Pages

Sunday, August 14, 2011

8 : මහ සයුරේ අස්‌වනු ගෙනෙන බේරුවල

බොදු පුනරුදයේ නගරය, පානදුර පසුකර කළුගං තොටට ඇදෙන අපට වස්‌කඩුව හමුවේ. වස්‌කඩුව ගැන කතා නොකර අපට දකුණේ චාරිකාව කළ නොහැකිය. ඒ, තවත් අමතක කළ නොහැකි වැදගත් චරිතයක්‌ අපට මෙහි දී සිහිපත් වන නිසාය. ඒ වස්‌කඩුවේ සිරි සුභූති මාහිමියෝය.

රාජගුරු වස්‌කඩුවේ ශ්‍රී සුභූති මා හිමි අප රටේ වැඩ සිටි උගත් බහුශුත්‍ර පඬිවරයෙකි. මහාචාර්ය ආර්. සී විල්ඩර්ස්‌, ආනන්ද කුමාරස්‌වාමි, වාසළ මුදලි ඒ මැන්දිස්‌ ගුණසේකර වැනි දෙස්‌ විදෙස්‌ උගත්තු සුභූති මාහිමියන් වෙතින් උගත්හ. පාලි පිරිත් පොත සියම් බසට පෙරලා දුන් සුභූති මා හිමියෝ සිංහල හා පාලි පොත් රාශියක්‌ ලියා පළ කළහ. 19 වැනි සියවස්‌ සිරිලක බෞද්ධ පුනරුදයේ කොටස්‌කාර හිමිනමක්‌ වූ සුභූති හිමියන් වෙතින් සියම් දේශයේ රජකුමරුවෙකු වූ ප්‍රිස්‌ඩම් රාජ කුමාරයා ලක්‌දිවට පැමිණ මහණකම ලබා ගත්තේය. එම මහණකම සිදුවූයේ 1886 දීය. ජිනවරංශ නමින් එම හිමියන් හැඳින්විණි. සුභූති මා හිමියෝ 1917 අප්‍රේල් මස 19 වන දින අපවත් වූහ.

කළුතර බෝධිය

සිංහල බෝධි වංශයේ මහාවිල්ලිකගාට නමින් හඳුන්වන්නේ වත්මන් කළුතරය. කාලයක්‌ වේලාපුර ලෙසද සඳහන් වූ කළුතර වර්තමානයේ පරිපාලන දිස්‌ත්‍රික්‌කයකි. සිරිපා සමනොල සිට ගලාඑන කළු ගඟ මුහුදට එක්‌වන්නේ කළුතරිනි. කළුතොට හේතුවෙන් කළුතර නිර්මාණය වී ඇත. කළුතර බෝධිය හෙවත් මෙම පින්බිම දේවානම්පියතිස්‌ස රජ දවස දක්‌වා දිවයන ඉතිහාසයකට හිsමිකම් කියයි.

සිරිමා බෝධිය ලක්‌දිව රෝපණය කිරීමේ දී එයින් පැන නැංගාවූ දෙතිස්‌ඵල රුහ බෝධින් වහන්සේ අතර එක්‌ බෝධියක්‌ රෝපණය වූයේ මෙම විල්ලිකගාට හෙවත් කළුතරය. වර්මානයේ වටදාගෙය සහිත චෛත්‍ය පිහිටි භූමිය අසල උඩමළුවේ තිබෙන බෝධිය එම බෝධීන් වහන්සේයි. ගාලුපාර අසළ පහළ මළුවේ තිබෙන බෝධිය තවත් ඉපැරණි බෝධියකි. එය ක්‍රි.ව 1042 දී ඉන්දියාවේ පාණ්‌ඩ්‍ය දේශයේ සිට පැමිණි කළුතර ප්‍රදේශයේ යුවරජ වූ වික්‍රම පාණ්‌ඩ්‍ය නම් කුමාරා විසින් රෝපණය කර ඇති.

මිහිඳු හිමියන් විසින් දෙතිස්‌ පළ බෝධියක්‌ රෝපණය කළ යුතු තැනක්‌ ලෙස දේවානම් පියතිස්‌ස රජුට පෙන්වා දුන් එක්‌ තැනෙකි කළුතර. අද උඩ මළුවේ පිහිටි බෝධිය රෝපණය වූයේ ඒ අයුරිනි.

1506 දී පෘතුගීසීන් විසින් මුහුදු බඩ පළාත් අල්ලා ගැනීමේදී කළුතර බෝධිය වන්දනා කිරීම සැදැහැවතුන්ට අහිමි විය. 16 වැනි සියවසේ දී මෙම ස්‌ථානය පරංගි බලකොටුවක්‌ වූ නමුත් බෝධීන් වහන්සේට ඔවුන්ගෙන් හානියක්‌ සිදු නොවිණි.

පසුව ලන්දේසීන් ද මෙම ස්‌ථානය බලකොටුවක්‌ සේ ප්‍රයෝනයට ගත්තේය. ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසුවද මෙය බලකොටුවක්‌ වී තිබිණි. එහෙත් බෝධීන් වහන්සේ ආරක්ෂා විණි. අනතුරුව 19 වැනි සියවසෙන් පසු භාගයේ දී මෙම ස්‌ථානය ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ඒජන්තවරයාගේ කාර්යාල සහ නිල නිවාස පරිශ්‍රය බවට පත්විය. ඉන්පසු බලපිටියේ උපත ලබා කළුතර අධිකරණයයේ සේවය කළ අධිනීතිඥ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ගේ අවධානයට යොමු වූහ. මෙම බෝධිය දිනපතා එතුමා විසින් වන්දනා කිරීමට යොමුවිය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මෙම ස්‌ථානය වර්තමාන පුනරුදයේ ආරම්භය සනිටුහන් විය. ඒ අනුව කළුතර බෝaධිභාරකාර මණ්‌ඩලය පිහිටුවීමට ස්‌ථානය සිටුවීමට එතුමා කැපවිය. එවකට අගමැති ඩී. එස්‌. සේනානායක සහ කළුතර හිටපු උප දිසාපති සී. ජී ද සිල්වා මහත්වරුන්ගේ ද මැදිහත් විමෙන් දැනට කළුතර දාගැබ පිහිටි බිමෙහි එවකට තිබූ කළුතර සුදුජාතික දිසාපතිවරයාගේ බංගලාවද. ඒ ආසන්නයේ තිබූණ දිසාපති කාර්යාලයද මෙම බෝධිකාර මණ්‌ඩලයට පවරාගෙන දිසාපති බංගලාව ඉවත්කර වර්තමාන මහා දාගැබ බැඳවීය. 20 වැනි සියවසේ අසදෘශ චෛත්‍ය කර්මාන්තය වන මෙම දාගැබ සිරිලක විසූ තවත් සුවිශේෂ පුද්ගලයකු වූ ඉංජිනේරු ආචාර්ය ඒ. එන්. එස්‌. කුලසිංහ මහතාගේ විස්‌මිත නිර්මාණයකි.

පඬිකාර මුදලිගේ මහා මන්දිරය

රිච්මන්ඩ් කාසල්

කළු ගං මෝදර අවට තතු සොයා යන කවරකුට වුවද, ගඟ ඉස්‌මත්තේ සැතපුමක්‌ - දෙකක්‌ දුරින් පිහිටා ඇති පැරණි මහා මන්දිරයක්‌ ගැන දැනගන්නට ලැබේ. එය ඉංග්‍රීසි පාලන සමයේදී මෙරට පඬිකාර මුදලි තනතුර දැරූ ආතර් ද සිල්වා විඡේසිංහ මුදලිවරයාට අයත් "රිච්මන්ඩ් කාසල්" මහා මන්දිරයයි. මෙම මන්දිරය මගින් ඔහුගේ ධනවත් බවත්, ඔහුගේ බල පුළුවන් බව මෙන්ම බ්‍රිතාන්‍ය රජය සමග ඔහු පවත්වාගෙන ගිය කුළුපඟ බවත් මනාව ප්‍රදර්ශනය වේ. කළුතර - පලාතොට පිහිටි මෙම මන්දිරය සඳහා අමුද්‍රව්‍ය සියල්ලක්‌ම පාහේ ගෙනවිත් ඇත්තේ විදේශයන්ගෙනි. මෙහි ඇති දැව (තේක්‌ක) සම්පූර්ණයෙන්ම බුරුමයෙන් ගෙනවිත් ඇති අතර, දර්ශනීය කැටයම් සහිත තරප්පු පෙළ, විසිත්ත කාමර සඳහා යොදා ඇති තනි කැටයම් සහිත ලී කඳන් යනාදිය වෙනුවෙන් හෙතෙම දැව නැව් දෙකක්‌ ගෙන්වාගෙන ඇතැයි සඳහන් වේ. වානේ තරප්පු පෙළ, ඇතුළු තවත් බොහෝ අංගෝපාංග බ්‍රිතාන්‍යයෙන් හා ප්‍රංශය, ඉතාලිය, වැනි රටවලින් ගෙන්වාගෙන ඇති බවද, හේ එම රටවලට ගොස්‌ එම රජපවුල් අතර සමීප සබඳතා පවත්වාගෙන ඇති බව අදටත් මෙහි ඇති ඡායාරූප අපට සාක්‍ෂි දරයි.

ඉන්දියාවේ විසූ රාමනාදේ මහරාජාගේ මාළිගාවට සමානව තනවා ඇති මෙම මන්දිරයේ සැලසුම සකස්‌ කිරීම වෙනුවෙන් මෙරට හා ඉන්දීය පෙදරේරුවන්, වඩුවන්, සැලසුම්කරුවන් දෙරටට සංචාරය කර ඇත. 1900 දී වැඩ ආරම්භ කළා යෑයි කියන මෙම මන්දිරය 1903 දී නිමකර ඇති අතර විඡේසිංහ පඬිකාර මුදලිවරයාගේ විවාහය මෙහිදී සිදු කර ඇත්තේ 1910 දීය. මීටම ආසන්න ප්‍රදේශයක දිවිගෙවූ ධනපති පවුලක්‌ වූ "තේක්‌aක බංගලාවේ" විසූ "ක්‌ලැරන්ස්‌ මැටිල්ඩා මෝඩ්" මුදලිවරයාගේ බිරිඳ බවට පත්වී ඇත. එතුමිය ඡේ. ආර්. ජයවර්ධන ආර්යාවගේ (එලීනා ජයවර්ධන) පුංචි අම්මාය.

මෙම විවාහ මංගල්ලය ලංකාවේ එවක සිදුව ඇති ඉහළම මංගල්ල යයි. එවක පඬිකාර මුදලි ධුරය බ්‍රිතාන්‍ය රජය මගින් විඡේසිංහ මුදලිවරයාට ප්‍රදානය කර ඇත්තේ ඔහුට මෙරට පුළුල් වතු පිටි ප්‍රමාණයක්‌ හා විශාල ආරක්‍ෂක සේනාංකයක්‌ද ඇතුළත් වන පරිදිය. හේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව නියෝජනය කළ ඉහළම දේශීය ඒජන්තවරයකු සේ සේවය කොට ඇති බව පෙනේ. කතෝලිකයකු වන ඔහුගේ මංගල්ලය සඳහා කළුතර නගරයේ සිට පලාතොට දක්‌වා දර්ශනීය තොරණ 18 ක්‌ ඉදිකර තිබූ බවද සඳහන්ය. ඔහුගේ විවාහ මංගල්ලය සඳහා මෙරට විසූ ඉහළම බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර නිලධාරීන් ද සහභාගි වී ඇත. පාප් වහන්සේගේ නියෝජිතයකු හා එකල ඉහළම වතුකාර සුද්දන්ද, ඉන්දියාවේ මහාරාජා වරුන්ද (රාමනාදේ මහාරාජා) සහභාගි වී ඇති බව ඔහුගේ ඡායාරූප එකතුව අපට කියයි. 1916 ජුලි 24 දා කළුතර කච්ෙච්රියේ ඉදිකළ බ්‍රිතාන්‍යයේ ජෝර්ඡ් රජුගේ පිළිරුව විවෘත කරන අවස්‌ථාවට පැමිණි එකල මෙරට ආණ්‌ඩුකාර සර් ජෝර්ඡ් ඇන්ඩර්සන් ද එදින රිච්මන්ඩ් කාසල් මන්දිරයට පැමිණ ඇත.

පඬිකාර මුදලි විඡේසිංහයන් කතෝලිකයකු වුවද හේ බෞද්ධ ධර්මය පිළිබඳවද ගරුත්වයෙන් කටයුතු කළ අයකු බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එසේම බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔහුට අප රට වෙනුවෙන් යමක්‌ කළ හැකි බලවතෙකුව සිටි බැවින් ඔහුගේ හඬ මෙන්ම ක්‍රියාත්මක වීමද වැදගත් නියෝජනයක්‌ විය. රිච්මන්ඩ් කාසල් මන්දිරයේ වත්මන් පාලනාධිකාරිය මගින් හෙළිවූ තොරතුරු අනුව භාරතයේ බුදුන් උපන් පිංබිම (දඹදිව) බේරා ගැනීමට කටයුතු සංවිධානය කළ මුල්ම තැනැත්තා වූ බව කියන්නේද පඬිකාර මුදලි විඡේසිංහය. බුද්ධගයාව ඇතුළු දඹදිව බෞද්ධ උරුමයන් මහන්තා නමැති අන්‍ය ආගමිකයකුට හිමිව තිබූ අවස්‌ථාවේදී අනගාරික ධර්මපාල තුමන් දේශීය ප්‍රභූන් සමග එය බේරාගැනීමේදී වැය වූ රුපියල් 25000 ක මුදල පවා ගෙවා ඇත්තේ මෙම පඬිකාර මුදලිවරයා විසින් යෑයි කියයි.

කෙසේ හෝ පඬිකාර මුදලිඳුවරයාට දාව ක්‌ලැරන්ස්‌ මැටිල්ඩා මෝඩ්ට දරුවන් නොසිටියේය. එහෙයින් මුදලිවරයාගේ පරම්පරාව ගෙන යන්නට හෝ වතුපිටි, මහා මන්දිරයට හිමිකම් කියන්නට කිසිවකු නොවීය. අවසානයේ ඔවුන් දේපළ මේ මහා මන්දිරය සමග දේපළ රජයේ මහා භාණ්‌ඩාගාරයට දන්දී මහනුවර රැජිණ හෝටලයේ මිය යනතුරා දිවිගෙවූහ. 1889 වසරේදී වතුකාර වෙනත් පවුලකට දාව උපන් විඡේසිංහ මුදලිවරයා සියලු රජ සැප විඳ, රටරටවල සංචාරය කර 1947 දී මහනුවරදී මිය ගියේය. බ්‍රිතාන්‍ය රජයේ සමාජ සේවා කටයුතුවලට පවා මුදලින් හා වාහනවලින් (ගිලන් රථයක්‌) පරිත්‍යාග රැසක්‌ සිදු කළ දානපති ක්‌ලැරන්ස්‌ මැටිල්ඩා මෝඩ් 1890 දී ඉපදී 1970 දී මිය ගියාය. ඔවුන්ගේ රිච්මන්ඩ් කාසල් මන්දිරය දැන් දරුවන්ට අධ්‍යාපනය සලසන සමාජ සේවා ආයතනයකි.

එහෙත්, ඒ සුවිසල් මන්දිරය මතක රැසක්‌ සඟවා ගනිමින් අදටත් තේජාන්විතව නැඟී සිටිනු පෙනේ.

බේරුවල

අද අපගේ කඳවුරු බිමට පත්වන බේරුවල කොළඹ සිට දකුණු දෙසට යනවිට හමුවන ප්‍රධානතම ධීවර වරායයි. කළුතර දිසාවේ පිහිටා ඇති මෙය අද ලංකාවේ ඉතාමත් ප්‍රකට ධීවර වරායක්‌ වුවත්, අතීතයේදී ප්‍රකටව ඇත්තේ වෙළෙඳ වරායක්‌ ලෙසිනි. මෙහි අතීතය කොළඹ වරායටත් වඩා පැරණිය. නැතහොත් ගාල්ල වරාය තරම් හෝ ඊටද වඩා පැරණිය. ලංකාවට පැමිණි අරාබි ජාතික වෙළෙඳුන් බොහෝ දෙනා එදා ගොඩ බැස්‌සේ වත්මන් බේරුවලටය. අරාබි බසින් "බේරුහල්" යන්නෙන් මුහුදු බොක්‌ක යන්න ගම්‍ය වී ඇත. අරාබිය, ඊජිප්තුව, මාලදිවයින, මැද පෙරදිග ඔස්‌සේ මෙහි පැමිණි මෙම වෙළෙන්දෝ "බේරුවල" නැංගුරම් දැමූ පසු එකල රුවල් යාත්‍රාවලින් ගෙන ආ බඩු භාණ්‌ඩ හා අප දිවයිනෙන් ලබාගත් කුළුබඩු ඇතුළු භාණ්‌ඩ මෙහිදී රට රටවල් අතර හුවමාරු වී ඇත. ලංකාවේ නිරිත දිග වෙරළේ පිහිටි "නගරය" බාර් බේරියන් වශයෙන්ද එකල මෙය විදේශිකයන් විසින් හඳුන්වනු ලැබ ඇත.


ක්‍රිස්‌තු වර්ෂ 1085 දී මෙරට සතුරු බලය පරදා (පොළොන්නරු යුගය) රට එක්‌ සේසත් කරමින් රජ වූ විජයබා රජු අභිෂේක ලබාගත් උත්සවය සඳහා බ්‍රහ්මනයන් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වා ගත් බවද එම කාර්යය සිදු කරනු ලැබුවේ බේරුවල ලැඟුම්ගත් පෙරිය මුදලි මරික්‌කාර් ඇතුළු ඉස්‌ලාම්වරුන් හයදෙනකුගෙන් යුත් නාවික කණ්‌ඩායමක්‌ විසින් බව සඳහන්වේ. මෙසේ එම කාර්යය මැනවින් ඉටුකළ පිරිසට රජු විසින් තඹ සන්නසකින් තුති පිදූ බවද සඳහන්ය. මතු දැක්‌වෙන එම සිද්ධියට අදාළ පද්‍ය රචනාවෙහි බේරුවල යනු බෑ - රුවල නොහොත් රුවල් බාපු තැන ලෙස හැඳින්වේ.

එදා ඉන්දියාවේ සාලිය මංගලම් ප්‍රදේශයෙන් පැමිණි බමුණන් සත් දෙනකු බේරුවලට පැමිණි තැන වත්මන් සාලියා පටුන නමින් හැදින්වේ.

රූ සඳ සක වරැස

එක්‌දහස්‌ නව වසේ

දුනු රැස කැති නැකත

තියවක ගුරු දවසේ

ගොඩබැස බෑ - රුවල

තොටුපළට මෙදවසේ

පැමිණුනි බමුණු විය

සත්දෙන මෙලෙසේ

(හෙළදිව බමුණු වත)

ආශ්‍රිත තොරතුරු - දේ. සු. ද සොයිසා සහ ගල්වෙහෙර සී ද ඉෂෙඩ් ගුණරත්නගේ විශ්වයේ ඔබත් මමත් ග්‍රන්ථය. මෙහි සඳහන් පරිදි එදා පෙරිය මුදලි මරික්‌කාර් ට රජුගෙන් ලැබුණු තඹ සන්නස බේරුවල ඡේ. ජුවඩ් විදානාරච්චි මහතා සතුව පවතී.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2010/11/21/nimna04.html

0 comments:

Post a Comment