අද අපි කඳවුරු බඳින්නෙ අති රමණීය පරිසරයක, මේ තමයි කුඹුක්‌කන් ඔය මෝදර. යාල වනෝද්‍යානයත් කුමන වනෝද්‍යානයක් වෙන් කරන මේ මෝදරින්ම තමයි දකුණු පළාතත් නැගෙනහිර පළාතත් වෙන්වෙන්නෙ. යාල වනෝද්‍යානය හරහා ආපු දුෂ්කර ගමන නිමාකරල අපි දැන් ඔයෙන් එගොඩවෙලා අද මේ සුන්දර වෙරළ තීරයේ රාත්‍රිය ගත කරනවා.
එංගල්බ්‍රෙච්ට්
මේ කතාව අදාළ වෙන්නෙ යාල වනෝද්‍යානයට. එංගල්බ්‍රෙච්ට් කියන්නෙ යාල වන රක්‍ෂිතයට මුලින්ම පත්ව ආ පාලකයා. යටත් විජිත සමයේ දී යාල වනය හා අවට ප්‍රදේශය තිබුණෙ වන සත්ව දඩබිමක් විදියට. හම්බන්තොට ස්‌ථනාගත වෙලා හිටපු සුදු ජාතිකයන් නිතර මෙහි ඇවිත් සතුන් දඩයම් කළා. ඒත් 1900 දී එකල මෙහි සිටි ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයා යාල අභය භූමියක් බවට පත්කළා. ඒත් බලපත්‍ර ගත් අය මෙහි දඩයමට ආවා. නමුත් 1907 දී එය පූර්ණ අභය භූමියක් බවට පත්වුණේ යාලට පාලකයකුද පත්කරමින්. මේ පාලකවරයා තමයි එංගල් බ්‍රෙච්ට්. ඔහු 1928 දී මිය යනතුරුම එහි පාලකයා වී සිටියා. එහෙත්a යාල ජාතික උද්‍යානයක් වුණේ 1938 දී.
එංගල්ස්‌බ්‍රෙච්ට් බෝයර් ජාතිකයෙක්. දකුණු අප්‍රිකාවේ විසූ ඕලන්ද පරපුර තමයි මේ බෝයර්වරු කියල කිව්වෙ. මන්ද, බෝයර් යනු ඕලන්දයේම පළාතක් නිසා. 1889 -1902 දක්‌වා කාලයේදී මේ (අප්‍රිකානු) බෝයර්වරුන් හා මහා බ්‍රිතාන්‍ය අතර ඇති වූ බෝයර් යුද්ධය අවසානයේදී අල්ලාගත් සිරකරුවන් 5000 ක් දෙනා එකල ලංකාවට ගෙනාවාලු. මොවුන් අතරින් පසුව බ්‍රිතාන්‍ය රජුටත් රජකමටත් පක්‍ෂපාතී බවට ප්‍රතිඥදුන් සිරකරුවන් ආපසු අප්‍රිකාවට යවල තිsයෙනවා. එහෙත් එය ප්‍රතික්‍ෂේප කළ පස් දෙනකු අතර හිටිය එච්. ඊ. එංගල්බ්‍රෙච්ට් කුලීකරුවකු ලෙස රජයෙන් ලැබෙන සුළු දීමනාවක් සමඟ හම්බන්තොට ජීවත්වන අතරතුරදී තමයි එකල ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකවරු ඔහු යාල අභයභූමියේ පාලකයා ලෙස පත්කර ඇත්තේ. එකල හම්බන්තොට (යාල අයත්) දිසාපතිවරයා වූ ලෙනාඩ් වුල්ෆ් සඳහන් කර ඇත්තේ ඔහු ලෝකයේ සිටි මුරණ්‌ඩුම මිනිසුන්ගෙන් කෙනකු ලෙසයි.
කෙසේ හෝ යාල පාලකවරයා ලෙස කටයුතු කළ හේ, දෙවන ලෝක යුද සමයේදී කිරින්දට පැමිණි "එම්ඩන්" නමැති නැවට මස් සැපයූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත්වුණා. මාස තුනක් නිරුවතින් (සිර ඇඳුම් ඇඳීම ප්‍රතික්‍ෂේප කළ නිසා) මහනුවර රඳවා තිබූ බ්‍රෙච්ට් යළිත් නිදහස් කර යාල පාලකයා වශයෙන් පත් කළත්, යාලදී රෝගාතුරවී 1928 මාර්තු 25 වැනිදා හම්බන්තොට රෝහලට රැගෙන යන අතරතුර මහමගදී මිය ගියා. ඔහුගේ සිරුර හම්බන්තොට සුසානයේ භූමදානය කළ අතර එහි තැනූ සොහොන් කොත අදත් සුසාන භූමියේ දකින්නට පුළුවන්.
මැණික් ගඟ / යාල
මේ එන ගමනෙදී අපි මැණික් ගඟ තරණය කළා. යාල කලාප අංක එකත්, දෙකත් වෙන්කරන්නෙ මේ මැණික් ගඟෙන්. නමුණු කුල පෙදෙසින් පටන් ගන්නා මැණික් ගඟ කිලෝමීටර් 114 ක් දුර ගෙවා ගෙන ඇවිත් යාලදී මුහුද සිප ගන්නවා.
මීට කලින් අපි කඳවුරු බැන්දෙ යාල කලාප අංක දෙකේ මුහුදු ඉම පිහිටි මිනිහා ගල්කන්දේ. එතැනින් නික්‌මිලා අපි ආයිමත් එකතුවුණේ කුඹුක්‌කන් ඔය හරහා කුමනට යන ජීප් රථ, මාර්ගයට. ගජබාව, පිළින්නාව, පහළ පොත්තන පසුකර තමයි කුඹුක්‌කන් ඔයට ළඟා වෙන්නට තියෙන්නෙ. මහ කැලෑව නැතිවුණත් තැනිතලා ළඳු කැලෑව අතරින් ඇදෙන මේ මාර්ගය වළ ගොඩැලි සහිත දුෂ්කර වූ එකක්. තැන තැන කළපු වැලිකඳු යනාදියත් පිහිටල තියෙනවා. පහළ පොත්තන මේ අතරින් විශේෂිත තැනක්. මේ මාර්ගයේ ගමන් ගන්නා කොයි කවුරුත් යන්න අමතක නොකරන තැනක් තමයි මේ පහළ පොත්තන. ඒකට හේතුව මෙතන තමයි මිරිදිය සහිත කුඩා ළිං තුනක් හමුවන තැන. කාලෙකදි කර්කෂවෙලා කාන්තාරයක් බවට පත්වෙන යාල කලාප අංක දෙකට වතුර බිඳක් ගැන බලාපොරොත්තුවක් දෙන්නෙ මේ පහළ පොත්තනෙන්. ඒ නිසා වතුර බිව්වෙ නැතත් මේ ළිං බලන්න කවුරුත් එහි යන්න කැමතියි. අපිත් එහි ගියේ ඒ නිසාමයි. අපේ ගමනේ තාවකාලික නැවතුම්පළක් ලෙසත් අපි මේ තැන යොදා ගත්තා. කාලෙකදි නැගෙනහිර පළාතෙ ඉඳන් කුමන-යාල හරහා කතරගම පැමිණෙන හින්දු බැතිමතුන්ගේ වැදගත් නැවතුම්පළක් ලෙස පහළ පොත්තන ප්‍රකටයි. මෙහි නතර වෙන දෙතුන් සියයක් වන ඔවුන් කෑම පිස, නා-කියාගෙන තමයි ඊළඟ නවාතැන්පළට යන්නෙ.
පහළ පොත්තනෙන් නික්‌මුණු අපි මීළඟට කුඹුක්‌කන් ඔය බලා එක හැල්මේ ඇදුණා. පසුගිය ටිකේ ගංවතුර මේ පළාතට ගැලුවත් දැන් පවතින පෑවිල්ලට ආයිමත් කුඹුක්‌කන් ඔයේ වතුර පාර සැරේට අඩුවෙලා. වනජීවි දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් ගත්ත අපි අපගේ ජීප් රථ දෙකකින් කුඹුක්‌කන් ඔය තරණය කළේ ප්‍රදේශයේ පවතින හුදෙකලාව මැදින්. තරමක් වියළී ගිය ඔය මැදින් ගලායන ජලකඳ දෙබෑකරගෙන අපේ ජීප් රථ කුඹුක්‌කන් ඔයෙන් එගොඩ වුණේ දකුණු පළාතට ආයුබෝවන් කියමින්. දැන් ඉතින් අපි අම්පාර දිස්‌ත්‍රික්‌කයට ඇතුළුවෙලා. ඒ කියන්නෙ නැගෙනහිර පළාත. ඔයෙන් දෙපැත්තම එකම වනගහනය. එහෙත් මේ තමයි කුමන නොහොත් යාල නැගෙනහිර වනෝද්‍යානය. කලින් දැනුම් දීල පැමිණි නිසා කුමන වනෝද්‍යාන නිලධාරීන් අපව බලාපොරොත්තුව ඉන්නවා.
අපි ඔයෙන් එගොඩ වුණේ මඩමෙතොට කියන තැනින්. ඊට මඳක් එහායින් තියෙන්නෙ. ''ඇද කුඹුක'' කඳවුරු බිම. ඔයෙන් එගොඩ වුණු අපි මඩමෙතොට තියෙන කුඩා දේවාලය ගාවට ගියා. දැන්නම් එතැන හරිම පාළුයි. කතරගම දේව මංගල්ලය කාලෙට මෙතැන ඉතින් හරිම ජනාකීර්ණ තැනක්. මීට කලින් ඒ අත්දැකීමත් අපි හොඳට විඳල තියෙනවා.
පානම ඕකන්ද දේවාලය ළඟින් පාද යාත්‍රාව (කතරගමට පාද චාරිකාව) පටන් ගන්නා බැතිමතුන්ගෙන් පළමු නවාතැන තමයි මේ මඩමෙතොට. ඒ වගේ දින 3-5 කින් තමයි ඔවුන් කතරගමට ළඟා වෙන්නෙ.
මඩමෙතොට පසුකරගෙන අපේ ජීප්රථ ඉදිරියට ඇදෙනවා. තවත් මොහොතකින් අපට හමුවන්නෙ පැරණි කුමන ගම්මානය. මේ වනාන්තරය වනෝද්‍යානයක් බවට පත්වීමත් එකල ත්‍රස්‌තවාදී තර්ජනයත් හේතුවෙන් කුමන වැසියන් මෙහෙන් අයින් වුණා. 1818 වෙල්ලස්‌ස කැරැල්ලෙන් පසුබැස්‌ස සිංහලයන්ගෙන් තමයි මේ ගම්මානය හැදිල තිබුණෙ. ඒත් දැන් කුමන තියෙන්නෙ ඒ ගමේ නටබුන් විතරයි. ගෙවල්වල අත්තිවාරම්. පාසල් ගොඩනැඟිල්ලෙ ඉතිරි කොටසක්, ඉණිවැටවල් වගේම ගමේ පොල්වගාවත්, කුමන වැසියන්ට ගොවිතැන් බත් කරන්න උදව් වූ කුමන වැවත් තාමත් උද්‍යානය ඇතුළත තියෙනවා. මේ හැඟුම්බර සංවේගාත්මක දසුනත් දැක බලාගෙන මීළඟට අපි ළඟා වුණේ කුමන විල්ලුව වෙත. මේ තමයි කුමන කුරුලු පාරාදීසයක් හැටියට ලොව ප්‍රකට කළ පරිසර පද්ධතිය. කුමන විල්ලුව මැද කඩොලාන ශාක ගොමුව ජලජ කුරුල්ලන්ට කදිම නවාතැනක් සපයනවා. කුරුල්ලන්ගේ නදින් ප්‍රබෝධමත් වූ, කුරුල්ලන්ගේ රුවින් ඒකාලෝක වූ මේ කුමන විල්ලුව මේ උද්‍යානයේ අද්විතීය බව අපට පසක් කරනවා.
කුඹුක්‌කන්ඔය
කිලෝමීටර් 116 ක් දුර ගෙවාගෙන ගිනිකොණ දිග වෙරළතදී සයුර සිපගන්නා කුඹුක්‌කන් ඔය පටන් ගන්නෙ මධ්‍ය කඳුකරයේ බදුල්ල ලුණුගල ප්‍රදේශයෙන්. ඌව තැනිතලාව ඔස්‌සේ පැමිණ මොනරාගල ඔක්‌කම්පිටිය ප්‍රදේශයෙන් කුමන වන උයනට ඇතුළුවෙන මේ රූ රාජිනිය වනවදුලු පමණක් නොව සිය ගණනක් වූ සත්ව වර්ගයාගේ පිපාසය සංසිඳුවා අප සිටින මේ සුන්දර වෙරළබඩින් සයුරට එක්‌වෙනවා.
අප රටේ ඇති ප්‍රධානතම හා ප්‍රකටම වන උයනක් වන කුමන, කුරුලු පාරාදීසයක් ලෙසයි ප්‍රකටව ඇත්තේ. එහෙත් සමස්‌තයක් සේ ගත්විට මෙයත් වනබද වන උයනක්. 1941 දී අන්තර් කලාපයක් ලෙස නම්කර ඇති කුමන 1969 දී ජාතික උද්‍යානයක් බවට පත්වුණා. අවසන් වරට 2006 වසරේදී ප්‍රකාශිත මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 35664 ක්. ලංකාවේ සිවුවැනි වන උයන කුමනයි. කුරුල්ලන් හා අලි ඇතුන් සඳහාද, කොටියන් වළසුන් හා කුළුහරක් සඳහාද කුමන ප්‍රකටයි.
කුමන (යාල නැගෙනහිර) වන උයන
විල්ලුවට මඳක් ඉදිරියෙන් ජීප් රථ මාර්ග දෙකක් අපට හමුවෙනවා. වම්පස මාර්ගය දිවෙන්නේ උද්‍යානයේ ප්‍රධාන පිවිසුම හරහා ඕකන්ද දේවාලය ඔස්‌සේ පානම දෙසට. දකුණු පස මාර්ගය මුහුද අයිනට නැත්නම් කුඹුක්‌කන්ඔය මෝය කටට. අපි මේ මාර්ගය තෝර ගත්තේ අපගේ අද රාත්‍රී නවාතැන මේ මෝය කට හින්ද. අතිරමණීය මේ පරිසරයට අපි ළඟා වුණේ තවත් මිනිත්තු කිහිපයකින් පසුව. හිරු බැස යන සැඳෑවේ අපේ කඳවුරු බිම අපි එනතුරු බලාගෙන ඉන්නවා. ඒ යන ගමනේදී හස්‌තිරාජයන් දෙතුන් දෙනෙක් අපිට හමුවුණා. තිත්මුවන්, වලිකුකුළන්, මොණරුන් වගේම නෙක විසිතුරු කුරුල්ලන්ද ඒ අතර හිටියා.
මඳ වේලාවකින් අපේ කඳවුරු බිම සූදානම් වුණා. පැත්තකින් කුඹුක්‌කන් ඔය, තවත් පැත්තකින් මහා සාගරය. සාගරය පෙනෙන මානයට ඇවිත් කුඹුක්‌කන්ඔය සාගරයට නොගොස් තවත් කිලෝමීටරයක් විතර මුහුදට සමාන්තරව ගිහිං තමයි මුහුද සිපගන්නෙ. මේ වැලි වැටිය උඩ අපි ගිනි මැලයකට දරගොඩ ගැහුවෙ කුඹුක්‌කන් මෝයෙ ඕසෙට තිබුණු වියළි දර කොටන් ගෙනැල්ල. නොදැනීම රෑ බෝ වුණා. ගිනිමැලය වට කොට එළිවෙනතුරු ගෙවුණු කඳවුරු දිවිය ගැන මීට වඩා කොහොම විස්‌තර කියන්නද?
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
ස්‌තූතිය - වනජීවී අධ්‍යක්‍ෂ චන්ද්‍රවංශ පතිරාජ, මෙහෙයුම් අධ්‍යක්‍ෂ රත්නායක, ප්‍රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර උද්‍යාන පාලක සුරංග යන මහත්වරුන්ට
http://www.divaina.com/2011/04/03/nimna06.html
0 comments:
Post a Comment