Pages

Monday, August 15, 2011

42 : බෙල් 212 හෙලිකොප්ටරයක සිට ත්‍රිකුණාමලයේ අසිරිය දුටිමු

ත්‍රිකුණාමලයේ අසිරිය විඳින්න "දියෙන් ගොඩෙන්" ගිය ගමන දැන් ඉතින් නිමයි. ඒත් මේ සංකීර්ණ මුහුදු කලාපයේ සැබෑ චිත්‍රය ගුවනේ ඉඳන් බලන්නට ඇත්නම් කියලත් අපට හිතුනෙ වරක්‌ දෙවරක්‌ නොවේ. ගුවන් දර්ශනයකින් ඔය කියන කළපු, බොකු, තුඩු, වරාය, දූපත් යනාදියත් මේ සුන්දර වෙරළබඩ නගරයේ අසිරියත් කදිමට විඳගත හැකි නිසා ගුවන් චාරිකාවක්‌ යන අදහස අපි මුලින්ම ඉදිරිපත් කළේ ගුවන් හමුදාවට. අවසානයේදී ත්‍රිකුණාමලය අවට ගුවන් චාරිකාවක්‌ සඳහා අපට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීම අත්‍යාවශ්‍ය වුණා. අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කළ අපේ ඉල්ලීමට ඒ අනුව අපට අවසර හිමිවුණා. මේ වන විට අපි අපේ ගවේෂණ චාරිකාවෙ නිරතවෙලා හිටියෙ ත්‍රිකුණාමල ප්‍රදේශයේ. ඒ ඉන්න අතර තමයි ගුවන් චාරිකාවක්‌ සඳහා දිනය වගේම වේලාවත් අපට දැනගන්නට ලැබුණෙ. ඒ කිව්ව දිනයේ හරියටම වේලාවට අපි චීන වරාය (චයිනා බේ) ගුවන් කඳවුරේ මඟී පර්යන්තයට ළඟාවුණා. අවසරපත් පරීක්‍ෂාවෙන් අනතුරුව ඔන්න දැන් අපි ගුවන් ගමනට සූදානම්. තවමත් චීන වරාය ගුවන් පථයට යානය ළඟාවී නොතිබුණත් අපට දැනගන්නට ලැබුණේ ත්‍රිකුණාමල අසිරිය විඳ එහි සෞන්දර්යාත්මක ඡායාරූප ලබාගැනීම සඳහා වඩා පහසුවන පරිදි ගුවන් හමුදාවේ "හෙලිටුවර්ස්‌ සේවාවේ" බෙල් 212 හෙලිකොප්ටර් යානයක්‌ තවත් මොහොතකින් අප කැඳවාගෙන යන්නට එහි පැමිණෙන බවයි.

ඔන්න නිමේශයකින් හෙලිකොප්ටර් යානාවක හඬ ඇසෙන්නට වුණා. චීන වරායට ඉහළින් මතුවුණ යානය තවත් මොහොතකින් ගුවන් කඳවුරේ හෙලිකොප්ටර් අංගණයට ගොඩබැස්‌සේ වාතලය කළඹමින්. ගුවන් නිලධාරීන්ගේ සහායෙන් වහ වහා යානය වෙත දිවගිය අපි, යානයට ගොඩවුණේ අප විසින් ලබාදී තිබූ සැලැස්‌මට අනුව ගමන් ආරම්භ කිරීම සඳහා ගුවන් නියමුවන් සමඟ කතාකර ගැනීමෙන් පසුව. අප රැගත් හෙලිකොප්ටර් යානාව පදවනු ලබන්නේ ප්‍රවීණ ගුවන් නියමුවන් දෙදෙනකු විසින්. ප්‍රධාන නියමු බලඝණ නායක සමීර විදානපතිරණ සහ සහායක නියමු බලඝණ නායක ප්‍රසන්න ගුණරත්න එහිදී අපව ඉතා සුහදව පිළිගත්තා. කාලවේලාව අනුව ගමන තීරණය කරගත් අපි ඔන්න පළමුව යන්න තීරණය කළේ කින්නියා පාළම බලාගෙන සාම්පූර්වලට.

තෙල් ටැංකි සංකීර්ණය

චීන වරාය ගුවන් කඳවුරෙන් ඉහළට එසැවුණු යානය දකුණු දිගට කරකවා පළපුරුදු ගුවන් නියමුවන් අපට පළමුව පෙන්නුවේ ත්‍රිකුණාමල (චීන වරාය) පැරණි තෙල් ටැංකි සංකීර්ණය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදි වූ මෙම සංකීර්ණයේ ටැංකි 105 ක්‌ තිබෙනවා. දෙවැනි ලෝක යුද සමයේදී ජපන් ගුවන් යානා මගින් මෙම ටැංකිවලටත් බෝම්බ හෙළා තිබෙනවා. ඉන් එක්‌ ටැංකියක්‌ පුපුරා විනාශ වුණා. අද විශාල ප්‍රදේශයක කැළෑවට යටවී ඇති මෙම තෙල් ටැංකි යකඩවලට කපාගෙන යැමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාව ලබාගෙන තිබෙනවා.

ලංකාවේ දිගින් වැඩිම පාලම වන මේ ගැන පාලම මත සිට වගේම කොට්‌ටියාර් බොක්‌කේ නාවික සංචාරයේදීත් අප ඔබට මතක්‌ කළා. අද, අඩි 400-500 ක්‌ ඉහළ අහසේ සිට මෙහි අපූරුව වගේම කොට්‌ටියාර් බොක්‌කේත්, චීන වරාය ධීවර වරායේත්, වරාය හා සිමෙන්ති කර්මාන්තශාලාවේත්, ප්‍රීමා පිටි කම්හලේත් නගරයේ අනෙකුත් ප්‍රදේශවලත් ගුවන් දර්ශන අපි මීළඟට දැකගත්තෙ ගුවන් යානය තවත් දකුණතට හරවා සාම්පූර් වෙත යොමුකරන මොහොතේ.

සාම්පූර්

පෙර දිනෙක මුහුදින් ගොස්‌ දුටු රවුන්ඩ් අයිලන්ඩ්, එළිසබෙත් දූපත, එළිෆන්ට්‌ අයිලන්ඩ් වගේම, ප්‍රකට අභයභූමිය සෝබෝර් දූපත් දෙකත් අපි රූපගත කළේ ඒ යන ගමනේදීමයි.

දැන් කොට්‌ටියාර් බොක්‌කට ඉහළින් ඉගිලෙන හෙලිකොප්ටර් යානාවේ ඉදිරි වීදුරුවෙන් ඈත පුංචිවට අපට දිස්‌වන්නෙ සාම්පූර් ගොඩබිම හා ෆවුල් තුඩුව ප්‍රදීපාගාරය, මඳ වේලාවකින් යානය සාම්පූර් ගොඩබිම මතින් ගොස්‌ වාමාවර්තව ගමන්ගත්තෙ අපට ෆවුල් තුඩුව ප්‍රදීපාගාරයේ ඡායාරූපගත හැකිවන පරිදි. අපි හනි හනිකට කැමරා කෝණ හොයමින් සාම්පූර්, ෆවුල් තුඩුව, ගල්පර ප්‍රදේශය ඡායාරූපගත කළා.

කෝනේෂ්වරම්

ඉන්පසුව යානාව ආයිමත් කොට්‌ටියාර් බොක්‌කට ඉහළින් පියාසර කළේ කෝනේෂ්වරම් තුඩුව බලා. මේ කඳුගැටය අපට විටෙක කඳවුරු බිමක්‌ වුණා. නාවික සංචාරයේදී අපි කෝනේෂ්වරම් දුටුවේ අඩි 75-100 ක්‌ පමණ පහළ ජල තලය මතුපිට ඉඳන්. අද මෙහි සුන්දරත්වය හා අපූරුව අපි දකින්නෙ ගුවන් යානයක ඉඳල. කෝනේෂ්වරම් වටකොට වාමාර්තව හරවපු යානාව ඉන්පසු පෙඩි්‍රක්‌ කොටුපවුර පෙනෙන මානයෙන් ත්‍රිකුණාමල නගරයට ඉහළින් පියාසර කර ආයිමත් වරාය සීමාවට ආවා. එහිදී තමයි කොට්‌ටියාර් බොක්‌කේ පුළුල් දර්ශන තලයක්‌ අපට දැකගන්නට ලැබුණෙ. දූපත්, බොකු, වරාය, තුඩු යනාදිය මෙහිදී ඉතා හොඳින් අප ග්‍රහණය කරගත්තා. මෙහිදී වරාය පරිශ්‍රය වගේම, නාවික හමුදා පරිශ්‍රයත් දැකගත් අපි, සෝබෝර් දූපත්වලට ඉහළින් ගොස්‌ අපගේ ගමනාන්තයට ළඟාවුණා.

චීන වරාය කඳවුරෙන් ගමන් ආරම්භ කළ අපි දැන් ගොඩබසින්නට සූදානම් වන්නේ ප්ලාන්ටන් පොයින්ට්‌ හෙලිකොප්ටර් අංගනයට. තවත් මොහොතකින් ප්‍රධාන ගුවන් නියමු සමීර විදානපතිරණ සහ සහායක නියමු ප්‍රසන්න ගුණරත්න යළිත් අපේ යානාව ගොඩබස්‌වන බව අපට දැනුම් දුන්නා. අපේ කාර්යය සාර්ථකව නිමකරමින් ද මෙවන් ගුවන් ගමනක අපූරු අත්දැකීමක්‌ සහිතව ද ඉන් මඳ වේලාවකට පසු අපි ප්ලාන්ටන් පොයින්ට්‌ හෙවත් කෙසෙල් තුඩුව අංගණයට ගොඩබැස්‌සෙ ත්‍රිකුණාමලයේ ගවේෂණ චාරිකාව හිතුවාටත් වඩා සාර්ථකව නිමකිරීමේ සතුටින් ඉපිල යමින්.

බෙල් 212 හෙලිකොප්ටර් යානාව ඇමෙරිකාවේ නිෂ්පාදනයක්‌. එන්ජින් දෙකක්‌ සහිත මගීන් 15 දෙනෙක්‌ සඳහා ඉඩ පහසුකම් සහිත මෙම යානාව ලෝකයේ යුද හා සිවිල් කටයුතු සඳහා භාවිත කරන විශ්වාසවන්ත, පහසුවෙන් හැසිරවිය හැකි යානාවක්‌. ලෝකයේ බොහෝ රටවල ප්‍රභූ ප්‍රවාහන කටයුතු සඳහා ද භාවිත කරන බෙල් 212 යානාව ආපදා හා හදිසි උපකාර සේවා සඳහා භාවිතයට ගනු ලබනවා. අපේ රටේ මානුෂීය මෙහෙයුමේදී සුවිසල් කාර්ය භාරයක්‌ ඉටුකළ මේ මගින් 1991 දී යාපනයේ කොටුවේදී ත්‍රස්‌ත උගුලක පැටලී සිටි හමුදා සෙබළුන් මුදාගැනීමට Operation Eeagle I හා II ක්‍රියාත්මක කරනු ලැබුවා. අද අපගේ චාරිකාවට එක්‌වන්නේත් එවන් යානාවක්‌.

ස්‌තුතිය - ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, එම සහායක හමුදා සම්බන්ධතා නිලධාරි ගෲප් කැප්ටන් ෂෙහාන් ප්‍රනාන්දු, ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම, අධ්‍යක්‍ෂ ගුවන් මෙහෙයුම් එයාර් වයිස්‌ මාෂල් ගගන් බුලත්සිංහල, චීනවරාය ගුවන් කඳවුරේ සේනාවිධායක එයාර් වයිස්‌ මාෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් ඇන්ඩි විඡේසූරිය මහත්වරුන්ට.

සතියක විරාමයකින් පසුව හමුවෙමු


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/07/17/nimna01.html

0 comments:

Post a Comment