Pages

Monday, August 15, 2011

31 : අලියා බෝට්‌ටුවේ නැගී ගාලු තොටින් දියඹට...

මේ සතිය අපේ "රට වටා ගවේෂණ චාරිකාවට" පුංචි විවේකයක්‌ ලැබුණු සතිය. ඒ හින්ද ඒ ලිපිය අද පළවෙන්නේ නෑ. ආයිමත් ඒ චාරිකාවෙන් අපි හමුවෙන්නෙ ලබන ඉරිදා. ඉඩකඩ මදිකම නිසාම මේ චාරිකාවෙ බොහෝ තොරතුරු වගේම අමතර අත්දැකීම් ගැනත් අපට වැඩිය කතාකරන්න වෙන්නෙ නෑ. අපේ චාරිකාවට ඒ වගේ උදව්වුණු කතාන්දර බොහොමයක්‌ ගැන. ඒ හින්ද අප කතාකරන්න තීරණය කළේ ඉඩකඩ තියෙන වෙලාවට. ඒ වගේ කතාන්දරයක්‌ තමයි මේ. පුංචි විවේකයක්‌ ලැබුණු මේ සතියෙ ඒ ගැන තොරතුරු ටිකක්‌ සොයා බලමු.

ලංකාව වටේ චාරිකාවේදී අපගේ එක්‌ ප්‍රධාන නවාතැන් පළක්‌ බවට පත්වුණු තැනක්‌ තමයි ගාලු නගරය. නැත්නම් ගාලුතොට නොහොත් ගාලු වරාය. මෙහි තොරතුරු සොයා බලන්නත් වරායෙ ඇති යාත්‍රාවක නැගී මුහුදු චාරිකාවකට එක්‌වන්නටත් අතැඟිලි ගනිමින් ඉඳිද්දි තමයි එවකට වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය (දැන් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය) දයාශ්‍රිත තිසේරා මහතාගෙන් අපට ආරාධනයක්‌ ලැබුණෙ ගාලු වරායෙ සහ අභිනවයෙන් ඉදිවූ හම්බන්තොට වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්‌වෙන්න. අමාත්‍යවරයාගේ මාධ්‍ය නිලධාරිවරයකු වු ප්‍රසාද් පූර්ණමාල් මහතා ගෙනා යෝජනාවට ඉතින් අපි පැනල කැමති වුණා. මොකද පුල පුලා බලා සිටි චාරිකාව ඒ විදිහට සපුරගන්න ලැබුණු හින්ද?

ඔන්න ඉතින් චාරිකාව සංවිධානය වුණා. දින යොදාගත්තට පස්‌සේ මාද්‍යවේදීන් රැගත් බස්‌රථය ගාල්ල බලා ගමන් කළා. එදා අපගේ නවාතැන්පළ බවට පත්වුණේ වරාය අධිකාරියට අයත් ගාල්ල රූමස්‌සල කන්ද මුදුනේ අලංකාර තැනක ස්‌ථානගතවෙලා තිබුණු සංචාරක නිවහනේ. අපිට එදා නවාතැන් ලැබුණු කාමරයත් අපේ කැමැත්තට අනුවම තේරිලා තිබුණා. සම්පූර්ණයෙන්ම වීදුරුවලින් සමන්විත බිත්තියක්‌ සහිත ඒ පැත්ත මුහුණලා තිබුණෙන් වරාය දෙසට. දැන් අපි ඉන්නේ වරායට උඩින්. මෙතනට හරි අපූරුවට වරායත් නාවික යාත්‍රා, ධීවර වරාය, පමණක්‌ නොව ගාලු නගරය, ගාලු කොටුව, ප්‍රදීපාගාරය වගේ දේවලුත් හොඳට පෙණුනා. මේ විනිවිද පෛනෙන දැවැන්ත තිරයෙන් හිරුබැස යන සැඳෑවේ අසිරියත් කැමරා තුළ සටහන් කර ගත් අපි යළිත් හිරු උදාවෙන්නට පෙර පසුදා අවදි වුණේ උදා හිරු එළියෙන් විකසිතවන ගාලු පුරවරයේ සෞන්දර්යය ග්‍රහණය කර ගැනීමේ අදිටනින්. හිරුඑළිය අපට උවමනා පැත්තටම පතිත වෙනවා. ළා හිරු රැස්‌ දහරා අපගේ බලාපොරොත්තු අපූරුවට මුදුන්පත් කරනවා. වාසල එහෙට මෙහෙට පැන පැන පින්තූර එකතු කරනවා. රූමස්‌සල වනවදුලු අතර සැරිසරන සියොතුන් මෙන්ම කළු වඳුරන්ද ගාලු පුරයේ රූ - සැරිය සොයා වෙහෙසෙන අපට ආමන්ත්‍රණය කරනවා. අපගේ නවාතැන්පළට ඉහළින් සුදෝ සුදුවට දිලෙන ජපන් සාම චෛත්‍යය ගර්භයේ ගැටෙන උදාහිරු රැස්‌ දහරා එය රන්වන් පැහැති දාගැබක්‌ බවට පත්කරනවා. මේ වගේ සෞන්දර්යයක්‌ අත්විඳින්න ලැබුණු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් අපි ගාලු නගරයේ, ගාලු තොටේ පමණක්‌ නොව රූමස්‌සල - උණවටුනෙත් අමතක නොවන මතකයක්‌ රඳවාගෙන තමයි උදේ ආහාර යෙන් පස්‌සෙ රූමස්‌සලෙන් පල්ලම් බැස්‌සේ.

මීළඟ චාරිකාව ගාලු වරායට. අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතාත් සමඟ අපේ බස්‌ රථය මඳ වේලාවකින් ගාලු වරාය තුළට සේන්දු වුණා. අපි එහි යනකොටත් ගාල්ලෙන් මුහුදු චාරිකාවකට එක්‌වෙන්න වරාය අධිකාරියේ විශේෂිත යාත්‍රාවක්‌ සුදානම් කරලයි තිබුණෙ. ඒ තමයි "සුරනිමල" නමැති ටග් යාත්‍රාව. මේකට අලියා බෝට්‌ටුව කියලත් කියනවා. අලියා බෝට්‌ට්‌ටුව නොහොත් ටග් යාත්‍රාව විශේෂිත යාත්‍රාවක්‌ හැටියට හඳුන්වන්නේ එය බලයෙන් වැඩි යාත්‍රාවක්‌ නිසයි. විශේෂිත බලයක්‌ සහිත එන්ජින් දෙකකින් ක්‍රියාත්මක වන ටග් යාත්‍රාවන් තමයි රට රටවලින් වරායන් වෙත ඇදෙන සුවිසල් නැව් පවා හරවා වරායන් වෙත ඇදගෙන එන්නේ. සුවිසල් නැව් වරායන් වෙත පදවාගෙන ඒමේදී ඒවා නියමිත පරිදි හසුරුවා ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම අතුරු අන්තරා වෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා පිටත වරායන් තුළ නැංගුරම්ලන නාවික යාත්‍රා පසුව ටග් යාත්‍රාවක ආධාරයෙන් හසුරවමින් වරායේ නියමිත ජැටිය කරා රැගෙන එනවා. මේකත් හරියට මිනිහෙක්‌ ගවයෙක්‌ දක්‌කා ගෙන එනවා වගේ වැඩක්‌. ඉතින්, ඒ සඳහා තමයි මෙවන් යාත්‍රාවක්‌ බලසම්පන්නව නිර්මාණය කර ඇත්තේ.

කොහොමහරි පෙරවරු 7.30 විතර වෙනකොට අපි "සුරනිමල" ටග් යාත්‍රාවට ගොඩවුණේ ජීවිතයේ කවරදාකවත් නොලැබු තවත් නැවුම් අත්දැකීමක්‌ විඳිනු රිසියෙන්.

දකුණු මුහුදත් මේ දිනවල ටිකක්‌ සැරට තිබුණා. ඒත් හැමදාමත් සාගර දිය පරදා ඉදිරියට ඇදෙන මෙවන් නාවික යාත්‍රාවලට වගේම එහි සේවය කරන නාවිකයින්ටත් ඒවා අමුතු දේවල් නෙමෙයි. තට්‌ටු දෙකකින් සමන්විත ටග් යාත්‍රාව අපට සිහිපත් කළේ අප දිනක්‌ මේ ගාලු තොටින්ම දියඹට ඇදුණු නාවික හමුදාවේ ඩෝරා වර්ගයේ යාත්‍රාවයි. නිදන කාමර, කෑම කාමරයක්‌, වැසිකිළි, කුස්‌සිය, යනාදී අත්‍යාවශ්‍ය පහසුකම් පවතින මේ යාත්‍රා දෙකේම සැකැස්‌ම තරමක්‌ එක වගේ.

මඳ වේලාවකින් 25 ක 30 ක විතර පිරිසක්‌ යාත්‍රාවට එකතුවී හරි බැරි ගැහුණේ මුහුදු සංචාරයට එකතුවෙන්න. අමාත්‍යවරයාත් ඒ අතර හිටියා. ඔන්න දැන් දඟකාර දියරැළි කපාගෙන යාත්‍රාව ගාලු තොටින් දියඹ දෙසට ඇදෙනවා. වම්පසින් විශාල නැව් කිහිපයක්‌ රඳවා තබා ඇති සිමෙන්ති පටවන ජැටිය. අනිත් පසින් දක්‍ෂිණ නාවික කඳවුරත්, ධීවරවරායත්, ඒ පැත්තෙන්ම අපට පෙනෙන්නට තියෙන්නේ ගාලු කොටුව. කොටුපවුර ගාලු වරායට සීමා වෙලා. කෙළවර ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරය වන ගාලු ප්‍රදීපාගාරය දැකගන්න පුළුවන්. හිරු උදාවත් සමඟ රූමස්‌සල සිට අප දුටු මේ දසුන් දැන් මුහුදේ ඉඳලා අපි නරඹනවා. ඒ විතරක්‌ නෙමේ, ටග් යාත්‍රාවේ තොරතුරු නැව් හැසිරවීමේ තොරතුරු ගැනත් අපි යාත්‍රාවේ කාර්ය මණ්‌ඩලයෙන් විමසනවා. විටෙක තද රැල්ලකට උඩ විසිවෙන යාත්‍රාව ආයිමත් මුහුදු දිය මත පතිත වෙන්නේ අපගේ නඩය කම්පනයට පත්කරමින්. සමහරුන්ට මේ වගේ මුහුදු ගමන් කොහොමටත් හුරු නෑ. හුරු අයටත් යාත්‍රාවේ පැද්දීම දරාගන්න බැහැ. එහෙම ගිහිං "සී - සික්‌" හැදුණු අයත් ටිකකින් අපට මුණ ගැහුණෙ පහළ මාලයේ නිදන කාමරය තුළ ඉඳල.

කොහොම හරි කලාතුරකින් ලැබුණු මේ අත්දැකීමෙන් එහි ගිය බොහෝ දෙනෙක්‌ අපමණ ආශ්වාදයක්‌ විඳිනවා දකින්නට ලැබුණා. ඇයි, අපිටත් එහෙම තමයි. මේ නවමු අත්දැකීම අපි මීට පෙර විඳලා නැති නිසා මේ චාරිකාව ආයිමත් ජීවිතේට අපට අමතක වෙන එකක්‌ නොවේ. කොහොම කොහොම හරි මේ චාරිකාවේදී මුහුදු සැතපුම් 25 ක්‌ 30 ක්‌ විතර අපි මහමුහුදට ගමන් කරන්නත් ඇති. මහ මුහුදේ ඉඳලා පෙනෙන ගාලු පුරවරයේ රූමස්‌සල කඳුවැටියත්, උණවටුන සුන්දර වෙරළ තීරයත් උණවටුන වැල්ලේ දේවාලයත්, ප්‍රදීපාගාරයත් කැමරා කාචවලින් අපි හොඳට ග්‍රහණය කරගත්තා. යළි එන ගමනේදී රූමස්‌සල පාමුල පිහිටි බොනවිස්‌ටා කොරල්පරයට එබී බලන්නත් අපි අමතක කළේ නෑ. ඔන්න ඔය විදිහට තමයි අපි අලියා බෝට්‌ටුවේ නැතිනම් "සුරනිමල" ටග් යාත්‍රාවේ ගමන නිමා කළේ. අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා මේ චාරිකාවේදී අපට මහත් ශක්‌තියක්‌ වූ බවත් පූර්ණ සහයෝගයක්‌ දුන් බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. චාරිකාවට අපව එක්‌කරගනිමින් ගාලු වරායේ මේ සොඳුරු අත්දැකීම අප වෙත ලබා දෙන්නට සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ප්‍රසාද් පූර්ණමාල් සොයුරාටත් අපගේ ස්‌තුතිය පුදකරමින් අපි දහවලේදී ගාලු තොටින් "සුරනිමල" යාත්‍රාවට සමුදුන්නේ අපේ රටවටා ගමනේ අත්දැකීම් ගොන්නට තවත් වැදගත් මතක සටහනක්‌ එක්‌ කරමින්.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
ඡායාරූප - වාසල සේනාරත්න

http://www.divaina.com/2011/05/01/nimna03.html

0 comments:

Post a Comment