Pages

Monday, August 15, 2011

38 : සුන්දරත්වයේ අග රැජින මාබල් බීච් (ත්‍රිකුණාමලය)

නැගෙනහිර වෙරළ තීරය දිගේ උතුරට ඇදෙන අපගේ "රට වටා ගවේෂණ චාරිකාව" සති 36 කට පසුව එනම් මාස නවයකට පසුව ඔන්න අද ත්‍රිකුණාමලයට ළඟාවෙනවා. පහුගිය සතියෙ කඳවුරු බැන්ද සාම්පූර් (ෆවුල් තුඩුව) වල ඉඳන් ආයිමත් අපි මුතූර්වලට ළඟා වුණා. එතනින් ආරවල් කිහිපයක්‌ සහ මහවැලි නදියේ ප්‍රධාන අතු (අප) ගංගා දෙක පසුකරමින් කින්නියා ප්‍රදේශයට පැමිණ, ප්‍රකට කින්නියා පාලම පහුකරමින් තමයි ත්‍රිකුණාමලයට ඇතුළු වුණේ. ඒත් ත්‍රිකුණාමල නගරයට යන්න කලින් අපි අද දවසේ තවත් සුන්දර වෙරළක කඳවුරු බඳිනවා. ඒ තමයි "මාබල් බීච්". මේ වෙරලේ සුන්දරත්වය අත්විඳින්න වගේම එහි කඳවුරු බඳින්නත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපට විශාල සහයෝගයක්‌ ලබා දුන් බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි.

අවසන් පාලම්පාරුවෙන් ත්‍රිකුණාමලයට

මුතූර් ජැටියෙ ඉඳන් ත්‍රිකුණාමලයෙ ජැටිය දක්‌වා මගී ප්‍රවාහන නැව් සේවාවක්‌ ක්‍රියාත්මක වෙනවා. ඒ "සේරුවාවිල" කියන වරාය අධිකාරියට අයත් යාත්‍රාවක්‌. ඒත් අවාසනාවකට වගේ අපි මුතූර්වලට ගිය දවසෙ "සේරුවාවිල" යාත්‍රාව ක්‍රියාවිරහිත වෙලා. ඒ නිසා මුතූර් ඉඳන් කින්නියා හරහා යන්න කොඩ්ඩියාර් බොක්‌ක වටා යන දුෂ්කර මාර්ගය අපි තෝරාගත්තා. මේ අබලන් මාර්ගයේ යන්න "ෆෝවීල්" වාහනයක්‌ තියෙනවානම් වඩාත් සුදුසුයි. මොකද වලගොඩැලි සහිත මේ මාර්ගයත්, තවමත් පාලම් ඉදිවෙමින් පවතින නිසා විකල්ප මාර්ගත් භාවිත කළ යුතුව තියෙන නිසා. ඒත් ඉතාම ටික කලකින් මේ මාර්ගය දිවයිනේ තවත් සුපිරිතම මාර්ගයක්‌ බවට පත් වේවි.

නැගෙනහිර පළාතේ අන්තිම පාලම් පාරුවෙන් අපේ වාහනයත් සමඟ එගොඩවන්නටයි විශේෂයෙන්ම මේ පාරෙන් අපි ගමන් ගත්තේ. මුතූර්වල ඉඳන් තවත් සැතපුම් 5-6 ක්‌ විතර කොට්‌ටියාරම දෙසට යනවිට රාල්කුලිය ගම්මානය අපට හමුවෙනවා. මෙහිදී මහවැලි නදියෙන් බෙදීයන දියදහරක්‌ මුණගැහෙනවා. රාල්කුලිය ආරු කියලත් මෙය හඳුන්වනවා.

මේ ඔයටත් උඩින් දැන් පාලමක්‌ ඉදිවෙනවා, ඒත් අපි යනකොට මාර්ග සංවර්ධන අධිකාරියෙ පාලම් පාරුවක්‌ (ෙෆරිය) නොමිලයේම මිනිස්‌සු, වගේම කුඩා වාහනත් එගොඩ මෙගොඩ කරනවා. අපි දන්න විදිහට මේක තමයි නැගෙනහිර පළාතෙ අන්තිම පාලම් පාරුව. ඒකත් තව ටික දිනකින් විශ්‍රාම යාවි. අපි අපගේ ජීප් රථයත් එහි නංවාගෙන ඊළඟට මහවැලි නදිය කොට්‌ටියාරමට එකතුවන අපූරු පරිසරයට ආවා.

කොට්‌ටියාර් බොක්‌ක

දැන් අපි ඉන්නෙ කොට්‌ටියාරම් බොක්‌කෙ සුන්දර වෙරළ තීරයේ. මෙතැන වෙරළ කළුපාටයි. ඒ මෙහි වැඩිපුර "ඉල්මනයිට්‌" ප්‍රමාණයක්‌ තියෙන හින්ද. අපිට දකුණු පසින් ගොඩබිම් තීරුවේ පිළිවෙලින් මුතූර් හා ෆව්ල් තුඩුව ප්‍රදේශය දැකගන්න ලැබෙනවා. ඉදිරියෙන්ම පේන්න තියෙන්නේ ත්‍රිකුණාමල බොක්‌ක නොහොත් කොට්‌ටියාරම. වෙරළ තීරය දිගේම ධීවර ඔරු - බෝට්‌ටු. කෙළින්ම බැලුවොත් වරාය තුළ පිහිටි ප්‍රීමා පිටි කම්හලත් දැකගන්න පුළුවන්. තවත් නැගෙනහිර දෙසින් අපට දැකගන්නට ලැබෙන්නේ ප්‍රකට "රවුන්ඩ් අයිලන්ඩ්" හා එහි මැද තියෙන ප්‍රදීපාගාරය. තවත් තැනකින් එලිසබත් දූපතත් දැකගන්න පුළුවන්. මේවා ගැන තොරතුරු තවත් ඉදිරියේදී කතා කරන්න හිතාගෙන ඉන්පසු අපි තවත් කින්නියා දෙසට ඇදුණෙ "මහවැලි ගං මෝය" හමුවෙන තුරු.

මහවැලි ගඟ/ ගෙංගේ - ගංගේ

අපේ රටේ දිගම ගංගාව තමයි මහවැලි ගංගාව. එය කිලෝමීටර් 340 ක දුරක්‌ ගෙවාගෙන ඇවිත් මුහුද සිපගන්නෙ දැන් මේ අපි ඉන්න කොට්‌ටියාරම් බොක්‌ක කෙළවරදී. මධ්‍ය කඳුකරයේ, හෝර්ටන්තැන්න කඳුබෑවුම්වලින් පටන්ගන්නා දියදහරා කිහිපයක එකතුවකින් හටගන්නා "මහවැලි" කෝමළිය දහස්‌ ගණන් කෙත්වතු සරුසාරකරමින් මිනිසුන් හා වනසතුන් මෙන්ම ගස්‌වැල්ද පෝෂණය කරමින් මධ්‍යම පළාත, ඌව පළාත, උතුරුමැද පළාත, නැගෙනහිර පළාත ඔස්‌සේ පැමිණයි මෙසේ ත්‍රිකුණාමලයේදී මහා සාගරය හා එක්‌වන්නේ. මෙසේ කොට්‌ටියාරම් බොක්‌කට එකතුවන මහවැලි දියදහර එක්‌ ගංගා මෝදරක්‌ ලෙස පැහැදිලිව හඳුනාගත නොහැකියි. කුඩා අප ගංගා කිහිපයක්‌ මෙන්ම, ප්‍රධාන අප ගංගා දෙකකුත් තනමින් ගලායන එය මෝයකට දෙකකින් කරදිය හා මුසුවන්නේ ගෙංගේ සහ ගංගේ ලෙස හැඳින්වෙන මෝය ප්‍රදේශ දෙක මෙන්ම අගනා ඩෙල්ටාවක්‌ද නිර්මාණය කරමින්. අද මෙම අප ගංගා දෙකම යාකරමින් මහවැලි නදී මෝයට ඉහළින් දැවැන්ත පාලමක්‌ ඉදිවෙනවා. ඒ කින්නියා පාලමට පේන දුරින්.

කින්නියා / කින්නියා පාලම

කින්නියා ප්‍රදේශය පිහිටා තියෙන්නෙ කොට්‌ටියාරම් බොක්‌කට යාබදවයි. ධීවර පවුල් විශාල ප්‍රමාණයක්‌ දිවි ගෙවන මෙම ප්‍රදේශයේ කළපු ධීවර කර්මාන්තය වගේම දියඹේ ධීවර කටයුතුත් ප්‍රකටයි. වත්මන් රජය බලයට පත්වීමට කළින් කින්නියා ප්‍රදේශයේ ජනතාව ත්‍රිකුණාමලයට ගියේ පාලම් පාරුවේ. ඒ, තම්පලාගම් බොක්‌ක හෙවත් එම කලපුව නිසා. ඒත් වත්මන් රජය ලංකාවේ දිගින් වැඩිම පාලම ලෙස කින්නියාවත් - ත්‍රිකුණාමලයත් යා කරමින් පාලමක්‌ තැනුවා. දැන් අපි ගමන් ගන්නෙත් ඒ පාලමෙන් එගොඩ වෙලා තමයි. මීටර් 396 ක්‌ දිග මෙම පාලම මීටර් 10.5 ක්‌ පළලයි. ධාවනපථ දෙකකින් සමන්විතයි.

මාබල් බීච් - MARBLE BEACH


කින්නියාවේ "මාබල්බීච්" හරිම ප්‍රකට වෙරළ තීරයක්‌. අරුගම්බේ, පාසිකුඩා, කල්කුඩා, නැතිනම් අපි හඳුන්වාදුන් වෙරළ, සල්ලතිව් නොහොත් චල්ලතිව් වලින් පස්‌සේ කතාකරනවානම් ඉතින් හොඳම වෙරළ මාබල් බීච්ම තමයි. මේ වෙරළට යන්නෙත් කින්නියා පාලම ත්‍රිකුණාමලය පැත්තෙන් පටන් ගන්න තැනින්. එතැන් සිට කිලෝමීටර් එකහමාරක්‌ විතර ගියහම මේ අපූරු මුහුදු පරිසරය හමුවෙනවා. යුද සමයේ සිට මේ ප්‍රදේශයේ ආරක්‍ෂාව භාරව කටයුතු කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. යුද්ධයේ නිමාවත් සමඟ ඔවුන් දැන් මෙහි අපූරු නිවාඩු නිකේතනයක්‌ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම "මාබල් බීච්"වල කළමනාකරණ කටයුතු, පිරිසිදු කිරීම යනාදිය කරන්නෙත් ගුවන් හමුදාව.

ඇත්තටම "මාබල් බීච්" කියන්නේ ක්‍රිකුණාමල බොක්‌කේම (වරායේම) එක වෙරළ තීරයක්‌. මෙතැන ජල තටාකයක්‌ වගේ. ගැඹුරු නැහැ. වැලිතලාව හා ගල්පර වගේ තමයි තියෙන්නේ. හිරු එළියට ජල තලය මතින් වැටෙන රැස්‌දහරා අපූරු රටාවන් මේ නොගැඹුරු ජලතලයේ සිත්තම් කරනවා. "හරියට මාබල් ඇල්ලුවා වගේ" ඒ හින්ද තමයිලු මේක "මාබල් බීච්" වෙලා තියෙන්නේ. කොට්‌ටියාරම් බොක්‌කේ සාම්පූර් (ෆවුල් තුඩුව) ඉඳන් ත්‍රිකුණාමලය (එලිෆන්ට්‌ තුඩුව) දක්‌වා වු වක්‍රයේ හරි අර්ධය ගෙවෙන තැන මේ "මාබල් බීච්" කිව්වොත් නිවැරදියි කියලා අපට හිතෙන්නේ මෙතන ඉඳන් රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය වගේම (පෙර අපි කඳවුරු බැඳි) ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරයත් සරළ රේඩීයව මෙහි සිට දැකබලාගත හැකි වන නිසා.

මෙතැනට ත්‍රිකුණාමල වරායේ විවරය හරි අපූරුවට දැකගත හැකියි. "එළිෆන්ට්‌ (දූපත) අයිලන්ඩ්" වගේම එලිෆන්ට්‌ තුඩුවත්, වරාය කටත් පේන හින්ද මේ වෙරළ ආසන්නයටම වගේ නාවික යාත්‍රාත් දැකගත හැකියි.

"මාබල් බීච්" වල සංචාරකයන්ට වෙන්වුණු නොමිලයේ ඇතුළුවිය හැකි පොදු වෙරළ කලාපයකට අමතරව ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන නිවාඩු නිකේතනයක්‌ සහිත අවසරලත් පුද්ගලයන්ට පමණක්‌ ඇතුළු විය හැකි කොටසකුත් තියෙනවා. මෙහි මාබල් බීච් අයත් වනබද කඳුවැටියට සම්බන්ධව තැන තැන ඉදිවුණු කලින් වෙන්කරවා ගතයුතු සුඛෝපභෝගී වන නිවහන් කිහිපයකුත් ස්‌ථාපිත කර තිබෙනවා. අවන්හලක්‌ හා පූර්ණ ආරක්‍ෂාවක්‌ ද සහිත මෙම නිවාඩු නිකේතනයේ වන නිවහන් හා අනෙකුත් පහසුකම් භුක්‌ති විඳීමට ගුවන් හමුදාවේ මෙම නිවාඩු නිකේතනය ඇමතිය යුතුයි. මෙහි දුරකථන අංකය 026-2233272/3 වෙබ් අඩවිය www.airforce.lk/marblebeach


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/06/19/nimna04.html

0 comments:

Post a Comment