Pages

Monday, August 15, 2011

13 : ගල් මල් හිනැහෙන හික්‌කඩුව

අද දෙසැම්බර් 26 වැනිදා. සුනාමි ඛේදවාචකය සිදුවෙලා හරියටම අදට වසර හයයි. හතලිස්‌ දහසක්‌ දෙනා මේ ව්‍යසනයෙන් අපේ රටේදී මියගියා. ලක්‍ෂ ගණනකගේ දේපළ විනාශ වුණා. උන්හිටි තැන් අහිමි වුණා. අපේ රටේ සිදුවුණු විශාලතම (ස්‌වාභාවික) ඛේදවාචකය අපට ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. එදා සුනාමි ව්‍යසනයේ දරුණුතම විනාශයකට මුහුණ දුන් අකුරල, තෙල්වත්ත, කහව, පැරෑලිය, සීනිගම පසුකර දැන් අපි හික්‌කඩුවට ළඟා වෙලා ඉන්න මේ මොහොතේ එදා ජීවිත දන්දුන් දහසකුත් පිරිස මේ මොහොතේදී අනුස්‌මරණය කරන්නේ වේදනා බරව.

අකුරළ

අද අපි හික්‌කඩුවේ ගත කළත්, පසුගිය දින කිහිපයේ පසුකරගෙන පැමිණි ප්‍රදේශය තුළ තවත් ඉතුරු වුණු වැදගත් දේ ගැන සුළු වශයෙන් හරි කියන්න තියෙනවා. එවන් තැනක්‌ තමයි අකුරළ, මේ ප්‍රදේශයත් සුනාමි ෙ€දවාචකයට ගොදුරුවුණා. සිය ගණනක්‌ මියගියා. අකුරළ ප්‍රදේශය ප්‍රසිද්ධ හුණුකර්මාන්තයට නැහහොත් හිරිගල් කර්මාන්තයට. ගොඩනැඟිලි ද්‍රව්‍යයක්‌ සේ භාවිතයට ගැනෙන අළුහුණු මේ ප්‍රදේශයේ බහුලයි.

ඒ විතරක්‌ නොවේ, අමරපුර මහා සංඝ සභාව ගොඩනැංවීමට මහත් සේ කැපකිරීම් කළ භික්‍ෂූන් අතර මූලික වූ හිමිනමක්‌ වන අකුරළ සීලවංශ නාහිමියන් වැඩසිටියේ මේ ගම්මානයේ.

සීනිගම
සීනිගම දේවාලය ගැන පහුගිය සතියේ අපි කතා කළත්, ඒ ගැන වැයුම් හෝ යාග අපට උපුටා දක්‌වන්නට තරම් ඉඩකඩක්‌ තිබුණේ නැහැ. ගාලු පාරේ ගමන් ගන්නා විට දකින මුහුද මැද දෙවොල් දේවාලයේ වැඩවසන දෙවොල් දෙවියන් ගැන ඇසෙන කතා මෙවන් යාගවලින් පැහැදිලි වෙනවා.

ජයගත් සක්‌රජ සේම සිතින් නේ
කහ මුගුරක්‌ තම දෑතට ගන් නේ
ළඟ ඇවිලෙන ගිනි මැදට පනින් නේ
රඟ බල ඔහොමයි දෙවොල් යකුන් නේ

නොදා තියන ගඟ දිය මෙන් සිහිල් වෙවී
උදාරයෙන් පැන ගිනි මැදට සැක නෙවී
අදා සිතින් ගොඩ බටු අණසක බෝවී
එදා පතිනි නම තැබුවේ දෙවොල් දෙවී

කතරගමට දහසක්‌ පඬුරු දෙඤ්ඤයි
දෙවිනුවරට නවයක්‌ පඬුරු දෙඤ්ඤයි
සීනිගමට සතරක්‌ පඬුරු දෙඤ්ඤයි
සොරා මරුට දුන්නොත් තවත් දෙඤ්ඤයි

කතරගමට අධිපති ශ්‍රී ස්‌කන්ධ දෙවිත්, දෙවිනුවරට අධිපති ශ්‍රී විෂ්ණු දෙවිත්, සීනිගමට අධිපති ශ්‍රී දෙවොල් දෙවිත්, යන ත්‍රි මුර්තිය හමුවේ සොරකමක්‌ ගැන කියවා ඇති වස්‌ කවියකි ඒ.

හික්‌කඩුවේ සුමංගල හිමි
හික්‌කඩුව ගැන කතා කරන විට අපට ප්‍රධාන කාරණා දෙකක්‌ සිහිපත් වෙනවා. එකක්‌, හික්‌කඩුව කොරල් උද්‍යානය. අනෙක්‌ කරුණ හික්‌කඩුවෙ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ. සීනිගම මඳක්‌ පසුකර දකුණු දෙසට යනවිට හමුවන තොටගමු ගඟ අසල ප්‍රතිමාවක්‌ නිමවා තිබෙනවා. ඒ හික්‌කඩුවේ සුමංගල හාමුදුරුවන්ගේ.

හික්‌කඩුවේ හාමුදුරුවෝ මහණ දිවියට ඇතුළු වුණේ තොටගමු රත්පත් පුරාණ රජමහා විහාරයේදී. 1827 දී උපන් මෙහිමියන් 1840 දී මහණ දිවියට ඇතුළත් වුණා. රත්මලාන පරම ධම්මෙච්තිය පිරිවෙණින් උසස්‌ අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කාසිනාථ බ්‍රාහ්මණයාගේ සංස්‌කෘත හා නක්‍ෂ්ත්‍රය උගත් පඬිරුවනක්‌. උපසම්පදාවෙන් අනතුරුව පිළිප්ද සිල්වා ඈපා අප්පුහාමි, දොන් කරෝලිස්‌ හේවාවිතාරණ යන අය සමඟ විෙද්‍ය`දය පිරිවෙණ ආරම්භ කළේත් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ. ඕල්කොට්‌තුමන් සමඟ පරමවිඥනාර්ථ බෞද්ධ සමිතිය ආරම්භ කළ සුමංගල හිමියෝ, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් සහ ඕල්කොට්‌තුමන් සමග එකතුව කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කළා. පොත්පත් රැසක්‌ මෙන්ම ලංකාවේ පිරිවෙන් රැසක්‌ ආරම්භ කිරීමටත් ගෝල හිමියන්වහන්සේලා බිහිකළ උන්වහන්සේ ගාලු පළාතේ, ගාලු කෝරළයේ ප්‍රදාන සංඝනායක පදවි ලබා රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකත්වයද හිමිකර ගත්තා.

හික්‌කඩුව සමුද්‍රීය උද්‍යානය
හික්‌කඩුව ගැන කතා කරනවිට කොරල් උද්‍යානය ගැන කතා නොකර කොහොමද? මේ කොරල් උද්‍යානය නිසාම තමයි හික්‌කඩුව දකුණු පළාතේ දෙවැනි සංචාරක පුරවරය බවට පත් වූණේ. අලංකාර කොරල් සම්පතකින් යුත් මෙම නොගැඹුරු වෙරළ තීරය සංචාරකයින් ආකර්ෂණය කරගත් පුරවරයක්‌ බැවින් මෙහි සංචාරක හෝටල් ඇතුළු සංචාරක පහසුකම් ඉතා හොඳින් දියුණුව පවතිනවා.

කොරල් යනු ආරක්‍ෂිත ජිවීන් කොටසක්‌. මෙහි වගකීම තිබෙන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට. ඔවුන්ට පැවරී ඇති බලතල අනුව පළමුව මෙය සමුද්‍රීය අභයභූමියක්‌ බවට පත්කරනු ලැබුවා. ඒ. 1979 දී. හික්‌කඩුව ගල්මල් උයනේ ආරක්‍ෂාව පිණිස 1998 දී මෙය ස්‌වභාව රක්‍ෂිතයක්‌ දක්‌වා නීතියෙන් උසස්‌ කළා. ඉන්පසුව 2002 වසරේදී හික්‌කඩුව ශ්‍රී ලංකාවේ 16 වැනි ජාතික උද්‍යානය බවට පත් කළේ අක්‌කර 254 ක භූමි ප්‍රදේශයක්‌ මීට එක්‌ කරමින්. වෙරළේ කිලෝමීටර් 1.5 ක්‌ අද උද්‍යානයට අයත්ව පවතිනවා. ලංකාවේ පූර්ණ සමුද්‍රීය උද්‍යානය වන්නේත් හික්‌කඩුවයි.

මුහුදු තෘණ, ඇල්ගී වර්ග, මෙහි දක්‌නට ලැබෙන අතර, හික්‌කඩුවේදී හමුවන ගැටිපර ආකාරයේ කොරල් පරයේ ගණ 31 කට අයත් කොරල් විශේෂ 60 ක්‌ වාර්තා වී තිබෙනවා.

ගෝනංඅං, මුවඅං, ගෝවා හැඩති, මොළ හැඩති, මේඝ ආකාර තාරකාකාර යනාදී වශයෙන් මෙහි කොරල් ආකාර රැසක්‌ පවතිනවා.

කොරල්පර ආශ්‍රිතව දක්‌නට ලැබෙන ප්‍රධානතම සත්ව කාණ්‌ඩය පරආශ්‍රිත මසුන්Z. කුල 48 කට අයත් මත්ස්‍ය විශේෂ 113 ක්‌ මෙහි වෙසෙනවා. කකුළුවන්, ඉස්‌සන්, පොකිරිස්‌සන්, බෙල්ලන්, මුහුදු පණුවන්, මුහුදු කැකිරි, ඉකිරි, වැනි සතුන්ද මෙහි සුළභයි. කොළඹ කැස්‌බෑවා, පොතු කැස්‌බෑවා යන අයද හික්‌කඩුවේදී හමුවෙනවා. එවන් විශේෂිත උද්‍යානයක්‌ යළිත් දකුණු වෙරළේදී අපට හමුවන්නේ නැහැ. මෙවන් අසිරිමත් සංචාරක හා ජෛවීය වටිනාකම් සහිත පුරවරයක අප වැඩිපුර දිනයක්‌ ගත කළේ මෙහිම සිට විවේක සුව ගත කරමින් හික්‌කඩුවෙන් දකුණු දිගට තවත් අප්‍රකට තොරතුරු රැසක්‌ ආවරණය කර ගනිමින්.

දොඩන්දූව කුමාර මහා විහාරය

මේ, මිළඟට අපට හමුවුණු දකුණේ තවත් වැදගත් මං සලකුණක්‌. දොඩන්දූව කුමාරකන්ද කුමාර මහා විහාරය ප්‍රදේශයටම ආලෝකයක්‌ බඳු පුරාණ විහාරයක්‌. 1965 දී පමණ ගණින්නාසේලාගෙන් භික්‍ෂූන් වෙත පවරාගත් මෙම විහාරය හිමිවරුන් කිහිප පළකින්ම පුනරුදය ලබා දියුණුවෙන් දියුණුවට ලක්‌වු විහාරයක්‌. විහාරයේ වත්මන් විහාරාධිපති හිමියන් වන ගන්තලේ ශ්‍රී ගුණානන්ද හිමියන් අපව සාදරයෙන් පිළිගෙන දිවා ආහාරයෙන්ද අපට සංග්‍රහ කරමින් මේ විහාරය ගැන තොරතුරු රැසක්‌ අපට කියා දුන්නා.

වාදීහසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිsමියන් මහණදිවියට ඇතුළත් වූ විහාරය මෙයයි. මිගෙට්‌ටුවත්තේ මිගෙල් නම් වු ගිහිනමින් මෙහි පැමිණි උන්වහන්සේ මෙම විහාරයේ පොතපත පරීශීලනය කර 1945 දී ත්‍රිපිටකය පුස්‌කොළ පොත්වලට නඟා තිබෙනවා. ඒ වගේම අනගාරික ධර්මපාල තුමන්, ඕල්කොට්‌ තුමන් මාටින් වික්‍රමසිංහයන් මෙම විහාරයේ නිරතුරුව නවාතැන් ගනිමින් සසුනට වැඩදායක මෙහෙවරකට දායක වී තිබෙනවා. 1869 දී රාජගිරි පිරිවෙන නමින් පිරිවෙණක්‌ මෙහි ආරම්භවී ඇති බවයි කියන්නේ.

මෙම විහාරයේ පවතින වසර 200 කට වඩා පැරණි දිය පොකුණ ප්‍රදේශයේම ජනතාවට අනාදිමත් කලක සිට පානීය ජලය සැපයූ දිය උල්පතයි.

දොඩන්දූව ශෛලබිම්බාරාමය
දොඩම්දූව ගැන කතා කරන කොට ශෛලබිම්බාරාම විහාරය ගැන කතා නොකර බැහැ. මන්ද, පෘතුගීසි සමයේදී විනාශ වුණු වෙරළබඩ වෙහෙර විහාර සහ බුදු දහම නැවත ප්‍රතිස්‌ථාපනයේදී මෙම විහාරස්‌ථානයෙනුත් සිදුවූ ආගමික සමාජමය මෙහෙවර මෙතෙකැයි කියා කියන්න නොහැකි නිසා. ලංකාවේ පළමුවන සිංහල බෞද්ධ පාඨශාලාව ඇරඹුනෙත් මේ විහාරස්‌ථානය ආශ්‍රිතව. ඒ තමයි 1869 දී ආරම්භ වුණු දොඩම්දූව ශ්‍රී පියරතන විද්‍යාලය. එය අදත් මෙහි දකින්නට පුළුවන්. දොඩම්දූව පියරතන ස්‌වාමීන් වහන්සේ විසින් ගොඩනගන ලද මෙම විහාරයේ සිදුවූ වැදගත් ආගමික සේවාවන් දෙකක්‌ අපි මේ චාරිකාවේදී ඔබට කියන්නට කැමැතියි. පානදුරාවාදයේ ප්‍රතිඵලයක්‌ හැටියට ඕල්කට්‌ තුමා ලංකාවට ආවේ ගාලු තොටින්. ඊට පස්‌සෙ වැලිවත්ත විජයානන්ද පිරිවෙණේදී බුදු දහම වැළඳගත් හෙතෙම දින 11 ක්‌ තිස්‌සේ මේ ශෛලබිම්බාරාමයේ නැවතී බුදුදහම උගෙනමින් කල්ගත කර තිබෙනවා. අනිත් කරුණ තමයි රත්ගම කලපුව අයිනේ සුන්දර තැනක පිහිටි මෙම විහාරයේ ඉවුර අද්දර කුටියක්‌ තනා ගත්ත ජාතිය අවදි කළ මහාපඬිරුවන ටිබෙට්‌ ජාතික එස්‌ මහින්ද හාමුදුරුවෝ තමන්ගේ කවි, බොදු කතා, නිදහස්‌ අදහස්‌ නිර්මාණ බොහොමයක්‌ කරල තියෙන්නෙ මේ කුටියේ වැඩ ඉඳ ගෙන. අල්පේච්ඡ දිවියක්‌ ගතකළ ඒ කුටිය බලන්නත්, උන්වහන්සේ භාවිත කළ වැල් ඇඳ, පුටුව, පොත් රාක්‌කය දකින්නත් අපට මහඟු අවස්‌ථාවක්‌ මෙහිදී උදාවුණේ ශෛලබිම්බා රාම විහාරාධිපති පූජ්‍ය දෙව්රම් වෙහෙරේ මේධාලංකාර හාමුදුරුවෝ අපිට ලබාදුන් සහාය නිසා.

ටිබෙට්‌ ජාතික
එස්‌. මහින්ද හිමි
ටිබෙට්‌ දේශයේ සිකීම් නගරයේදී 1901 දී උපන් කසිනම්හල් නම් දරුවා 1913 දී ශ්‍රී ලංකාවට පැමිණියේ තම සහෝදරයකු හා ජර්මන් ජාතික භික්‌ෂුවක සමග. පොල්ගස්‌දුව ආරණ්‍යයේ නැවතුන ඔහු රත්ගම දේවප්‍රතිරාජ පිරිවෙණේදී මහණ දිවියට ඇතුළත් වුණා. (ගල්කන්දේගොඩ ඉත්තෑගල විහාරය) ඒ මහින්ද හිමි නමින්. කොළඹ මහා බෝධි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වූ අතර, "ඔවා මුතුදම" නම් එහිමියන්ගේ මුල්ම ග්‍රන්ථය රචනා කළා. දොඩම්දූවේ ශෛලබිම්බාරමයේ දිගුකලක්‌ වැඩසිටි උන්වහන්සේ අප පෙර කිව්ව කුටියේ සිට ග්‍රන්ථ රැසක්‌ රචනා කළා.


බලව් තරුණයිනිෘ අර අමු සොහොන් දෙස
සිතව් අපගෙ නිදහස මළ බවනි දොස
නැඟව් තව තවත් තරසර තරුණ ගොස
වරෙව්ෘ යමව්ෘ නැඟිටිව්ෘ නොපියව් දෙඇස

මා අත කඩුව ඇති කොට සක්‌ දෙව්ට නමුත්
නෑ සිත බියක්‌ සෙලවීමක්‌ ආදි කිසිත්
මේ යුතු වියේ පින්සර මහිමයෙන් දිමුත්
ලෝ මත බැබළි සිංහල මහ පුතෙකි සමත්

සිරිලක මගේ රට
වෙන කිසි රටක්‌ නැහැ මට
එහි මතු දියුණු වට
කරමි වැඩ මම මගේ තරමට

මෙවන් ජාතිකාභිමානී කව් රචයකු වූ උන්වහන්සේ පානදුරේ මහා බෙල්ලන ශ්‍රී සුදර්ශනාරාමයේ වැඩ සිටියදී 1951 වසරේදී අපවත් වුණා.

ප්‍රමාද දෝශයක්‌
වෑත්තෑවේ හිමියන් විසින් ලෝවැඩ සඟරාව ලියූ බවට පසුගිය සතියේදී මෙහි පළ වූයේ ප්‍රමාද දෝශයකිනි. එය ගුත්තිල කාව්‍ය වශයෙන් නිවැරැදි විය යුතුයි.

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා,

අදහස්‌ ratawata.divaina@gmail.com

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2010/12/26/nimna03.html

0 comments:

Post a Comment