
"අතුර" බලන්නට ඉඳුරුවට යමු

මේ නිසා මෙහි අප කතා කළ යුතු තවත් වැදගත් ඒ වගේම ප්‍රකට දෙයක් හමුවෙනවා. ඒ තමයි "අතුර" අවදානම් වැඩක් කරන විට "අතුරෙ යනවා වගේ වැඩක්" යෑයි සමාජයේ උපහැරණයක් තියෙනවා. ඒ කියන්නෙ "අතුරේ යැම" මහත් අවදානම් වැඩක්. රා කර්මාන්තයේදී "මල් මදින්නා" ගහෙන් ගහකට මාරුවෙන්නෙ පොල් කරටි දෙකක් අතර බැඳ තබන ලනු පොටවල් ආධාරයෙන්. දෙකකුල් තබමින් එක ලනු පොටක යන අතරතුර ඊට ඉහලින් ඇති ලණු පොටේ අත්වාරුවෙන් ගමන් ගන්නේ රා එකතු කරන (ලබු) කැට, මල් පිහිය, මල තලන උපකරණ, මලට බඳින බෙහෙත් පොට්‌ටනි යනාදියත් තමන්ගේ ඉනවටා එල්ලාගෙන. මෙවන් අතුරක් ගස් දහය දොළහ සිට විස්‌ස පමණ දක්‌වා ජාලයක් සේ බැඳීමත් ගස් කරුවන්ට මහත් පහසුවක්. එක පොල්ගහකට නැගල ගස් ගණනාවක ගිහිං තමයි බිමට බහින්නෙ. ඉතින්, අතුර බලන්න ඉඳුරුවට යන්න. රට වටා යන ගමනේදී අපි අතුරේ යන්නන් ගැනත් සොයන්න බලන්න අමතක කළේ නැහැ. පානදුර, පින්වත්ත, වාද්දුව, මග්ගොන, පයාගල ප්‍රදේශවලත් අතුරෙ යැම සිදුවෙනවා. ඒත් ඒ කතාන්දරයට ප්‍රකට තැන හමුවෙනතුරු අපි "අතුර" ගැන කතා කළේ නැහැ. මේ රස්‌සාව නම් මුහුදෙ යනවටත් වඩා "අවදානම්" කොහොම වුනත් ඉඳුරුවට ආපු මේ රා කර්මාන්තය ලන්දේසි යුගය දක්‌වා යන අතීතයක් ඇති දෙයක්.
කොස්‌ගොඩ කැස්‌බෑවන්

බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට කැස්‌බෑවන් විශේෂ 5 ක් එනවා. ඒ අතරින් අපි කතා කළ ඉඳුරුව වෙරළට කොළ කැස්‌බෑවා, ගල් කැස්‌බෑවා, දාර කැස්‌බෑවා යන විශේෂ ප්‍රධාන වශයෙන් පැමිණෙන අතර, යාබද කොස්‌ගොඩ වෙරළට ඊට අමතරව ඔළුගෙඩි කැස්‌බෑවා සහ පොතු කැස්‌බෑවාත් පැමිණෙනවා. ඒ කියන්නෙ කොස්‌ගොඩ, කැස්‌බෑවන් පස්‌දෙනාම පැමිණෙන සුවිශේෂ වෙරළ තීරයක්. බලපිටියට එන ගමනේදී කොස්‌ගොඩ වෙරළටත් පා තබන්න ලැබීම අපට ලැබුණු හැබෑම වාසනාවක්.
ගනේගොඩැල්ල රජමහා විහාරය

මේ ගමනේදී කොස්‌ගොඩ ගනේගොඩැල්ල පිහිටි දේවපතිරාජ ඇමැතියන්ගේ සොහොන සොයා ගත කළ කාලය අපට ඵලක් නොවුයේ ඒ තැන සොයාගන්නට අපට නොහැකි වූ නිසා.
අහුන්ගල්ල සිරි සුදර්ශනාරාමයේ මැටි බදාම තොරණ

අමරපුර නිකාය බිහිවූ බලපිටිය අම්බරුක්‌ඛාරාමය

මාදු ගඟ

අතීතයේදී මාදු ගඟ වැලි ගඟයි. බලපිටිය, වැලිතොටයි. 13 වැනි ශත වර්ෂයේදී මෙරටට එල්ල වු කේරළ ආක්‍රමණයන් සඳහා නොබියව සේනාව මෙහෙය වූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අග්‍රමැතිවරයා වූ දේව ප්‍රතිරාජ ඇමැතියා බලපිටියේදී කේරළයෙන් පැමිණ ගොඩබට චන්ද්‍රබානුගේ හමුදාව පරාජය කිරීමට කඳවුරු බැඳි පෙදෙස බලපිටිය බවට පත්වීලු. වැලි ගඟ මාදු ගඟ බවට පත්ව ඇත්තේ මාදුව ඇතුළු දූපත් හේතුවෙනි.
මාදු ගඟ අභය භූමියකි. එසේම කළපු හා මිරිදිය වශයෙන් වන පාරම්පරික ධීවර කර්මාන්තයේ නිජබිමකි. මෙහි පැහැදිලිව හඳුනාගෙන නම්කර ඇති දූපත් ගණන 36 කි. අක්‌කර 100 ක් තරම් විශාල මා-දුව විශාලතම දූපතයි.
වනගල්මං දූව, කොත්දූව, දික්‌දූව, මීමාදූව, හොන්දූව, දිමිදූව, එරවන දූව, නයිදූව, මුවන් දූව, වෙරළ දූව, ගල්මංදූව. කටුදූව, මඩදූව, ගෝන දූව, තීනිය දූව, සතපහ දූව අනෙකුත් ප්‍රකට දූපත්ය.
මාගල ඇළ, ලේනගල ඇළ, උණගස්‌වල ඇළ, සීනිගොඩ ඇළ වැනි කරන්දෙණිය ප්‍රදේශයෙන් පටන් ගන්නා ජල දහරා මාදු ගඟේ පෝෂණ ඇළ මාර්ගවේ. මාදු ගඟ අභයභූමිය හෙක්‌ටයාර් 915 කි. එහි ජලතලය හෙක්‌ටයාර් 770 ක් නොහොත් අක්‌කර 1925 කි. 2006 ජුලි මස 17 වැනිදා මෙය අභයභූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර රැම්සා තෙත්බිමක් බවට පත්වූයේ 2004 පෙබරවාරි මස 25 වැනිදාය.
මාදු ගඟ ඝනව වැඩුණු කඩොලානවලින් සමන්විත ඉවුරුවලින් යුක්‌තය. ඇතැම් තැන්වල කඩොලාන අඳුරු ගුහා අතරින් රිංගා බෝට්‌ටුවක, ඔරුවක නැගී මාදු ගඟේ අසිරිය විඳගත හැකිය. මෙහි ශාක විවිධත්වය හා වනසතුන්ගේ විවිධත්වය ඉතා ඉහළ මට්‌ටමක පවතී. මාදු ගඟේදී හමුවන "රතමිල්ල ශාකය ලංකාවේ ඉතාමත් දුලබ කඩොලාන ශාකයකි. එය මෙහිදී හා ආශ්‍රිත ස්‌ථාන කිහිපයකදී පමණක් හමුවේ. මෙහිදී කඩොල් විශේෂ 14 ක් හමුවේ. ශාක විශේෂ 302 ක් මාදු ගඟේ ඇති බවට හඳුනාගෙන ඇත. කිරල, මහකඩොල්, මල් කඩොල්, පුංකණ්‌ඩ, ගොඩකිරල, ගිං පොල්, කැරං කොකු වැනි ශාක මෙහි බහුලය.
තෙත්බිම් පරිසරයක් වන මෙහි කළපු හා මිරිදිය මත්ස්‍ය විශේෂ, ඉස්‌සන් ඇතුළු ජලජ උරගයින්ද රැසක් වෙති. කිඹුලන්ද මෙහිදී හමුවේ. ජලජ කුරුල්ලන් රැසක වාසභූමිය වන මාදු ගඟ, තෙත්බිම් ආශ්‍රිත උරගයන් හා ක්‍ෂීරපායින්ගේද වැදගත් වාසස්‌ථානයකි.
මාදු ගඟ ගැන කතාකරන විට මෙහි ඇති කොත්දූවත්, එම විහාරයත් අපට කිසිසේත් අමතක කළ නොහැකිය. කොත්දූව නම සෑදි ඇත්තේද මෙම විහාරය නිසාය. මෙහිදී ඔෆිසර සංදේශය රචනාවී ඇති බව කියනු ලබන අතර, ඉංග්‍රීසි ආක්‍රමණය සිදුවු අවස්‌ථාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව පිණිස මෙම කොත්දූවද භාවිතා කරන ලද බව කියනු ලැබේ. නිහඬ, නිසල, රමණීය, තැනෙක පිහිටා ඇති මාදු ගඟේ කොත්දූව මාදු ගඟටම අසිරියකි. සුන්දරත්වයේ හා ජෛවවිවිධත්වයේ, මෙන්ම ආගමික හා සංස්‌කෘතික ප්‍රබෝධයේ තෝතැන්නක් වූ මාදු ගඟේ සංචාරයද අපගේ රටවටා ගවේෂණ චාරිකාවට මහත් අත්දැකීමක් කර ගනිමින් අද අප බලපිටියෙන් සමුගන්නේ දකුණ ලක තවත් ආගමික සංස්‌කෘතික ප්‍රබෝධයේ සලකුණක් වන් තැනෙක කඳවුරු බඳිනු රිසියෙනි. ඒ, ගෙඳවානගල අභය භූමිය පිහිටි අම්බලන්ගොඩයි.
බලපිටිය ගැන තවත් වැදගත් තොරතුරු ලබන ඉරිදාත් අපි කතා කරනවා.
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
http://www.divaina.com/2010/12/05/nimna05.html
0 comments:
Post a Comment