Pages

Monday, August 15, 2011

29 : අරුණලු සිඹින සංගමන්කන්ද තුඩුව

සිංහල-දෙමළ අලුත් අවුරුද්දෙන් පස්‌සේ අද අපි කඳවුරු බඳින්නෙ රටේ වැදගත්ම මං සලකුණක්‌ සහිත ස්‌ථානයක. ඒ තමයි සංගමන්කන්ද තුඩුව. ශ්‍රී ලංකාවෙ දිග මනින්නෙ පේදුරුතුඩුවෙ ඉඳන් දෙවුන්දර තුඩුවට. ඒ වගේම පළල සලකුණු කරන්නෙ කොළඹ කොටුවෙ ඉඳන් සංගමන්කන්ද තුඩුව දක්‌වා. ඔන්න ඉතින් කොළමින් පටන්ගත්ත අපගෙ චාරිකාව දැන් මේ වැදගත් මංසලකුණු තුනක්‌ පාදස්‌පර්ශයට ලක්‌කරල හමාරයි. තව ඉතිරිවෙලා තියෙන්නෙ උතුරේ පේදුරුතුඩුවට යන එක විතරයි.

කොහොම හරි කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්‌වා තියෙන සැතපුම් 224 ක සරළ රේ‚ය දුර අපි වෙරළබඩ දිගේ ගොස්‌ ගවේෂණය කරන්න මේ වන විට සති 29 ක්‌ ගෙවා දමල තියෙනවා.

අරුගම්බේ "සර්ෆින්ග්"

කාවන්තිස්‌ස රජ විසින් 'අර ගම' ලෙසින් හඳුන්වනු ලැබූ පෙදෙස කාලයාගේ අවෑමෙන් ආරුගම ගම වී, එහි වන භූ විශමතා ලක්‍ෂණයට අනුව අද ආරුගම් බොක්‌ක නැතහොත් ආරුගම් බේ වී තිබෙනවා. එදා රජුට විශේෂ වූ බැවින් රටවැසියන් දැනගත් මේ පෙදෙස අද වන විට ලෝකයටම විශේෂ පෙදෙසක්‌ වී ඇත්තේ රළ මත ලිස්‌සායැම හෙවත් සර්ෆින් ක්‍රීඩාවෙන්.

ලොව හොඳම රළ මත ලිස්‌සායැමේ පෙදෙස්‌ 10 අතර තෙවැනි තැනලා සැලකුම් ලබන ආරුගම්- බේ පෙදෙස ලොව පුරා එම ක්‍රීඩාවෙහි යෙදෙන්නන් අතර ප්‍රචලිතයි. ආරුගම් බොක්‌ක වෙරළ තීරයේ 'උල්ල', නැතහොත් පොතුවිල් පොයින්ට්‌, එසේත් නොමැතිනම් මේන් පොයින්ට්‌ ලෙස හැඳින්වෙන්නේ මේ ස්‌ථානයයි.

දකුණු අප්‍රිකාවට පහළින් නැගෙන සුළං ධාරා සැතපුම් දහස්‌ ගණනක්‌ ගෙවා ඉන්දියන් සයුර සිපගෙන පැමිණ ආරුගම්-බේ හී මවනා මුහුදු රැළි මෙරට අංක එකේ සර්ෆින් ඉසව්වක්‌ මවන අතරම එම ක්‍රීඩාව විශයෙහි පහසුකම් සපයමින් ජීවනෝපාය සලසා ගැනීම පිණිස ආරුගම් වැසියන්ට ආශිර්වාදයක්‌ද වී තිබෙනවා.

නිරිතදිග මෝසම් කාලය හෙවත් අප්‍රේල් සහ ඔක්‌තෝබර් අතර කාලය ආරුගම්-බේ හි සර්ෆින් වාරයයි. දකුණු පසට ඇදෙන රැල්ල සහ වම් පසට ඇදෙන රැල්ල ලෙසින් සර්ෆින් ක්‍රීඩාවේ රළ ආනතිය මත වන අංශ දෙකෙන් ආරුගම් යනු වාමාවර්තව වෙරළට ලම්බක අයුරින් රළ ඇදෙන ක්‍රීඩකයන් අතිශයින් ඇලුම්කරන සර්ෆින් ඉසව්වයි. මෙම පෙදෙසේ අඩි 6 කට වඩා උසක්‌ සහිතව ඉපදෙන රළ මත ලිස්‌සයැමකට සුදුසු රැල්ලක්‌ දියඹේ සිට ගොඩබිම දෙසට මීටර 400ක්‌ පමණ දුරක ධාවනයක්‌ සඳහා රුකුල්දෙනවා.

මුහුදු මහා විහාරය

අරුගම්බේ ගතකළ අපි එහි "උල්ල" නමැති සුන්දර වෙරළ තීරයේත් ගතකර ඉන්පසු අරුගම්බේ ප්‍රකට පාළම පහුකරල ළඟාවුණේ පොතුවිල් මංසන්ධියට. පොතුවිල්වලට ආවහම අපිට වැදගත් බෞද්ධ පූජනීය සිද්ධස්‌ථානයක්‌ සිහියට නැඟෙනවා. ඒ තමයි "මුහුදු මහා විහාරය". පොතුවිල් මුහුදු මහා විහාරය කාවන්තිස්‌ස රජුගේ සමය දක්‌වා ඉතිහාසයක්‌ ඇති තැනක්‌. ක්‍රි.පූ. දෙවැනි සියවසේදී කාවන්තිස්‌ස රජු රුහුණේ රජ කරන සමයේදී කැලණිපුරයේ රජ කළ බව කියන්නෙ කැලණිතිස්‌ස රජතුමා. මේ කාලයේදී නොසිතූ විදිහට මුහුද ගොඩගලා රටට මහා උපද්‍රවයක්‌ සිදුවූ බව අපි අහල තියෙනවා. ඒකට තිබුණු එකම විසඳුම විදිහට හඳුනාගත්තෙ කැලණිතිස්‌ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය නෞකාවක නංවා මුහුදේ පාකර හැරීමයි. රට බේරගත යුතුව තිබුණු නිසා විහාරමහා දේවිය ඊට එකඟ වුණාලු. අවසානයේදී ඇය විශේෂිත යාත්‍රාවක නංවා මුහුදේ පාකර හැරියාලු. ඇය අන්තිමේදී පාවී ගොස්‌ ඇයගේ යාත්‍රාව ගොඩගැසුවේ නැගෙනහිර පළාතේ පොතුවිල්වලට යාබද කෝමාරියට නොහොත් එදා "කුමාරිය" කිවූ තැනටලු. ඉන්පසු එම යාත්‍රාව පොතුවිල් මුහුදු මහා විහාරය දැන් පිහිටි වැලිතලාවට රැගෙන ආ බවයි ජනප්‍රවාදයේ එන්නේ. ඒත් මතකද කිරින්ද ගැන කතාකරන විටත් විහාර මහා දේවිය ගොඩබැස්‌ස තැන හැටියට අපි එතැනත් විස්‌තරයක්‌ කිව්වා. මේ ස්‌ථාන දෙකටම විහාරමහා දේවියගේ කතාව සම්බන්ධ කරනවා. මේකෙන් කොයි කතාව නිවැරදි දැයි අපි හරියට දන්නේ නැති වුනත්, පොතුවිල් මුහුදු මහා විහාරය ඉදිකළේ ඒ සිදුවීම ස්‌මරණය කිරීම සඳහා බවයි කියන්නේ.

මුහුදු මහා විහාරය පැරණි විහාරස්‌ථානයක්‌ වගේම එය රජමහා විහාරයක්‌ ලෙසත් ප්‍රදේශයේ ප්‍රකට හා සුවිසල් පුදබිමක්‌ සේ පැවති බවත් විශ්වාස කරනවා. ඒ වගේම මෙහි පවතින ප්‍රතිමා, ගල්කණු, ගොඩනැගිලි පාදම්, විහාර ගෙය යනාදී පුරා

විද්‍යාත්මක ස්‌මාරක මේ බව අපට ඉතා හොඳින් පසක්‌ කරනවා. මේ ප්‍රදේශය එකල සිංහල ජනතාව විශාල වශයෙන් දිවි ගෙවූ පෙදෙසක්‌ බවයි සැලකෙන්නෙ. ධීවර කර්මාන්තයට වඩා මෙහි දිවිගෙවූ ජනයා කෘෂිකාර්මික දිවිපෙවෙතක්‌ ගතකළ පිරිසක්‌ බව අදටත් පානම සිට පොතුවිල්, සංගමන්කන්ද පෙදෙස දක්‌වා පවතින කෙත්වතු, හරකබාන අපට කදිම සාක්‌ෂි සපයනවා. එහෙත් අද මෙහි දිවිගෙවන බහුතර ජනතාව ඉස්‌ලාම් භක්‌තිකයෝ.

මුහුදු මහා විහාරයට අයත්ව අක්‌කර දෙසිය පණහකින් පමණ සමන්විත (පුරාවිද්‍යා රක්‌ෂිත) ඉඩම් ප්‍රමාණයක්‌ අතීතයේදී අයිතිව තිබී ඇතත් අද ඒ ප්‍රමාණය දැකගන්නට නැහැ. දිනෙන් දින මේ ඉඩම්වල අයිතිය විහාරයෙන් ගිලිහී යන අතරම කලක්‌ විහාරයට අයත්ව තිබූ පොල් වගාවේ අයිතියත් දැන් විහාරයට නැහැ. ඇතැම් පුරාවිද්‍යාත්මක ස්‌මාරක පවතින්නෙ පෞද්ගලික ඉඩම්වල කටුකම්බි වැටවල්වලින් කොටුවෙලා. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

මුහුදු මහා විහාර බිමේ පැරණි ස්‌තූපයක්‌ තිබූ තැනක දැන් ගඩොල් ගොඩක්‌ විතරක්‌ තියෙනවා. ඒ වගේම හොඳින් මතුකරගෙන තහවුරු කරගත් නටබුන් විහාර ගෙයක්‌ වගේම එහි බුදු පිළිමයක්‌, බෝධි සත්ත්ව ප්‍රතිමාවකුත් තියෙනවා. තවත් එක්‌ ප්‍රතිමාවක්‌ විහාරමහා දේවියගේ බවටයි විශ්වාස කරන්නෙ.

කෝමාරිය

මුහුදු මහා විහාරයේ හෝරාවක්‌ දෙකක්‌ ගතකළ අපි ඒ විහාරයේ වැලිතලාවේ ඔබ මොබ ඇවිද යමින් මේ සුන්දර පරිසරයේ පහසත් වැලිතලාවේ සියුමැලි බවත් හොඳින් විඳගත්තා. ඇතැම් තැනෙක පොළොව දිගේ විහිද ගිය දැවැන්ත කොහොඹ ගසක්‌ අපිට කිව්වෙ මේ මුහුදු තීරයේ වැලි කුණාටුවල බලපෑම කොතරම්ද යන්නයි. එතැනින් නික්‌මුණු අපි නැගෙනහිර චාරිකාවෙ හොඳම හරිය පටන් ගත්තෙ පොතුවිල් නගරයට සමුදෙමින්. එහි සිට තවත් සැතපුම් 4-5 ක්‌ යනවිට තමයි පෙර අපි කිව්ව කෝමාරිය හමුවෙන්නෙ. ඉස්‌සර මේ තැනට කිව්ව කියන්නෙ "කුමාරිය" කියලලු. ඒ, විහාරමහා දෙව් කුමරිය මේ ස්‌ථානයට සැපත් වූ නිසාලු. කොහොමහරි මේ කෝමාරිය හරිම අපූරු මුහුදු තීරයක්‌. දාල යන්න හිතෙන්නෙ නැති සුන්දරත්වයක්‌ එහි තියෙනවා. තද නිල්වන් මුහුදත්, ශ්වේතවන් මුහුදු වෙරළත්, පෙණකැටිවන් වලාකුළු ඇඳුණු සුපැහැදිලි නිල්වන් අහස්‌ගැබත් අපි සෞන්දර්යයේ අසිරිමත් ලොවකට කැඳවාගෙන යනවා. කෝමාරිය පාළම අසලදී අපි අපට හැකි අයුරින් මේ සුන්දරත්වය කැමරාවේ සටහන් කරගන්න උත්සාහ ගත්තා.

සංගමන්කන්ද තුඩුව

කොමාරිය පසුකර ඔන්න ඊළඟට අපි ළඟාවුණේ සංගමන්කන්ද ප්‍රදේශයට. දමිළ වැසියන් බොහෝ දෙනෙක්‌ වෙසෙන මේ ප්‍රදේශය ඔවුන්ගේ බසින් හැඳින්වෙන්නේ "මනල්ෙච්න" කියන නමින්. මනල් කියන්නෙ දමිළ බසින් "වැලි" වලට මේ ප්‍රදේශයේ මුහුදු තීරය වැලිවලින් බහුලයි. නැතිනම් වැලි බහුල පසක්‌ තමයි තියෙන්නේ. ගමේ නමත් මනල්ෙච්න කියල හැදෙන්න ඇත්තෙ ඒ නිසයි.

කොහොමහරි සංගමන්කන්දට ආපු අපිට සොයා බලන්න විශේෂිත තැනක්‌ තියෙනවා. ඒ තමයි සංගමන්කන්ද තුඩුව. සංගමන්කන්ද පිහිටල තියෙන්නෙ පොතුවිල් - කල්මුණේ මාර්ගය අසලමයි. මාර්ගය ආසන්නයේ පිහිටල තියෙන තරමක්‌ විශාල පර්වතයකට තමයි සංගමන්කන්ද කියල කියන්නෙ. මේ පර්වතයත් එතනින් එහාට තියෙන ගල් කඳුකිහිපයකත් බෞද්ධ සිද්ධස්‌ථාන රැසක නටබුන් තියෙන බවත් අපිට දැනගන්නට ලැබුණා. ඒ ගැන හොයනවාට වඩා අපේ වැදගත්ම නැවතුම්පළක්‌ වන මෙහි සංගමන්කන්ද තුඩුව සොයායාමේ කාර්යයේ යෙදුණු අපිට මහත් දූෂ්කරතාවයක්‌ විඳින්නට සිදුවුණේ ඒ ගැන තොරතුරු දන්න කිසිවකු හෝ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කිසිදු නාම පුවරුවක්‌ හෝ එහි නොතිබූ නිසා. අවසානයේදී එහි තිබෙන ප්‍රදීපාගාරය සංගමන්කන්දේ නිල මිණුම් ලක්‌ෂය ලෙස සලකන බව දැනගන්නට ලැබුණු නිසා අපි ප්‍රදීපාගාරය සොයාගෙන ගියා. ඒත්, කැළෑවැදී, අනවසර ඉඩම් හිමියන්ගේ ග්‍රහණයට ලක්‌ව තිබූ කටුකම්බි වැටවල් අතරින් රිංගා යමින් අපි ප්‍රදීපාගාරය අසලට ගියේ පැය කිහිපයක රස්‌තියාදුවකින් පසුවයි. ඒත්, ප්‍රදීපාගාරයේ දැන් තියෙන්නෙ අඩි 15 ක විතර කොටසක්‌ විතරයි. 2004 සුනාමියේදී මෙය විනාශ වුණු බවයි කියන්නේ. අපගේ ගමනෙ වැදගත් මං සලකුණක්‌ වගේම, රටේම වැදගත් මංසලකුණක්‌ වන සංගමන්කන්ද තුඩුව අද පවතින තත්ත්වය ගැන නම් අපිට සතුටු වෙන්න බැහැ. සංචාරක ආකර්ෂණීය ස්‌ථානයක්‌ වන මෙය වහාම ප්‍රතිසංස්‌කරණය විය යුතු ස්‌ථානයක්‌. ප්‍රදීපාගාරය නැවත ඉදිවීම අනිවාර්යයයි. ඒ වගේම දෙවුන්දර තුඩුවේ මෙන්ම මිණුම්ගලක්‌ එහි ප්‍රදර්ශනය විය යුතුයි. කොහොම වුනත් මේ අනාරක්‌ෂිත සංගමන්කන්දේ අද අපේ කඳවුර ඉදිවුණා. ඒත් මේ මුහුදු තීරය හරිම සුන්දරයි. ධීවරයින්ගේ කටයුතුත් මෙහි හොඳින් සිදු කෙරෙනවා. ඒ වගේම වටේම ගොඩබිම්. මේ එන මගදෙපස කෙත්වතු, මොණරුන් හා කොකුන් වගේ පක්‌ෂීන්ගෙනුත් මේ ප්‍රදේශයට අඩුවක්‌ නැහැ. නැගෙනහිරට කලින්ම හිරුපායන භූමියේ කඳවුරු බැඳගෙන රාත්‍රියක්‌ ගතකිරීමත්, කාටත් කලින් අපේ කඳවුරට පතිත වන හිරුරැස්‌ පහස විඳින්නත් ලැබීම සතුටකටත් වඩා ඇත්තටම වාසනාවක්‌ නොවේද?

ප්‍රදීපාගාරය

කොළඹ සිට දකුණු දිග ඔස්‌සේ නැගෙනහිරට පැමිණෙන විට අපට හමුවන අටවැනි ප්‍රදීපාගාරය මෙම සංගමන්කන්දයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර අවසන් ගොඩබිම් ලක්‍ෂය වශයෙන් ද සැලකෙන මෙම ප්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1947 වසරේදී. එහි උස අඩි 25 ක්‌.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/04/17/nimna08.html

0 comments:

Post a Comment