Pages

Monday, August 15, 2011

40 : නාවික යාත්‍රාවක ගිය කොට්‌ටියාර් බොක්‌කේ සංචාරය

මඩකලපුවේ අපි ගතකළ කාලයේදී කොළඹ කොටුවේ සිට මඩකලපු දුම්රිය ස්‌ථානය දක්‌වා දුම්රිය එන්ජිමක්‌ තුළ ගිය ගමන ගැනත් අපට ඉතා හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. ඉතින් · මේ දිනවල ත්‍රිකුණාමලය අවට චාරිකාවේ යෙදිල ඉන්න අපි, ගෝකණ්‌ණ තොට ගැන විතරක්‌ නෙමේ, ත්‍රිකුණාමලය බොක්‌ක (කොට්‌ටියාර් බොක්‌ක) තුළ පිහිටි තුඩු, බොකු, දූපත්, වරාය යනාදිය ගැනත් තොරතුරු කිව්වටම මදිනෙ. ඒවා දෑහින් දැකබලාගෙන, ඒ දූපතකට දෙකකට ගොඩවෙන්නට ඇත්නම් ඒකත් කෙතරම් අත්දැකීමක්‌ද කියල අපිට හිතුණ. අපි ගමනක්‌ ගිහිං අත්දැකීමක්‌ ලැබුව කියන්නෙ, ඔබටත් ඒ අත්දැකීමේ නැවුම් තොරතුරු කොටසක්‌ කියවන්න ලැබෙන කියන එක. ඒ හින්ද ඔන්න අපි ඔබව අද ත්‍රිකුණාමලය අවට සාගරයේ චාරිකාවකට කැඳවාගෙන යනවා. ත්‍රිකුණාමල වරායෙ නාවික කඳවුරේ ජැටියෙන් පිටත්වන අපි පළමුව සෝබෝර් දූපත්, රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය, එලිසබෙත් දූපත පසුකරල සාම්පූර් ජැටියට ළඟා වෙනවා. ඉන්පසු එතනින් ෆවුල් තුඩුවට යන්නෙ පෙර දවසක අපි කඳවුරු බැන්ද "ෆවුල් පොයින්ට්‌" මුහුදින් ගිහිං බලන්න ඕන හින්ද. ආයිමත් එතනින් මුහුදු චාරිකාවෙ දෙවැනි කොටස පටන් ගන්න අපි, කින්නියා පාලම, මාබල් බීච් ප්‍රදේශ පසුකරමින් කෝනේෂ්වරම් කඳුගැටය පාමුලට යනවා. ඉන්පසු යන්නෙ නිලාවැලි පරෙවි දූපතට. ඉතින්, අද එකතුවෙමු මහ මුහුදේ අසිරිය විඳින්න. මේ චාරිකාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වගේම නාවික හමුදාව අපට විශේෂ අවසරයක්‌ හා විශාල සහයෝගයක්‌ දුන් බවත් කිව යුතුමයි. චාරිකාව සඳහා භාවිත කළේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත "වෝටර් ජෙට්‌" වර්ගයේ අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක්‌.

නාවික ජැටියේ සිට සාම්පූර් දක්‌වා

නාවික සංචාරය සඳහා ත්‍රිකුණාමලයට ළඟාවුණු අපට, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතාගේ දැනුම්දීම පරිදි ත්‍රිකුණාමලයේදී සම්බන්ධ වුණේ නැගෙනහිර නාවික විධාන මෙහෙයුම් නිලධාරි කමාන්ඩර් පූජිත විතාන මහතා. ඔහුගේ දැනුම් දීම පරිදි හරියටම පෙරවරු හතහමාරට අපි නාවික හමුදා ගම්මිරිස්‌ (p.p) ජැටියට ළඟාවුණා. ඒ වන විටත් p-158 දරන "වෝටර් ජෙට්‌" වර්ගයේ යාත්‍රාව අප එන මඟ බලාපොරොත්තුව එහි රඳවා තිබුණා. නැගෙනහිර නාවික මාධ්‍ය අංශයේ රංගන සොයුරා අපව පිළිගෙන එහිදී අපව යාත්‍රාවට රැගෙන ගියා. ඔන්න දැන් අපේ ගමන ආරම්භ කරන්න සූදානම්.
පළමු ගමන අප යන්නෙ සාම්පූර් දක්‌වා. ඒ යන ගමනේදී සාම්පූර් නාවික ජැටියෙන් බැස ෆවුල් තුඩුව දක්‌වා ගමන් කරන්නත් කතිකා කරගත්තා. මොකද, මේ ගමනේදී නාවික යාත්‍රා ෆවුල් තුඩුවට ළංකරන්න බැරි බව යාත්‍රාවේ සෙබළ සොයුරන් අපට දැනුම් දුන්නා. ඒ ෆවුල් තුඩුව ආශ්‍රිත ප්‍රදේශයේ සාගරය ගල්පරවලින් සමන්විත වන නිසා.

ජැටියෙන් ගමන් ආරම්භ කළ "වෝටර් ජෙට්‌" යාත්‍රාව දිය දෙබෑ කරමින් සාම්පූර් (දකුණු දෙසට) බලා ඇදෙනවා. වම්පසින් නාවික අංගනය. එහි නොයෙකුත් නාවික යාත්‍රා රැසක්‌ දක්‌නට ලැබෙන අතර විශාල නෞකාත් නැංගුරම්ලා තිබෙනවා. දකුණු පස ඉදිරියෙන් අපට දක්‌නට ලැබෙන්නේ ත්‍රිකුණාමල ප්‍රීමා පිටි කම්හල. මෙම කර්මාන්තශාලාවට තිරිඟු රැගෙන පැමිණි නැව් කිහිපයකුත් මෙහිදී දැකගත හැකියි. මෙම කම්හල පසුකරන විටම තමයි සෝබෝර් දූපත් නෙත ගැටෙන්නේ. කුඩා සෝබෝර් හා මහා සෝබෝර් ලෙස යුගලක්‌ වශයෙන් පිහිටා තිබෙන මෙම දූපත් දෙක අභයභූමි ලෙස 1963 දී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තියෙන්නෙ එහි ඇති ජෛවවිවිධත්ව අගය නිසා. සෝබෝර් දූපත් පසුකළ පසු අපට ඈතින් දකින්නට ලැබෙන්නෙ "රවුන්ඩ් අයිලන්ඩ්" දූපත හා එහි මධ්‍යයේ තිබෙන ප්‍රදීපාගාරය.

රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය

රවුන්ඩ් අයිලන්ඩ් නොහොත් "වට දූපත" කොට්‌ටියාර් බොක්‌කේ තියෙන අලංකාරතම දූපතක්‌. සාම්පූර්, මුතූර්, කින්නියා, මාබල් බීච් වගේ අප පසුකර ආ කොට්‌ටියාර් බොක්‌ක වටා ඇති වෙරළබඩ මාර්ගයේ දිගින් දිගටම මේ දූපත විවිධ පැතිකඩවලින් අලංකාරව අපට දැකගන්නට ලැබුණා. එහෙත්, අද අපි මේ අරුණළු නැගෙන උදෑසන දූපතට සෘජුවම මුහුණලා ළඟ ළඟ ඉඳන් දූපත දකිනවා. ඒ විතරක්‌ නෙමේ එහි මැද පිහිටි පැරණි ප්‍රදීපාගාරයත් කදිමට මේ යාත්‍රාවට දිස්‌වෙනවා. අද අබලන්ව ක්‍රියාවිරහිතව පැවතියත් රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය 1863 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකර ඇත්තේ එකල ත්‍රිකුණාමල වරායට ඇතුළුවන නාවික යාත්‍රා සඳහා කදිම මඟපෙන්වීමක්‌ මේ මගින් ලබාදෙන නිසා. මෙහි උස අඩි 103 ක්‌.

එළිසබෙත් දූපත

මීළඟට අපිට මුණගැසෙන්නෙ තවත් අලංකාර දූපතක්‌ වන එළිසබෙත් දූපත. මෙයට ඒ නම භාවිත කෙරෙන්නෙ ඇයිද යන්න අපි දන්නෙ නැති වුණත්, ගල්පරවලින් සමන්විත මේ දූපතත් කොට්‌ටියාර් බොක්‌කෙ අලංකාර දූපතක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.

එළිසබෙත් දූපත පසුකරනවාත් සමඟ අපගේ යාත්‍රාව පැමිණෙන්නේ වඩාත් පුළුල් මුහුදු කලාපයකට. දකුණුපසින් මාබල් බීච්, කින්නියා පාලම පෙනෙන මහවැලි නදියේ මෝය කලාපය. වම්පසින් නොහොත් නැගෙනහිර දෙසින් පුළුල් වරාය විවරය දිස්‌වෙනවා. එහි පහළ කෙළවර තමයි ෆවුල් තුඩුව. මේ ගොඩබිම් තීරුවේ තවත් පහළට වෙන්නට තමයි සාම්පූර් පිහිටල තියෙන්නෙ. වම්පසින් සාගරයේ පැතිර තියෙන ගල්පර මගහරිමින් අපගේ යාත්‍රාව සාම්පූර්වල නාවික ජැටිය බලා ඇදෙනවා. තවත් මොහොතකින් අපි රැගත් යාත්‍රාව ජැටියට ළඟාවුණේ කලක්‌ කොටි බලකොටුවක්‌ව පැවැති මෙහි, වත්මන් ශ්‍රී ලංකා නාවික හමුදා අභිමානය දරාගත් නාවික සෙබළ කැළ අප බලාපොරොත්තුව එහි රැඳී සිටියදී.

ෆවුල් තුඩුව ප්‍රදීපාගාරය දක්‌වා

සාම්පූර් ජැටියෙන් බැසගත් අපිට, ෆවුල් පොයින්ට්‌ දක්‌වා යන්න ජීප් රථයක්‌ සමඟ එහි පැමිණ සිටියේ නාවික ලුතිනන් අනුරුද්ධ හේරත්. ආගන්තුක සත්කාරයට බොහොමත් කැමැති නාවික නිලධාරීන් සමඟ උදේ ආහාරය සාම්පූර් කඳවුරේදී ගත් අපි මීළඟට කෙළින්ම ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය දක්‌වා ජීප් රථයෙන් ගමන් ගත්තා. මේ ගැන අපි කලින් විස්‌තර කතා කර තියෙන නිසා අද වැඩි දෙයක්‌ කතා කරන්නේ නෑ.

ෆවුල් පොයින්ට්‌ ගමනෙන් පස්‌සෙ අපි "නෝර්වේ දූපතට" යන්න තීරණය කළා. කොට්‌ටියාරම් බොක්‌කෙ නාවික සංචාරයකදී මෙවන් දූපතකට ගොඩබැසීමත් සුවිශාල අත්දැකීමක්‌. ලුතිනන් හේරත් සාම්පූර් ජැටියේ ඉඳල නෝර්වේ දූපතට යන්න ඩිංගි බෝට්‌ටු දෙකක්‌ ලෑස්‌ති කළේ දූපතට ගොඩබහින්න ඕන හින්ද. ඔන්න ගමන ආරම්භ කරල විනාඩි 15 කින් විතර අපි නෝර්වේ දූපතට ගොඩබැස්‌සා. මේ දූපත වගේම, ඊට යාබදව පිහිටි "තට්‌ටගල" දූපතත් පිහිටල තියෙන්නෙ ෆවුල් තුඩුවට වයඹ දිගින්. හුදෙකලා දූපතක්‌ වන මෙය නාවික හමුදා මුරපළක්‌ ලෙස භාවිතයට ගැනෙන තැනක්‌. ඉපිල් ඉපිල් ගස්‌ යායත්, වෙනත් පඳුරු ශාකවලින් සමන්විත මේ දූපත අක්‌කර භාගයකින් පමණ සමන්විත වුවක්‌. මෙය කුරුල්ලන්ගේ කැදලි බිමක්‌ ලෙසත් භාවිත කෙරෙන බව එහි ගිය අපට දැකගන්න ලැබුණා. නෝර්වේ දූපතේ පැය භාගයක පමණ සංචාරයෙන් පස්‌සෙ අපි ආයිමත් ළඟාවුණේ සාම්පූර් ජැටියට. එතැනදී සාම්පූර් නාවික නිලධාරීන්ට සමුදුන්න අපි, නැවතත් අපව රැගෙන ගිය වෝටර් ජෙට්‌ යාත්‍රාවට ගොඩවුණා.

සාම්පූර් සිට කෝනේෂ්වරම් දක්‌වා

සාම්පූර්වලින් පිටත් වූ අපි ඊළඟට නැරඹුවේ වම්පසින් දිස්‌වන කින්නියා පාලම. ලංකාවේ දිගම පාලම මෙය බව ඔබට අපි පසුගිය දිනෙක කිව්වා මතක ඇති. එතැන් සිට නාවික යාත්‍රාංගනය පිහිටි "චැපල් හිල්" නම් කඳුවැටියට පිටින් අපි කෙළින්ම ඇදුණේ කෝනේෂ්වරම් තුඩුව දක්‌වා.

දිය දෙබෑ කරමින් ඇදුණු මේ වේග ප්‍රහාරක යාත්‍රාව මඳ වේලාවකින් ත්‍රිකුණාමල වෙරළ උද්‍යානය පසුකර, පෙඩි්‍රක්‌ කොටුව අසලින් පැමිණ කෝනේෂ්වරම් කඳු පාමුලදී නිසසල වුණේ, අපට එහි සිට කෝනේෂ්වරම් කෝවිලේ ඡායාරූපගත යුතු වූ නිසා. පසුගිය ඉරිදා මේ කෝනේෂ්වරම් දෙවොලේ ගෙමිදුලේ කඳවුරු බැඳ ගෝකණ්‌ණ වරායේ ඡායාරූපගත කරපු හැටි අපට මෙතැනදී මතක්‌ වෙනවා.

කෝනේෂ්වරම් සිට පරෙවි දූපතට

නිලාවැලි - පරෙවි දූපතට කිලෝමීටර් 13 ක විතර සෘජු දුරක්‌ තියෙනවා. ඒත් අධිවේගී යාත්‍රාව විනාඩි 20 ක විතර ගමනකින් පරෙවි දූපත ආසන්නයට පැමිණියා. මෙම යාත්‍රාව දූපතට ළඟා කරවිය නොහැකි නිසාත්, පරෙවි දූපත දැන් ජාතික උද්‍යානයක්‌ නිසාත්, මෙහි ඇතුළුවිය හැක්‌කේ අවසර ගෙන ප්‍රවේශපත් ලබා ගැනීමෙන් පසුව නිසාත් අදාළ කටයුතු කරගෙන අපි දූපතට ළඟා වුණේ තවත් ඩිංගි බෝට්‌ටුවකින්.

දහවල් ආහාරයෙන් පස්‌සෙ නිලාවැලියට සමුදුන් අපි ඊළඟට කෙළින්ම ඇදුනෙ ආයිමත් ඡඡ නාවික ජැටිය බලා. ඒ එන ගමනේදී කොට්‌ටියාර් බොක්‌කේ වැදගත් සුන්දර ස්‌ථාන සියල්ලම පාහේ දැකගන්න අපි අමතක කළේ නෑ. ඒ අනුව කෝනේෂ්වරම් තුඩුව, රොකී පොයින්ට්‌, චැපල් හිල්, කොරල් කෝව් වෙරළ තීරය, ගී්‍රන් බේ, චැපල් බීච්, චැපල් අයිලන්ඩ්, එළිෆන්ට්‌ අයිලන්ඩ්, (දූපත) එළිෆන්ට්‌ පොයින්ට්‌, තට්‌ටගල, නෝර්වේ අයිලන්ඩ් (දූපත), කුඩා සෝබෝර් හා මහා සෝබෝර් දූපත්, එළිසබෙත් දූපත, රවුන්ඩ් අයිලන්ඩ් (දූපත), ෆවුඩර් දූපත, ක්‍රෝව් අයිලන්ඩ් (කාක දූපත) යනාදියේ සුන්දරත්වය හා පිහිටීම් අපූරුවට අප විඳගත්තා. මේ සියල්ලම පාහේ නාවික හමුදාව යටතේ පාලනය වන බවත් මෙහිදී කිව යුතුයි. ඔන්න ඔය විදිහට තමයි කොට්‌ටියාර් බොක්‌කේ අපූරු නාවික සංචාරය අප හමාර කළේ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


ස්‌තුතිය - ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, නාවික මෙහෙයුම් අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා, ආඥපති නැගෙනහිර පෙදෙස රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, නැගෙනහිර විධාන මෙහෙයුම් නිලධාරී කමාන්ඩර් පූජිත විතාන සහ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය යන මහත්වරුන්ට.

http://www.divaina.com/2011/07/03/nimna04.html

0 comments:

Post a Comment