Pages

Sunday, August 14, 2011

9 : සිත් සන්තොසින් නැවතී යන්න බෙන්තොට


කන්දේ විහාරය

කන්දේ විහාරය බෙන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රකට විහාරස්‌ථානයකි. කළුවාමෝදර පිහිටි මෙම විහාරය වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ශිෂ්‍ය දෙද්දුව ධම්මානන්ද හිමියන්ගේ අදහසකට අනුව ක්‍රිස්‌තු වර්ෂ 1734 දී ආරම්භ වූ බවත් චෛත්‍යය 1787 දී ඉදිවූ බවත් එහි ඇති රිදී පත් ඉරුවක සඳහන් වේ. මෙහි ඇති විසල් දර්ශනීය බුදු පිළිමවහන්සේ අද රට රටවල පවා ප්‍රකටය.

බෙන්තොට

බෙන්තොට යනු බෙන්තර නදියේ මෝය ප්‍රදේශයයි. ගාලු - කොළඹ මාර්ගයේ බෙන්තර ගංගාවට ඉහළින් අද පාළමක්‌ ඇතත්, අතීතයේදී මෙයින් එගොඩවන්නට තිබී ඇත්තේ ඔරු-පාරුය. එබැවින් මෙය බෙන්තොට බවට හඳුන්වා ඇත.

බෙන්තර ගංගාව දිස්‌ත්‍රික්‌ මායිමක්‌ මෙන්ම පළාත් දෙකක්‌ වෙන්කරන මායිමක්‌ද වේ. ඒ කළුතර සහ ගාල්ල දිස්‌ත්‍රික්‌ මායිමද බස්‌නාහිර සහ දකුණු පළාත් මායිමද වශයෙනි. බෙන්තොට අද සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළබඩ ප්‍රදේශයකි. පසෙකින් මහා සාගරයත්, පුළුල් මෝය ප්‍රදේශයත් මෙම ප්‍රදේශයට සංචාරකයන් කැඳවයි. සංචාරක පහසුකම් උපරිම ලෙස දියුණුව පැවතීමද මීට තවත් හේතුවකි. එබැවින් කොළඹ සිට දකුණු දිග ප්‍රදේශයට යන විට අපට හමුවන ප්‍රථම සංචාරක පුරවරය බෙන්තොටයි.

බෙන්තර නදියේ මෝයකටෙන් කළුතර පෙදෙස බේරුවලයි. කළුවාමෝදර ඔය මෙහිදී මෝය ප්‍රදේශයට එකතුවන අතර, මෙම දෙමෝදරම කඩොලානවලින් පොහොසත් අලංකාර පරිසර නිකේතනයකි.

කළුවාමෝදරට යාව සුප්‍රකට බෞද්ධ ආරණ්‍යයක්‌ පිහිටා ඇත.

එය මොරගල්ල ධර්මද්වීප යෝගාශ්‍රමයයි. මෙය බෝධිනාගල ආරණ්‍යට අනුයුක්‌තව ක්‍රියාත්මක වේ. එසේම මෝය කටෙන් අනෙක්‌ පස, එනම්, බෙන්තොටට අයත් බිම් තීරය කෙළවරෙහි පවතින අලංකාර කඳු වැටියද එම ආරණ්‍යයේම කොටසක්‌ ලෙස පවත්වාගෙන යයි. ඉතා හොඳ රුක්‌ විනයකින් සමන්විත මෙහි ශාක විවිධත්වය ඉහළය. නිසසල මෙම පුණ්‍ය භූමිය බෙන්තර මෝය වර්ණවත් කරයි.

බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම ප්‍රදේශයෙනි. එහි හේකොක්‌ කඳුවැටියේ අඩි 2167 ක්‌ පමණ උසකින් බෙන්තර ගංගාවේ ආරම්භය සිදුවේ. එතැන් පටන් සැතපුම් 18 ක්‌ පුරා ගලාඑන නදිය අප ගංගා කිහිපයකට බෙදී ගලායයි.

බේරුවල, බෙන්තොට, හිනිදුම, නියාගම, ඇල්පිටිය, වලල්ලාවිට වැනි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස කිහිපයක්‌ ඇසුරේ නදිය ගලා බසී. අනෙකුත් ගංගා හා සන්සන්දනයේදී බෙන්තර ගඟ සුවිශේෂතා කිහිපයක්‌ දරයි. කඩොලාන ශාක ගොමුවලින් පොහොසත් වීමත්, අලංකාර දූපත් රැසකින් සමන්විත වීමත් ඒවා අතර වේ.

ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන කඩොලාන විශේෂ 23 ක්‌ අතරින් මල් කඩොල්, රත් කඩොල්, මහ කඩොල්, හීන් කඩොල් යන විශේෂ හතර මෙහිදී සුළභව හමුවේ. එසේම ජලජ කුරුල්ලන්ගෙන් හා කිඹුලන්ගෙන්ද බෙන්තර ගඟට අඩුවක්‌ නැත.

දෙද්දුවි විල නැතහොත් තෙත්බිම බෙන්තර ගඟට අයත් වේ. මෙහි විශාලත්වය අක්‌කර 500 ක්‌ පමණ වේ. ඒ ආශ්‍රිතව මිදෙල්ල දූව, බලිව දූව, රැපියෙල් දූව, සොහොන් දූව, අජපල දූව ලෙස දූපත් පහකි. මෙම දූපත් හා ගංගාවේ කඩොල් "උමං මාර්ග" සංචාරකයන්ට මෙහි අපූරු අත්දැකීම් ලබා දේ. ගඟ දෙපස වැඩෙන ගිං පොල්, කැරන්, කෙකටිය, මිදැල්ල, හාල්පන්, හීන්පන්, හම්බුපන්, වැට කෙයියා විශේෂ ගඟට සුන්දරත්වයක්‌ එකතු කරන අතර අනෙකුත් ජීවීන්ට වාසස්‌ථාන සපයයිs.

ප්‍රදේශයේ ජනයාට ගොවිතැන්, පානීය හා අනෙකුත් අවශ්‍යතා, ධීවර, ගමනාගමන, ආගමික හා සංස්‌කෘතික සේවාවකට අමතරව බෙන්තර නදිය සංචාරක කර්මාන්තයෙන් ආර්ථික මෙහෙවරක්‌ද ඉටුකර දේ. බෙන්තොට ඉදිවූ හෝටල්, අවන්හල් සංචාරක ව්‍යාපාරයට මහත් ආධාරකයක්‌ වී ඇති අතර අද පුළුල් බෙන්තර මෝය ප්‍රදේශය ජල ක්‍රීඩා සඳහාද ප්‍රකටව ඇත.

වනවාස රජමහා විහාරය
එන දද රූ එගුවන වනවාසයට
අඳුරු රුපුන් වන් සඳ වනවාසයට
ගොසින් තොසින් බෙම්තොට වනවාසයට
වඳු මිතුරිඳු රෑ දින වනවාසයට


පරෙවි සංදේශය - ක්‍රි. ව. 1430 -1440

දකුණු දිග ඔස්‌සේ රටවටා යන ගවේෂණ චාරිකාවට එක්‌වන අපට බෙන්තොට මහා විහාරය පිළිබඳව කතා නොකර සිටිය නොහැකිය. දේවානම්පියතිස්‌ස රජ සමයේදී මෙරට මහා විහාර තුනක්‌ ස්‌ථාපිත වූ බව සඳහන් වේ. ඒ, අනුරාධපුර, තිස්‌ස හා බෙන්තොට වශයෙනි. අද අනුරාධපුර මහා විහාරය ගැන කතා කළද තිස්‌ස හා බෙන්තොට ගැන එතරම් කතාකරන බවක්‌ නොපෙනේ.

බෙන්තොට මහා විහාරයට අයත් විහාර පහකි. එදා එක්‌ විහාරයක්‌ව තිබූ මේවා අද විහාර පහක්‌ බවට පත්ව තිබේ. වනවාස රජමහා විහාරය එකල භික්‌ෂුන් විසූ ස්‌ථානයයි. නැතහොත් භික්‌ෂු අධ්‍යාපනය ලබාදුන් අධ්‍යාපන ආයතනයයි. බෝධිය පිහිටි බෝධිමළු රජමහා විහාරය, විහාරගෙයි පිහිටි ගලපාත විහාරය, වෙහෙරවහන්සේ වැඩ විසූ බෙම් වෙහෙර හා අමතර බෝධියක්‌ විසූ බෝධි සමීප පුරාණ විහාරය මෙම විහාර පහයි.

දෙතිස්‌ඵල රුහ බෝධියෙන් එක්‌ බෝධියක්‌ වැඩවසන වනවාස විහාරය සංදේශ කාව්‍ය කිහිපයකටම මාතෘකා සැපයූ උතුම් පිං බිමකි. කෝකිල, ගිරා, තිසර හා පරෙවි සංදේශවලදී සංදේශකරු "වනවාසය" ගැන ඉතා පැහැදිලිව සිහිපත් කර දී ඇත. පෙර දැක්‌වෙන කවියෙන් ඒ බව අපට පැහැදිලි වනු ඇත.

විල්හෙල්ම් ගයිගර්, රයිස්‌ ඩේවිඩ්සන් වැනි අපරදිග පඬිවරුන් මෙම විහාරය ආශ්‍රයෙන් සිංහල හා පාලි බස උගත්හ. තවත් භික්‌ෂුන් ගණනාවක්‌ තම පාණ්‌ඩිත්‍යය සරුකරගත්තේ මෙම වෙහෙරෙනි.

"රාමඤ්ඤ නිකාය බිහිකළ වනවාසයේ කොස්‌ ගස

රාමඤ්ඤ නිකාය පිහිටුවා වදාළ අඹගහවත්තේ ඉන්ද්‍රසභ මාහිමියන් උගත්තේද මෙම වනවාස ආරාමයෙනි. උන්වහන්සේ සාමණේර සමයේදී විහාරයේ සිට අකුරු කරන කල තවත් සාමණේර වහන්සේලා සමග විහාරයේ පැවැති කොස්‌ ගසක තිබූ වරකා ගෙඩියක්‌ කඩන්නට ඉනිමඟකින් ගසට නැඟි මොහොතක අනෙකුත් සාමණේරයන් වහන්සේලා එම ඉනිමග ඉවත්කොට කළ කවටකමක්‌ හේතුවෙන් උන්වහන්සේට මෙම පිරිවෙන අතහැර යන්නට සිදුවිය. මේ හේතුව නිසා සියම් නිකායෙන් ඉවත්ව අමරපුර නිකායට එක්‌වූ උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනයෙන් පසු රාමඤ්ඤ නිකාය පිහිටුවා වදාළහ. උන්වහන්සේගේ සිල්වත් බව ප්‍රගුණ කරන්නට හේතු වූ මෙම කොස්‌ ගස අදත් වනවාස විහාරයේ ඇති අතර, මේ සංචාරයේදී අපට ඒ අසිරිමත් ගසද දැකගන්නට ලැබීම සතුටකි.

කාශ්‍යප මහ රහතුන්ගේ දන්ත ධාතුන් නිධන් කළ

ගලපාත විහාරය

සංඝ ශාසනයේ සැරියුත්, මුගලන් දෙනමට පමණක්‌ දෙවැනි වන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක්‌ වැඩ සිටින ලොව එකම ස්‌ථානය වන ගලපාත විහාරය පිහිටා ඇත්තේ ද බෙන්තරය.
"සර්වඥයන් වහන්සේගේ මහා පාංශකූල චීවරය දැරූ ධූතාංගධාරී භික්‌ෂූන් අතරින් අගතැන්පත් තතාගත තෘතීය මහාශ්‍රාවක අනුබුදු මහා කාශ්‍යප මහ රහතන්වහන්සේගේ දළදාවක්‌ (උල් දන්තයක්‌) ස්‌ථූපයේ වැඩ සිටියි." යනුවෙන් සඳහන් පුවරුවක්‌ ගලපාත විහාරයේ ස්‌ථූපය අසල ඇත.

ගලපාත විහාරයට අසීමිත වටිනාකමක්‌ ගෙන දෙන ඒ දන්ත ධාතුව කාශ්‍යප මහ රහතන් වහන්සේ ජීවත්ව සිටියදී ගිලිහුන එකකි. දඹදිව සිට මෙරටට වැඩමවූ ඒ දන්ත ධාතුව අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේ නමක්‌ විසින් මෙම විහාරයේ තැන්පත් කර ඇති බව සඳහන් වේ.

විහාරයට ප්‍රවිෂ්ඨ වීමේදී දක්‌නට ඇති ගල්කණු සහ සෙල්ලිපිය පවසනුයේa සියවස්‌ ගණනක්‌ පැරණි ඉතිහාසයක්‌ එහි ඇති බවයි. පාලිs චූලවංශ ග්‍රන්ථයේ "හීමතිත්ථ" විහාරය ලෙසද, ශ්‍රී ලංකාවේ අෂ්ඨ මූලස්‌ථාන අතුරින් "ගලතුරුමුල" වශයෙන් හඳුන්වනු ලබන්නේද මේ බෙන්තොට ගලපාත විහාරයයි. දුටුගැමුණු රජුගේ අනින් පැමිණි සද්ධාතිස්‌ස කුමරු මෙම ආරාමය ප්‍රධාන විහාරස්‌ථානයක්‌ ලෙස සංවර්ධනය කර ඇති අතර පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරු මෙහි පැමිණ විහාරස්‌ථානයට පුදසත්කාර කර ඇත. පූජාවලියේ සඳහන් අන්දමට දඹදෙණිය යුගයේදී දෙවැනි පරාක්‍රමබාහු රජු මෙම විහාරයට පැමිණ දළදා වහන්සේ වෙනුවෙන් පුරා තෙදිනක්‌ පුද පූජා පවත්වා පසුව දළදා වහන්සේගේ ආරක්‌ෂාව උදෙසා දාගැබක්‌ බඳවා එහි එය නිධන් කර ඇත. පෘතුගීසීන් මුහුදුබඩ පෙදෙස්‌හි තම විනාශකාරී ආගමික ආක්‍රමණය පතුරුවද්දී එහි ගොදුරක්‌ බවට මෙම වෙහෙරද පත්විය. 1568 නොවැම්බර් 5 වැනිදා මෙම විහාරයට එල්ලවූ පෘතුගීසි ප්‍රහාරයේදී සියල්ල විනාශ වී ගිය නමුත් දාගැබේ නිධන් කළ දළදා වහන්සේ ආරක්‌ෂා විය.

එදා දළදා මැඳුරේ වූ ගල් උළුහස්‌ස අදත් එහි දැකිය හැකිය. පුස්‌කොල පොත් 300 ක්‌ පමණ මේ ඓතිහාසික වෙහෙරේ ගබඩා කර තිබේ. එහි ඇති පෞරාණික දෑ අතර ගලින් නිමවූ පෙරහන විශ්මිතයි. සුවිශේෂී පාෂාණයකින් සැදි මේ ගල් පෙරහනේ එකදු සිදුරක්‌ හෝ දක්‌නට නොමැති නමුත් එයට ජලය දමා විනාඩි කිහිපයක ඇවෑමෙන් ජලය පෙරී වෑස්‌සෙයි.

නිස්‌සංකමල්ල රජු ජලස්‌නානය කළ බව පැවසෙන නෙළුම් පොකුණ මෙම වෙහෙරෙහි ඓතිහාසික වටිනාකමට චමත්කාරයක්‌ එක්‌කරයි. වසර 270 ක්‌ පමණ පැරණි බුදු මැඳුරක්‌ සහ පසුව ඉදිවූ තවත් බුදු මැඳුරක්‌ මෙහි තිබේ. වාර්ෂිකව පවත්වනු ලබන මහා කාශ්‍යප දළදා පෙරහැර මෙම විහාරස්‌ථානයෙන් රුහුණු දේශයට පුදනා ආලෝකයකි.

විශේෂ ස්‌තූතිය - බෙන්තොට දර්ශන කරුණාරත්න, දේ. සූ. ද සොයිසා

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2010/11/28/nimna04.html

0 comments:

Post a Comment