Pages

Monday, August 15, 2011

34 : නැගෙනහිර සුන්දරිය පාසිකුඩා - කල්කුඩා

මඩකලපුව

මඩකලපුව ලෙසින් අද එම නගරය ප්‍රකටව ඇතත් එසේ හැඳින්වෙන්නේ ඒ ආශ්‍රිත සුවිසල් කලපුවයි. මඩකලපුව යන නම පටබැඳී ඇත්තේ කෙලෙසද පැහැදිලි නැතත් ගල්පරවල බැඳෙන "මට්‌ටි" නමැති බෙල්ලන් නිසා හෝ බහුලව මෙහි දිවි ගෙවන "ජෙලිෆිෂ්" මසුන් නිසා බව පවතින විශ්වාසයයි.

යාපනය කලපුව, පුත්තලම කලපුව හැරුණු විට මීළඟට මෙරට විශාලතම කලපු පරිසර පද්ධතිය ලෙස සැලකෙන්නේ මඩකලපුවයි. පුළුල් ලෙස පැතිරුණු හා ගැඹුරු කලපුවක්‌ ද වන මෙය, පටු විවර දෙකකින් මුහුද හා සම්බන්ධ වේ. මෝසම් වර්ෂාව සමයේදී මේ හා සම්බන්ධ දිය දහරා ඔස්‌සේ වැඩි මිරිදිය ප්‍රමාණයක්‌ කලපුවට එකතු වේ. මෙහි කඩොලානවලින් සමන්විත දූපත් රැසක්‌ ද වේ. ඉතා හොඳ මුහුදු තෘණ පරිසරයක්‌ ද මෙහි වේ. මෙනිසා කලපු මසුන් ඇතුළු ජල ජීවීන්ගේ හොඳ විවිධත්වයක්‌ මෙහි ඇත. ඉස්‌සන්, කකුළුවන් ඇතුළු කලපු ධීවර කටයුතු සඳහා මඩකලපුව ප්‍රකටය.


මඩකලපු ප්‍රදීපාගාරය


මඩකලපුව දුම්රිය ස්‌ථානයට කල්ලඩි පාලම පේන දුර. ගිය සතියෙ අපි ඒ ගැන කතා කළා. එතනම තමයි ශාන්ත සෙබස්‌තියන් දේවස්‌ථානය තියෙන්නෙත්. මේ දෙවොලත් බලා කියාගෙන පාලම අසලින් වැටී ඇති පාර දිගේ ගියහම මඩකලපු මෝයකට දක්‌වාම යන්න පුළුවන්. ඒ යන ගමනේදී අපට මඩකලපුව වෙරළ උද්‍යානය හමුවෙනවා. කලපු ධීවර කටයුතු සඳහා මෙන්ම සංචාරක බෝට්‌ටු සේවා සඳහාත් ප්‍රකට මේ ස්‌ථානය, මෝයකට දැකගන්නත් කදිම ස්‌ථානයක්‌. ඒ වගේම, ප්‍රකට මඩකලපුව ප්‍රදීපාගාරයත් පිහිටල තියෙන්නෙ මෙතැන. 1913 දී ඉදිකර ඇති මේ ප්‍රදීපාගාරයේ උස, අඩි 100 ක්‌ පමණ වෙනවා.


මාන්තිව් දූපත /ලාදුරු රෝහල

කලපුව මුහුදට සමාන්තරව පුළුල් ලෙස පැතිර තිබෙන අතර මෙහි ලොකු කුඩා දූපත් රැසක්‌ද පිහිටා තිබෙනවා. ඒ අතරින් පිළිවෙළින් වඩාත්ම විශාල දූපත් දෙක ලෙස සැලකන්නේ බµලෝ අයිලන්ඩ් සහ මාන්තිව් දූපත්. මඩකලපු නගරයට බටහිරින් පිහිsටි මෙම දූපත් අතරින් මාන්තිව් ප්‍රකටව ඇත්තේ එහි ලාදුරු රෝහලක්‌ ඇති නිසා. ඕලන්ද පාලන යුගයේදී පළමුව කොළඹ - හැඳල ලාදුරු රෝහල ඇති කළ බවත් ඉන්පසු ගාල්ලේ රූමස්‌සල හා මඩකලපුවේ මාන්තිව්වල පාළු හුදෙකලා ප්‍රදේශ තෝරා, ජනතාවගෙන් වෙන්වන පරිදි මෙවන් ලාදුරු රෝහල් ඇති කළ බවත් අතීත තොරතුරුවල සඳහන්. ඒ ලාදුරු බෝවන රෝගයක්‌ නිසා.

අක්‌කර 68 කින් තරම් විශාල කඩොලාන සහ අනෙකුත් වෘක්‍ෂ වදුලකින් සමන්විත මාන්තිව් දූපතත් එකල ලාදුරු රෝහලක්‌ බවට පත්වුණා. එදා සිට අද දක්‌වා වසර තුන්සියයකට ආසන්න කාලයක්‌ මෙය ලාදුරු රෝහලක්‌ ලෙස පවත්වාගෙන යනවා. එහෙත් එදා 350-400 ක පමණ රෝගීන්ගේ නවාතැන්පළක්‌ (ජීවිත කාලය පුරා) බවට පත්ව තිබූ මේ ලාදුරු රෝහලේ අද දිවිගෙවන්නේ රෝගීන් දෙදෙනකු පමණයි. ඒ මේ රෝගීන් දෙදෙනාගේ දුක සැප බලන්න මඩකලපු ගිය ගමනේදී අපිත් මාන්තිව් දූපතට ගියා. අසල පිහිටි ගුවන් හමුදා කඳවුරේත්, මඩකලපු රෝහල් අධ්‍යක්‍ෂවරයාගේත් විශේෂ අවසරයක්‌ ලබාගත් අපි රෝහලටම අයත් බෝට්‌ටුවෙන් මාන්තිව් ගියේ බොහෝ දෙනකුට දකින්නට නොලැබෙන ඒ දුලබ දසුන දැක බලාගෙන මාන්තිව් දූපතේ තොරතුරු ඔබටත් කියන්න හිතාගෙන.

වලයාරු ප්‍රදේශයෙන් බෝට්‌ටුවට නැඟුන අපි කලක්‌ කොටි බලකොටු ලෙස පැවැති පුදූර්, වව්නතිව් කොක්‌අඩි චෝල ප්‍රදේශත් ඇස ගැටෙන මායිමෙන් තවත් කෙටි වේලාවකදී මාන්තිව් බෝට්‌ටු ජැටියට ළඟා වුණා. එහි අපි එනතුරු රෝහල් සේවකයින් කිහිප දෙනකු රැඳී සිටියා. එතැන් සිට මීටර් හාරසියයක්‌ පමණ යනතුරු පවතින අඩිපාර වැටිල තිබුණෙ අපමණ ජලජ කුරුල්ලන් රැසක්‌ කූඩු තනා තිබූ රූස්‌ස වන වදුල අතරින්. තවත් පැත්තකින් වන වැදුණු කුඩා කුඩා නිවහන් (වාට්‌ටු) රාශිය අපට කියා පෑවේ රෝහලේ අතීත කතාව. පන්සල, පල්ලිය, කෝවිල, මුස්‌ලිම් පල්ලිය යනාදිය අද වනාන්තරයට වැහී ගිහිං. එදා මුළු ජීවිතය කාල පුරාවටම දෙමවුපියන්ගෙන්, සහෝදර, නෑදෑහිතමිතුරන්ගෙන් වෙන්වෙලා ගිය අයට මේ ආගමික ස්‌ථාන සැබෑම සුවයක්‌ ලබාදෙන්න ඇති. පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණය, යෝධ වතුර ටැංකිය පවා දැන් අභාවයට යමින් පවතිනවා. ත්‍රස්‌තවාදී ප්‍රශ්න නිසා මෙහි ජල හා විදුලි

සැපයුම් දැන් විසන්ධි වෙලා. රජයේ වෙනත් කාර්යාලයක්‌ හැටියට මාන්තිව් දූපතේ කුඩා තැපැල් කාර්යාලය තවමත් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් අපි රෝහලේ ඉන්න අන්තිම ලාදුරු රෝගීන් දෙදෙනා හොයාගෙන ගියා. කොළඹ ඉපදුණා යෑයි කියන සේනත් යාපනයේ ඉපදුණා යෑයි කියන කුරුනාදනුත් තවමත් මාන්තිව් දූපතට තනි රකිනවා. රෝහල් සේවකයින් 16 ක්‌ වගේම වෛද්‍යවරයෙකුත් වරින් වර මාන්තිව් දූපතේ රාජකාරියට එනවා. රාත්‍රියේදී රෝගීන් දෙදෙනාත් එක්‌ක බොහෝ විට මාන්තිව් රෝහලේ පස්‌හයදෙනෙක්‌ විතර තනිsවෙනවා.

කොහොම වුනත් මාන්තිව් අලංකාර, ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනූන දූපතක්‌. ඒක කුරුල්ලන්ගේ කැදලි බිමක්‌ නොහොත් කුරුලු පාරාදීසයක්‌. වවුලන්ද ඇති තරම් මෙහි දිවි ගෙවනවා. ඒ නිසා එය අභය භූමියක්‌ බවට පත්කළ යුතුය යන්න මාන්තිව් දූපතේ සැරිසැරූ අපේ අදහස වන්නේ.


කාන්තෝන්දීස්‌වරම් කෝවිල

දකුණේදී අපි කතරගම දෙවියන් ගැනත්, කතරගම දේවාල ගැනත් කතා කළා. කතරගම කැබලිත්ත, ඕකන්ද පානම වැනි ප්‍රදේශ කතරගම දෙවියන් නොහොත් ශ්‍රී මුරුගන් දෙවියන්ගේ දේවාල හැටියට සලකනවා. ශ්‍රී මුරුගන්ගේ පියා හැටියට සැලකෙන්නේ ශිවදෙවියන්. ශිව වෙනුවෙන් තැනුනු දේවාල නොහොත් කෝවිල් පද්ධතියකුත් අපේ රටේ විවිධ තැන්වල පිහිටා තිබෙනවා. එම කෝවිල "වරම්'' ලෙසයි හඳුන්වා අවසන් කරන්නේ. මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම හා හලාවත යන තැන්වලදී මෙම ශිව දෙවි කෝවිල් අපට රට වටා ගවේෂණ චාරිකාවේදී හමුවීමට නියමිතයි. පළමුව අපට හමුවන එවන් කෝවිලක්‌ තමයි මඩකලපුවේ කාන්තෝන්දීස්‌වරම් කෝවිල. අද මෙම කෝවිලේ ගත කරන අපි ඉදිරියේදී අනෙකුත් සියලුම ශිව දේවාල ගැනත් කතා කරනවා.

පසුගිය සතියේ නැගෙනහිර අප කළ දුම්රිය චාරිකාවේදී ඈතින් සුප්‍රකට තොප්පිගල දිස්‌වුනා කියල අපි කිව්ව ඔබට මතක ඇති. මඩකලපුවටත් මෙසේ තොප්පිගල ඈතින් දැකගත හැකියි. මඩකලපු නගරයේ ගත කළ කාලය අපි නිමා කරල ඊළඟට පාසිකුඩා කල්කුඩා ප්‍රදේශ බලා ගමන් ආරම්භ කළා. ඒ ගමනේදී ඌරනිය ගම් ප්‍රදේශය පහුකරන කොටම ආපහු අපට අපේ වම් දෙසින් සුවිසල් (මඩ)කලපුව හමුවෙනවා. මෙන්න මේ කලපුවට ඉහළින් තමයි ඈතින් ''තොප්පිගල' හොඳට පෙනෙන්නෙ. කුඩාවට පේන මේ දර්ශනය වාසලගේ අධිබල කැමරාවේ පිහිටෙන් සමීපකරගත් ඡායාරූපයක තමයි අද අපි මෙහි පළකර තිබෙන්නේ.


පාසිකුඩා - කල්කුඩා

පාසිකුඩා සහ කල්කුඩා කිව්වොත් මේ රටේ නොදන්නා කෙනෙක්‌ නැති තරමට මේ සුන්දර වෙරළ තීරය හරිම ප්‍රකටයි. ඇත්තටම නැගෙනහිර වෙරළේ ප්‍රකටම ස්‌ථානය නොහොත් නැගෙනහිර සුන්දරිය තමයි මේ පාසිකුඩා - කල්කුඩා වෙරළ.

වාලච්ෙච්න ප්‍රදේශයෙන් හැරී තවත් මුහුද දෙසට කිලෝමීටර් 10 ක්‌ පමණ පොල්වතු, තල් වදුලු පසුකර ගියහම මේ අපූරු වෙරළ මුණ ගැහෙනවා. රළ වේගය අඩු, නොගැඹුරු මෙම මුහුදු ප්‍රදේශය ජල තටාකයක්‌ වගේ. පවුලේ ලොකු කුඩා හැමෝටම

වතුරේ බැස විනෝදවන්නට හැකි නිසාම බොහෝ දෙනා මේ ප්‍රදේශයට ඇලුම් කරනවා. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකක්‌. කොරල් පර වගේම කැස්‌බෑවනුත් මෙහිදී දැක ගත හැකියි


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/05/22/nimna04.html

0 comments:

Post a Comment