කොළඹ කොටුවේ සිට මහවට
දිනය උදාවුණා. අපි ලහිලහියේ කොළඹ කොටුවෙ දුම්රිය ස්‌ථානයට ළඟාවුණේ පෙරවරු 6.10 ට මඩකලපුව (හා ත්‍රිකුණාමලය) බලා පිටත්වන දුම්රියේ අසුන් ගැනීම සඳහා. කලක් මඩකලපුව දක්‌වා නගරාන්තර දුම්රියක් ලෙස ධාවනය වුණු මේ දුම්රිය දැන් ශීඝ්‍රගාමී දුම්රියක් ලෙසයි ධාවනය කෙරෙන්නේ. මඩකලපුව දක්‌වාම ප්‍රවේශපත් ගත් අපි පොලොන්නරුව දක්‌වා ගමන් ගැනීම සඳහා දෙවැනි පන්තියේ මැදිරියක අසුන් ගත්තා. ඒ දුම්රිය එන්ජිමේ ගමන් කිරීම සඳහා අපට අවස්‌ථාව ලැබී තිබුණේ පොලොන්නරුව සිට මඩකලපුව දක්‌වා පමණක් නිසා.
දුම්රිය ගමන් ආරම්භ කළා. 1864 දෙසැම්බර් 27 වැනිදා නිරීක්‍ෂණ චාරිකාවක් ලෙසිනුත් 1865 ඔක්‌තෝබර් මස 02 වැනිදා මඟීන්ට විවෘත වුණු පළමු දුම්රිය චාරිකාව ලෙසිනුත් කොළඹ කොටුව සිට අඹේපුස්‌ස දක්‌වා ගමන් ගත් දුම්රිය චාරිකාව සිහිපත් කරමින් අපිත් ඒ මාර්ගයේම ගමන් කරනවා. එදා මහර (රාගම), හෙනරත්ගොඩ (ගම්පහ) වේයන්ගොඩ හා අඹේපුස්‌ස වශයෙන් තිබුණු දුම්රිය ස්‌ථාන හතර පසුකරමින් මීළඟට අපි ළඟා වුණේ පොල්ගහවෙල දුම්රිය ස්‌ථානයට. ඉන්පසු කුරුණෑගල පහුකරමින් මඩකලපු දුම්රිය ගමනේ පළමු ප්‍රධාන නැවතුම්පළ වන මහවට දුම්රිය ළඟාවුණේ ධාවනය ආරම්භයේ සිට තවත් හෝරා දෙකහමාරකින් පමණ පසුව. එනම් 8.30 ට විතර. මහව දක්‌වා දුම්රිය මඟ සාදා ඇත්තේ 1899 දී බවත් මෙහිදී අපි සිsහිපත් කළ යුතුයි. කොටුව සිට මහවට හැතැප්ම 85 ක විතර දුරක් තියෙනවා.
මහව සිට ගල්ඔයට
මහව දුම්රිය ස්‌ථානයේදී දුම්රිය මැදිරි පද්ධතියෙන් වෙන් කෙරුණු දුම්රිය එන්ජිම ආයිමත් දුම්රියට සවිවන්නේ මෙතෙක් පසුපසින්ම ධාවනය වූ නැරඹුම් මැදිරියත් එක්‌ක. ඒ නිසා ඔන්න ඉස්‌සරහට ගිය අපි දැන් ගමන් කරන්නෙ දුම්රියේ පසුපස්‌සට. මහව හන්දියෙන් හැරිල 1925 දී කැකිරාව දක්‌වාත් 1926 දී ගල්ඔය හා පොලොන්නරුව දක්‌වාත් ඉදි වූ මාර්ගයේ තමයි දැන් අපි ඉදිරියට ඇදෙන්නේ. මහව හන්දියෙන් දකුණට හැරෙන නැගෙනහිර මාර්ගයේ කැකිරාව දක්‌වා බොහෝ විට අපිට දකින්නට ලැබෙන්නේ සරුසාර කෙත්වතු හා ගංගා, ඇළ, දොළ, වැව් යනාදිය. ගල්ඔය දක්‌වා යන විට රිටිගල, හබරණ, පැත්තෙ අතරින් පතර වනාන්තරත් අපට දැකගත හැකියි. කෙසේ හෝ මහව සිට තවත් සැතපුම් 55 ක් පමණ දුරකින් හමුවන ගල්ඔය දුම්රිය මංසන්ධිය දක්‌වා එන ගමනෙදී කලාවැව, අවුකන, රිටිගල, ගල්ඔය වැනි සුන්දර පාරිසරික හා ඓතිහාසික වැදගත් ස්‌ථාන යනාදියත් අපට හමුවෙනවා.
ගල්ඔය සිට පොලොන්නරුවට
ගල්ඔයට පැමිණි දුම්රිය මඳ වේලාවක් එහි නවතා තබන්නේ මෙතෙක් මඩකලපුව හා ත්‍රිකුණාමලය ලෙස ධාවනය වූ එකම දුම්රියේ පැමිණි ත්‍රිකුණාමලය දක්‌වා ගමන් ගන්නා මඟීන් සඳහා මෙහි සිට වෙනමම දුම්රියක් ගමන් ගන්නා නිසයි. ඒ කාර්යයෙන් පසුව ගල්ඔය හන්දියට සමුදී සුන්දර ගල්ඔය ප්‍රදේශය හරහා මඩකලපුව බලා අප පැමිණි දුම්රිය ගමන් ආරම්භ කරනවා. මේ මාර්ගය වනවදුලුවලින් සමන්විත වන අතර අලි - ඇතුන් බහුලව හමුවන බවත් අලි - ඇතුන් දුම්රියේ ගැටී බහුලව මියයන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. කෙසේ හෝ ගල්ඔයෙන් පසුව හිඟුරක්‌ගොඩ දුම්රිය ස්‌ථානයේ නවතන දුම්රිය මීළඟට පොලොන්නරුවට ළඟාවන්නේ අපේ රට වටා ගවේෂණ චාරිකාවට තවත් නැවුම් අත්දැකීමක් එකතු කරන්නට බව දැන් අපි දන්නවා. තවත් මොහොතකදී දුම්රිය පොලොන්නරුවට ළඟා වූයේ අපේ ඒ අපේක්‍ෂාවන් මුදුන්පත් කරමින්. වහ වහා දුම්රියෙන් බැසගත් අපි ඒ අභීත අධිබල එන්ජිමට ගොඩවුණේ කැමරා ආම්පන්න අතින් කටින් දරාගෙන.
පොලොන්නරුව සිට මඩකලපුවට දුම්රිය එන්ජිමෙන්
අපි දැන් ගමන් ගන්නේ කැනේඩියානු නිෂ්පාදනයක් වන එම් - 4 දරණ එන්ජින් ශ්‍රේණියට අයත් අංක 752 දරණ දුම්රිය එන්ජිමේ. ටොන් 93 ක් පමණ බරැති මෙම එන්ජිම මෙරට තුළ වසර 30 ක පමණ සාඩම්බර ඉතිහාසයක් ඇති යාන්ත්‍රික යෝධයෙක්. විශේෂයෙන් තැනිතලා ප්‍රදේශ තුළ වැඩි බරක් ඇදගෙන යැම සඳහා භාවිත කරන මෙම එන්ජින් මඩකලපුව වැනි අබලන් දුම්රිය මාර්ග සඳහාත් හොඳින් ගැලපෙන බවයි දුම්රිය රියෑදුරු අප සමඟ පැවැසුවේ.
දුම්රිය එන්ජිමක පවතින්නේ ආසන දෙකයි. දුම්රිය රියෑදුරාට සහ දුම්රිය රියෑදුරු සහායකට වෙන්වන ඒ අසුන් දෙක හැරුණු විට පවතින කුඩා ඉඩකඩේ වෙනත් අයකුට අසුන්ගන්නට තරම් එහි ඉඩක් ඉතුරු වෙන්නේ නෑ. ඉතින්, අපේ ගමනත් මෙතැන් සිට මඩකලපුව දක්‌වාම හිටගෙන තමයි. කකුල් අමාරු හැදුනත් ඉදිරියෙන් පෙනෙන දුම්රිය මාර්ගය ඔස්‌සේ දකින දර්ශනත්, දෙපසින් දකින තෙර නොපෙනෙන මානයේ වනවදුලු, වැව් - අමුණු, ගම් - බිම් යනාදියත් අපට ගෙන දෙන්නේ ආශ්වාදයක්.
පොලොන්නරුවෙන් පස්‌සෙ අපට හමුවන්නෙ ගල්ලෑල්ල ප්‍රදේශය. මෙතැන් සිට මනම්පිටිය දක්‌වා තියෙන්නෙ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය. මහවැලි ගඟේ නිම්න ප්‍රදේශයක් වන මෙය පුළුල් තෙත්බිමක්. ගංවතුර ගලන කාලයට ගල්ලෑල්ල එකම ජලාශයක් වෙනකොට අපි මේ ගමන් කරන උස් වූ දුම්රිය මාර්ගය තමයි ජනතාවට එගොඩ මෙගොඩ යන්න පිහිට වෙන්නේ. කොහොමහරි ජල ගැලුම් නිම්නයේදී ඈතින් අපට දිඹුලාගල කන්දත් හොඳින් දැකගන්න ලැබුණා.
මනම්පිටියේදී අපට හමුවෙන්නෙ සුප්‍රකට මනම්පිටිය පාලම. කලක් දුම්රිය හා මහාමාර්ග යන ද්විත්ව කාර්යය පාලමක් වූ මෙය දැන් දුම්රිය පාලමක් ලෙසම පමණක් භාවිත වෙන්නෙ, මනම්පිටියට වෙනමම මහාමාර්ග පාලමක් ලැබුණ හින්ද. 1920 දී පමණ මේ දුම්රිය මාර්ගය තැනීමේදී මහා අභියෝගයක් වුණු මහවැලි ගඟට උඩින් ඉදිකළ යුතු වූ මේ පාලම දිගින් අඩි 950 ක් වූ අතර යකඩ භාවිතයෙන් තනා නිමකරන්න සුදු ජාතික ඉංජිනේරුවන්ට වසර හතරක් පමණ ගිහිං තියෙනවා.
මනම්පිටියෙන් පසුව දුම්රිය වැලිකන්ද, පුනානි, කඩදාසි නගරය ඔස්‌සේ වාලච්ෙච්නට ළඟා වෙන්නේ තරමක් ළඳු කැලෑ සහිත වන වදුලක් ඔස්‌සේ. වැලිකන්දේදී ඈතින් තොප්පිගලත් දැකගත හැකි අතර මේ ප්‍රදේශයේදීත් අලි-ඇතුන් බොහොමයක් දුම්රියට බිලිවන බව අපට නිරතුරුව වාර්තා කරනවා.
වාලච්ෙච්න නගරයට පිවිසෙන්නට පෙර මනම්පිටිය මෙන් කලක් ද්විත්ව සේවාවක් සපයපු තවත් පාලමක් පසුකරන්නට අපට අවස්‌ථාවක් උදාවෙනවා. ඒ තමයි ඔට්‌ටමාවඩි පාලම. දැන් මෙයත් දුම්රිය පාලමක් පමණක් බවට පත්වෙලා තියෙන්නෙ අලුත් පාලමක් වාහන ධාවනයට එකතුවෙලා තියෙන හින්ද.
කොහොමහරි වාලච්ෙච්නෙන් පස්‌සෙ අපට පසුකරන්න ලැබෙන්නෙ දෙපස ඉතා සුන්දර වටපිටාවක් සහිත ප්‍රදේශයක්. කල්කුඩා ප්‍රදේශයේදී පොල් හා තල් වදුලු මෙන්ම, වන්දාරමුල්ලදී නැගෙනහිර විශ්වවිද්‍යාලයත් එරාවුර් ප්‍රදේශයේදී කොක්‌මොට ශාකවලින් සමන්විත දර්ශනීය තෙත්බිම් යනාදියත් අපට ගෙනදුන්නේ අමතක නොකළ හැකි ආශ්වාදයක්. ඒ වගේම මෙහිදී ත්‍රස්‌තවාදීන් විසින් බෝම්බ අටවා විනාශ කරනු ලැබූ දුම්රිය සුන්බුන් කොටසක් තාමත් දැකගත හැකියි. ඔන්න, ඉන්පසු එනම් එරාවුර් දුම්රිය නැවතුමෙන් පසු අපේ ගමන නිම කිරීමේ අවස්‌ථාවට ළඟා වෙනවා. මීළඟට අපට හමුවන්නේ නැගෙනහිර අවසාන දුම්රිය නැවතුම්පළ හෙවත් මඩකලපුව.
එම් - 4 අංක 752 දරණ දුම්රිය එන්ජින් චාරිකාව දැන් නිමාකරන්නට අපි සූදානම්.
තවත් මොහොතකින් මඩකලපුව දුම්රිය ස්‌ථානයට ළඟාවුණු දුම්රියෙන් බැසගත් අපි, මෙතෙක් අපට ළෙන්ගතුව සහාය දැක්‌වූ දුම්රිය රියෑදුරුට හා රිය සහායකට අපගේ කෘතවේදිත්වය පුදකරමින් මඩකලපු දුම්රිය ස්‌ථානයෙන් පස්‌වරුවේ සමුගත්තේ මේ අපූර්ව නගරයේ තවත් තොරතුරු සොයායෑමේ බලාපොරොත්තුවෙන්.
අදහස් jagathkanahara@gmail.com
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
ස්‌තූතිය - නාලක බණ්‌ඩාර, රංජිත් දිසානායක, පෝල් යන මහත්වරුන්ට
http://www.divaina.com/2011/05/15/nimna03.html
0 comments:
Post a Comment