Pages

Sunday, August 14, 2011

6 : සයුර සිඹින අසිරිමත් වැව බොල්ගොඩ




ගල්කිස්‌ස මහ හෝටලය

ගල්කිස්‌ස, "මවුන්ට්‌ ලැවීනියා" නම් ඉංගී්‍රසි නම ලබන්නේ ද, අද ගල්කිස්‌ස ලකුණ බවට පත්වී ඇති "ගල්කිස්‌ස මහා හෝටලය" බිහිවන්නේ ද "තොම් රජු" ලෙසින් හැඳින් වූ ශ්‍රීමත් තෝමස්‌ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයාගේ ක්‍රියාකාරකම් හේතුවෙනි.
1805 දී ආණ්‌ඩුකාර ධුරය භාර ගැනීමට ශ්‍රී ලංකාවට නැව් නැඟ පැමිණි ශ්‍රීමත් තෝමස්‌ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයකු ලෙසද බ්‍රිතාන්‍ය මිලිටරියේ ලුතිනන් ජෙනරාල්වරයකු ලෙසද මෙරටදී ඔහුට ලැබුණු නවාතැන් පහසුකම් ගැන අතෘප්තිමත් විය. ඉහළ නිsල දරණ පුද්ගලයකුට මෙවැනි නවාතැන් (අ)පහසුකම් හිමිවීම අවමානයක්‌ ලෙස සිතූ ඔහු ඉංගී්‍රසි ආණ්‌ඩුවේ අංක එකේ නියෝජිතයාට තරම් වන නවාතැනක්‌ ගොඩනැඟිය යුතු යෑයි ඉටා ගත්තේය.
ඒ අනුව එවක ඉංගී්‍රසි ආණ්‌ඩුව පැවැති පෙදෙස්‌හි කරක්‌ ගසමින් තම "මාළිඟාව" තැනීමට සුදුසු ස්‌ථානයක්‌ හෙවූ "තොම් රජු" කොළඹින් වැඩි ඈතක නොවන සහ මුහුදට මායිම්වූ රමණීය කඳු ගැටයක්‌ වන ගල්කිස්‌සේ එය තැනිය යුතු යෑයි තීරණය කළේය. 1806 වනවිට මෙම ආණ්‌ඩුකාර නිවස ඉදිවූ අතර එය බලය සහ අධිකාරීත්වය විදහා දැක්‌වෙන පෙනුමකින් යුක්‌ත විය.
ගලින්, ගඩොලින්, බදාමයෙන් ඉදිවූ ඒ මහා මන්දිරය පසු කලෙක ආදරය, විරහව ආදී අතිශයින් සංවේදී මානව හැඟීම් මත ඉදිවූ සොඳුරු ප්‍රේම වෘත්තාන්තයකට තෝතැන්නක්‌ වුණි. ඒ හේතුවෙන්ම ඓතිහාසික ගොඩනැගිල්ලකින් එහා ගිය වටිනාකමක්‌ මෙම තෝමස්‌a මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාර නිවසට ලැබිණි.
ඒ පෙම් කතාවේ පෙම්වතා අනෙකකු නොව ශ්‍රීමත් තෝaමස්‌ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයාමය. සාලිය -අශෝකමාලා පෙම් පුවතට සමානකම් දක්‌වන මෙය මේට්‌ලන්ඩ් - ලොවිනා පෙම් පුවතයි.
ලොවිනා අපෝන්සුවා යනු නැටුම් ශිල්පනියකි. ඇය අර්ධ පෘතුගීසී, අර්ධ සිංහල යුවතියක්‌ වූවාය. ඇගේ පියා පෘතුගීසි ජාතිකයෙකි. මව පහත් යෑයි සම්මත කුලයක ගැහැනියක්‌ වූවාය. ලොවීනාගේ පියා සතුව නැටුම් කණ්‌ඩායමක්‌ විය. පෘතුගීසී - සිංහල "කවලම" නිසාම ඉතා සොඳුරු රූ සපුවකින් යුතු වූ ඇය මෙම නැටුම් කණ්‌ඩායමේ ප්‍රධාන නැටුම් ශිල්පිනිය වූවාය. ලොවිනාගේ නිවස පිහිටියේ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාර නිවසට නුදුරිනි. මේ නිසා ලොවිනාලාගේ නැටුම් කණ්‌ඩායමට මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයාව පිනවීම පිණිස ආණ්‌ඩුකාර නිවසේ නර්තන පෑමට කටයුතු සකස්‌ විය.
මේට්‌ලන්ඩ් - ලොවිනා පෙම් පුවතට පසුබිම සකස්‌aවනුයේ එලෙසිනි. තම ඉදිරියේ රැඟුම් පානා ලොවිනා සමග ඇසින් කතා කළ ආණ්‌ඩුකාරවරයා ඇය හා අසීමිත ආදරයකින් වෙලිනි.
එහෙත් තම නිලය සහ එහි ගරුත්වය මත ප්‍රසිද්ධියේ ලොවීනා සමග පෙම් කිරීමට මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයාට වරම් නොවීය. ප්‍රේමයට රිසි සේ ලොවීනාව ආණ්‌ඩුකාර නිවසට ගෙන්වා ගැනීමට ආණ්‌ඩුකාරවරයාට හැකියාවක්‌ නොවීය. තමා විසින් තම සුඛ විහරණය වෙනුවෙන් ඉදිකළ නිවස එක්‌ටැම් ගෙයක්‌ වෙද්දී ඔහු තම ප්‍රේමිය දැකීමට වෙනත් මගක්‌ කල්පනා කළේය. එහි ප්‍රතිඵලය වූයේ උමගකි. ආණ්‌ඩුකාරවරයාගේ උපදෙස්‌ මත නිවසේ යටිබිම් වයින් ගබඩාවේ සිට අසළ ඉඩමක පිහිටි නාන ළිඳක්‌ දක්‌වා රහස්‌ උමගක්‌ කැපිණි. ඒ ලොවිනා දිය නෑමට පැමිණි ළිඳයි.
උමගේ පිහිටෙන් මේ ප්‍රේමය රහසේ ගලාගෙන යද්දී ඒ ගැන කනින් කොනින් ආරංචි පැතිරෙන්නට විය. එය කොළඹ ඉංගී්‍රසි සමාජය දෙදරුම්කවන ආරංචියක්‌ වුණි. ඉංගී්‍රසි ආණ්‌ඩුකාරවයා පහළම පෙළෙන්තියක කෙල්ලක සමග පෙම් සබඳතාවක්‌ පවත්වාගෙන යන පුවත බ්‍රිතාන්‍යයටද සැළ විය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රීමත් තෝමස්‌ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයාට "දඬුවම් මාරුවකි". 1811 දී ඔහුව මෝල්ටාවට යෑවිණි. ඒ සමග හය වසරක ප්‍රේමය දෙපසට විය.
තම හෘදයාංගම ප්‍රේමය අතහැර යැමට සිදුවීම ගැන දැඩි ශෝකයකින් යුතුව ජීවත් වු ශ්‍රීමත් මේට්‌ලන්ඩ් 1824 දී (වයස අවුරුදු 65 දී) මියගියේද අවිවාහකයකු ලෙසිනි. ඔහු ශ්‍රී ලංකාවෙන් බැහැරවීමට ප්‍රථම තම ප්‍රේමවන්තිය වූ ලොවීනාට අත්තිඩිය ප්‍රදේශයේ විශාල ඉඩමක්‌ තෑගි කළ බවද කියෑවේ.
එහෙත් ශ්‍රීමත් මේට්‌ලන්ඩ් ශ්‍රී ලංකාවෙන් බැහැර වීමෙන් පසු ලොවිනාගේ දිවි පෙවෙත ගැන සඳහනක්‌ නැත. ඇය ගල්කිස්‌ස කඳු ගැටයෙන් මුහුදට පැන දිවි තොර කරගත් බවක්‌ද කියෑවේ. ඒ කෙසේ වෙතත් ලොවීනා නාමයෙන් ලැවීනියා යන කොටස එකතු වී ඉංගී්‍රසියේදී ගල්කිස්‌ස "මවුන්ට්‌ ලැවීනියා" විය. මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයාගේ නික්‌ම යැමෙන් පසුව පැමිණි සෙසු ආණ්‌ඩුකාරවරු ආණ්‌ඩුකාර නිවස කොළඹට ගෙන ගියේය. දෙවැනි ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ රෝහලක්‌ ලෙස භාවිත වූ මෙම මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාර නිවස 1947 දී ගල්කිස්‌ස මහ හෝටලය ලෙසින් ප්‍රතිස්‌ඨාපනය විය. එදා ආණ්‌ඩුකාර නිවස අද හෝටලයක්‌ ලෙසින් පවත්වාගෙන යැමේදී එයට තවත් ඉදිකිරීම් ඇඳී ඇති නමුත් පෙර පැවැති ආණ්‌ඩුකාර නිවස එලෙසින්ම ආරක්‍ෂා වී තිබේ.
ආණ්‌ඩුකාරවරයාගේ නිදන කාමරය අදටද අමුත්තන් වෙනුවෙන් වෙන්වේ. මේට්‌ලන්ඩ් ලොවිනා පෙම් පුවතට අනුග්‍රහ කළ උමගේ කොටසක්‌ අදත් එහි නැරඹිය හැක. මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරයාගේ පැමිණීමෙන් 200 වැනි වසර ගල්කිස්‌ස මහ හෝටලය විසින් සැමරුමේදී ශ්‍රීමත් මේට්‌ලන්ඩ්ගේ පරම්පරාවේ ඥතීහුq ද එයට සහභාගි වූහ.




ස්‌තූතිය - ගල්කිස්‌ස මහ හෝටලයේ මහජන සම්බන්ධතා කළමනාකාරිනී
මහීකා චන්ද්‍රසේන මහත්මියට


බොල්ගොඩ

රටවටා යන ගවේෂණ චාරිකාවේ අපගේ එක්‌ ප්‍රධාන කඳවුරු බිමක්‌ ලෙස තෝරාගත්තේ කොළඹින් කිලෝමීටර් 25 ක්‌ දකුණින් බොල්ගොඩ පිහිටි ගංමෝයයි. ඊට හේතු වූ කාරණා දෙකකි. එකක්‌ කැලණි ගං තොටෙන් ආරම්භ වූ අපගේ චාරිකාව කොළඹ දිස්‌ත්‍රික්‌කය පසුකර කළුතර දිස්‌ත්‍රික්‌කයට පිවිසෙන මුවදොර මේ බොල්ගොඩ ගඟයි. අනෙක කොළඹ දෙසින් දකුණු පළාතට යන විට අපට හමුවන පළමු වැදගත්ම හා අද්විතීයම තෙත්බිම් පාරිසරික පද්ධතියද මේ බොල්ගොඩ වන නිසාය. දිස්‌ත්‍රික්‌ දෙක වෙන්කරමින් බොල්ගොඩ ගංගාව පානදුර නගරයට නුදුරෙන් මහ මුහුද සිප ගනී.
බොල්ගොඩ යනු ගංගාවක්‌ම නොව, සුවිසල් ස්‌වාභාවික වැවක්‌ බඳු තෙත් බිම් සංකීර්ණයකි. කළු හා කැලණි ගංගා ෙද්‍රdaණිවලින් පෝෂණය ලබන මෙය රත්නපුර ප්‍රදේශයෙන් බස්‌නාහිර දකුණු වෙරළ තීරය දක්‌වා ඇදෙන්නේ වර්ග කිලෝමීටර් 375 ක ප්‍රමාණ භූමි ප්‍රදේශයකට නතුව, පානදුර, මොරටුව, වාද්දුව මොරොන්තුඩුව, බණ්‌ඩාරගම ආදී ප්‍රධාන ජනාකීර්ණ ප්‍රදේශ රැසකට මැදිවය. අතු-ඉති විහිද ගිය, නිසසල ජල කඳක්‌ රැගත් අක්‍රමවත් මෙම පරිසර පද්ධතිය මිරිදිය කිවුල්දිය හා කරදිය ආදී විෂම භෞතික තත්ත්වයකින් සමන්විතය. එබැවින් මේ ආශ්‍රිත ශාක ප්‍රජාවද, සත්ත්ව ප්‍රජාවද විවිධ වූත් අද්විතීය වූත් වටිනාකම් පෙන්වයි.
කාලාන්තරයක පටන් බොල්ගොඩ ගඟ නොහොත් මෙම වැව ප්‍රදේශවාසීන්ට මහත්වූ සම්පතක්‌ ලෙස පිහිට වෙයි. හුදෙක්‌ ග්‍රාමීය අවශ්‍යතාවන්ගෙන් වැඩි පමණ ඉටුකර දුන්නේද දෙන්නේද මේ මහා ජලාශයයි. ගොවිතැන, ධීවර, පානීය හා අනෙකුත් ජල අවශ්‍යතා, සත්ත්ව පාලනය, අත්කම් ඇතුළු පාරම්පරික කලා සහ සංස්‌කෘතිකාංග රැසක්‌ බොල්ගොඩට සුවිශේෂී වේ. සැබවින්aම කොළඹ නගරයේ සිට කිලෝමීටර් 25 ක්‌ පමණ දුරකින් පිහිටියත් තවමත් පානදුර බණ්‌ඩාරගම වැනි ප්‍රදේශවල ඉපැරණි ග්‍රාමීයසුන්දරත්වය ගැමිබව හා ගැමිකම රැකදෙන්නේ මෙම බොල්ගොඩ තෙත්බිමයි. රත්නපුර සිට පහළට ගලාබස්‌නා දියදහරාවල උදව්වෙන් බිහිවන මෙම බොල්ගොඩ තෙත්බිම් ප්‍රදේශය උතුරු හා දකුණු වශයෙන් පැතිරුණු ස්‌වාභාවික වැව් දෙකක්‌ නිර්මාණය කරයි. කොළඹට හා කළුතරට අයත් උතුරු වැව් ප්‍රදේශය වේරැස්‌ ගංගාවෙන් හා බොල්ගොඩ ගංගාවෙන් පෝෂණය ලබයි.
කළුතර දිසාවට පමණක්‌ අයත් දකුණු වැව් ප්‍රදේශය පනාපේ ඇළෙන් පෝෂණය ලබා තලපිටිය ඇළෙන් (ඔයෙන්) මුහුද හා සම්බන්ධ වේ. මෙම වැව් දෙකම එකිනෙක හා සම්බන්ධය.
බොල්ගොඩ යන්න අද මෙම පූර්ණ තෙත්බිමට භාවිත වන නමයි. පානදුරෙන් සයුර සිපගන්නේද එයයි. මෙහි අද්විතීය ජෛව විවිධත්වයක්‌ පවතින අතර එය වරින්වර අධ්‍යයනයට ලක්‌ව ඇත.
බොල්ගොඩ මනස්‌කාන්ත පාරිසරික පුරවරයකි. පහතරට තෙත් කලාපයට අයත් මෙහි ඉවුරු හා ලොකු කුඩා දූපත්වල ඉතා හොඳ ශාක ගණත්වයක්‌ ඇත. කඩොලාන ශාකද ඒ අතර වේ.
බොල්ගොඩ පක්‍ෂීන්ගේ ක්‍ෂේම භූමියකි. මෙහි බහුල වශයෙන් ජලජ පක්‍ෂීන් දක්‌නට ලැබේ. මුළු තෙත් බිම් ප්‍රදේශයෙන් පක්‍ෂි විශේෂ 112 ක්‌ පමණ වාර්තාවී ඇත. ඒ අතර කිතලා, කිරලා, කොරවක්‌කා, රෑ කොකා, මැටි කොකා, කරවැල් කොකා, කුඩා දියකාවා, ඉන්දියානු මහ දියකාවා, හීන් ගෙඹිතුරුවා, ගෝමර පළිහුඩුවා වැනි ජලජ පීක්‍ෂීන්ද, බමුණු පියා උකුස්‌සා, සර්ප උකුස්‌සා, මුහුදු රාජාලියා, වැනි මාංශ භක්‍ෂකයෝද, සිටින අතර මෙය සංචාරක පක්‍ෂීන්ගේද වැදගත් නවාතැන් පළකි.
සමනළ විශේෂ 97 ක්‌, සිවුපා උරග විශේෂ 15 ක්‌, සර්ප විශේෂ 32 ක්‌ (මුහුදු සර්ප විශේෂ 07 ක්‌ද සමග) උභයජීවී විශේෂ 15 ක්‌ පමණ හා ක්‍ෂීරපායි විශේෂ 31 ක්‌ වාර්තාවී ඇත. මිරිදිය හා කිවුල්දිය මත්ස්‍ය විශේෂ 48 ක්‌ද, මෝය ප්‍රදේශයේ තවත් කරදිය විශේෂ 35 ක්‌ හා හඳුන්වාදුන් විශේෂ 12 ක්‌ද සමගින් 95 ක පමණ මත්ස්‍ය විවිධත්වයක්‌ මෙහි දක්‌නට ලැබේ. ලංකාවට අවේණික විශාලතම මත්ස්‍යා වන ගංගාරා බොල්ගොඩ දී හමුවීම විශේෂත්වයකි. තවද කරදිය වාසී එහෙත් මිරිදියේ වැඩෙන මත්ස්‍ය විශේෂ 8 ක්‌ පමණ බොල්ගොඩ තම නිවහන කර ගනිති. ආක්‍රමණකාරී හා මිරිදිය ධීවර කර්මාන්තයට යොදා ගන්නා මත්ස්‍ය විශේෂ 15 ක්‌ පමණද අද බොල්ගොඩ ගංගාවේ වෙසේ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2010/11/07/nimna04.html

0 comments:

Post a Comment