ලාහුගල මඟුල් මහා විහාරය
පසුගිය සතියෙ අපි මුහුදු මහා විහාරය ගැන කතා කළා. විහාර මහා දේවිය සහිත යාත්‍රාව ගොඩබිමට යළිත් පැමිණියේ මේ ස්‌ථානයෙන් බව අපි කිව්ව. එහෙම ආපු විහාරමහා දේවිය පිළිගත් එකල රුහුණේ රජකළ කාවන්තිස්‌ස රජතුමා ඇය සරණපාවාගත් බව අපි අහල තියෙනවා. ඒ සරණ මංගල්ලය සිදුවූ ස්‌ථානය හැටියට සලකනු ලබන්නේ ලාහුගල මඟුල්මහා විහාරයයි. ඒත් එම විහාරය මුහුදු තීරයෙන් තරමක් ඈත, ලාහුගල වනෝද්‍යානය ආසන්නයේ පිහිටල තියෙන නිසා අපි මෙවර මඟුල් මහා විහාරය ගැන වැඩි තොරතුරු හෙව්වේ නෑ. ඒත් මතකද? අපි යාල වනෝද්‍යානය ගැන කතාකරන කොටත් මඟුල් මහා විහාරයක් ගැන කතා කළා. ඒ ස්‌ථානයත් කාවන්තිස්‌ස රජුගේ සහ විහාරමහාදේවියගේ සරණ මංගල්ලය සිදුවූ තැන ලෙස ජනප්‍රවාදයේ එනවා. මෙතනින් කොයි කතාව හරිද කියලනම් අපි හරියට දන්නේ නෑ.
තිරුක්‌කෝවිල් / අක්‌කරපත්තුව
මේ තමයි මේ රටේ සහල් නිෂ්පාදනයට ඉතාමත් ප්‍රකට ප්‍රදේශ. මේ විතරක් නෙමේ අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් පොතුවිල්, පානම, ලාහුගල, දමන, සමන්තුරේ, කල්මුණේ වැනි ප්‍රදේශත් සහල් නිෂ්පාදනයේ කේන්ද්‍රස්‌ථාන හැටියටයි සලකන්නෙ. ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්‌ත්‍රික්‌ක 22 අතරින් වැඩිම සහල් නිෂ්පාදනයක් සිදුකරන්නේ මේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ. අම්පාරත් මඩකලපුවත් එකතු වූ විට මේ රටේ ජාතික සහල් නිෂ්පාදනයෙන් 22% ක් සපයනවා. බැලු තෙක් මානයේ දකින්න ලැබෙන මේ ප්‍රදේශයේ කෙත්වතු දැකීමත් වාසනාවක්. ඉස්‌සර මිනිස් ශ්‍රමයෙන්, හරක් මගින් සිදුකළ ගොවිතැන් කටයුතු දැන් ගොඩාත් නවීකරණය වෙලා. මී ගවයන් එළ ගවයන් නැගෙනහිර පළාතේ බහුලව හිටියත් දැන් තෙර නොපෙනෙන කුඹුරු යායවල ට්‍රැක්‌ටර් හඬින් ගිගුම් දෙනවා. අස්‌වනු නෙළන්න භාවිත කරන "සුනාමි" "භූතයො" කියල හඳුන්වන යන්ත්‍රසූත්‍ර දැන් ප්‍රදේශයේ ගොවිජනතාවට මහත් සේවාවක් සපයනවා. මේ සියලු දර්ශන දැකගෙන තමයි අපි කෙත්වතු මැදින් තවත් උතුරට ඇදුණේ.
මේ ප්‍රදේශයේ කෙත්වතු දකින විට අපේ ඉතිහාසය ගැනත් ගොවිතැන නඟාසිටුවන්නට පෙර රජ දරුවන් වගේම නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන් දරපු වෑයම ගැනත් අපට නිතැතින්ම සිහිපත් වෙනවා.
දිගාමඬුල්ල ප්‍රදේශයේ පළමු ජනාවාස ඇති කළේ ආර්ය වංශික කුමාරවරයෙක් වන දීඝායු කියලයි කියන්නෙ. මේ දීඝ ජනපදය නොහොත් දිගාමඬුල්ල ගැන ඉන්පසු අපිට අහන්න ලැබෙන්නෙ ක්‍රි. පූ. දෙවැනි හා පළමු සියවස්‌වලදී. ඒ කාවන්තිස්‌ස හා දුටුගැමුණු රාජ්‍ය සමයන්වලදී. එකල අනුරාධපුර රාජධානිය එළාර රජු ප්‍රමුඛ දමිළයන්ගේ අණසකට යටත්ව පැවැතියා. රට එක්‌සේසත් කරගැනීමේ කාර්යයට යුද ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමාට ශක්‌තිය ලබාදුන් පියරජ කාවන්තිස්‌සයන් සිදු කළේ යුද්ධයට කලින් රට සහලින් ස්‌වයං පෝෂිත කළ යුතු වු නිසා දිගාමඬුල්ලේ කෙත්වතු අස්‌වැද්දීමට කනිටු පුත් සද්ධාතිස්‌සයන් යොමු කිරීමයි. දුටුගැමුණු රජුගේ යුද ජයග්‍රහණයට සොයුරු සද්ධාතිස්‌සයන් තමයි මේ ප්‍රදේශය එකම ගොවිබිමක් බවට පත්කළා කියන්නේ.
ඉන්පසු ඩී. එස්. සේනානායක මහතා 50 දශකයේදී නිදහස් ශ්‍රී ලංකාවේ මහා ජලාශය නිර්මාණය කරමින් ගල්ඔය හරස්‌කර ඉඟිනියාගල සේනානායක සමුද්‍රය තනනවා. මේ සමුද්‍රයෙන් තමයි අද අම්පාර දිස්‌ත්‍රික්‌කයේ අපි දකින බොහෝ කෙත්වතු සාරවන්නේ.
දීඝවාපිය
දිගාමඩුල්ල නොහොත් දීඝ ජනපදය ගැන කතා කළ නිසාම දීඝවාපිය ගැනත් කතා කළ යුතුමයි. වෙරළ තීරයේ සිට ගුවන් සැතපුම් කිහිපයක් දුරින් තමයි දීඝවාපිය පුදබිම අපට මුණ ගැහෙන්නේ. අක්‌කරපත්තුව හන්දියේ සිට මේ දක්‌වා තියෙන්නෙත් කෙටි දුරක්. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු මේ දීඝවාපීය බුදුන් වහන්සේගේ පාදස්‌පර්ශය ලැබූ උතුම් පිං බිමක් බවත් අපි අමතක නොකළ යුතුයි. ඒ කියන්නෙ සොළොස් මස්‌ථානයන්ගෙන් එකක්.
පෙරිය කලපුව
තිරුක්‌කෝවිල් නගරයත් අක්‌කරපත්තු නගරයත් අතර තමයි මේ පෙරිය කලපුව හමුවන්නෙ. නැගෙනහිර වෙරළ තීරයේදී දකුණේ සිට උතුරු දෙසට යනවිට අපට හමුවන තරමක් විශාල කළපුවක් තමයි මේ පෙරිය කලපුව කියලා කියන්නේ. මේ ප්‍රදේශයේ මාර්ග පද්ධතිය පහුගිය සුනාමි ෙ€දවාචකයේදී දරුණු ලෙස විනාශ වුණා. ඉතින් පෙරිය කලපුව ඔස්‌සේ වැටී තිබුණු පටු වේලි මඟත් ඒ විනාශයට ලක්‌වුණා. ඒ නිසා දැන් මේ ප්‍රදේශයේ කලපුවට ඉහළින් පාළම් කිහිපයක්‌ම ඉදිවෙනවා.
ඔලුවිල් (ඕලුවිල)
අක්‌කරපත්තු නගරය පහුකරල තවත් කිලෝමීටර් 7-8 ක් විතර ගියහම තමයි ඔලුවිල් නගරය අපට මුණ ගැහන්නෙ. එක් පැත්තකින් මේ ප්‍රදේශය කෘෂිකාර්මික ප්‍රදේශයක් හැටියට අප ගමන් ගත් මාර්ගයෙන් වම්පස කෙත්වතු සාර වෙද්දී, මේ නගරයට දකුණු පසින් පිහිටන වෙරළබඩ කලාපය ජාතික ආර්ථිකය සරිකරලන වැදගත් ධීවර ගම්මාන පිහිටි ප්‍රදේශයක් බවත් අපි අමතක නොකළ යුතුයි.
ඔලුවිල් ප්‍රදේශය අතීතයේදී ප්‍රකටවෙලා තිබුණෙ වැදගත් ධීවර වරායක් ලෙසයි. මේ ප්‍රදේශයෙන් විශාල ප්‍රමාණයක් ධීවර ඔරු, බෝට්‌ටු මසුන් මැරීමට මුහුදට ඇදෙනවා. ඉතින්, එවන් යාත්‍රා ගාල් කරන්න හැදූ මේ ධීවර තොටුපළ අනාදිමත් කලක පටන් ප්‍රදේශයට මහත් සම්පතක් බවට පත් වුණා. ඒ නිසාමයි මෙහි ප්‍රදීපාගාරයකුත් ඉදිවුණේ.
කොහොම වුණත් කලින් කල බලයට පැමිණි රජයන් මගින් නැගෙනහිර ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ බලාපොරොත්තු ඇති කරමින් ඔලුවිල් ධීවර වරාය පුළුල් කර, නාවික වරායක් හදන්න සැලසුම් සකස් කළා. මේ ඔලුවිල් වරාය සිහිනය කලක පටන් ඒ ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන පොරොන්දුවක් වුණත් කටයුතු සිදුකෙරුණේ ඉතා හෙමින්. ඒත් වත්මන් රජය ඒ සිහින පොරොන්දුව යථාර්ථයක් බවට පත්කරන්න කටයුතු කරලා. දැන් ඔන්න ඔලුවිල් වරාය ඉදිවෙනවා. ප්‍රදේශයේ ගල්කඳු, පස්‌කඳු බිමට සමතලා වෙන අතරේ ඔළුවිල් වරායේ දියකඩනය දැන් මුහුද මැදට දිවෙනවා. තවත් ටික කලෙකින් මේ අලුත් වරායේ කටයුතු නිමවේවි. එතකොට නැගෙනහිර පළාතටත් ත්‍රිකුණාමලයට අමතරව තවත් වරායක් ලැබෙනවා.
ඔලුවිල් ප්‍රදීපාගාරය
සංගමන්කන්දෙන් පස්‌සෙ අපට හමුවන මීළඟ ප්‍රදීපාගාරය තමයි ඔලුවිල් ප්‍රදීපාගාරය. කොළඹ සිට දකුණු දිගින් නැගෙනහිරට එනවිට හමුවන ප්‍රධාන ප්‍රදීපාගාර අතරින් නවවැනි ප්‍රදීපාගාරය වන්නෙත් මේ ඔලුවිල් ප්‍රදීපාගාරයයි. උසින් අඩි 79 ක් වන මෙම ප්‍රදීපාගාරය 1999 දී තනා තිබෙනවා.
ඔලුවිල් ප්‍රදීපාගාර ප්‍රදේශය එකම ධීවර ගම්මානයක්. විශාල ජනගහනයකින් සමන්විත මෙම වෙරළ තීරයේ ධීවර වාඩි රැසක් දැකගත හැකියි. ඒ වගේම ප්‍රදේශයට ආවේණික ධීවර යාත්‍රා, තෙප්පම් වැනි දැත් මෙහි තිබෙනවා. විශාල මසුන්, හාල්මැස්‌සන් හා ඉස්‌සන් වැනි මසුන් වර්ග මැරීම සඳහා විශේෂයෙන් යන ධීවර කොටස් කිහිපයකුත් ඔලුවිල්වලදී අපට හමුවුණා.
ඔලුවිල් මුහුදු තීරයේ පහස විඳගත් අපි ඔලුවිල්හි ඉදිවෙන අලුත් වරායත් දැක බලාගන්න අමතක කළේ නෑ. සෙමින් සෙමින් ඉදිවන මේ වරායේ දියකඩනය ඉතා හොඳින් දැකගන්න ප්‍රදීපාගාරය අසලට යා යුතුයි. මේ සියලු දෑ දැකබලාගත් අපි අපේ නවාතැන්පළට සේන්දු වුණේ හිරුබැස ගොස් තරමක් රෑ බෝවුණු පසුවයි.
ඉතින්, අද අපි මේ සුන්දර එහෙත්, තරමක් ජනාකීර්ණ පෙදෙසේ නවාතැන් ගන්නවා.
කෙටි විරාමයක් සමඟ අලුත් අත්දැකීමක්
කොළඹින් පටන් ගත්ත අපගේ රට වටා ගවේෂණ චාරිකාව දැන් සති 30 ක් ගතකර හමාරයි. ඒ කියන්නේ මාස හතක් විතර. මේ ආපු ගමනේ අප හිතුවාටත් වඩා අත්දැකීමක් ගන්නත් වනවදුලු, ගිරිදුර්ග, ජල දුර්ග අතර සැරිසරන්නත් ඒ ගමන්වල අපූරු තොරතුරු එකතුවක් ඔබ වෙත ගෙන එන්නත් අපට හැකි වුණා. "ඇවිද්ද පය දහස් වටී" කියන හින්දා නැගෙනහිර සිට උතුරට ගමන් කරමින් සිටින අපට තවත් මෙවන් අගනා තොරතුරු ගවේෂණයක යෙදෙන්න අවස්‌ථාව තියෙනවා. ඒ සියලු අත්දැකීම් නොවලහා ඔබට කියන්නත් අපි පුල පුලා බලා ඉන්නවා. මීළඟට කෙටි විවේකයක් අරගෙන අගනුවරට යන අපි තවත් නැවුම් අත්දැකීමක් රැගෙනයි ඔබ හමුවට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඊළඟට අපි හමුවන්නෙ මඩකලපුව නගරයේදී. නැතහොත් කල්ලඩි හෝ නාවල්අඩි සුන්දර වෙරළ තීරයේදී. එතනට යන්න අපි වෙනමම ප්‍රවාහන විදිහක් ගැන කල්පනා කළා. ඒ නැවුම් අත්දැකීමත් සමඟ අපි යළිත් හමුවෙමු සතියක විරාමයකින් පසුව.
අදහස් jagathkanahara@gmail.com
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
http://www.divaina.com/2011/04/24/nimna04.html
0 comments:
Post a Comment