චිරාත් කලක සිට ගාලු මුවදොර පිටියේ වම් අන්තයේ සිටිමින් එදෙස බලා සිටිනා ඒ සුවිසල් මන්දිරය ගෝල් ෆේස් හෝටලය නම් වේ. එය මෙරට පැරණිම ඉතිහාසයක් හිමි හෝටල අතරින් එකකි. කොළඹ නගරයේ පිහිටි හෝටල අතුරින් ඉන්දියන් සයුරට සෘජුවම මායිම් වූ එකම හෝටලය ද මෙය වේ. කොළඹ තරම්ම පැරණි ඉතිහාසයක්‌ද රාජකීය අමුත්තන් සහ සුව්ශේෂී පුද්ගලයන් වැඩි පිරිසක් සැලකුම් ලැබූ තැනක් ලෙසද ප්‍රෙෘඩ ඉතිහාසයක් මෙයට ඇත.
හෝටලයක් තරමටම සංවිධානය නොවුවද සත්කාරක නිවස්‌නයක් ලෙස හෝටලය කට වඩා පැරණි ඉතිහාසයක් මෙයට තිබේ. ඒ අනුව හෝටලයක ස්‌වභාවය ගත් සේවාවක් සැපයූ මෙරට පළමු ස්‌ථානය මෙය ලෙස සැලකිය හැක.
මෙය හෝටලයක් බවට පත්වනුයේ ඉංග්‍රීසි යුගයේ වුවද සමාරම්භය ලන්දේසි යුගය දක්‌වා දිවේs. එකල මෙය ගෝල් ෆේස් හවුස් නමින් හඳුන්වනු ලැබූ බංගලාවක්‌ව තිබූ බව කියනු ලැබේ. පසුව ඉංග්‍රීසින්ගේ සමයේ මෙය ආණ්‌ඩුකාරවරයාගේ අමුත්තන් ලැගුම් ගත් ස්‌ථානය බවට පත් වූ අතර අද මෙන් ගොඩනැගිලි බහුල නොවූ එකල මෙහි සිට ආණුඩුකාර නිල නිවස (වත්මන් ජනාධිපති මන්දිරය) එක එල්ලේ දිස්‌විය.
තම අමුත්තන් තමන් සමීපයට කැඳවීමට උවමනා වූ විට ආණ්‌ඩුකාර නිවසේ කොඩියක් නංවනු ලැබීය. ගෝල් ෆේස් හවුස් සිට එම සංඥාව දකින අමුත්තන් තමන්ට ආණ්‌ඩුකාරවරයා බැහැදැකීමට අවසරය ලැබී ඇති බව හැඳින අශ්ව කරත්තයෙන් එහි ගිය බව කියනු ලැබේ.
එකල මෙහි සත්කාර ලැබූවෝ නම් මෙරටට වැවිලි කරුවන් ලෙස පැමිණි අය, රාජ්‍ය තාන්ත්‍රිත නිලධාරීහු සහ නෞකාවලින් පැමිණි ප්‍රභූහු වෙති. එකල මෙහි සියලු සත්කාර ඉංග්‍රීසි ජාතිකයන්ටම සීමා විය. කොතරම් ප්‍රභූ පැලැන්තියේ වුවද මෙරට කිසිදු වැසියෙකුට මෙහි සත්කාර විඳගැනීම පිණිස අවස්‌ථවක් නොවු අතර දේශීයයන්ට ඇතුළුවීම තහනම් බවට වන දැන්වීම් මෙහි දොරටු අසළ ප්‍රදර්ශනය කර තිබූ බව සඳහන්වේ. එකල මෙරට තිබූ එකම සුකෝපභෝගී නවාතැන්පල මෙය විය. ආයෝජකයන් ලෙසින් මෙරටට පැමිණි ඉංග්‍රීසි ජාතිකයන්වූ ඡේර්ඡ් බෝල්, එච්. තෝමස් සහ බුචනන් නම් අය විසින් 1864 දී මෙය හෝටලයක් බවට පත්කර ඇතැයි සඳහන් වේ. 1870 සිට 1894 දක්‌වා කාලයේදී අවට ඉඩම්ද මිලට ගනිමින් අක්‌කර 2ක් දක්‌වා හෝටල් භූමිය වර්ධනය වී ඇති අතර හෝටලයේ ගොඩනැගිලි පුළුල් වුවද, 1894 දී ගෘහ නිර්මාණ ශිල්පී තෝමස් ස්‌කිනර්ගේ නිර්මාණශීලීත්වයෙන් බිහිවූ හෝටලයේ ඉදිරිපස පෙනුම අද දක්‌වාම නොවෙනස්‌ව පවතී. මෙහි ප්‍රතිනිර්මාණ කටයුතු කර ඇත්තේ මෙරට කීර්තිමත් ගෘහ නිර්මණ ශිල්පීයෙකු වන වප්ති මරික්‌කාර් විසිනි.
එදා ගෝල් ෆේස් හෝටලය බිහිවීමේදී භාවිත කළ බඩු භාණ්‌ඩ රැසක් අදද එහි කෞතුක වස්‌තු ලෙසින් සංරක්‍ෂිතව ඇති අතර ගෝල් ෆේස් හෝටලයේ ඇති ඉපැරණි මෝටර් රථය එම හෝටල් කෞතුකාගාරයේ ඇති සුවිශේෂී මතක සටහනකි. එය (දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ ස්‌වාමිපුරුෂයා) ෆිලිප් කුමාරයා ශ්‍රී ලංකාවේ සිටියදී භාවිත කළ මුල්ම රථයයි. එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති තවත් සුවිශේෂී කෞතුක වස්‌තුවක් වන්නේ කාලතුවක්‌කු උණ්‌ඩයකි. ඒ හා බැඳුණු අපූරු ඉතිහාස කථාවක් වේ.
මේ උණ්‌ඩය නිකුත් වූයේ 1845 බ්‍රිතාන්‍ය යුද හමුදාවේ කාලතුවක්‌කු බලකාය විසින් කොළඹ කොටුවේ දකුණු සීමාවේ කළ යුද හරඹයකදීය. අත්වැරැද්දක් හේතුවෙන් කාලතුවක්‌කුවෙන් මිදුණු රාත්තල් 30 ක් බරැති මෙම උණ්‌ඩය පතිත වූයේ නියමිත ඉලක්‌කයේ නොව (එවකට) ගෝල් ෆේස් හවුස් හි වහල මතටය. වහළ බිඳිමින් බිම පතිත වුවද වාසනාවකට මෙන් පුපුරාගොස් නැත. එදා එම සිදුවීම සිදුවූ සැනින් එවක මෙරට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයා වු ශ්‍රීමත් කොලින් කැම්බල් මහතා පැමිණ එම විශ්මය සියෑසින් දැකගත් බව සඳහන් වේ. මෙම සිදුවීම ගෝල් ෆේස් හෝටලය සෑම මාර්තුවකම සමරනු ලබන අතර කැනොන් බෝල් සිද්ධිය ලෙසින් එය හඳුන්වනු ලැබේ.
මෙවන් ඉතිහාසයක් ඇති ගෝල් ෆේස් හෝටලයේ ඓතිහාසික චරිතයක්‌ද ජිවමානව සිටියි. කොත්තරපට්‌ටු චට්‌ටු කුට්‌ටන් නමැති අනු වියෑති මොහු අදටද ගෝල් ෆේස් හෝටලයේ සාඩම්බර සේවකයෙකි. 1942 දී එහි සේවයට පැමිණි කුට්‌ටන් අද වන විට වසර 68 ක සේවා කාලයක් හිමි අයකු වන අතර වයස අවුරුදු 90 ක් දක්‌වාම සේවයේ නිරත ඔහු ලොව වයස්‌ගතම සේවකයන් අතර සිටින්නෙකු, එක් ආයතනයක වැඩිම සේවා කාලයක් හිමි සේවකයෙකු මෙන්ම ලොව වඩාත් ජනප්‍රිය හෝටල් සේවකයෙකු ලෙසින් සැලකේ. කේරළයේ උපන්a කුට්‌ටන් යොවුන් වියේදීම ෆෙරියක නැගී තලෙයිමන්නාරමට පැමිණ ඇති අතර 1938 දී කොළඹට පැමිණ ගෝල් ෆේස් හෝටලයේ වේටර් වරයෙකු ලෙස සේවයට එක්‌වීමට ප්‍රථම කොළඹ ප්‍රභූ පවුල් වල සේවකයෙකු ලෙසින් සිට ඇත.
එමෙන්ම ගෝල් ෆේස් හෝටලය සුවිශේෂී චරිත රැසකට සේවය සපයා ඇත. ඒ අතර ලොව පළමුවෙන්ම අභ්‍යාවකාශයට ගිය යූරි ගගාරින්, හිටපු බ්‍රිතාන්‍ය අගමැති එඩ්වඩ් හීත්, ඩෙන් මාර්කයේ ඇලෙක්‌සැන්ඩර් කුමරු, ෆිලිප් කුමරු, අදෘදීන් අගාකාර් කුමරු, ජපානයේ හිරෝහිතෝ කුමරු, ඉන්දිරා ගාන්ධි, ජවහල්ලාල් නේරු ආදීන් වේ. ශ්‍රීමත් ආතර් සී ක්‌ලාක් මහතා සිය 3001 නැමැති විද්‍යා ප්‍රභන්ධය රචනා කරන ලද්දේද ගෝල් ෆේස් හෝටලයේ සිටය.
මෙරට කරදිය පිරවූ පිහිනුම් තටාකයක් ඇති එකම ස්‌ථානයද මෙම හෝටලය වන අතර එදා එයට කරදිය පිරවීමට ගත් නල පද්ධතිය අදටද එලෙසින්ම ක්‍රියාත්මය.
ස්‌තුතිය - ගෝල් ෆේස් හෝටලයේ මහජන සම්බන්ධතා කළමනාකාරිණී ඔනිතා ගුරුගල්ල මහත්මියට
ගල්කිස්‌ස
කැලණි ගං මෝදරත්, බොල්ගොඩ ගං මෝයත් මගින් සීමා මායිම් සලකුණු වන කොළඹ දිස්‌ත්‍රික්‌කයට අයත් වෙරළ තීරයේ අති සුන්දරතම වෙරළ කලාපය ඇත්තේ ගල්කිස්‌සට අයත්වය. ගාලුමුවදොර පිටියේ වෙරළ තීරය සංචාරකයන්ට ආකර්ෂණීය සහ වින්දනීය තැනක් වුවද, මුහුදු දියේ කිමිද, මේ වෙරළත පෙනපිඬු නඟා බිඳී යන රැළි දහරා අතර සාගරයේ පහස ලබන්නට ගල්කිස්‌ස තරම් සොඳුරු තැනක් තවත් කොළඹ වෙරළ තීරයේ නැත. කොළොම්තොටින් පසු මුහුදු බොක්‌කක් අපට මුණගැසෙන්නේ ගල්කිස්‌සේදීය. එබැවින් කිලෝමීටර් 10-12 ක් දුරින් උතුරු දිශාවෙන් කොළොම් තොට මැනවින් මෙතැනට දර්ශනය වේ. මෙම ස්‌ථානය එකළ ලිහිණියා ගල, ලිහිණියා කන්ද ලෙස හඳුන්වා ඇත. ගල්කිස්‌ස යනු ගල්පරය නොහොත් ගල් වැටිය සඳහා යෙදූ නමකි. 1815 දී බ්‍රිතාන්‍යයන් අප රට යටත්කර ගැනීමෙන් පසුව ක්‍රමයෙන් ඔවුන්ගේ ආධිපත්‍යය රට තුළ ගොඩනැඟීමේදී මෙම විශේෂී භූගෝලීය පිහිටීම සහිත ගල්කිස්‌ස වෙරළ තීරයද වැදගත් ස්‌ථානයක් කොට සැලකීය. අද ගල්කිස්‌ස මහ හෝටලය ලෙස හැඳින්වෙන ස්‌ථානය එකල සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන තන්ත්‍රයේ වැදගත් කලාපයක් ලෙස භාවිතයට ගත් බව සඳහන් වේ. එකල මෙම ගොඩනැඟිල්ල (1806 සිට 1811 දක්‌වා මෙය ශ්‍රීමත් තෝමස් මේට්‌ලන්ඩ්) ආණ්‌ඩුකාර නිල නිවස වැනි ඉහළම පාලකයන්ගේ නවාතැන් පළ හා සැලසුම් මධ්‍යස්‌ථානයක් ලෙස භාවිතයට ගත් බව පැරණි වාර්තා පෙන්වා දේ. එසේම, මෙහි පැවැති පොල් සහිත පුළුල් වපසරියක පැතිරුණු ඉඩම් ද ඉංග්‍රීසි ආණ්‌ඩුවේ පාලනයට සෘජුවම යටත්ව තිබූ ආරක්‌ෂිත කලාපයක් වී තිබිණි.
සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පැන නැඟුණු සිංහලයන්ගේ 1815 උඩරට කැරැල්ල මර්දනය කළ ඉංග්‍රීසීන් ජාතියේ ධජය බිමහෙලා මහනුවර දළදා මන්දිර භූමියේ බ්‍රිතාන්‍ය ධජය එසැවීය. පසුව යළිත් ඉංග්‍රීසීන්ට එරෙහිව 1818 දී වෙල්ලස්‌ස කැරැල්ල පැන නැගිණි.
කැප්පෙටිපොල අධිකාරම්ගේ නායකත්වයෙන් කොහුකුඹුරේ රටේ රාළ, කිවුලේ ගෙදර මොහොට්‌ටාල, බූටෑවේ රටේ රාළ, කතරගම මහා බෙත්මේ වැන්නවුන්ගේ පෙරමග යටතේ පැන නැඟුණු වෙල්ලස්‌සේ කැරැල්ල සිංහලයන් ජයගතහොත් රටේ නායකයා බවට පත්කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිරූපකයා ලෙස පත්කරගනු ලැබ සිටියේ "විල්බාවේ" ය.
එහෙත්, 1818 කැරැල්ල කෲර ලෙස මර්දනය කළ සුද්දන්ගේ ආණ්‌ඩුව කැරළි නායකයන් පමණක් නොව, විල්බාවේ ද අත්අඩංගුවට ගත්තේය. සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාගේ පාලනය යටතේ සිදු වූ මෙම කැරළි මර්දනයේ දී අත්අඩංගුවට ගත් විල්බාවේ රැගෙන ආවේ අද අපි මෙසේ කතාකරන ගල්කිස්‌ස ආරක්‌ෂිත කලාපයටය. වත්මන් ගල්කිස්‌ස මහ හෝටලයට නුදුරු, ඊටම යාවුණු රහස් තැනක විල්බාවේ සිර අඩස්‌සියට පත්කළේය. ගල්කිස්‌ස සොහොන් කනත්තට නුදුරු වත්මන් ගල්කිස්‌ස ශ්‍රී ධර්මපාලාරාමය මෙසේ එදා විල්බාවේ සිරගතකර තැබූ ස්‌ථානයයි. එකල ඔහු වෙනුවෙන් ස්‌නානයට හා පානය සඳහා වෙන්වුණු ළිඳ අදටත් මෙම විහාරස්‌ථානයේ චෛත්‍ය මළුවේ සංරíණය කර තබා ඇත.
එසේම, මෙහි ආනන්ද බෝධිය රෝපිත බෝ මළුවේ පසෙක ඉදි වූ මෙරට සුවිශේaෂී හා බොහෝ දෙනකු නොදන්න කුඩා දෙවොලක් ද පිහිටා තිබේ. එහි "විල්බා දෙවිඳුන්ගේ දොවොල" ලෙස සඳහනක් ඇත. ඉංග්‍රීසීන්ගේ කෲර වද හිංසාවනට ලක් වූ සිංහලයන්ගේ අවසන් බලාපොරොත්තුව වූ "විල්බාවේ" අවසන් හුස්‌ම හෙළු පසු මෙසේ දෙවිවරයකු ලෙස එකල ජනතාව පුදනු ලැබූ අතර, අදත් මෙම විහාරයේ බෝධි වන්දනයේ දී විල්බාවේ සිහිකර ආශිර්වාද පතනු ලැබේ. විල්බාවේ සිරකර සිටියදී ඉන් පලායාමේ අදහසින් ඔහු විසින් දෙහිවල විහාරස්‌ථානයකට යවන ලද තල්පත් පණිවිඩය පරිදි ලැබුණා යෑයි සැක කෙරෙන එම විහාරස්‌ථානයේ එකතු වූ පිං කැටවල මුදල් කෙණ්‌ඩි දෙකක වළලා තිබියදී මෙහි දී සොයාගත් බවද කියනු ලැබේ.
කෙසේ හෝ අදටත් ගල්කිස්‌ස මුහුදු තීරය සංචාරකයන් කැඳවන, සතුට, විනෝදය උතුරා යන දර්ශනීය මුහුදු තීරයකි. විදෙස් සංචාරකයන් උමතු කරන රූ - සපුවකින් යුත් ඕ, අපට නිරතුරුව ලැවීනියාගේ පෙම් අන්දරය සිහිපත් කරනු දැනේ.
එකල සිංහලයේ අවසන් බලාපොරොත්තුව වූ විල්බාවේගේ නාමය ස්‌මර්ණය කෙරෙන කවියක් සිහි කර අද අප ගල්කිස්‌සෙන් තවත් කතාවක් ලබන සතියට තබා "රට වටා යන ගවේෂණ චාරිකාවේ" මීළඟ කඳවුරු බිම කොළඹ-කළුතර වෙන්කෙරෙන බොල්ගොඩ අසිරිමත් පාරිසරික නිකේතනයේ දී හමුවෙන තුරා අද අපි ඔබගෙන් සමුගෙන යන්නෙමු.
මෙතෙක් ලියන ලද ලිපි සඳහා ආශ්‍රිත තොරතුරු හා ඡායාරූප කොළොම්තොට පුරාණය - ඩග්ලස් බී. රණසිංහ, වරාය සමුද්‍රීය කෞතුකාගාරය, දේ. සු. ද සොයිසා සහ ඇතැම් ඉංගී්‍රසි ලේඛකයන්ගේ තොරතුරු.
විල්බා දෙව්බිම රෝපිත
ඉටු දෙවිවරු නිති සුරකින දෙවියන්ගේ සැප වඩවන වඳිමු අනඳ නාමය ලද | බෝධිය
බෝධිය බෝධිය බෝධිය |
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
0 comments:
Post a Comment