Pages

Monday, August 15, 2011

44 : උතුරු දිග වෙරළේ හෙළ ලකුණ කෝකිලායි


නැගෙනහිරට සමුදීල අද අපි උතුරුදිග චාරිකාව නිල වශයෙන් ආරම්භ කරනවා. ඒ උතුරු දිග වෙරළේ අවසාන ගම්මානය වන කෝකිලායි වලින් පටන්ගෙන. පසුගිය සතියේ පුල්මුඩේ ගතකළ අපි කෝකිලායි යන ගමනේදී තවත් වැදගත් තැනක්‌ බලන්න යන්න අමතක කළේ නෑ. ඒ තමයි පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාව. එතැනින් නික්‌මුණු අපි කෝකිලායි වෙත ගියේ කෝකිලායි කළපුව දක්‌වා වැටී ඇති අභය භූමිය ඔස්‌සේ. කෝකිලායි වෙත පුල්මුඩේ පැත්තෙන් යනවා නම් කළපුවෙන් එගොඩවීම සඳහා බෝට්‌ටුවක්‌ භාවිත කළ යුතුයි. එහෙත් වාහනයකින් යනවා නම් තවත් සැතපුම් 40-50 ක්‌ වත් වැඩිපුර ගෙවා පදවිය, පරාක්‍රමපුර, ජනකපුර ඔස්‌සේ පැමිණිය යුතුයි. මේ දෙආකාරයෙන්ම අපි කෝකිලායි සංචාරයේ නිරත වුණා.

ඛනිජ වැලි සංස්‌ථාව

ලංකා ඛනිජ වැලි සංස්‌ථාව පූර්ණ වශයෙන් රජයට අයත්ව තිබූ ආයතනයක්‌. එහෙත් කාලයාගේ ඇවෑමෙන් එය සමාගමක්‌ බවට පත්වුණා. මෙම සමාගම මගින් පුල්මුඩේ අවට ඇති රළු (ඛනිජ) වැලි එකතුකර පිරිපහදුකර අගය වැඩිකළ එක්‌ එක්‌ ඛනිජ වැලි වර්ග කිහිපයකට බෙදා වෙන් කරනවා. මෙරට පැරණිම කර්මාන්ත ශාලාවක්‌ වන මෙමගින් වෙන් කරගන්නා ඉල්මනයිට්‌, මොනසයිට්‌, රූටයිල්, සර්කෝන් යනාදිය විදේශයන්ට අපනයනය කරනු ලබනවා. මෙමගින් සැලකිය යුතු විදේශ විනිමයක්‌ අපේ රටට ලැබෙනවා.

පුල්මුඩේ (යාන්ඔය) සිට නයාරු ප්‍රදේශය දක්‌වා ඛනිජ වැලි නිධියක්‌ පවතින බවයි සංස්‌ථාව සතු සිතියම්වල දැක්‌වෙන්නේ. ඉදිරියේදී අපි තවදුරටත් ඒ ගැන කතා කරනවා.ඛණිජ වැලි සංස්‌ථාව යුද්ධයේ අතවරයන්ට නිරතුරුව ගොදුරු වූ ස්‌ථානයක්‌. මෙම ප්‍රදේශය ත්‍රස්‌තවාදින්ගේ සෙවණැලි වලින් භීතියට පත්වෙද්දී විටෙක මෙහි පැමිණි වැලි පුරවාගත් චීන නැවක්‌ද ප්‍රහාරයට ලක්‌ව මුහුදුබත් වුණා. එවන් අඳුරු මතක සටහන් මතින් අද නැවතත් ඛනිජ වැලි සංස්‌ථාව පිබිදෙමින් සිටිනවා. පුල්මුඩේ ගත කළ දිනවලදී අපි සංස්‌ථා පරිශ්‍රය තුළ ඇවිද යමින් එහි ක්‍රියාකාරිත්වය මෙන්ම සංස්‌ථාවේ අනාගත සැලසුම් හා වැඩපිළිවෙළ පිළිබඳවද එහි නිලධාරීන් හා කතාබහ කළේ රටේ මෙවන් වැදගත් කර්මාන්ත දියුණු කිරීම සඳහා යුද්ධය නිමවීමෙන් පසු ලැබී ඇති ඉඩ ප්‍රස්‌ථාව අගය කිරීමකට ලක්‌ කරමින්.

කෝකිලායි අභය භූමිය

කෝකිලායි අභය භූමිය මෙරටේ ඇති තවත් වැදගත් එමෙන්ම සුවිසල් අභය භූමියක්‌. 1951 මැයි 18 වැනිදා වනජීවී සංරක්‌ෂණ දෙපර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති මෙහි භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 1995 ක්‌. කෝකිලායි කලපුව මෙන්ම වටා පවතින ගණ රූස්‌ස වන වදුල මෙන්ම ලවණහැල් හා තෘණ පිටි මෙම අභය භූමියට අයත් වෙනවා. කෝකිලායි ගම්මානයද අයත්ව ඇත්තේ අභය භූමිය තුළටයි. ජලජ කුරුල්ලන් රැසකගේ අභය ස්‌ථානයක්‌ වන මෙහි වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති තිත්හොට පැස්‌තුඩුවන් සැලකිය යුතු පිරිසක්‌ තම ආහාර බිම් හා කැදලි බිම් ලෙස තෝරාගෙන දිවි ගෙවනවා.

වන අලින් සැලකිය යුතු පිරිසක්‌ දිවි ගෙවන කෝකිලායි අභයභුමියේ තිත්මුවා, ගෝනා, වළසා, කොටියා, ඌරා වැනි සතුන්ද දිවි ගෙවන බවට තොරතුරු ලැබී තිබෙනවා. එහෙත් පැවති යුදමය වාතාවරණය හේතුකොටගෙන මෙහි සැලකිය යුතු ජෛව විවිධත්ව පර්යේෂණයක්‌ මෙතෙක්‌ සිදුවී නැහැ. එසේම යුද්ධයේ නිමාවත් සමගම නැවත පදිංචි කිරීම් හා සංවර්ධන කටයුතු හේතුවෙන් කෝකිලායි අභය භූමියේ වැදගත් වනාත්තර පෙදෙස්‌ දැඩි විනාශයකට ලක්‌ව ඇති බවකුත් මේ සංචාරයේදී අපට දැකගත හැකි වුණා.

කෝකිලායි

කෝකිලායි යනු මෙරටේ පැරණිතම ධීවර ගම්මානයක්‌. උතුරු පළාතේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් කෝකිලායි යුද සමයේදී පවා එහි තිබූ අවසන් සිංහල ගම්මානය ලෙසටයි ප්‍රකටව තිබුණේ. තිස්‌ වසරක යුද්ධය හේතුවෙන් කෝකිලායි සහ ඒ ආසන්නයේ තිබූ නයාරු ගම්මාන දැඩි ලෙස තර්ජනයට ලක්‌වූ අතර මෙම ගම්මානවලට ත්‍රස්‌ත ප්‍රහාර ගණනාවක්‌ එල්ල වුණා. ඒ අනුව නයාරු ගම්මානය ගම්වැසියන් විසින් අතහැරදමා යද්දී හමුදා ආරක්‌ෂාව මධ්‍යයේ අවසානයට ඉතිරි වූයේ පහළින් පිහිටි කෝකිලායි ගම්මානය පමණි. කෝකිලායි එකල මීගමුව ප්‍රදේශයේ සංක්‍රමණික ධීවරයන්ගෙන් සැදුම්ලත් ගම්මානයක්‌ බවට පත්ව තිබුණත් පසුව මෙහි ස්‌ථිර නිවාස, පාසලක්‌, පල්ලියක්‌ යනාදිය ඉදිවීමෙන් පසු ස්‌ථිර ජනාවාසයක්‌ බවට පත්ව තිබෙනවා. සුනාමි ව්‍යසනයෙන්ද විනාශයට පත්වූ කෝකිලායි ගම්මානය යුද්ධයේ නිමාවත් සමග දැන් යළිත් සංවර්ධන සිහින මැදින් පිබිදෙමින් පවතිනවා.

කෝකිලායි ගම්මානයට යන්න ක්‍රම දෙකක්‌ තියෙනවා. පුල්මුඩේ පැත්තෙන් යනවානම්, කෝකිලායි වෙරළ තීරය දක්‌වා ගොස්‌ බෝට්‌ටුවකින් කළපුවෙන් එගොඩ විය යුත්තේ තවමත් කළපුව හරහා පාලමක්‌ ඉදිවී නැති හින්දා. වාහනයක්‌ අරගෙන යනවානම් ඉතින් තවත් විශාල අමතර දුරක්‌ ගෙවාගෙන පෙර කිව් විදියට පදවිය, ජනකපුර හරහා පැමිණිය යුතුයි. අපි පළමුව කෝකිලායි ගියේ බෝට්‌ටුවෙන්. වෙරළේ සිට විනාඩි 7-8 කින් කෝකිලායි ගමට පැමිණිය හැකියි. ජීප් රථයෙන් කළපුව වෙත ගිය අපි කෝකිලායි ගමට යන්න තෝරාගත්තෙ නාවික හමුදාව මගින් සූදානම් කර තිබූ බෝට්‌ටුවක්‌. තවත් මොහොතකින් අප රැගත් මෝටර් බෝට්‌ටුව කලපුව තරණය කරමින් කෝකිලායි බෝට්‌ටු අංගනයට පැමිණියේ කළපුවේ වගේම හාත්පස සුන්දරත්වයත් අපගේ කැමරා කාච තුළ සටහන් කරගෙන. මේ ආපු ගමනේදී අපි ගමේ තොරතුරු ගැන වැඩිපුර කතාකරන්න ගියේ නෑ. මන්ද කෝකිලායි ගමට පැමිණෙන ආගන්තුකයන් යුද හමුදාව යටතේ අවසරයකින් ඇතුළු විය යුතු නිසා. මේ නිසා එදින බෝට්‌ටු ගමනේ අත්දැකීම විඳගත් අපි නැවතත් කලපුව තරණය කරමින් පුල්මුඩේට පැමිණියේ අපගේ ජීප් රථයෙන්ම නැවතත් කෝකිලායි යන බලාපොරොත්තුවෙන්.

ජීප් රථයෙන් කෝකිලායිවලට

පුල්මුඩේ, කැබිතිගොල්ලෑව මාර්ගයේ බෝගස්‌හන්දියට පැමිණි අප රැගත් ජීප් රථය ඉන්පසු ඇදුණේ පදවිය නගරයට. අනතුරුව ජනකපුරට ළඟා වුණු අපිට එහිදී යුද හමුදා නිලධාරීන්ගේ සහාය හා මඟ පෙන්වීම කෝකිලායි ගම්මානය දක්‌වාම යන ගමනේදී ලැබුණා. ආරක්‌ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය මත පැමිණි අපට වන්නි ආරක්‌ෂක සේනා මූලස්‌ථානයේ කර්නල් චමිල මුණසිංහ මහතාගේ දැනුම් දීම පරිදි කර්නල් රණවක මහතාගේ අධීක්‌ෂණය යටතේ යුද හමුදා මඟ පෙන්වීම හිමිවුණා. කෝකිලායි ගම්මානයට ගිය අප ආගන්තුක සත්කාර සහිතව පිළිගත් මේජර් මහේෂ් මහතා කෝකිලායි ගම්මානයේ තොරතුරු ඡායාරූප ගැනීම සඳහාත් දෙවැනි වරටත් එම ගම්මානයේ සුන්දරත්වය අත්දැකීමටත් උදව් උපකාර කළා. මෙහිදී අපට දැකගන්නට ලැබුණේ කෝකිලායි ගම්මානයට අමතරව ඒ ආශ්‍රිතව සිටි අවතැන් වූ දමිළ ගම්වැසියන් ලහි ලහියේ තමන්ගේ පැරණි නිවාස තිබූ තැන්වල අලුතෙන් පදිංචි වන ආකාරයයි. පාසල, රෝහල, පල්ලිය වගේම පන්සලත්, වතුර පහසුකම් යනාදියත් ලබාදෙමින් නව පදිංචිකරුවන් සඳහා යුද හමුදාව ප්‍රමුඛ සිවිල් නිලධාරීන් උදව් උපකාර කරන අයුරුත් මෙහිදී අප ඉතා හොඳින් නිරීක්‌ෂණය කළා.

කෝකිලායි ගමට පැමිණීම මෙතෙක්‌ රටවටා ගවේශනයේ යෙදෙන අපට මහඟු අත්දැකීමක්‌ වනවා සේම අපගේ චාරිකාවේ සන්ධිස්‌ථානයක්‌ බවත් සහිපත් කළ යුතුයි. මන්ද බස්‌නාහිර, දකුණු, නැගෙනහිර හා උතුරු මැද (පුල්මුඩේ) පළාත් ඔස්‌සේ රට වටා පැමිණෙන අපි මෙතැන්පටන් උතුරු පළාතට අවතීර්ණ වෙනවා. කෝකිලායි ගම්මානය උතුරු පළාතේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත්ව තිබුණත් පසුගිය යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයට අනුයුක්‌තවයි තිබුණේ. එහෙත් එය යළිත් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේම ගම්මානයක්‌ බවට නුදුරේදී පත්වේවි. එසේම ඉදිරි සතියේදී අපට මුණගැසෙන නයාරු ගම්මානයේ මතක සටහන් මැදින් උතුරුට ඇදෙන අපට දමිළ - සිංහල බේදයකින් තොරව එදා මේ ගම්වැසියන් ගතකළ ඒ සහෝදරාත්මක දිවිය ගැනත් බොහෝ දැ උගෙනගත හැකිවේවි.

දැනටමත් අනුරාධපුරය නගරය ඔස්‌සේ කැබිතිගොල්ලෑව, පදවිය, ජනකපුර හරහා කෝකිලායි දක්‌වා බස්‌ රථ සේවා ක්‍රියාත්මක වන අයුරුත් සිවිල් පාලනය ඉතා හොඳින් මෙහි ස්‌ථාපිත වී ධීවර කටයුතු හා ගොවිතැන් යනාදියත් සාර්ථකව ඉටුවනු කෝකිලායි ගිය ගමනේදී දැකගත හැකි වූ බවත් රටවටා ගවේශන කණ්‌ඩායම ලෙස අප මෙහි සටහන් කරනුයේ හදපිරි සතුටකින්.



අදහස්‌ jagathkanahara@gmail.com


http://www.divaina.com/2011/08/14/feature17.html

0 comments:

Post a Comment