Pages

Monday, August 15, 2011

26 : එන්න - යන්න මහ මුහුදේ... තල්මසුන් බලන්න

කැලණි ගංගා මෝදරින් පටන්ගත්ත අපගේ "රටවටා ගවේෂණ" චාරිකාව දැන් අම්පාර දිස්‌ත්‍රික්‌ මායිමට ළඟාවෙලා. හම්බන්තොටත් අම්පාරත් වෙන් කෙරෙන කුඹුක්‌කන් ඔය මෝයෙදි තමයි ලබන ඉරිදා අපි හමුවෙන්නෙ. මේ වනවිට කොළඹින් පටන් ගත්ත අපේ චාරිකාවට සති 25 ක්‌ ගතවෙලා. ඒ කියන්න මාස හයක්‌. ඉතින් සති 25 ක්‌ පුරාවට අප සමඟ රැඳිල හිටිය පාඨක ඔබට අලුත් අත්දැකීමක්‌ ගැන කතා කරන්න වෙනම චාරිකාවක්‌ ගෙනියන්න අපි මෙවර තීරණය කළා. පසුගිය දිනෙක කතා කළා වගේ මේ චාරිකාවත් මුහුදු චාරිකාවක්‌. මේකත් රටවටා චාරිකාවෙම කොටසක්‌ හින්ද මෙවර කුමන වනෝද්‍යානය ගැන කතාකරන්න හිටපු එක සතියකට කල්තියල අපි ඒ අපූරු මුහුදු චාරිකාව ගැන ඔබට අද තොරතුරු කියනවා.


මුහුද මැද තියන කුඩා රාවණ, මහ රාවණ ප්‍රදීපාගාර ගැන තොරතුරු කතා කරන්න අපි එහි ගියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබාගෙන ඔවුන්ගේ මුහුදු යාත්‍රාවකින් කියලා අපි ඔබට කිව්ව මතක ඇති. එදා හවස්‌ යාමයේ ගාලු වරායෙන් ගොඩ බැස්‌ස රාත්‍රියේ ගාලු නගරයේ නවාතැන් පොළක්‌ තෝරාගත්තෙ පහුවදාත් අපිට ඒ නැව් තොටෙන්ම මුහුදු ගමනක්‌ යෙදිල තිබුණ හින්ද. ඒ ගමන තමයි තල්මසුන් නැරඹීමට යන නාවික හමුදාවේ මුහුදු යාත්‍රා සේවය. නාවික හමුදාවට අයත් විශේෂ මගී යාත්‍රාවක්‌ දැන් සති අන්තයේදී, එනම් සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි සංචාරක පිරිස්‌ සමඟ තල්මසුන් හා ඩොල්පින් මසුන් නැරඹීමේ චාරිකාවකට එක්‌වෙනවා. ගාලු වරායෙන් අළුයම නික්‌මෙන මෙම යාත්‍රාව මිරිස්‌ස ප්‍රදේශයේ ගැඹුරු මුහුදට සංචාරකයින් රැගෙන ගොස්‌ පැය පහක පමණ චාරිකාවකින් පස්‌සෙ දහවල් 12 ට ආයිමත් ගාල්ල වරායට සේන්දු වෙනවා. මෙන්න මේ චාරිකාවට එක්‌වුණු එක ගැන තමයි අද අපි රටවට චාරිකාවෙන් කතා කරන්නෙ.

මේ මුහුදු චාරිකාව ගැන ලිපියක්‌ පළකරන්න ආරක්‌ෂක අමාත්‍යාංශයෙන් අප ඉල්ලා තිබූ අනුමැතිය පරිදි ආරක්‌ෂක අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අපගේ ඉල්ලීම නාවික හමුදාව වෙත යොමු කළා. නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගේ අනුමැතියෙන් පසු නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා චාරිකාවට අදාළ කටයුතු සඳහා අපව යොමු කළේ දක්‌ෂිණ නාවික කඳවුරේ මෙහෙයුම් නිලධාරී ලුතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම් මහතා වෙත. ඔහුගේ දැනුම් දීම පරිදි හරියටම ඉරිදා උදයේ පෙරවරු හයයි කාල වෙනකොට අපි ගාලු වරාය අසල තියෙන නාවික කඳවුරට ගියා. මොකද හරියටම පෙරවරු හතට ගමන් ආරම්භ කරන මේ චාරිකාවට ටිකක්‌ කළින් නැව් නැග අසුන්ගත යුතු වන නිසා. නාවික හමුදාව මගින් ක්‍රියාත්මක මේ නැවුම් අත්දැකීම් විඳගන්න අපි යනකොටත් තරමක පෝළිමක්‌ තිබුණා. අපිත් ඒ පොළිමට එකතු වෙලා නැව් නගින්න අවශ්‍ය ටිකට්‌පත ලබාගත්තා. ටිකට්‌පතක්‌ කිව්වට ඒකත් ළඟ තියාගන්න වටිනා මතක සටහනක්‌. අපි ගමන් ගන්න නැවේ පින්තූරයක්‌ වගේම තල්මසුන්ගේ චාරිකාව ගැනත් චාරිකාවට එක්‌වන්නට සම්බන්ධවිය යුතු දුරකථන අංක යනාදියත් එහි සටහන්ව තිබෙනවා. ඒ විතරක්‌ නෙමේ. මේ ටිකට්‌පතට ගෙවන මුදලටම නැවේදී ටිකට්‌පත ඉදිරිපත්කර නොමිලයේම උදයේ ප්‍රණීත කෙටි ආහාර වේලක්‌ ලබාගන්නත් එහි යන සංචාරකයන්ට අවස්‌ථාව ලැබෙනවා. කොහොම හරි ටිකට්‌පත් ලබා ගැනීම පිළිබඳව, චාරිකාවට එක්‌වීම පිළිබඳව, චාරිකාවේ මිල ගණන් පිළිබඳව වගේම පාසල්, වෙනත් ආයතන වශයෙන් තරමක ලොකු කණ්‌ඩායමක්‌ සඳහා මෙම චාරිකාව වෙන් කරවා ගැනීම ගැනත් චාරිකා සම්බන්ධීකරණ නිලධාරියාගෙන් ඔබට සෘජුවම ඇමතීමෙන් තොරතුරු දැනගත හැකියි. සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කරන්නෙ උප ලුතිනන් චන්දන ගුණතිලක මහතා.

ඔහුගේ දුරකථන අංක වන්නේ 071 - 8403443

අප පැමිණි දිනයේදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද, සෑහෙන පමණ ගමනට එකතුවෙලා හිටියා. කොහොම හරි උදේ 6.30 පමණ වනවිට අපි යාත්‍රාවට පැමිණියා. එහිදී යාත්‍රාවේ ප්‍රධාන නියමුවා නැතිනම් අණභාර නිලධාරී කමාන්ඩර් කෝසල විඡේසූරිය, දෙවන අණ භාර නිලධාරී ලුතිනන් අසේල හෙට්‌ටිආරච්චි, උප ලුතිනන් දේශප්‍රිය යන අයගෙන් ලැබුණෙ උණුසුම් පිළිගැනීමක්‌. ආපු සංචාරකයන් හැමෝටම ඔවුන් දැක්‌වුවේ ලෙන්ගතුකමක්‌.

උදේ ආහාරය නැවේදිම ගත්තට පස්‌සෙ ඔන්න පෙරවරු 7 ට තල්මසුන් නැරඹීමේ චාරිකාව ගාල්ල වරායෙන් ආරම්භ වුණා. කමාන්ඩර් කෝසල විඡේසූරිය අපට කිව්වෙ හරියටම පැයකින් වගේ මිරිස්‌ස මුහුදට ළඟා වෙනව කියලා. ඒ දක්‌වා තරමක වේගයෙන් තමයි මේ යාත්‍රාව ගමන් කරන්නෙ. මේක අපිට හරිම අපූරු අත්දැකීමක්‌. මේ යාත්‍රාවෙ 300 දෙනෙකුට ආසන පහසුකම් තිබුණත් තල්මසුන් නැරඹීමේ චාරිකාවට සාමාන්‍යයෙන් ගෙනියන්නෙ සිය දෙනයි කියලා අපට කිව්වෙ ලුතිනන් අසේල හෙට්‌ටිආරච්චි. ඒ තල්මසුන් නැරඹීමේදී නැවේ ඉදිරි ප්‍රදේශයට හා පසුපස දෙවන මහළට යා යුතු වන නිසා. ගමනට පැයක්‌ම තියෙන හින්දා අපි ලුතිනන් හෙට්‌ටිආරච්චිගෙන් තවත් විස්‌තර ඇහුවා. මේ නෞකාව යුද සමයේදී භාවිතා කරල තියෙන්නෙ හමුදා භටයින් ප්‍රවාහනය සඳහාලු. යාපනයට ගොඩබිමෙන් යන්න බැරි කාලෙ කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය අතර අපගේ හමුදා සෙබළුන් ප්‍රවාහනයටත් සාමාන්‍ය වැසියන්ගේ ගමනා ගමනයටත් යොදාගෙන තියෙන්නෙ මේ යාත්‍රාව. "ලංකාදේවි" නොහොත් A 543 තමයි මේ නෞකාව හැඳින්වෙන නාමය වන්නෙ. සිංගප්පූරුවෙ නිෂ්පාදිත මෙය 2000 වසරෙ තමයි ලංකාවට ගෙනල්ල තියෙන්නෙ. යුද්ධය වෙලාවෙ මහත් සේවාවක්‌ සපයපු මේ නෞකාව දැන් තවත් නවීකරණය කරල තමයි තල්මසුන් නැරඹීමේ කාර්යයට යොදවල තියෙන්නෙ. දිගින් මීටර් 40 කුත් පළලින් මීටර් 10 කුත් වන මෙම නෞකාවෙ පළමු තට්‌ටුවේ මගීන් 276 දෙනෙකුටත්, වී අයි පී මැදිරියේ තවත් 24 දෙනෙකුටත් ගමන් කළ හැකියි. රූපවාහිනී යන්ත්‍ර වැනි දෑ සමඟ වායු සමනය කළ යාත්‍රාව ඇත්තටම සුඛෝපභෝගී සේවාවක්‌ මෙහි එන සංචාරකයන්ට සපයනවා. අමතරව නෞකාවෙ කුඩා අවන්හලකුත් තියෙනවා. ජ්‍යෙෂ්ඨ නැවියන් සිව් දෙනෙක්‌ හා කණිෂ්ඨ නැවියන් 40 කගෙන් සමන්විත කාර්ය මණ්‌ඩලයක්‌ මෙහි සිටින අතර වැදගත්ම කාරණය වන්නේ මහ මුහුදේ ගමන් කරන විට අනෙකුත් බෝට්‌ටු සේවාවන්ට වඩා මේ නැවේදී වැඩි ආරක්‌ෂාවක්‌ සහ රැකවරණයක්‌ සැපයීම සිදුවන බවයි නැවේ අණභාර නිලධාරීන් අප සමඟ පැවසුවේ, ඒ නාවික හමුදා වෛද්‍ය හා ප්‍රථමාධාර කණ්‌ඩායමක්‌ද ජීවිතාරක්‌ෂක කිමිදුම් කණ්‌ඩායමක්‌ද මේ ගමනට පහසුකම් සලසන නිසා.

දැන් ඉතින් නෞකාව ගැන විස්‌තර කතා කළා ඇති වගේ. මේ වනවිට අපි මිරිස්‌ස මුහුදු තීරයට ළඟා වෙලා. අසුන්ගත වෙලා වගේම නැවේ ඔබ - මොබ සැරි සැරූ කාටත් ඔන්න ජීවිතාරක්‌ෂක කබා ඇඳගන්න උපදෙස්‌ ලැබුණා. ඊට පස්‌සෙ තමයි එළිමහනට යන්න අවස්‌ථාව උදාවුණේ. අපි නම් ඉතින් අව් රශ්මිය කියලා බැලුවෙ නැහැ දිගටම ආවෙ නැවේ ඉදිරි එළිමහන් වේදිකාවෙම තමයි. මොකද කොයි මොහොතේ හරි දිය කඳ දෙබෑකරගෙන මතුවෙන තල්මසකුගේ හෝ ඩොල් µsන් මසෙකුගේ හෝ වෙනත් මුහුදු සතෙකුගේ ඡායාරූපයක්‌ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. මිරිස්‌සට ළඟා වෙනකොටම අපිට දකින්නට ලැබුණේ ඩොල්µsන් රංචු ඒ මේ අත සතුටින් ඉපිලෙමින් දිය මතු පිටට පැමිණ නැවට ඉදිරියෙන් ගමන් ගන්නා ආකාරයයි. දෙතුන් සියයක රංචු මේ අතර ඉන්න ඇති. සංචාරක පිරිස්‌ අමන්දානන්දයට පත්වෙලා. පොඩි දරුවො සතුටින් කෑ මොර දෙනවා. ඒ මේ අතට අතැඟිලි දිගු වෙනවා. කැමරා ආම්පන්න "සට -සට ගාලා" වැඩ කරනවා. අපේ කැමරාත් ඒ අතර ජයටම වැඩ. ඒත් ඉතින් දිය මතුපිටට එන ඩොල්පින් මිතුරන් පින්තූරයක්‌ ගන්න අපට චාන්ස්‌ එකක්‌ දෙන්නෙම නැති හැඩයි. ඒ තරම් උන් වේගවත්. මගපෙන්වන්නන්ගෙ විතරක්‌ නෙමේ ළමා ළපටින්ටත් නාවික හමුදාවෙන් ලැබුණු විසිල් හඬින් ඩොල්µsන්ලට ආමන්ත්‍රණය කරනවා. කොහොමහරි පැයක්‌ දෙකක්‌ ගතවුණේම ඒගොල්ලන්ගෙ දඟකාරි බව මැද්දෙ. මීළඟට අපි ආපු ඊළඟ අපේක්‌ෂාවට දෑස්‌ යොමු කළා. අණභාර නිලධාරී කෝසල විඡේසූරිය, දෙවැනි නිලධාරී අසේල හෙට්‌ටිආරච්චි ඇතුළු කාර්ය මණ්‌ඩලය දැන් මහ මුහුදේ තල්මසුන් හොනවා. අපි විතරක්‌ නෙමෙයි මිරිස්‌ස ධීවර වරායෙන් ආපු සංචාරක බෝට්‌ටු හත අටකුත් ඒ අතර තිබුණා. කොහොම හරි අද නම් තල්මසුන්ගේ චාරිකාව එතරම් වාසිදායක එකක්‌ වුණේ නෑ. ඈතින් නැඟුණු තල්මසෙකුගේ ඉපිලීමක්‌ එකවරම දැක්‌කත් එය ග්‍රහණය කරගන්න අපේ කැමරා එතරම් බලසම්පන්න වුණේ නෑ. ඒත් එක්‌ ප්‍රවීණ ඡායාරූප ශිල්පියකුගේ අධිබල කැමරාවේ අගනා ඡායාරූප කිහිපයක්‌ සටහන් වෙලා තිබුණා. අද අපගේ පිටුව සැරසෙන්නේ ඔහුගෙන් නාවික හමුදාවට ලැබුණු ඒ ඡායාරූප දෙකකින්.

කොහොම හරි මේ යාත්‍රාවෙන් නාවික සංචාරයකට එකතුවීමත් කෙනෙකුට මහා අත්දැකීමක්‌ . අපිත් ඒ සොඳුරු, නැවුqම්, අත්දැකීම මැනවින් විඳගත්තා. යාත්‍රාවේ නැගී මුහුදු ගැඹරේ සංචාරය කළා. මහා නැව් පසුකර ගමන් ගත්තා. ඒ සඳහා දැන් ඔබටත් අවස්‌ථාව තිබෙනවා. පාසල් වගේ ආයතනවලටත් මේ කදිම අත්දැකීම විඳ ගැනීමට සම්බන්ධීකරණ නිලධාරියා ඇමතිය හැකියි. අප්‍රේල් නිවාඩු සමයේදී ඒ සඳහා විශේෂ ඉඩකඩක්‌ තියෙනවා.

රටවටා යන ගවේෂණ චාරිකාව වර්ණවත් කරන්න, අත්දැකීම් සමුදායක්‌ ලබාගන්න ලැබුණු මේ අවස්‌ථාව අපිටත් ඉතාම වටිනවා. ඒ හින්දයි මේ චාරිකාව ගැන අද ඔබට කියන්න අපි තීරණය කළේ. ඔබත් කවදාහරි මේ චාරිකාවට එක්‌වුවහොත් අපි ලබාගත්ත ආශ්වාදය ඔබටත් දැනෙනු ඇති. හැබැයි ඉතින් ප්‍රමාද වෙන්න එපා. දකුණු මුහුදු රළුවූ විට මැයි මාසයේ පමණ සිට මේ තල්මසුන් නැරඹීමේ සේවාවන් තාවකාලිකව නතර වේවි. ඒ මෙය මුහුද හොඳ කාලයට පමණක්‌ සිදුකරන සේවාවක්‌ වන නිසා.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


ස්‌තූතිය- ආරක්‌ෂක අමාත්‍යාංශයට, නාවික හමුදාවට සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, රියල් අද්මිරාල් ජයන්ත පෙරේරා, කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය, ලූතිනන් කමාන්ඩර් නිශාන්ත කාරියවසම්, කමාන්ඩර් කෝසල විඡේසූරිය යන මහත්වරුන්ට

http://www.divaina.com/2011/03/27/nimna02.html

0 comments:

Post a Comment