Pages

Monday, August 15, 2011

28 : සංචාරක රජදහන ආරුගම් බොක්‌ක

කුඹුක්‌කන්ඔය මෝදරේ ගත කළ ඒ ආනන්දනීය රාත්‍රියෙන් පසු අපි උදෑසන කඳවුරු ආම්පන්න ආයිමත් හකුලා ජීප් රථයට දැම්මේ කුමන වනෝද්‍යානයෙන් නික්‌මිලා ඔකඳ හරහා පානමටත්, එතැනින් අරුගම්බේ බලා පිටත්ව යැමටත් අදිටන් කරගෙන. කුමන වනෝද්‍යානය තුළ තවත් බොහෝ දේ බලන්න තිබුණත් අපි ඒ සඳහා කාලය ගත නොකර වෙරළ තීරය දිගේ ඉදිරියටම ඇදුණේ අපගේ මීළඟ නවාතැනට තවත් බොහෝ දුරක්‌ යා යුතුව තිබුණු නිසා.

ඒ වගේම අප මේ පසුකරමින් සිටින ප්‍රදේශය ගැනත් විශේෂ සඳහනක්‌ කළ යුතුමයි. මේ තමයි රුහුණු ප්‍රදේශයට අධිපති රුහුණු-කතරගම දෙවියන්ගේ අඩවිය. කතරගම දෙවොල් බිම සිට යාල, කුමන ඔස්‌සේ ඔකඳ පානම දක්‌වා මේ රුහුණු කතරගම දෙවිඳුන්ගේ නොහොත් ස්‌කන්ධ කුමරුන්ගේ බලපරාක්‍රමය පැතිර තියෙනවා. ඒත් ඒ කතාවට ඔකඳ නොහොත් ඕකන්ද ප්‍රදේශයෙන්ම ප්‍රවිශ්ඨයක්‌ ගත යුතු නිසා අපි මෙතෙක්‌ ඒ ගැන එතරම් කතා කළේ නෑ. ඒත් අද ඒ පිළිබඳවත් අපි සලකා බලමු.

කතරගම දෙවියෝ

අළුත්වැව සෝරත හිමියන් ලියා ඇති '' කතරගම පුද සිරිත්'' ග්‍රන්ථය තමයි කතරගම දෙවියන් ගැන තොරතුරු දැනගන්න අපි භාවිත කළ ග්‍රන්ථය. ඒ අනුව ඇතැම් අය කියන්නෙ කතරගම දෙවියෝ අපේම රටේ දෙවිකෙනෙක්‌ කියල. තවත් අය කියන්නෙ මේ දකුණු ඉන්දියාවෙන් පැමිණි දේව සංකල්පයක්‌ කියල.

කොහොමහරි විජයාගමනයෙන් පසුව රුහුණේ මැණික්‌ ගඟ අසබඩ ජනපද පිහිටුවාගත් ආර්යය වංශිකයින් නිසා කතරගම දේව වන්දනාව නොහොත් ස්‌කන්ධ කුමරුන් පිදීම ලංකාවට ආ බවයි විශ්වාස කරන්නෙ.

''ශිව'' සහ ''අග්නිත් ක්‍රිතිකාවන්'' ගේ පුත් වූයේ ''අග්නි'' නොහොත් ස්‌කන්ධකුමරුන්ය. වෛදික සාහිත්‍ය තුළ උපන් ස්‌කන්ධ කුමරා ඉන්දියාවේදී ජනප්‍රිය වී සිටියේ ආරක්‍ෂක දෙවියකු ලෙසටය. ඉන්දියානු ආර්ය පිරිස්‌ ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ ස්‌කන්ධ කුමාර වන්දනය තදින් පැවැති සමයකදීය. එබැවින් ස්‌කන්ධ කුමාර සංකල්පය ලංකාවට ගෙනආවුන් දැඩි දේව භක්‌තිකයන් වූ අතර ඔවුන් රුහුණේ මැණික්‌ ගං දෑලේ පදිංචි වූ අතර, මෙහිදීද ස්‌කන්ධ කුමරාට ආරක්‍ෂක තනතුර ආරෝපනය කළේය. ඒ හේතුව නිසා කතරගමට, රුහුණට අධිපති දේවතාවා ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ස්‌කන්ධ කුමරා වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ කතරගම දෙවියන් යන නමිනි. කතරගම පුද සිරිත් ග්‍රන්ථය ඒ කරුණු කියයි.

ස්‌කන්ධ කුමරා ලංකාවට පැමිණි බවත් දෙවැනි වර ලංකාවට පැමිණි ගමනේදී සෙල්ල කතරගම ප්‍රදේශයේදී වල්ලි නම් වැදි කතක්‌ සරණ පවා ගත් බවත් එම වල්ලි අම්මා සමග එහි ගත කළ බවත් කියෑවෙන අතර, ඊට පෙර ස්‌කන්ධ කුමරා වැඩ සිටියේ වැඩසිටි කන්දේ බවද ඉතිහාස ගත තොරතුරු දක්‌වයි. මේ කෙසේ වෙතත් ස්‌කන්ධ කුමරා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ගමන සිදු වූයේ නැගෙනහිර පළාතේ ඔකඳ ඔස්‌සේ බව පවතින විශ්වාසයයි.

වත්මන් ඔකඳ දේවාලයට යාබදව වෙරළ තීරයේ පවතින ''රන්ඔරුගල'' නම් තැනට ස්‌කන්ධ කුමරාගේ ආගමනය සිදු වූ බවත් ප්‍රථමයෙන්ම ඔකඳ (ඕකන්ද) ප්‍රදේශයේ වැඩ සිටි බවත් විශ්වාස කරයි. පානම ප්‍රදේශයේ ද හේ ගත කළ බව විශ්වාස කරන අතර පසුව කුමන, යාල ඔස්‌සේ කතරගම සපැමිණි බවද හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. එය සිහිකරනු වස්‌ තමයි ඔකඳට එකතුවන දහස්‌ ගණන් බැතිමතුන් එහි ඇති කතරගම දේවාලයේ (ඔකඳ දේවාලය) පුද සිරිත් ඉටුකොට දින ගණනාවක්‌ම දුෂ්කර ගමනක යෙදී මහවන මැදින් කතරගමට එන්නේ. ''පාද යාත්‍රාව'' යනු ඒ ආගමික සංචාරයයි. අපගේ ගමන් මාර්ගයත් වැටී ඇත්තේ ඒ ඔස්‌සේමයි. එහෙත් අප යන්නේ ප්‍රතිවිරුද්ධව කතරගම සිට ඔකඳ දෙසටයි.

ඕකන්ද/ඔකඳ දේවාලය

කුමන වනෝද්‍යානයේ ප්‍රවිශ්ඨ දොරටුව ඇත්තේ ඕකන්දේ. එය පසුකර මීටර් 100 ත් 200 ත් තරම් දුර යන විට ඕකන්ද වැවට මෑතින් ඕකන්ද දෙවොල දිස්‌වෙනවා. මෙය කතරගම දෙවියන් උදෙසා තැනුණු පුද බිමක්‌. පෙර කී පරිදි මේ කතරගම දෙවියන් නොහොත් ස්‌කන්ධ කුමරා ඉන්දියාවේ සිට ලංකාවට ගොඩබට තැනලු. වාර්ෂිකව මෙහි සුවිසල් පිරිසකගේ සහභාගිත්වයෙන් දේව මංගල්ලය පැවැත්වෙනවා. මෙහි භාරකාරත්වය කතරගම දෙවොලේ මෙන්ම දිගින් දිගටම පවතින්නේ සිංහල ජාතිකයන් සතුවයි. එහෙත් කපු මහතුන් හින්දූන්.

ත්‍රස්‌තවාදී තර්ජනය දරුණු ලෙස පැවැති යුගයේදී පානම ගම්මානයෙන් මෙපිටට බැතිමතුන්, සංචාරකයින් බොහෝ සෙයින් හිඟ කාලයේදී පවා මේ දෙවොලේ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු වුණා. අවස්‌ථා කිහිපයකදීම දෙවොලේ පූජාවන් ඇතුළු කටයුතු සඳහාත්, කුමන උද්‍යානයට ගිය ගමන්වලදීත් මේ දෙවොල විටෙක අපට නවාතැනක්‌ සේද පිහිට වුණා. ඕකන්දට පැමිණි අප මෙවරත් ඒ පුණ්‍ය භූමියේ හෝරාවක්‌ දෙකක්‌ ගෙවා දැමුවේ පැමිණ සිටි බැතිමතුන් සමග එහි පූජාවටද සහභාගි වෙමින්. මෙහිදී ස්‌කන්ධ කුමරා ගොඩ බැස්‌ස තැන ලෙස සැලකෙන "රන්ඔරුගල'' බලන්නත් අපි අමතක කළේ නෑ.

පානම

ඕකන්දේ සිට පානමට කිලෝමීටර් 17 ක්‌ විතර තියෙනවා. වළ ගොඩැලි සහිත වනබද මේ මාර්ගයේ පැමිණ අපි පානමට ළඟා වුණා. ඒ අතර හමුවන ප්‍රකට කුඩුම්බිගල ආරණ්‍ය හා එම අභයභූමියට සංචාරය කරන්නත් අපි අමතක කළේ නෑ.

පානම ගම්මානයත් බිහිවෙලා තියෙන්නෙ 1818 කැරැල්ලේදී ඉංගී්‍රසින්ගේ වියරුවෙන් ගැලවී පළා ගිය සිංහල ජාතිකයන්ගෙන්. මේ තමයි කාලයක ඉඳල නැගෙනහිර මුහුදු තීරයේ තියෙන අන්තිම සිංහල ගම්මානය. පානම කිව්වට මේක හැඳින්වෙන්නෙ පානම් පත්තුව කියල. මේ ගම ත්‍රස්‌තවාදී තර්ජනයට නිරන්තරයෙන් ගොදුරු වුණා. ගම්වාසීන් රැසක්‌ කපා කොටා වෙඩි තබා ඝාතනය වුණා. ගොවිතැන වගේම ධීවර රස්‌සාවත් කරගෙන ජීවත්වන මේ ගම් වැසියන්ගෙන් අඩක්‌ම දමිළ සම්භවයක්‌ තියන අය කියලයි කියන්නෙ. කොහොම වුණත් හොඳ කඩමණ්‌ඩියක්‌ වගේම රෝහලක්‌. පාසලක්‌, පන්සලක්‌, වගේ අත්‍යාවශ්‍ය පහසුකම් රැසකුත් එහි තිබෙනවා. ඒත් පානමට ප්‍රවේශ මාර්ගය ඇත්තේ පොතුවිල් අරුගම් බේ පාළම හරහා පමණයි.

පානම කළපුවක්‌ පිහිටල තියෙනවා. ඒ වගේම මෝදරක්‌ ලෙසත් ප්‍රකටයි. පානමෙන් මුහුදට එකතු වෙන්නෙ විල ඔයයි. අලංකාර මෝයකට පානම සුන්දර තැනක්‌ බවට පත්කරනවා.

පානම කළපුව අතිශය රමණීය ප්‍රදේශයක්‌. පානම ගමමැදින් ගමන්කර වෙරළ දිශාවට ගිය විට අපට දැකගන්නට ලැබෙන්නේ දර්ශනීය වැලිතලාවක්‌. ඇතැම් තැන්වල වැලිකඳු යායක්‌ම දැකගත හැකියි. ඒ මැදින් තමයි පානම කළපුවට පාර වැටිල තියෙන්නෙ. අපේ ජීප් රථය මේ වැලිපාරෙ ඉදිරියට ඇදුනේ 'ෆෝවීල්'' භාවිත කරමින්. තෙර නොපෙනෙන වැලිකඳුයාය අතරින් කළපුවට ආපුවහම තමයි මෝය කට හොඳින් දිස්‌වෙන්නෙ. මොණරාගල කොටියාගල පැත්තෙන් පටන් ගන්නා විලඔය තමයි මෙහෙම පානම හරහා ඇවිත් මුහුද සිපගන්නෙ.

පානම ගම්වැසියන් බෞද්ධයින් වුනත් වැඩිපුර දේවභක්‌තිකයෝ. ඒ වනාන්තරය ආශ්‍රිතව ඉන්න හින්ද වෙන්න ඇති. මේ ගමේ පන්සල වගේම දේවාල භූමියකුත් තියෙනවා. මේ දේවාල බිමේ එක ළඟ දෙපැත්තකින් දේවාල දෙකක්‌ම තියෙනවා.

පානම අං ඇදීම

එක දේවාලයක්‌ පත්තිනි අම්මාගේ. අනෙක පානම වැසියන්ගේ බසින් අළුත් දෙවියන්ගේ. ඒ කියන්නෙත් කතරගම දෙවියන්. මේ දේවාල දෙකටම අයත්ව වසර සිය ගණනක්‌ පැරණි සියඹලා ගස්‌ දෙකකුත් තියෙනවා. මේ ගස්‌ දෙකේ අතීතයේදී පටන් අදාළ දෙවිවරුන් වැඩ සිටි බවයි පානම වැසියන් විශ්වාස කරන්නේ. ශ්‍රී ලංකාවට ආපු කතරගම දෙවියන් පානම හිටියා යෑයි කියන්නේ මෙතනයි. ඒ නිසයි පානම, ඔකඳ හා කතරගම යන ස්‌ථාන තුන කතරගම දෙවියන්ගේ විමාන ලෙස ප්‍රකටව තිබෙනවා.

කොහොම හරි පානම ගමේ අතීතයේ ඉඳන් කණ්‌ඩායම් දෙකක්‌ දෙකට බෙදිල ඉන්නෙ ''අං ඇදීම'' සඳහා නොහොත් මේ දේවාල දෙකේ පාර්ශ්වකරුවන් විදියට. අළුත් දෙවියන් වෙනුවෙන් උඩු පිලත් පත්තිනි දෙවියන් වෙනුවෙන් යටි පිලත් එකතුව අගෝස්‌තු සමයේ ඔකඳ දේවාලයේ පෙරහැර අවසන් වූ වහාම පානම පෙරහැර පටන්ගෙන සාම්ප්‍රදායික අං ඇදීම කරනවා. මෙය ගමට සශ්‍රීකත්වය කැන්දන ආගමික පූජාවක්‌. කතරගම සිට පානම තෙක්‌ සැතපුම් 66 ක්‌ පුරාවට රුහුණු කතරගම දෙවියන්ගේ අඩවිය සේ සලකා කරනු ලබන පුද සත්කාරවල එක්‌ අංගයක්‌ මේ වන අතර බොහෝ බැතිමතුන් මේ සැතපුම් 66 ම පාගමනින් ගෙවා ගෙන කතරගම ඇසළ මංගල්ලයට සහභාගි වෙන්නෙත් දෙවියන්ට ඇති භක්‌තිය නිසාමයි.

ආරුගම් බොක්‌ක

පානමෙන් පිටත්වුණු අපි දර්ශනීය වන වදුලු, කළපු, ලවන හැල්, ඔය පාරවල් කෙත්වතු පසුකර ගෙන මීළඟට ළඟා වුණේ ආරුගම් බොක්‌කට නොහොත් අරුගම් බේ ට. මේ තමයි නැගෙනහිර සුන්දර වෙරළේ ආරම්භය. සංචාරකයින් හිත දිනාගත් තැන. මේක සංචාරක කළාපයක්‌ වගේම රළ මත ලිස්‌සායැමේ ක්‍රීඩාවටත් අරුගම්බේ හරිම ප්‍රකටයි. ඒ වගේම අරුගම්බේ ධීවර පුරවරයක්‌. නොගැඹූරු මුහුදු ප්‍රදේශය මුහුදු ක්‍රීඩාවලට හරිම ප්‍රකට තැනක්‌. මෙහි එන අය මුහුදේ නාන්නත් අමතක කරන්නේ නෑ. මේ දර්ශනීය තැන ඉක්‌මණින් දාලයන්නත් කැමති නෑ. අපිටත් එහෙමම හිතුනා. ඒකයි කල්තියාම අපි අරුගම්බේ අපේ එක්‌ කඳවුරුබිමක්‌ ලෙස තෝරාගත්තේ. අද රාත්‍රිය අපි මෙහි ගත කරනවා.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/04/10/nimna03.html

0 comments:

Post a Comment