බුන්දල
බ්‍රිතාන්‍ය පාලන සමයේදී සුදු ජාතිකයන්ගේ ප්‍රධානතම පරිපාලන කේන්ද්‍රයක් තමයි හම්බන්තොට. හම්බන්තොට හිටි ඇතැම් සුදු නිලධාරීන් යාල වනයට එදා ගිය කෙටිම මාර්ගය වැටිල තිබුණෙ බුන්දල ගම්මානය හරහා. මහ ලේවාය, බුන්දල පහුකරමින් කිරිඳිඔයෙන් එගොඩව කිරින්දට ගිය ඔවුන් එතැනින් යාලට ගියේ බොහෝ විට අසුන් පිට නැගී. නැතිනම් කරත්තවල නැගී. අපිත් රටවටා චාරිකාවට මේ ගමන් මාර්ගයම තෝරාගත්තා. ඒ බුන්දල හරහාත් යන්න ඕන නිසා. බුන්දල ගම්මානයට යන්න පෙර අපට බුන්දල කලපුව හමුවෙනවා. මේ කලපුව කුරුල්ලන්ගේ නවාතැනක් ලෙස ප්‍රකටයි. ඒ වගේම මෙය දැන් අයත්වන්නේ බුන්දල උද්‍යානයටයි.
බුන්දල කලපුව දෙකඩ කරමින් තමයි බුන්දල ලුණු ලේවාය නිර්මාණය කරල තියෙන්නේ. ඉස්‌සර කලපුවට තිබ්බ මෝය කට දැන් ලේවායට අයත් වෙනවා. බුන්දල කලපුවට කපාපු කෘත්‍රිම මෝය කටකින් තමයි දැන් මුහුදු වතුර එන්නෙ.
බුන්දල ලේවාය
හම්බන්තොට මහලේවාය ගැන පහුගිය සතියෙ අපි කතා කළා. ජාතික ලුණු නිෂ්පාදනයෙන් 60%-65% ක් සපයන දකුණේ ලුණු ලේවායන් තුනෙන් අපට දැන් හමුවන බුන්දලින් මෙටි්‍රක් ටොන් 15,000 ක වාර්ෂික ලුණු අස්‌වැන්නක් ලැබෙනවා.
කිරින්ද / කිරිඳිඔය
කිරින්දේ ධීවර වරායට යාබදවයි විහාරමහා දේවි විහාරස්‌ථානය පිහිටල තියෙන්නෙ. කැලණිතිස්‌ස රජ සමයේ මුහුද ගොඩගැලීමෙන් රට බේරගන්න දියඹට පාකර යෑවූ වීර කුමරිය, විහාරමහාදේවිය ගොඩබැස්‌සා යෑයි කියන තැනක් තමයි මේ කිරින්ද විහාරස්‌ථානය තියන තැන.
කිරිඳිඔය
කිලෝමීටර් 117 ක් දිග කිරිඳිඔය ශ්‍රී ලංකාවේ දිගින් 11 වැනි ස්‌ථානයට ගැනෙන ගංගාව ලෙස සැලකෙනවා. රත්නපුර - පැල්මඩුල්ලේ කුට්‌ටාපිටිය කන්දෙන් ආරම්භ වන කිරිඳිඔය ලංකාවේ දර්ශනීයම දියඇල්ලක් වන කිරිඳිඔය ඇල්ලත් නිර්මාණය කිරීමෙන් පසු ලුණුගම්වෙහෙර ජලාශය තනා බුන්දල වනෝද්‍යාන දකුණු මායිමෙන් ගලාගොස් මහ මුහුද සිපගන්නවා.
මැණික් රජ මහා විහාරය
කිරින්දෙන් මීළඟට අපි ගියේ යෝධ කණ්‌ඩිය වැව, තිස්‌ස වැව පහුකරමින් තිස්‌සමහාරාම නගරයට, තිස්‌සමහාරාමයේදී එක දිගට පිහිටා තියෙන පැරණි චෛත්‍යයන් හතරක් අපට දැකගත හැකියි. ආරම්භයේ සිට සැලකූ විට අපට පළමුව හමුවන්නෙ මැණික් රජමහා විහාරය. මේ මැණික් රජමහා විහාරය කරවූයේ මහානාග රජු විසින් බවයි විශ්වාස කරන්නේ. එහෙත් හෙන්රි පාර්කර්ගේ මතය නම් මෙය දුටුගැමුණු රජුගේ නිර්මාණයක් බවයි. ඒ එහි පවතින ගඩොල් දුටුගැමුණු යුගයට අයත් යෑයි කියන නිසා. 1882 දී රොබට් ලොන්ඩන් ආණ්qකාරවරයා විහාරය සහිත ඉඩම තංගල්ලේ ශ්‍රී ජිනරතන හිමියන්ට පූජා කිරීමෙන් පසු 1894 දී දාගැබ සංරක්‍ෂණය කර තිබෙනවා.
දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා බැඳි ගල
මැණික් රජමහා විහාරයට අයත් යාබද පොල්වත්ත තුළ "ඇතාබැඳිගල" නමින් ප්‍රකට සෙල්ලිපියක් සහිත විශාල ගල් කුළුණක් තිබෙනවා. මෙය ඇතෙක් බැඳීමට යොදාගත්තක්. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ දුටුගැමුණු මහරජතුමා එළාර රජුට එරෙහිව ඇරඹූ සටනේ තීරණාත්මකම සාධකයක් වූ "කඩොල් ඇතා" බැඳ සිටි ගල් කණුව මෙය බවයි. සැබැවින්ම අද සංරක්‍ෂණය කර ඇති මෙම කුළුණ දකින විට අපට පසක් වන්නේ පැහැදිලිවම රාජකීය ඇතකු බැඳ තැබීම සඳහා මෙය යොදාගන්නට ඇති බවයි. එවන් තේජවත් බවක් මෙන්ම ශක්‌තිමත් බවකුත් එහි ගැබ්ව තිබෙනවා.
තිස්‌සමහාරාමය
ඉතා ප්‍රකට තිස්‌සමහාරාමය මීළඟට අපිට හමුවන ස්‌ථූපයයි. මෙම විහාරස්‌ථානය ඉදිකර තිබෙන්නේ කාවන්තිස්‌ස රජතුමා. එහෙත්, හෙන්රි පාර්කර් දක්‌වා ඇත්තේ තිස්‌සමහාරාමයත් මහානාග රජුගේ නිර්මාණයක් බවයි. බුදුන්වහන්සේ ලක්‌දිව වැඩ වාසය කළ සොළොස්‌මස්‌ථාන අතරින් එකක් ද වන මෙම ස්‌ථූපය තුළ බුදුන් වහන්ස්‌ගේ යටි වම් දළදා වහන්සේ නමක් තැන්පත් කර ඇති බවයි කියන්නේ.
යඨාල ස්‌ථූපය
මැණික් රජමහා විහාරයට යාබදවයි යඨාල රජමහා විහාරය පිහිටා තිබෙන්නේ. මෙම ස්‌ථූපය දකුණුලක ප්‍රථම ස්‌ථූපය ලෙස සැලකෙන්නේ දේවානම්පියතිස්‌ස රජුගේ සොහොයුරු මහානාග යුව රජු විසින් මෙය ඉදිකර ඇති නිසා. සිරිලක රජ කිරුළ හිමිව සිටි මහානාගට එරෙහිව පැන නැඟුණු ඝාතන කුමන්ත්‍රණයක් හේතුවෙන් දකුණු ලකට පලායන මහානාග - අනුලා යුවළට පුතකු ලැබෙනුයේ මෙම යඨාල වෙහෙර තැනූ ස්‌ථානයේදී ලු. එය සිහිවීමට ස්‌ථූපය තැනූ මහානාගයන්, යඨාල යන ප්‍රදේශයේ නමත්, තම සහෝදර දේවානම්පියතිස්‌ස සිහිවනු පිණිස තිස්‌ස නාමයත් එක්‌කර තම පුතුට "යඨාලතිස්‌ස" යන නම තැබූ බවයි කියන්නෙ. ඒ විතරක් නෙමේ පුතු උපන් තැන ස්‌ථූපයක් ගොඩනැඟූ මහානාග, යඨාල වෙහෙර නමින් එය නම්කර එකල සිංහලයේ ප්‍රථම රහතන් වහන්සේ වූ මහා අරිට්‌ඨ හිමියන්ට මෙය පූජා කළ බවත් සඳහන් වෙනවා. මෙම ස්‌ථූපයේ හතරැස් කොටුවෙන් පසු තිබී ඇත්තේ (එකල) චත්‍ර තුනක් පමණයි. ඒ කියන්නෙ කොත තිබී නැහැ. ඒ මෙරට ආරම්භකම චෛත්‍යයක් වන නිසා.
සඳගිරිය
මීලඟට අපට හමුවන්නේ සඳගිරිය නොහොත් සඳගිරි රජමහා විහාරය. මෙම චෛත්‍යයත් මහානාග රජුගේ ඉදිකිරීමක් බව ඇතැමුන් කියනවා. තවත් මතයක් අනුව මෙම විහාරය කරවා ඇත්තේ කාවන්තිස්‌ස රජතුමා. අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙය ප්‍රතිසංස්‌කරණය කරමින් පවතිනවා. දකුණුලක රජ පෙළපත ආරම්භයට අයත් මෙම වෙහෙර විහාර සංකීර්ණය මාගම නොහොත් රුහුණු රාජධානියේ ප්‍රෙෘඪත්වය ගැන අපට අගනා කතාන්දරයක් කියනවා.
කතරගම දෙවොල / කිරිවෙහෙර
රටවටා චාරිකාවේදී අපට කතරගම දේවාලය ගැනත් කතරගම දෙවිඳුන් නොහොත් ස්‌කන්ධ කුමරු හා වල්ලිඅම්මා ගැනත් හොඳ කතාන්දරයක් කියන්න තියෙනවා. ඒ නිසාම තමයි මෙවර අපි කතරගම දේවාලය ගැන සිහිපත් කළේ. කතරගම දේවාලය ඉදිකිරීම ක්‍රි.පූ. 1 වැනි සියවස දක්‌වා දිවයන බවයි විශ්වාස කරන්නේ. එළාරට විරුද්ධ සටනේදී යුද්ධයට අධිපති දෙවියාගේ ආධාර පැතූ දුටුගැමුණු රජු කතරගම දේවස්‌ථානය කළ බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ.
කිරි වෙහෙර
කතරගම දෙවොලට යාබදව පිහිටා ඇති කිරිවෙහෙර කාවන්තිස්‌ස රජ දවස ඉදි වූ බව විශ්වාස කරනවා. දුටුගැමුණු - එළාර යුද්ධයෙන් පසු විවිධ රජවරුන් යටතේ කිරිවෙහෙරත්, කතරගම දෙවොලත් නැවත නැවත ප්‍රතිසංස්‌කරණය වුණාලු. කෙසේ වුවත්, ඉංග්‍රීසි පාලන සමයේදී පවා කතරගම දේවාලයට මහත් සැලකිල්ලක් තිබූ බවයි කියන්නෙ. 1818 වෙල්ලස්‌සේ කැරැල්ල ජයගත් ඉංගී්‍රසි සේනාංකවල තත්ත්වය පිරික්‌සීමට කතරගමට ගිය එවක ලංකාවේ ආණ්‌ඩුකාර රොබට් බ්‍රවුන්රින්ග්ස් කතරගම දේවාලය ඉදිරිපිටදී ඡායාරූපයකට පෙනී ඉඳ තිබෙනවා. ඒ දුලබ ඡායාරූපය අදත් කතරගම බස්‌නායක මැඳුරේදී දැකබලා ගත හැකියි.
යාල ජාතික උද්‍යානය
ශ්‍රීලංකාවේ පැරැණිතම ජාතික උද්‍යානය තමයි යාල. 1938 පෙබරවාරි මස 25 වැනිදා මෙය ප්‍රකාශයට පත් කළේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදී. කොටස් පහකින් හා නිමලව, කටගමුව, කතරගම යන අභයභූමින් සමඟ යාල වන රක්‍ෂිතයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1297 ක්. වර්ෂ 1900 දක්‌වා මෙය සුදු ජාතිකයන්ගේ දඩයම් බිමක් ලෙස පැවතුණා. ඉන්පසු 1908 දී තමයි මෙය අභයභූමියක් බවට පත්වුණේ.
යාල වනෝද්‍යානය තමයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ නැතිනම් දකුණු පළාතේ අවසන් මායිම. මේ මැදින් ප්‍රධාන ගංගා දෙකක් ගලා යනවා. ඒ තමයි මැණික් ගඟ හා කුඹුක්‌කන් ඔය. කුඹුක්‌කන් ඔයෙන් දෙපසට යාලත්, යාල නැගෙනහිර නොහොත් කුමණත් අපට හමුවෙනවා. අතිශය අද්විතීය යාල වන උයන දේශ දේශාන්තරවල පවා ප්‍රකටව ඇති වනෝද්‍යානයක්. මෙහිදී කොටියා, වළසා, අලි - ඇතුන්, කුළුහරකුන් ඇතුළු දුර්ලභ සතුන් පහසුවෙන් දැකගත හැකි බව වනලෝලීන් දන්නවා.
මේ වනෝද්‍යානයේ කලාප අංක එක කොටස තමයි දැනට සංචාරකයන්ට විවෘත කර තිබෙන කලාපය. කලාප අංක තුන හා කලාප අංක දෙකටත් දුෂ්කරතා මැද සංචාරය කළ හැකියි. ඒ ගැන තොරතුරුත් සමඟ අපි යාල වනෝද්‍යානය ගැන තවත් තතු ලබන ඉරිදාත් කතා කරනවා. ඒ විතරක් නෙමේ මතක තියාගන්න තවත් සුවිශේෂී නැවුම් අත්දැකීමක තොරතුරක් ලබන සතියේ අපි ඔබට කියනවා.
අදහස් jagathkanahara@gmail.com
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
ස්‌තුතිය - වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට, උද්‍යානපාලක යූ. ඩී. ඉන්ද්‍රජිත් මහතාට
http://www.divaina.com/2011/03/06/nimna03.html
0 comments:
Post a Comment