Pages

Monday, August 15, 2011

16 : ගැමි සුවඳ මුසු වුණු කොග්ගල

අද අපට නවාතැන් සලසන කොග්ගල ගැන කතාකරන විට සුවිශේෂී පුද්ගලයකු හා මනරම් ස්‌ථානයක්‌ නිතැතින්ම සිහියට නැඟෙනවා. ඒ, හෙලයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතාත්, මඩොල් දූවත්. වැහිබර කාලගුණය මැද අපි කොග්ගලට ළඟා වුණේ පහුගිය ඉරිදා කඳවුරු බැන්ද ගාල්ලේ රූමස්‌සල කඳු මුදුනෙන් නික්‌මෙලා. ඒ එන ගමනේදීත් අපගේ මතකයේ රැඳුණු ස්‌ථාන හා පුද්ගල චරිත කිහිපයක්‌ම තියෙනවා. මේ ඒ ගැන තොරතුරු ටිකක්‌.

ගාලු ප්‍රදීපාගාරය (ලංකාවේ මුල්ම ප්‍රදීපාගාරය)
රූමස්‌සලට දිස්‌වුණු ගාලු ප්‍රදීපාගාරය බලන්නත් මේ ගමනේදී අප අමතක කළේ නෑ. ප්‍රදීපාගාරය පිහිටල තියෙන්නෙ පැරණි ලන්දේසි කොටුව ඇතුළෙ. මේ ප්‍රදීපාගාරය තමයි ලංකාවෙ මුල්ම ප්‍රදීපාගාරය හැටියට සැලකෙන්නෙ.

ගාලු වරාය තමයි කොළඹ වරායටත් පෙර දෙස්‌ විදෙස්‌ සබඳතා පැවැත්වූ ලංකාවේ කේන්ද්‍රස්‌ථානය ඉතින් නොයෙක්‌ රටවල නොයෙක්‌ ජාතීන් ලංකාවට ගොඩබැස්‌සේ මෙතනින් තමයි. ඉතින් රුවල් නැව් ඇතුළු යාත්‍රාවලට මඟ කියා දුන්නෙ කාලෙන් කාලයට ඉදිවුණු විවිධ මග පෙන්වීමේ උපකරණ. එලියක්‌ භාවිත කරමින් ප්‍රදීපාගාර හැදුවා කියන්නෙ ඉංග්‍රීසින්. ලංකාවෙ ප්‍රදීපාගාර නිර්මාණය කළෙත් ඉංග්‍රීසින්. ඒ අනුව ලංකාවෙ ඉදිවුණු ප්‍රථම ප්‍රදීපාගාරය වන්නේ ගාලු ප්‍රදීපාගාරයයි. 1848 දී ඉදිවුණු මෙය භූමිතෙල් ලාම්පුවකින්a එළිය විහිදුවා තිබෙනවා. නමුත් ඒ ලාම්පුව පත්තු කරන්න ගිහිං විටෙක මේ ප්‍රදීපාගාරය පිච්චුනාලු. ඊට පස්‌සෙ 1939 දී ආයිමත් ගාලු කොටුවේ ප්‍රදීපාගාරය නැවත ගොඩනඟා තියෙනවා. දැන් මේ අපට දිස්‌වෙන්නෙ ඒ නව ප්‍රදීපාගාරය තමයි. ගාල්ලට තවත් වැදගත් මඟ සලකුණක්‌ වුණු මේ ප්‍රදීපාගාරය උසින් අඩි 93 ක්‌.

කපිතාන් හේනරි පේද්‍රිස්‌
නිදහස්‌ සටන වෙනුවෙන් පළමුව දිවිදුන් ගාල්ලේ වීර කපිතාන් හෙන්රි පේද්‍රිස්‌ වීරයා ගැනද වචනයක්‌ ගාල්ලට පැමිණි මොහොතේ කතා කළ යුතුමයි.

1888 දී උපන් හෙන්රි පේද්‍රිස්‌ තරුණයා ගාල්ල දංගෙදර ධනවත් බොදු ව්‍යාපාරිකයකු හා නීතිඥයකු වූ ඩී. ඩී. පේද්‍රිස්‌ මහතාගේ පුත්‍රයායි. දෙමව්පියන්ගේ ධන බලය ඉවත දමා එවක ඉංගී්‍රසි පාලකයන්ගේ නගරාරක්‍ෂක හමුදාවට ඇතුළත්ව ස්‌වෙච්ඡා සේවකයකු ලෙස සේවය කළේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා ගාල්ල ශාන්ත තෝමස්‌ විදුහල්වලින් ලැබූ අධ්‍යාපනයයෙන් අනතුරුව කෙටි කලකින් කපිතාන් තනතුරකට පත් ඔහු එකල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව රට පුරා විරෝධතා පැන නැඟුණු සමයේදී සිංහල, මුස්‌ලිම් කෝලහලයක්‌ මැඬලීමට යැමේදී ජාතිවාදියකු වූ බව පවසා ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් 1915 ජුලි 7 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදී වෙඩි තබා මරා දමනු ලැබුවා. එහෙත් මරණයට බිය නොවූ හේ කොන්දේසි කිහිපයක්‌ ඉදිරිපත්කර ඉංගී්‍රසි සෙබළුන් අතින් නොව පංජාබ් සෙබළුන් අතින් වෙඩි කෑවේ "මගේ දැස්‌ බඳින්නේ කුමටද, නුඹ මට වෙඩි තබන හැටි බලන්න මම කැමතියි" යන එඩිතර වදනින් දිවි පූජා කළේ අපට තවත් වීර මද්දුම බණ්‌ඩාරවරයෙකු සිහිපත් කරමින්. කොළඹ හැව්ලොක්‌ ටවුමේ ඉසිපතානාරාම විහාරය ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ දෙමව්පියන් විසින් හදා පූජා කළේ තම පුතාගේ වියෝගය දරාගත නොහැකිවයි. ඒ අසලම හෙන්රි පේද්‍රිස්‌ ක්‍රීඩාංගණයත් ඔහුට ගරු කිරීමක්‌ ලෙස ඉදි වූයේ ඔවුන්ගේ ඉඩමක.

ගාල්ල සමුද්‍රීය කෞතුකාගාරය
ප්‍රදීපා ගාරයෙන් නික්‌මෙලා ඊළඟට අපි ගියේ තවත් වැදගත් තැනක්‌ බලන්න. ඒ තමයි ලංකාවේ එකම සමුද්‍රීය කෞතුකා ගාරය. පිහිටල තියෙන්නෙ ගාලු කොටුපවුර සමඟ ඉදිරිපස පවුරට එකතුකර සාදා තිබෙන පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල තුළ. දෙමහල් ගොඩනැඟිල්ලක්‌ වන මෙය, කොටුවේ දිගම හා විශාලතම ගොඩනැඟිල්ල ද වෙනවා. සමුද්‍රීය කෞතුකාගාරය පවත්වාගෙන යන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්. ගාමිණී දොඩම්වල හා කෞතුකාගාරය භාර නිලධාරි ගාමිණී සමන් මහත්වරුන්ගේ අවසරය පරිදි අපි කෞතුකාගාරය නැරඹුවේ පාඨක ඔබටත්a එහි ගොස්‌ මෙහි අපූර්වත්වය නරඹන්නට කරන ඉල්ලීමකට උදව්වක්‌ හැටියට.

මුහුදු ආශ්‍රිත පුරාවස්‌තු ගැන වගේම මුහුදු බත් වූ නැව් ඇතුළු මුහුද යට පුරාවස්‌තූන් ගැනත් මේ කෞතුකාගාරයේ විශ්මිත නිදර්ශක හා තොරතුරු තියෙනවා. ගාලු වරායේ ඉතිහාසගත තොරතුරු අප ලබාගත්තෙත් මෙහිදීම තමයි. වරාය තුළ ගිලී ගිය නැව් පවතින ස්‌ථාන 26 ක්‌ පමණ හඳුනාගෙන දැන් විශේෂ කණ්‌ඩායමක්‌ මගින් මේ තොරතුරු ගවේෂණය කරන්නෙ වටිනා පුරාවස්‌තු රැසක්‌ ගොඩගනිමින්.

1911 ගාල්ලේදී හමුවුණු චීන ජාතික ෂෙන්ග්-හ නමැත්තාගේ චීන, පර්සියානු, දෙමළ ත්‍රී භාෂා සෙල්ලිපිය ගැනත් මෙහිදී කරුණු කාරණා දැනගත හැකියි.

ඓතිහාසික රට දෙල් ගස
ගාල්ල ලන්දේසි කොටුවේ දෙල්ගස ගැන අපි කතා කළා. එහෙත් ඒ ගැන කියන ප්‍රකට ඉතිහාස ගවේෂක දේ. සූ. ද සොයිසා අපට කීවේ දෙල්ගස්‌ ගෙනාවෙ පෘතුගීසි කාලයේදී කියලයි. ඒත් පෘතුගීසීන් නොවෙයිලු. වැලිතර ජීවත් වූ පිනොස්‌ ආරච්චිල පරංගීන්ගේ නැව්වලට ආරක්‍ෂාව සපයපු, හලාවත සිට හම්බන්තොට දක්‌වා ආරච්චිල තනතුරක්‌ දරපු "ශක්‌තිවන්තයෙක්‌" වුණාලු.
දිනක්‌ ඔහුගේ යාත්‍රාව කුණාටුවකට හසුව "දේසය" නම් රටට ගසාගෙන ගිය පසු ඔවුන්ට කන්නට ලැබී තිබුණේ රට දෙල්. පිනොස්‌ ආරච්චිල යළි එන ගමනේදී රට දෙල් පැළ ගෙනැවිත් වැලිතරත්, මාතර හා හලාවතත් හිටෙව්වාලු. ලංකාවට රට දෙල් ආවේ එහෙමලු.

බොනවිස්‌ටා කොරල් පරය

රූමස්‌සල හිටියත් අපි වැඩිය බොනවිස්‌ටා කොරල් පරය ගැන කතා කළේ නැහැ. රූමස්‌සල කන්දේ එක්‌ කොටසක්‌ බොනවිස්‌ටාව කියල කියනවා. ඒ වගේම මේ කන්දේ මුහුදු තීරය ජන්ගල් බීච් කියලත් කියනවා. ඊට යාබද නොගැඹුරු - නිල් - කොළවන් නොගැඹුරු මුහුදු තීරය තමයි බොනවිස්‌ටාව කියල කියන්නේ. මේක කොරල් පරයක්‌. 1796 දී විලියම් කාර්මයිකල් ගිබ්සන් නමැත්තා "සොඳුර දසුන" යන අර්ථයෙන් මෙයට බොනවිස්‌ටා යන නම තිබ්බාලු. එය පෘතුගීසි වදනක්‌. ගාලු වරායේ එක්‌ පැත්තක්‌ වන බොනවිස්‌ටාව අප රටේ ඉහළම ජෛවවිවිධත්වය සහිත කොරල් පරය ලෙස සලකනවා. මෙයින් වාර්තා වී ඇති මසුන් සංඛ්‍යාව වන 491 ක්‌ වෙනත් ලංකාවේ පරයකින් වාර්තා වී නැහැ.

වඳවී යැමේ මත්ස්‍ය විශේෂ 72 න් 36 ක්‌ මෙහි දිවි ගෙවනවා. එසේම බොනවිස්‌ටාවට ආවේණික විශේෂ 64 ක්‌ සිටින බව ද දැක්‌වෙනවා. හික්‌කඩුවේ කොරල් අතරින් 39% ක්‌ සජීවී වෙද්දී බොනවිස්‌ටාවේ 71% ක්‌ සජීවී ලෙස සලකනවා.

පෙර කී කාර්මයිකල්a ගිබ්සන්ගේ බිරිඳ මාර්ගයිට්‌ මහත්මිය රූමස්‌සලහි පුණ්‍ය පාඨශාලාවක්‌ ඉදිකළා. එය පසුව බොනවිස්‌ටා පාසල බවට පත්වුණා. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වැනි ප්‍රාඥයෝ මූලික අධ්‍යාපනය ලැබුවෙත් මේ විදුහලෙන්.

බොනවිස්‌ටාවට ඉහළ රූමස්‌සල කුළුණු කන්ද ගැනත් වචනයක්‌ කිව යුතුයි. එහි පවතින ප්‍රදීපාගාරයක්‌ වැනි කුළුණක්‌ තියෙනවා. 1875 දී ඉදිකර ඇති මෙම කුළුණ එකල ඉංග්‍රීසීන් විසින් සතුරු නැව් මුලාකිරීම සඳහා හැදූ ව්‍යාජ ප්‍රදීපාගාරයක්‌ කියලයි කියන්නෙ.


උණවටුන රැ වැල්ලේ දේවාලය

රූමස්‌සලත්, උණවටුනත් මෙරට සුන්දරම වෙරළ තීරය ලෙසයි සැලකෙන්නේ. රූමස්‌සල කන්දේ එක්‌ කෙළවරක්‌ උණවටුනයි. කඳු ගැට දෙකකට මැදිව පිහිටි උණවටුන වෙරළ තීරය සංචාරක පාරාදීසයක්‌ ලෙසයි සැලකෙන්නේ. දකුණු වෙරළ තීරයේදී අපට හමුවන තෙවැනි සංචාරක පුරවරය උණවටුනයි. දේශීය විදේශීය සංචාරක පිරිස්‌ අනිවාර්යයෙන් උණවටුනේ අසිරියෙන් මත්වෙනවා.

වැල්ලේ දේවාලය

රූමස්‌සල කඳු ගැටයේ එක්‌ අන්තයක්‌ වැල්ලේ දේවාලයෙන් කෙළවර වෙනවා. උණවටුන මුහුදු තීරයේ කෙළවරත් මේ වැල්ලේ දේවාලයම තමයි. මේ පුදබිම වෙන්වෙලා තියෙන්නේ සීනිගමදි අපි කතා කළ "සීනිගම දෙවොල් දෙවියන්ට" මයි. අති සුන්දරතම ස්‌ථානයක පිහිටි මේ දේවාල භූමියේ කඳු ගැටය මුදුනේ තනා තිබෙන කුඩා චෛත්‍යය රූමස්‌සලට, ගාලු වරායට මෙන්ම, ගාලු කොටුවටත් හොඳින් දිස්‌වෙනවා. ඒ වගේම තවත් දුර්ලභ සුවිශේෂී ශාක කිහිපයකුත් මේ වැල්ලේ දේවාලයේ තියෙනවා.

කොග්ගල / මාටින් වික්‍රමසිංහ නිවස

කොග්ගල මහා ප්‍රාඥයාගේ තොරතුරු දැනගන්න කලියෙන් අපි පළමුව ගියේ මඩොල් දූවට. බෝට්‌ටුකරුවකු සමඟ මඩොල්දූව වටා ගිහිං දූවට ගොඩබැස්‌ස අපි වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" සිහියට නගමින් දූපතේ ගස්‌ කොළං අතර ඇවිද ගියේ. ජින්නා සමඟ "වික්‍රමසිංහයන්" මෙහි ගතකළ ජීවිතය අපට ද කොයි තරම් ආශ්වාදයක්‌ වීද යන්න සපථ කරමින් මඩොල්දූව අදටත් හොඳින් සංරක්‍ෂණය වෙනවා. පසෙකින් "ගම්පෙරළිය" චිත්‍රපටයට පසුබිම් වූ වළව්වයි.

මාටින් වික්‍රමසිංහයන් ගැන කතා කරන්නට අප තවමත් ළාබාලයින් වූවා වැඩියි. ඒ නිසා ඔහු ගැන නොව ඔහු දිවි ගෙවූ ගම් පෙදෙස ගැන කතා කරමු. වික්‍රමසිංහයන් උපන්නේ 1890 මැයි මස කොග්ගලදී. පාසල් ගියේ ගාල්ලේ බොනවිස්‌ටා විදුහලට. විවිධ රැකියාවන්හි නිරත වීමෙන් පසු දිනමිණ හා ලක්‌මිණ කර්තෘ මඬුල්ලේ සේවය කළ ඔහු 1976 දී මියයන තුරා ග්‍රන්ථ 86 ක්‌ රචනා කළා. මඩොල්දූව මෙන්ම, යුගාන්තය, ගම්පෙරළිය, අපේ ගම, කලියුගය, කරුවල ගෙදර වැනි ප්‍රකට ග්‍රන්ථ ඒ අතර වෙනවා.

" මාටින් වික්‍රමසිංහගේ මඩොල් දූවෙන්" පසු අපි ගියේ වික්‍රමසිංහයන් දිවි ගෙවූ කොග්ගල නිවස දැක බලා ගන්නට. එම කෞතු කාගාරයට යාබදව පිහිටි ඔහුගේ පුංචි නිවස තුළ අද ඔහුගේ දිවිගමනේ වැදගත් මතක රාශියක්‌ දැක බලා ගත හැකියි. සැබැවින්ම රට වටා යන ගවේෂණ චාරිකාවේදී මේ නිවසට ගොඩවැදීම අපගේ චාරිකාව පරිපූර්ණ කිරීමට එක්‌ හේතුවක්‌ වුණා කියලයි අපට හිතෙන්නෙ. ඒ සැබෑ ගැමි ගෙදර මෙහිදී මෙන්ම කොග්ගලදී නිරූපනය වන නිසා.


අදහස්‌ ratawata.divaina@gmail.com

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න


ස්‌තුතිය - ලලිත් චාමින්ද, - දේ. සු. ද සොයිසා

0 comments:

Post a Comment