Pages

Monday, August 15, 2011

21 : වළවේ ගං මෝදර ගොඩවාය

කහඳමෝදර
රැකවෙන් පස්‌සෙ, ඔරුවැල්ල මුහුදු තීරය පහුකරගෙන මීළඟට අපි ගියේ කහඳමෝදරට. තංගල්ලෙන් ඇරඹෙන මුහුදු තීරය හම්බන්තොට දක්‌වා අතිරමණීයයි. ඒ වගේම පාරිසරික අතින් වැදගත්. කැස්‌බෑවන් ගේ කැදලි බිම් ලෙසත් ප්‍රකටයි. කහඳමෝදරත් ඒ වගේ තැනක්‌. ධීවර කර්මාන්තයටත් හරිම ප්‍රසිද්ධයි. රැකවත්, උස්‌සන්ගොඩ ප්‍රදේශයත් වෙන් වෙන්නෙ මේ කහඳමෝදරින්. මෙතැනින් මුහුදට වැටෙන්නෙ ඌරුබොකු ඔය. මාතර ඌරුබොක්‌ක ප්‍රදේශයෙන් පටන් ගන්නා මේ ඔය අලංකාර මෝය කටකින් මුහුද සිපගන්නවා.

උස්‌සන්ගොඩ ජාතික උද්‍යානය
උස්‌සන්ගොඩ ඔබට මතකද? රතුපස්‌ගොඩැල්ල කියල ගැමියන් හඳුන්වන්නෙත් මේ ප්‍රදේශයම තමයි. මේ ප්‍රදේශයේ එතරම් ලොකු වනගහනයක්‌ නැහැ. කටුපඳුරු, පතොක්‌ කැලෑ වගේ ශාක ප්‍රජා තමයි තියෙන්නෙ. කෙටි තෘණ සහිත විශාල තණ පිටි කිහිපයකුත් මෙහි තියෙනවා. ඒ අතර තද රත් පැහැයෙන් කාෂ්ඨක පොළොව මතුවී පෙනෙනවා. රතු පසක්‌ මෙන්ම කළු පැහැයෙන් ජීර්ණයට ලක්‌වූ පාෂාණත් කුට්‌ටි වශයෙන් එහි දක්‌නට ලැබෙනවා. බොහෝ දෙනෙක්‌ කියන්නේ අතීතයේදි මේ ප්‍රදේශයට උල්කාපාතයක්‌ කඩා වැටීම නිසාලු මේ විශේෂ පාෂාණ පිහිටීම දකින්නට ඇත්තේ. රාම-රාවණා යුද්ධයේදී හනුමන්තා ගිනි තැබූ භූමියක්‌ විදියටත් මෙය සලකනවා. කොහොම වුණත් භූ විද්‍යාඥයන් කියන්නෙ මෙය ප්‍රාග් ඓතිහාසික පාෂාණ ශ්‍රේණියකට අයත් කියලයි. ඉරණමඩු වැනි පාෂාණ ශ්‍රේණියකට අයත් මෙහි වටිනා පුරාවිද්‍යාත්මක වැදගත්කමක්‌ ඇති බව ප්‍රාග් ඉතිහාසඥයන්ගේ මතයයි. කොහොම වුණත් උස්‌සන්ගොඩ එක්‌ කොටසක්‌ අභය භූමියක්‌. එහි තවත් ප්‍රදේශයක්‌ ජාතික වනෝද්‍යානයක්‌. මේ තමයි ශ්‍රී ලංකාවේ අන්තිමවරට ප්‍රකාශයට පත් කළ නැතිනම් අලුත්ම ජාතික උද්‍යානය. 2010 මැයි මාසේ ප්‍රකාශයට පත් කළ මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 349 ක්‌.

මෙහි මුහුදු තීරයත් හරිම අලංකාරයි. උස්‌සන්ගොඩ "තැනිතලාව" කෙළවර වෙන්නෙ මුහුදට බෑවුමක්‌ සහිත සානුවකින් වගේ. ජීවිතයේ එක්‌ වරක්‌වත් මේ සුන්දර වෙරළ තීරයටත්, උස්‌සන්ගොඩ පිටියටත් යා යුතුමයි.

ලුනම - කළමැටිය
උස්‌සන්ගොඩ වගේම ලුනම - කළමැටියත් කාලෙක පටන් අභය භූමියක්‌. ලුනම කළපුවත්, කළමැටිය කළපුවත් එකතුකරල ඒ ආශ්‍රිත ප්‍රදේශය තමයි මේ නමින් අභයභූමියක්‌ කරල තියෙන්නෙ. 1984 දී ප්‍රකාශිත මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 2525 ක්‌. ඉතාම අලංකාර භූමි ප්‍රදේශයක්‌ වන මෙය අපේ රටේ ප්‍රධාන තෙත් බිම් සංකීර්ණයක්‌ද වෙනවා. මේ මුහුදු තීරයටත් කැස්‌බෑවන් බිත්තර දමන්නට එනවා. උස්‌සන්ගොඩ මායිමේ ලුනම පිහිටන අතර කළමැටිය තියෙන්නෙ ඊළඟට.

නෝනාගම
දැන් අපි ඉන්නෙ ගජමන් නෝනාට ජෝන් ඩොයිලි දිසාපතිවරයාගෙන් ලැබුණු නින්දගමේ. මේ තමයි නෝනාගම. ගජමන් නෝනා ගැන තොරතුරු අපි මීට පෙර කිව්වා. එයාගෙ දෙවැනි සැමියා මියගියාට පස්‌සෙ ළමයින් ජීවත් කරවන්න නොවිඳිනා දුකක්‌ වින්ද කියල ගජමන් නෝනම තමයි කියල තියෙන්නෙ. ඒත් ඉතින් කවියෙන්ම තමයි. මේ කවිකාරියගේ කවිය කියෙව්ව ජෝන් ඩොයිලි ගජමන් නෝනාගේ අනාගතය ගැන බැලුවෙ මේ නෝනාගමත් එයාට තෑගි කරල.

සඳමෙන් කවා ඇති කළ ළම පැටවුන්ඩ
අද දින පමණ නැන බත උන් රැක ගන්ඩ
සොඳ ගුණ ජෝන් ඩොයිලි දිසා මැතිඳුන්ඩ
වැඳගෙන දුක කියමි පිහිටක්‌ ලැබගන්ඩ

නෝනාගම හන්දියේ ගජමන් නෝනාගේ පිළිරුවක්‌ තනා තියෙවා. මේ හන්දියෙන් ඇඹිලිපිටිය දෙසට ගියහම දකුණේ තවත් වැදගත් පුරාවිද්‍යාත්මක ස්‌ථාන රැසක්‌ හමුවෙනවා. ඒ අතරින් රම්බා විහාරය වැදගත් ස්‌ථානයක්‌. අනුරාධපුර යුගයේදී ඇතිවුණු පණ්‌ඩුකාභය මුටසීව දේවානම්පියතිස්‌ස යන සිරිලක ආරම්භක රජ පරපුරේ මීළඟ සිහසුන උරුමක්‌කරුවා වූ මහානාගට ඇතිවූ ඝාතන කුමන්ත්‍ර්‍රණයක්‌ නිසා දකුණට පලා ආ මහානාග දිවි ගෙවා ඇත්තේ මේ රම්බා විහාරයේ ඔහුගේ පුත් යඨාලතිස්‌ස, ගෝඨාභය කාවන්තිස්‌ස දුටුගැමුණු යන අය ගැන අපට දකුණේදී නොහොත් මාගම්පුරයේදී කතාකරන්නට සිදුවෙනවා. ඒ තොරතුරු තවත් පසුවට බලමු.

කිරළ කැලේ
නෝනාගම හන්දියෙන් මීටර් දෙතුන් සීයක්‌ දකුණට යන විට අපට පාර අයිනේම අලංකාර කඩොලාන පරිසර පද්ධතිsයක්‌ මුණගැහෙනවා. මේ තමයි කිරළ කැලේ. පාර දෙපැත්තේම කිරළ කැලේ දකින්නට ලැබුණත් මේ අපූරු පරිසරය සුරකින කිරළ කැලේ ජෛව විවිධත්ව සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය ස්‌ථාපිත වෙලා තියෙන්නෙ වෙරළබඩ ප්‍රදේශයට මායිම් වෙලා. සුළු ධීවර සම්මේලනය මගින් පාලනය කෙරෙන මේ කිරළ කැලේ සංරක්‍ෂණය හා අධ්‍යයන මධ්‍යස්‌ථානයක්‌. මේ මගින් කඩොලාන පරිසරය ගැන දේශන පවත්වනවා. කුඩා කෞතුකාගාරයක්‌, දේශන ශාලාවක්‌ වගේම ක්‍ෂේත්‍ර චාරිකා සඳහා මගපෙන්වීමත් මෙහිදී සිදුකරනවා.
පලතුරු බීමක්‌ ලෙස මෙහිදී කිරළබීම බෝතලයක රස බලන්නත් ඕනෑම කෙනකුට පුළුවන්. අපිත් මේ කිරළ කැලේ සුන්දරත්වය හා අද්විතීයත්වය වින්දෙ දිවුල් වගේ රසැති කිරළබීම බෝතලයක්‌ තොලගාමින්.

වාඳුරුප්ප
වාඳුරුප්ප පාරිසරික වශයෙන් හරිම වැදගත් ස්‌ථානයක්‌. සමනළ අඩවියේ වනගහනය අතරින් ඇරඹෙන වලවේ ගංගාව උඩවලව ජලාශය නිර්මාණය කරමින් අම්බලන්තොටින් මුහුද සිපගන්නා බව අපි කවුරුත් දන්නවා. ඒත් මුහුද ආසන්නයේදී වලවේ නදිය ලොකු වංගුවක්‌ මගින් හැරී වෙරළට සමාන්තරව කිලෝමීටරයක්‌ දෙකක්‌ ගමන් කර ගොඩවායෙන් තමයි අතීතයේදී මුහුද සිපගත්තේ. ඒත් වතුර වැඩිවන කාලයේදී වාඳුරුප්ප කියන මේ වංගුව සහිත පරිසරය, නැතිනම් වැඩි ජලය පැතිරෙන කලාපය ගංවතුරෙන් පිරී ඉතිරී ගියා. ඒ නිසා තමයි වාඳුරුප්ප වටිනා තෙත්බිමක්‌ ලෙස ප්‍රකට වුණේ. ඒත් ක්‍රමයෙන් වාඳුරුප්ප ජනාවාස වුණා. මන්ද වලවේ ගං මෝදර වෙළෙඳ වරායක්‌ ලෙසද ප්‍රකටව තිබූ නිසා. ගංවතුරට මේ ජනාවාසය යටවුණු නිසා හැමදාමත් වැසි වතුර බහින්න වාඳුරුප්ප වැලි වැටිය කැපුවා. එහෙමයි එතැන කෘත්‍රිම මෝය කට බවට පත්වුණේ. කලින් කලට මෙතැන මෝය කට බැඳෙනවා. එතකොට ස්‌වභාවික මෝයකටෙන් වතුර ගලා බහිනවා.

වලවේ නදිය / අම්බලන්තොට
සමනළ අඩවියේ ඉහළ මාලිබොඩ ප්‍රදේශයේදී කුඩා දිය දහරක්‌ ව උපදින වලවේ නදිය සබරගමුව, ඌව, දකුණු පළාත්වලින් ගලාගොස්‌ අම්බලන්තොටින් මහ සයුර සිපගන්නේ ශ්‍රී ලංකාවේ දිගින් හත්වැනි ස්‌ථානය ගන්නා ගංගාව ලෙසිනි. මෙහි දිග කිලෝ මීටර් 138 කි.
මේ ගලා බසින ගමනේදී වලවේ නදිය උඩවලව ජලාශය ද නිර්මාණය කරයි. උඩවලව වනෝද්‍යානයට පෝෂණය සපයමින් වේල්ලක්‌ මගින් අවහිරයට ලක්‌වන වලවේ නදිය වලව වම් ඉවුර හා වලව දකුණු ඉවුර ලෙස ගොවි ජනපද රැසකට දියවර සපයා මෙසේ වාඳුරුප්පෙන් හා ගොඩවායෙන් සයුර සිපගනී.

අම්බලන්තොට
අතීතයේදී වලවේ ගඟෙන් එගොඩවෙන්න පාළමක්‌ තිබුනේ නෑ. ඉංග්‍රීසි පාළන සමයේදී තමයි මෙතන යකඩ පාළමක්‌ හැදුණේ. ඊට කලින් කිරි වෙහෙර කතරගම දේවාලය වඳින්න ගිය උදවිය, හම්බන්තොටට ගිය වෙළෙන්දෝ ඔරු පාරුවලින් ගඟෙන් එගොඩ වුණෙත් වාඳුරුප්පෙන්. ඒ, මේ ගිරිහඩු විහාරයට පඬුරු, මල් පහන් පුදල මෙතන කඩමණ්‌ඩියක්‌ වගේ තිබුණ හින්ද තොටුපළ ළඟ අම්බලන් එහෙමත් තිබිල තියෙනව. ඒ නිසයි අම්බලන්තොට වුණේ. වාඳුරුප්පෙන් එගොඩ වුණු තැන තිබූ "සංදේශ පාර" අදත් ඒ නමින් භාවිත වෙනවා.

ගිරිහඩු රජමහ විහාරය
වලවේ ගංගාවෙන් එගොඩ වෙන්නට කලින් ගංගා ඉවුරේම තමයි ගිරිහඩු රජමහ විහාරය පිහිටල තියෙන්නෙ. මේ විහාරය බුදුන් ජීවමාන යුගයේදී ම පටන් ගත් විහාරයක්‌ බවටයි විශ්වාස කරන්නේ. බුදුරජාණන්වහන්සේට විළඳ සහ මී පැණි පිදූ තපස්‌සු- භල්ලුක වෙළඳ දෙබෑයන් ගැන අපි අහල තියෙනවා. ඒ පූජාවෙන් පස්‌සෙ වඳින්නට පුදන්නට දෙයක්‌ ඉල්ලා සිටි අවස්‌ථාවේදී බුදුන් වහන්සේ හිස පිsරිමැද කේෂ ධාතු මිටක්‌ දුන් කතාව අපි අහල තියෙනවා. ඉන් පස්‌සෙ ඒ තපස්‌සු-භල්ලුක දෙදෙනා කේෂ ධාතූන් ගෙනවිත් ගොඩපවත වරායෙන් රට තුළට ඇතුල්වෙලා කුඩා දාගැබක්‌ තනා කේෂ ධාතුන් තැන්පත් කළ බවට විශ්වාස කරන්නෙ මේ ස්‌ථානයේලු. විහාරාධිපති කුඹුක්‌වැවේ චන්ද්‍රසෝම හිමියන් අපට හමුනොවුණත්, අන්දර වැවේ ජිනරතන පොඩි හාමුදුරුවන්ගේ උදව්වෙන් විහාරයට කැඳවාගත් දායක සභාවේ නිලධාරීන් මේ කතාව අපට කීවේ ඉතිහාසඥයින්ගේ තොරතුරු ගවේෂණ උදව්වට අරගෙන. තපස්‌සු-භල්ලුක දෙපළ බැන්ද කුඩා දාගැබ පසුව කාවන්තිස්‌ස රජතුමා ලොකු දාගැබක්‌ ලෙස තනවා මෙතැන විහාරයක්‌ දක්‌වා වැඩිදියුණු කළාලු. ඉතිහාස තොරතුරු අනුව ගිරිහඩු සෑය වලවේ ගං නිම්නයේ පිහිටා ඇති බවත් කියනවා. ඒත් අපි අමතක කරන්න නරකයි ත්‍රිකුණාමලයේ තිරියාය ප්‍රදේශයේත් මේ කතාවට සම්බන්ධ ගිරිහඩු සෑයක්‌ තියෙනවා. අපි එතනදීත් මේ වගේම කතාවක්‌ ඔබට කියනවා. මේ ස්‌ථානයේ කර ඇති කැනීම් වලදී ශෛලමය විශාල හිටි පිළිමවහන්සේ නමක්‌, බෝසත් ප්‍රතිමාවක්‌ වගේම විශේෂ ගල්කැටයම් ලෑල්ලක්‌ (සිදුහත් කුමරු හිසකේ ඡේදනය කරන රූපයක්‌ ඇති) හමුවෙලා තියෙනවා.

අද අපි ඉන්නේ ගොඩවායේ. මේ තමයි අතීතයේ ගොඩපවත වරාය පිහිටි තැන. මාන්තොට, ගෝකණ්‌ණ වගේම ගොඩපවතත් වෙළෙඳ ක්‍ෂේත්‍රයේ අමතක කළ නොහැකි නැව් තොටක්‌. ඒ විතරක්‌ නෙමේ, ගොඩවායෙන් මහ සමුදුර සිපගන්නා වලවේ ගං නදිය දිගේ වෙළෙඳ යාත්‍රා, ඔරු පාරු රට තුළටත් ඇවිත් තියෙනවා කියලයි කියන්නෙ. කොහොම වුණත් මෙතැන හරිම අපූරු තැනක්‌. කාලෙකදි වලවේ ගඟ මෙතනින් මුහුදට වැටෙනවා. තවත් කාලෙකදි මෙතන ඉඳන් කිලෝමීටර් 2-3 ක්‌ දුරින් වාඳුරුප්පෙන් මුහුදට වැටෙනවා. ඒ කෘත්‍රිම මෝය කටක්‌ මගින්. මේ දැනුත් වලවේ මෝය කට විදියට සැලකෙන්නෙ වාඳුරුප්ප. ඒත් අපූරු ඩෙල්ටාවක්‌ නිර්මාණය කරමින් ගොඩවාය ප්‍රදේශය පාරිසරික නිකේතනයක්‌ ලෙස පවතින්නෙ, ලංකාවේ අංක එකේ අභය භූමියක්‌ බවට ගොඩවාය පත්කරමින්.

ථෙරපුත්ථාභය යෝධයාගේ පන්සල.
ගඟෙන් එගොඩ වෙලා වාඳුරුප්පට ගියහම ථෙරපුත්ථාභය රාජමහා විහාරය හම්බවෙනවා. මේ විහාරයේ තමයි ථෙරපුත්ථාභය හාමුදුරුවෝ වැඩ වාසය කරල තියෙන්නෙ. දුටුගැමුණු රජතුමා චෝලයන් සමඟ සටනට සැරසෙන විට වාඳුරුප්පටත් ඇවිත් තියෙනවා. ඒ එක දවසක දස මහ යෝධයන්ට අයත් කිහිප දෙනෙක්‌ පන්සලේ පොල්, කුරුම්බා අවසරයක්‌ නැතිව හොරෙන් කඩාගෙන කෑවාලු. ථෙරපුත්ථාභය හාමුදුරුවෝ මේක දැකල යෝධයන්ට නොසෑහෙන්න තලා පන්සල් වැටෙන් එළියට විසිකරල දැම්මලු.
මේ ශක්‌තිවන්ත බව ගැන ආරංචිවෙලා දුටුගැමුණු රජතුමා ථෙරපුත්ථාභය හාමුදුරුවන්ට රට දැය රකින්න ආරාධනා කළාලු. යුද්ධය ජය ගැනීමෙන් පස්‌සෙ ථෙරපුත්තභය ආයිමත් මේ විහාරයේදීම මහණ බව ලැබූ බව අපට කිව්වේ විහාරවාසී වැලිගම සරණජෝති හිමියන්.

අදහස්‌ jagathkanahara@gmail.com
ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා

http://www.divaina.com/2011/02/20/nimna03.html

0 comments:

Post a Comment