Pages

Monday, August 15, 2011

37 : විජයග්‍රහණයේ පෙර මඟ සලකුණ ෆවුල් පොයින්ට්‌ (සාම්පූර්)

වාලච්ෙච්නට උතුරින් පිහිටි කජුවත්ත ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලයට දකුණින් පිහිටි සාම්පූර් දක්‌වා ප්‍රදේශය තිස්‌ වසරක යුද්ධයට ගොදුරුව ත්‍රස්‌තවාදීන්ගේ අණසකට යටත්වයි තිබුණේ. පසුගිය සතියෙ අපි කතාකරපු අපගේ වටිනාම ආගමික ස්‌ථානයක්‌ වුණු ලංකා පටුන, ඊට පෙර අපි කඳවුරු බැන්ද සල්ලතිව් (චල්ලතිව්) මේ සියල්ලම අපේ විරෝදාර රණවිරුවන් නැගෙනහිර මෙහෙයුමේදී මුදාගත් ප්‍රදේශ. ලංකා පටුනෙ ඉඳන් මුතූර්, සාම්පූර් දක්‌වා වැටී ඇති මුහුදුබඩ මාර්ගයත් මේ අනුව යුද සමයේදී සාමාන්‍ය ජනතාවට තහනම් වෙලයි තිබුණේ. මුතූර් ප්‍රදේශයේ ජනතාවට රජයේ රැකවරණය තිබුණත් එතනින් සැතපුම් 6-7 ක්‌ එපිටින් වූ සාම්පූර් ප්‍රදේශය එකල ත්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ. ප්‍රධාන බලකොටුව වශයෙන් පැවතුණා. ඔබට මතකද? සාම්පූර්හි ෆවුල් පොයින්ට්‌ පැරණි ප්‍රදීපාගාරය අපේ හමුදාවන් අත්පත් කරගනිමින් ඒ මත ජාතික ධජය ඔසවමින් නැගෙනහිර ත්‍රස්‌තවාදීන්ගේ අණසක නිමාකිරීමේ සටන ඇරඹුවා. අද අපි මේ කතාකරන්නෙත් ඒ විජයග්‍රහණයේ යෝධ සලකුණ, සාම්පූර් (ෆවුල් පොයින්ට්‌) ප්‍රදීපාගාරය අසල සිටයි. මේ ප්‍රදීපාගාරය අසලට යන්න ශ්‍රී ලංකා නාවික හමුදාව අපට විශාල සහයෝගයක්‌ ලබා දුන් බවත් මෙහිදී අප සිහිපත් කළ යුතුමයි.

ලංකා පටුන සිට මුතූර් දක්‌වා

ලංකා පටුන නම් අතිශය සුන්දර, නිසසල පරිසරයට සමු දී අපි මුතූර් බලා ඇදුණේ චමත්කාර වෙරළබඩ මාර්ගයක්‌ දිගේ. සේනම්වැලි ප්‍රදේශය පසුකර, 2004 සුනාමියෙන් මෙන්ම තිස්‌වසරක යුද්ධයෙන් දරුණු ලෙස බැටකෑ අහිංසක, දිළිඳු ජනතාවක්‌ වෙසෙන ගම් ප්‍රදේශ හරහා ගමන් කිරීම අපට මහත් අත්දැකීමක්‌ ගෙනදුන් බව සඳහන් කළ යුතුයි. මෙම ප්‍රදේශවල සංචාරය කිරීමට ඔබටත් අවස්‌ථාවක්‌ උදාවුවහොත්, මෙතෙක්‌ අපගෙන් සැඟව තිබී, නිදහසේ නාමයෙන් ජාතියට විවර වූ මෙම ප්‍රදේශවල නැවුම් ආස්‌වාදය කෙතරම්ද යන්න ඔබටත් වැටහෙනු නියතයි. රටවටා යන අපගේ ගවේෂණ චාරිකාව රසවිඳින බොහෝ පාඨකයින් නැගෙනහිර චාරිකාවකට එක්‌වන්නට තමන්ටත් අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙස අපගෙන් ඉල්ලීම් කරපු අවස්‌ථා කොතෙකුත් තිබෙනවා. ඒ ගැන සලකා නැගෙනහිර චාරිකාවක්‌ සංවිධානය කරන්නත් අපගේ අදහසක්‌ තිබෙනවා. කොහොමහරි දිගින් දිගටම අපගේ "රටවටා යන ගවේෂණ චාරිකාව" සමග රැඳී සිටින්න කියලත් අපි ඔබට සිහිපත් කරනවා.

සාම්පූර් ප්‍රදේශය දැන් අධිආරක්‍ෂිත කලාපයක්‌ ලෙස නම්කරල තියෙන හින්ද, මුහුදුබඩ දිගේ අපි කෙළින්ම ඒ පැත්තට ගියේ නෑ. මද විවේකයකටත් එක්‌ක ඔන්න ඊළඟට අපි ළඟාවුණේ මුතූර් නගරයට. ඉස්‌ලාම්වරු බහුතරයක්‌ දිවිගෙවන මෙම ප්‍රදේශය එකල නිරතුරුව ත්‍රස්‌තවාදී තර්ජනයට ලක්‌වුණු ප්‍රදේශයක්‌. ඔබට මතක නම් මාවිල්ආරු සොරොව්ව ත්‍රස්‌තවාදීන් විසින් වසා දමපු වෙලාවේ, සේරුනුවර, සේරුවිල, තෝපූර්, ඊච්චලන්පත්තු ජනතාව වගේම මේ මුතූර් ජනතාවත් විශාල අපහසුතාවකට පත්වුණා. ඔවුන්ගේ කෙත්වතු වතුර නැතිව විනාශ වුණා. ඒ විතරක්‌ නෙමේ සාම්පූර් ප්‍රදේශයේ ඉඳන් මුතූර්වලට කාලතුවක්‌කු, මෝටාර් ප්‍රහාර ඉල්ල වුණා. අවසානයේ මුතූර් ජනතාව කන්තලේ පැත්තට පලාගියා.

මුතූර් ප්‍රදේශයට ප්‍රවේශ මාර්ගය තියෙන්නෙ කන්තලේ හරහා. අල්ල - කන්තලේ මාර්ගයෙන් තමයි මේ ප්‍රදේශයට බස්‌ රථ පැමිණෙන්නේ. ඒත් තවත් ටික දවසකින් කින්නියා ප්‍රධාන පාලම ඔස්‌සේ මුතූර් - ත්‍රිකුණාමලය යාවෙනවා. ඒ මහවැලි ගඟට ඉහළින් වගේම තවත් ආරවල් දෙකකට ඉහළින් දැන් පාලම් ඉදිවෙන නිසා. ඔවුන්ට ආසන්නතම ප්‍රධාන නගරය වන ත්‍රිකුණාමලය තියෙන්නෙ පේන දුරකින්. නමුත් කොඩ්ඩියාර් බොක්‌ක නොහොත් මහවැලි ගඟ ත්‍රිතුණාමල මුහුදට එකතුවන 'කොට්‌ටියාරම' ඒ සඳහා ඔවුන්ට ලොකු බාධාවක්‌, එය ජයගන්න තමයි දන්නා කාලයක ඉඳන් මුතූර් ජනතාව මුතූර් ජැටියෙ ඉඳන් ත්‍රිකුණාමලයට බෝට්‌ටු හා මඟී යාත්‍රාවලින් ගමන් ගත්තේ. වාහනයක්‌ වුණත් මේ නැවෙන් පටවාගෙන ත්‍රිකුණාමලයට යන්න පුළුවන්. දැන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ "සේරුවාවිල" කියන මඟී යාත්‍රාව. වරාය අධිකාරිය තමයි මේ නැව් සේවාව පවත්වාගෙන යන්නෙ.

රොබට්‌ නොක්‌ස්‌ ගේ සියඹලා ගස

උදේ කෑමෙන් පස්‌සේ අපි කෙළින්ම ගියේ මේ අපූරු සියඹලා ගහ දැක බලාගන්න. වනසත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත යටතේ මේ රටේ සුවිශේෂී ගස්‌ පහක්‌ දිගු කලක සිට ආරක්‍ෂාව ලබනවා. පරකඩුවෙ නා ගස, ඇලහැර ඔරුබැඳි සියඹලා ගස වැනි ගස්‌ අතර රොබට්‌ කොක්‌ස්‌ සිහිවීමට ආරක්‍ෂා කරන මුතූර්වල මේ සියඹලා ගසත් අයත් වෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික රොබට්‌ නොක්‌ස්‌ වෙළෙඳ නැවක නාවිකයෙක්‌. ඔහු වසර 19 ක්‌ තිස්‌සේ අපේ රටේ සිරකාරයෙක්‌ බවට පත්වෙලා සිටියා. ඒ. මහනුවර (සෙංකඩගල) රජ කරපු දෙවැනි රාජසිංහ රජතුමාගේ (ක්‍රි.ව. 1634 - 1684) කාලයේදී. ඔහුගේ පියාට අයත් "ඈන්" නමැති වෙළෙඳ නැවෙන් ඉන්දියාවේ සංචාරයක නිරතවෙලා සිටිත්දී ඒ රුවල් නැව කුණාටුවකට අහුවෙලා කොට්‌ටියාරමට නොහොත් ත්‍රිකුණාමල වරායට එන්නේ 1660 මාර්තු මාසේ දවසක. කොහොමහරි නැව් කපිතාන් ජ්‍යෙෂ්ඨ රොබට්‌ නොක්‌ස්‌ සමඟ පුත් කනිෂ්ඨ රොබට්‌ නොක්‌ස්‌ ඇතුළු පිරිස අනවසරයෙන් රටට ඇතුල්වීම හා අවසර නැතිව කුඹ ගසක්‌ ලංකාවෙන් කපා ගැනීමේ වරදට හසුව 1660 අප්‍රේල් මස 4 වැනිදා උඩරට රජුගේ අත්අඩංගුවට පත්වෙනවා. ඒ මුතූර්වල තියෙන මේ සියඹලා ගහ යටදී. අවසානයේදී වසර 19 ක්‌ මෙරට සිරකරුවකුව දිවිගෙවන කනිෂ්ඨ රොබට්‌ නොක්‌ස්‌ගේ කපිතාන් පියතුමන් මැලේරියාව වැළඳී මෙහිදීම මියයනවා. රොබට්‌ නොක්‌ස්‌ ඉන්පසු 1679 දී තවත් සිරකරුවකු සමග මන්නාරමට පළාගොස්‌ ලන්දේසීන්ට එකතුව කොළොම්තොට හරහා යළිත් බ්‍රිතාන්‍යයට යනවා. එහෙත් ලංකාවේ ජනජීවිතය, උඩරට ප්‍රදේශය ගැන වගේම දෙවැනි රාජසිංහයන් ගැනත් කරුණු ඇතුළත් අපූරු පොතක්‌ ලියා පළකරනවා. ඒ තමයි "An Historical Relation of the Island Ceylon" නම් කෘතිය. මෙය ලංකාව පිළිබඳ සුදු ජාතිකයකු ලියූ ප්‍රථම ග්‍රන්ථය විදිහටයි සැලකෙන්නේ. එදා ඒ අත්අඩංගුවට පත්වීම සිහිකෙරෙන සියඹලා ගසේ ඊළඟ පරපුරට අයත් ගස්‌ තමයි දැන් තියෙන්නේ. වසර 300 කට වඩා පැරණි මුල් ගස 1978 සුළි සුළඟේදී ඉදිරී වැටී තිබෙනවා. 1893 දී තමයි මේ ගස ආරක්‍ෂාකොට එහි සිහිවටන ඵලකය තබා ඇත්තේ.

සාම්පූර්

නොක්‌ස්‌ගේ සියඹලා ගසත් බලාගෙන මීළඟට අපි ගමන් ඇරඹුවෙ සාම්පූර්වලට යන්න. මුතූර්වලින් හැරී අබලන් මාර්ගයේ අපේ ජීප් රථය ඉදිරියට ඇදෙනවා. මේ යන ගමනේදී කට්‌ටපරිච්චාන්, සාලසුර් යන ප්‍රදේශත් අපට මුණගැහෙනවා. අපේ මතකය නිවැරැදි නම් මේ කට්‌ටපරිච්චාන් ප්‍රදේශය එකල විශාල වශයෙන් ත්‍රස්‌තවාදීන් හා රජයේ හමුදා අතර ගැටුම් පැවැති ප්‍රදේශයක්‌. බිම්බෝම්බ හා බර අවි ප්‍රහාර හේතුවෙන් අපේ සෙබළුන් සැලකිය යුතූ පිරිසක්‌ වරින්වර මෙහිදී ජීවිත දන් දුන්නා.

මේ ප්‍රදේශ පහුකරගෙන ගියහම තමයි සාම්පූර් මුණගැහෙන්නෙ. ඔබ හොඳින් ත්‍රිකුණාමලය අවට සිතියම දෙස බැලුවොත් කොට්‌ටියාරම් බොක්‌කට පහළින් දකුණු පැත්තෙන් පෙනෙන නෙරාගිය ගොඩබිම් ප්‍රදේශයක්‌ දැකගත හැකියි. මේ තමයි සාම්පූර්. එහි කෙළවර හඳුන්වන්නේ "ෆවුල් පොයින්ට්‌" කියල. ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය පිහිටල තියෙන්නෙත් මෙහි. ෆවුල් පොයින්ට්‌ දැකගන්න අපි ප්‍රවාහන විධි කිහිපයක්‌ම භාවිත කළා. ඒ ගැන අපි ඉදිරියේදී වඩාත් විස්‌තරව කතා කරනවා. කොහොමහරි සාම්පූර් නාවික හමුදා කඳවුරට ගිය අපිව එහි
නිලධාරින් ඉතා සුහදව පිළිගත්තා. හැබැයි ෆවුල් පොයින්ට්‌ යන්න අපි ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම, නාවික හමුදා මූලස්‌ථානයෙනුත් අවසර ලබාගත් බව මෙහිදී සඳහන් කළ යුතුයි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරි මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ අවසරයෙන් පස්‌සෙ නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා ප්‍රමුඛ ඉහළ නිලධාරීන් වගේම ත්‍රිකුණාමලය, සාම්පූර් අණදෙන නිලධාරීන්ද අපට ඒ සඳහා නොමද අනුග්‍රහයක්‌ ලබා දුන්නා. ඒ අනුව ජීප් රථයකින් කිලෝමීටර් 7-8 ක්‌ ගිහිං තමයි ෆවුල් පොයින්ට්‌ වලට ළඟා වුණේ. එතනත් නාවික කඳවුරක්‌ තියෙනවා.

මේ ගමනේදී නාවික ලුතිනන් අනුරුද්ධ හේරත් අපට මඟ පෙන්වීමේ කාර්යය සිදු කළා.

ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය

නාවික කඳවුර මැදින් අපි ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය අසලටම ළඟා වුණා. මේ තමයි එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ විජයග්‍රහණය සනිටුහන් කළ යෝධ සලකුණ. ෆවුල් පොයින්ට්‌ හෙවත් 'කෙවුලියා' පොයින්ට්‌ ප්‍රදීපාගාරය ලෙසයි මෙය හඳුන්වන්නේ. 1863 දී ඉදිකර ඇති මෙහි උස මීටර් 32 (අඩි 105) ක්‌. වට ප්‍රමාණය මීටර් 25 ක්‌. දැන් මේ ප්‍රදීපාගාරය තරමක්‌ අබලන්
තත්ත්වයකයි තියෙන්නෙ. තට්‌ටු පහකින් සමන්විත මෙහි යකඩ තරප්පුපෙළ, ගරාදි, තට්‌ටු, බාල්ක යනාදිය හොඳටම දිරාපත් වෙලා. ඒ නිසා එතනට ගියත් අපට ප්‍රදීපාගාරයේ ඉහළ මහළවලට නගින්න බැරි වුණා. එහෙත් එතනට අනික්‌ පසින් පෙනෙන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශය වගේම, ෆවුල් පොයින්ට්‌ අවට පවතින අලංකාර ගල්පරවල සුන්දරත්වයන් විඳගත්තෙ රටවටා ගමනේ තවත් එක්‌ නාවතැනක්‌ බවට මේ සොඳුරු ෆවුල් පොයින්ට්‌ ප්‍රදේශය පත්කර ගනිමින්.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/06/12/nimna04.html

0 comments:

Post a Comment