොටුව බැඳි තිරිකුණාමලේ ගෝකණ්‌ණ තොට

ගෝකණ්‌ණ තොට/වරාය

ත්‍රිකුණාමලය හෙවත් පැරණි ගෝකණ්‌ණ තොට ශ්‍රී ලංකාවේ පැරණිතම වරාය ලෙස හැඳින්වුවත් නිවැරැදියි. ලෝකයේ හොඳම ස්‌වභාවික වරායක්‌ ලෙස ගැනෙන මේ ගෝකණ්‌ණ තොට, අනාදිමත් කලක පටන් නාවිකයන් භාවිතයට ගෙන තිබෙනවා. රට වටාම මුහුද තිබුණත් ශ්‍රී ලාංකිකයන් නාවික ක්‍ෂේත්‍රයට යොමු වූ පැරණි තොරතුරු අපට හමුවන්නේ නැති තරම්. ඒත් අතීත රජදරුවන්ගේ සමයේදී ගෝකණ්‌ණ වරාය ගැන නිරතුරුව කියවෙන්නේ භාරතයේ මෙන්ම, අරාබි, රෝම, ග්‍රීක, චීන, පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ වැනි ජාතික වෙළෙඳුන් හා ආක්‍රමණිකයන් ලක්‌දිවට ගොඩබැසීම සඳහාත්, එකල රජවරුන් සමඟ සබඳතා පවත්වාගෙන යැම සඳහාත් මේ ගෝකණ්‌ණ තොට භාවිතයට ගෙන තිබෙන නිසා.

චයිනා බේ /කොඩ් බේ

යුරෝපීය ආක්‍රමණයන්ට පෙර සිටම ග්‍රීක, අරාබි, චීන වැනි වෙළෙඳුන් ගෝකණ්‌ණ වරාය ආශ්‍රිතව තාවකාලිකව ලැගුම්ගත් බව විශ්වාස කරනවා. සංකීර්ණ නැව් තොටක්‌ ලෙස මුහුදු බොකු ගණනාවකින් සමන්විත මෙහි චීනුන් ලැගුම්ගත් පෙදෙස "චීන වරාය" නොහොත් චයිනා - බේ වූ බවයි කියන්නෙ. නමුත් ඒ සඳහා තවත් හේතු තිබූ බව කවුරු හරි දන්නවා නම් ඒ බවත් අපිට ලියා එවන්න. නැතිනම් ඊ-මේල් කර එවන්න.

කොහොමහරි ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන පාලන කේන්ද්‍රස්‌ථානය වුණු ත්‍රිකුණාමලය හා එහි ස්‌ථාපිත කළ ඔවුන්ගේ නාවික කඳවුර හරහා තමයි අපගේ රට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීම හා ඉන්පසු රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය ඇතුළු කාර්යයන් සිදුකර ඇත්තේ. මේ නිසාම ත්‍රිකුණාමලය ආශ්‍රිත බොහෝ තැන් හැඳින්වීමට යොදා ඇත්තේ ඉංග්‍රීසි වදන්. "චයිනා - බේ" කියන්නෙත් ඒ නිසා. මෙතන තමයි අදත් වරායට ප්‍රධාන පිවිසුම් පෙදෙස තියෙන්නෙ. පිටි කම්හල, සිමෙන්ති කම්හල යනාදිය වගේම දුම්රිය ස්‌ථානයත් චීන වරායට යාබදව පිහිටා තිබෙනවා.

කොඩ්-බේ යනු ත්‍රිකුණාමල ප්‍රධාන ධීවර වරායයි. චීන වරායට යාබදවයි මෙය පිහිටා තිබෙන්නේ.

කන්නියා උණුවතුර ළිං

චීන වරාය ප්‍රදේශය පසුකර ඇවිත් ඉන්පසු අපි ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගට පිවිසුණා. එතැන් සිට තවත් සැතපුම් 2-3 ක්‌ යන විට 4 කණුව හන්දිය හෙවත් අනුරාධපුර හන්දිය හමුවෙනවා. මෙතැන් සිට අනුරාධපුර පාරේ තවත් කිලෝමීටර් පහක්‌ පමණ ගොස්‌ මිහිඳුපුර පසුකර වම්පසට හැරී ගිය විට තමයි උණුවතුර ළිං හමුවෙන්නෙ. මේ ප්‍රදේශය හඳුන්වන්නෙ කන්නියා කියන නමින්. කන්නියා පසුකර අනුරාධපුර මාර්ගයේම තවත් කිලෝමීටර් 7-8 කින් වෙල්ගම් වෙහෙර රජමහා විහාරයටත් යා හැකියි.

කන්නියා උණුවතුර ළිං බලන්න අපි ගියේ තරමක්‌ හැන්දෑ වෙලා. ඒ හින්ද එතරම් සෙනඟක්‌ හිටියෙත් නෑ. ළිං හොඳට පිරිලත් තිබුණ. ළිං හතක්‌ තියෙන මේ උණුවතුර ළිං සංකීර්ණයෙ විවිධ උෂ්ණත්ව පරාසයන්ගෙන් සමන්විත උණුවතුර බුබුළු නඟමින් ළිංවලට පිරෙනවා.

වෙරළ උද්‍යානය / පෙඩ්‍රික්‌ කොටුව

ඊළඟට අපි ත්‍රිකුණාමලය නගරයට ඇතුළුවුණා. ත්‍රිකුණාමල වරාය පිහිටි කොට්‌ටියාර් බොක්‌ක තවමත් මේ දක්‌වා සුවිසල්ව නැඟී සිටිනවා. ඒ ආශ්‍රිතව වැටී ඇති මාර්ගයෙන් පැමිණ නගරය හරහා ගොස්‌ ඊළඟට අපි නැවතුණේ වෙරළ උද්‍යානය ළඟ. ඈතින් අපට පෙනෙන නොපෙනෙන ගානට සාම්පූර් - µවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය දිස්‌වෙනවා. වම්පසින් ත්‍රිකුණාමල පෙඩි්‍රක්‌ කොටුව හා එහි කෙළවර තිරු කෝනේෂ්වරම් දෙවොල. ඉදිරියෙන් ධීවර ඔරු - බෝට්‌ටු වගේම අධිවේගී නාවික යාත්‍රාත් විටින් විට ඇදෙනවා. මේ සියල්ල වගේම වෙරළේ අසිරිය විඳින්නත් වෙරළ උද්‍යානය කදිම තැනක්‌. දකුණුපසින් මේ උද්‍යානයේ අපූරු හරිත තීරයක්‌ (Green Belt) දකින්න පුළුවන්. කස ගස්‌වලින් යුත් එය වෙරළට එකතු කරන්නෙ නැවුම් බවක්‌. මේ සියල්ල හෝරාවක්‌ දෙකක්‌ විඳගෙන තමයි අපි පෙඩි්‍රක්‌ කොටුව හරහා කෝනේශ්වරම් දෙවොලට යන්න තීරණය කළේ.

පෙඩ්‍රික්‌ කොටුව

මුහුදට නෙරාගිය තුඩු කිහිපයක්‌ ත්‍රිකුණාමලයේදී හඳුනාගත හැකියි. පහළින්ම තියෙන ෆවුල් තුඩුව, කෙසෙල් තුඩුව (ප්ලාන්ටන් පොයින්ට්‌) ඇත් තුඩුව (එළිෆන්ට්‌ පොයින්ට්‌) වගේම කෝනේශ්වරම් දෙවොල පිහිටි ප්‍රපාතාකාර තුඩුවත් ඒ අතර වෙනවා. මේ තුඩුව පෘතුගීසීන්, ලන්දේසීන් වගේම ඉංග්‍රීසීන්ගේත් බලකොටුවක්‌ ලෙස ප්‍රයෝජනයට ගත්තා. පෙඩි්‍රක්‌ කොටුව පිහිටා තිබෙන්නේ කෝනේශ්වරම් එහෙමත් නැතිනම් ගෝකණ්‌ණ තුඩුව ආරම්භ වන ස්‌ථානයේ ඉඳල. බලකොටුවේ පැති බැමි වගේම ප්‍රධාන ගොඩබිම් දොරටුවත් වෙරළ උද්‍යානය අවසානයේ දැකගත හැකියි. ඒ කොටුවෙන් ඇතුළු වූ පසු පැරණි ලන්දේසි නගරය දැකගත හැකියි. ආණ්‌ඩුකාරයාගේ නිල නිවහන, හමුදා බැරැක්‌ක, නිවාස රාශියක්‌ එහි තිබෙනවා. ඒ නිවාස අදත් ප්‍රයෝජනයට ගැනෙනවා. අදත් රජයේ කාර්යාල වගේම හමුදා කඳවුරු කිහිපයකුත් පෙඩි්‍රක්‌ (පේද්‍රිස්‌) කොටුව ඇතුළේ තිබෙනවා. කොටුවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී මඳක්‌ ඉදිරියට ඇදෙන විට වම්පසට ඇත්තේ ගෝකණ්‌ණ රජමහා විහාරය. 1623 දී පෘතුගීසීන් විසින් තනන ලද මෙම කොටුව 1639 දී ලන්දේසීන් අල්ලා ගනු ලැබුවා. 1672 දී මෙය ප්‍රංශ හමුදා මගින් ආක්‍රමණය කරන ලද අතර 1782 දී ඉංගී්‍රසීන්ගේ අණසකට යටත් වුණා. වරින්වර සතුරු ආක්‍රමණයට ලක්‌වුණත් යළිත් 1795 දී ස්‌ථිර ලෙසම බ්‍රිතාන්‍යයන් මෙහි අණසක නතු කරගත්තා. 1800 දී ඩියුක්‌ වෙලින්ටන් නමැති පාලකයාගේ නවාතැන්පළ බවටත් පත් වූ මෙම කොටුව ඔහු විසින් 1803 දී පෙඩි්‍රක්‌ බලකොටුව ලෙස නම් කර තිබෙනවා. 1942 දී මේ තුළට ජපනුන් බෝම්බ හෙලුවේ දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක තැනක්‌ ලෙස මෙය වැදගත් වුණු නිසා.

ගෝකණ්‌ණ රජමහා විහාරය

ගෝකණ්‌ණ රජමහා විහාරය අද මෙතැන කුඩා භූමි භාගයකට සීමා වී තිබුණත් අතීතයේදී මේ මුළු භූමි භාගයම එනම් කෝනේශ්වරම් දෙවොල පිහිටි භූමිය යනාදියත් ගෝකණ්‌ණ විහාරය ලෙස පැවැති බවයි විශ්වාස කරන්නේ. එහෙත් කලින් කල පැමිණි සතුරු ආක්‍රමණ අද ගෝකණ්‌ණ විහාරය ඉතා කුඩා භූමි ප්‍රදේශයකට සීමා කරල. එහි බෝධීන්වහන්සේ වගේම චෛත්‍යයෙත්, හිටිපිළිම වහන්සේත් ගෝකණ්‌ණ විහාරයේ දුක්‌බර කතාන්දරයක්‌ අපට කියනවා වගේ.

තිරුකෝනේශ්වරම් දෙවොල

ත්‍රිකුණාමලය තිරුකෝනේශ්වරම් දෙවොල ඉතාම ප්‍රකට ස්‌ථානයක්‌. මෙය ජනප්‍රිය වෙලා තියෙන්නෙ "කෝනේශ්වරම්" නමින්. ඔබට මතක නම් මෙසේ "වරම්" ලෙස හඳුන්වා අවසන් වන දේවාල ගැන සඳහනක්‌ අපි මඩකලපු චාරිකාවේදී කළා. මේ තමයි ශිව දෙවියන් සඳහා ඉදිවුණු දේවාල, නැතිනම් කෝවිල්. ලංකාව වටා එවන් කෝවිල් පහක්‌ තියෙන බවත් අපි ඔබට කිව්වා. මඩකලපුවෙ කාන්තෝන්

-දීශ්වරම් කෝවිල ගැන අපි කතා කළා. යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේෂ්වරම්, මන්නාරමේ තිරිකේදීශ්වරම් ඒ කෝවිල් පහයි. එයින් අපගේ චාරිකාවේදී දෙවැනියට හමුවන මෙවන් කෝවිල තමයි මේ තිරුකෝනේෂ්වරම් කෝවිල. අනුහස්‌ සහිත කෝවිලක්‌ ලෙස සැලකෙන මෙයට පැමිණෙන බොහෝ බැතිමත්තු, දරුවන් නැති මවුපියන් වීම විශේෂයක්‌. ඔවුන්ට දරුවන් පතා මේ කෝවිලේ ශාන්ති කර්ම වගේම භාරහාරත් සිදුකෙරෙනවා. හරිම අපූරු වටපිටාවකින් යුත් කෝනේශ්වරම් දෙවොල රාම-රාවණා කතාවටත් සබඳතාවක්‌ තිබෙනවා. මුහුදු මට්‌ටමේ සිට අඩි 100 - 150 ක්‌ පමණ උස ගල්කන්දක්‌ මත පිහිටි මෙතැනට අවට මුහුදු ප්‍රදේශය වගේම, සාම්පූර්, ත්‍රිකුණාමල නගරය, වරාය, චීන වරාය වගේ දේවලුත් උතුරින් පරෙවි දූපත නිලාවැලි වගේ ප්‍රදේශත් දැකගන්න ලැබෙනවා. ඔබත් ත්‍රිකුණාමලයේ සංචාරයක ගියොත් මෙතැනටත් යන්න අමතක කරන්න එපා. ඒ සුන්දරත්වයේ ආශ්වාදය අපි විඳගත යුතුම තැනක්‌ වන නිසා පැරණි ලන්දේසි වරාය "ඩට්‌ච්-බේ" පිහිටල තියෙන්නෙත් කෝනේෂ්වරම් හෙවත් ගෝකණ්‌ණ පාමුලයි.

රාවණ කැපුම / ලවර්ස්‌ ස්‌ලීප්

කෝන්ෂ්වරම් කෝවිල, මෙරට මහා බලගතු රජකු ලෙස වැඩ වාසය කළ රාවණ රජුට සබඳතා ඇති ස්‌ථානයක්‌. ඒ බවට වන අපූරු කතාන්තරයක්‌ සහිත පුවරුවක්‌ "රාවණ කැපුම" හෙවත් ලවර්ස්‌ ලීප්" ලෙස හඳුන්වන අසාමාන්‍ය, බියකරු ප්‍රපාතකාර බෑවුම අසල සවිකර තිබෙනවා. ඒ වගේම මුහුණු 10 ක්‌ (එතරම් නුවණක්‌) තිබූ බව විශ්වාස කරන රාවණයන්ගේ අපූරු මූර්තියක්‌ ද දෙවොලේ එක්‌ පසෙක ඉහළින්ම තනා තිබෙනවා.

පුවරුවේ සඳහන් පරිදි "රාවණ කැපුම" (එනම් බෑවුම) නිර්මාණය වී ඇත්තේ රාවණ රජු විසින් මෙම කන්ද තම කඩුවෙන් කැපීම හේතුවෙන්. ශිවලිංග පූජාවක්‌ සම්බන්ධයෙන් උරණවූ රාවණ රජු මෙසේ කඩුවෙන් කන්ද කැපූ බවත්, ඒ හේතුවෙන් දිව්‍ය කෝපයට ලක්‌වූ රජුගේ සිව භක්‌තිය නිසාම යළිත් සමාව ගෙන තම එක්‌ හිසක්‌ කපා වීණාවක්‌ සකස්‌ කර "සාම වේද" ගායනය සිදුකර සමාව ඉල්ලූ බවත් කියෑවෙනවා.

පසුව මෙම ස්‌ථානයෙන් පැන දිවි නසාගත් සුදු ජාතික යුවළක්‌ හේතුවෙන් මෙය "ලවර්ස්‌ ලීප්" බවට පත් වුණා.


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/06/26/nimna03.html