Pages

Monday, August 15, 2011

15 : රුහුණු ඔසු උයන රූමස්‌සල

අද අපේ කඳවුරු බිම රූමස්‌සල කඳු මුදුන. මුහුදු ඉමේ තියෙන මේ කඳු ගැටයට ගාල්ල නගරයත්, ගාලු ලන්දේසි කොටුවත් ගාලු වරායත් අලංකාරව දිස්‌වෙනවා. ඒ විතරක්‌ නෙමේ බොනවිස්‌ටා කොරල්පරය වගේම සුන්දර උණවටුනත් පේනවා. මේ අපි ඉන්නෙ ලෝකයේ සුන්දරත්වය අතින් 13 වැනි ස්‌ථානය ගන්නා මුහුදු තීරයේ ගාල්ල ගැන කතා කරන්න, ගාල්ලේ සුන්දරත්වය විඳින්න මේ වගේ තැනක්‌ ආයිමත් හම්බවෙන්නෙ නෑ. ඒත් ඉතින් රූමස්‌සල ගැන කතා කරන්න කලින් ගාල්ලේ වගේම ඒ අවට තවත් විස්‌තරත් කතා කරල ඉන්න ඕන.

රත්ගම
අමර සයුර සුරතුර රැඳි සරෙම් රත
පවර දිනිඳු වට තම බිඟු රැසෙව් මත
පවර අන් ලියන් සසගින් වන් නියත
එවර ලගින් රත්ගම් මුනිඳු මැඳුර ත

තොටගමුවේ සිරි රහල් මාහිමි පරෙවි සංදේශයේ රත්ගම පිළිබඳ සඳහන්කර ඇත්තේ මෙසේයි.

අතීතයේදී රාජග්‍රාමය ලෙසද රද්ගම ලෙසද හඳුන්වන ලද රත්ගම ගාල්ලේ සිට කොළඹ දෙසට කිලෝමීටර් 11 ක දුරින් පිහිටනවා. අතීතයේ සිට බ්‍රහ්මණවංශික ජනයා පදිංචි ප්‍රදේශයක්‌ වූ රත්ගම දේව ප්‍රතිරාජ අමාත්‍යවරයා විසින් විශාල සංවර්ධනයකට ලක්‌කළ ප්‍රදේශයක්‌.

මහා දානපති ශ්‍රීමත් අර්නස්‌ට්‌ ද සිල්වා මැතිතුමන් උපත ලද රත්ගම මේ රටේ කීර්තිමත් ගිහි පැවිදි නායකයන් රැසක්‌ උපත ලද ප්‍රදේශයකි.

ඕල්කොට්‌තුමා
පෘතුගීසින් ලන්දේසීන් හා ඉංගී්‍රසීන්ගෙන් දරුණු පීඩාවකට හා වධ බන්ධනයකට ලක්‌වූ මෙරට සිංහල - බෞද්ධ ජනතාවගේ පරම අයිතිය හා සාසනයේ දියුණුව උදෙසා 1873 දී මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ කණ්‌ඩායම විසින් පවත්වන ලද පානදුරාවාදයේ තොරතුරු ඇතුළත් ඉංගී්‍රසි ලේඛනයක්‌ දුටු ඇමරිකන් ජාතික සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌තුමා බුදුදහම ගැන උගෙන වාදීභසිංහ භික්‍ෂූන් වහන්සේලා හමුවී ලංකාවේ පිරිහී ගිය බෞද්ධාගම නැවත නඟා සිටුවන්නට බ්ලැවැට්‌ස්‌කි මහත්මිය සමග 1880 මැයි 17 වැනිදා ගාලු වරායෙන් ලංකාවට පැමිණියා. ගාල්ලේ ධනවත් බෞද්ධයකු වූ සයිමන් පෙරේරා අබේවර්ධනයන් ප්‍රමුඛ පිරිස විසින් පිළිගන්නා ලද ඕල්කොට්‌තුමන් මැයි මස 25 වැනිදා බෞද්ධයන් පිළිගත් උත්සවයකදී ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්‌ථානයේදී පූජ්‍ය අක්‌මීමන ධර්මාරාම හිමියන් වෙතින් තිසරණ පන්සිල් සමාදම් වී බෞද්ධ උපාසකත්වයට පත්වූයේ බ්ලැවැට්‌ස්‌කි මැතිනියද සමගින්.

දෙසතියක්‌ තිස්‌සේ දසදහස්‌ ගණනක්‌ දෙනාට හරබර දෙසුම් පවත්වා කොළඹට පැමිණි ඕල්කොට්‌තුමා 1880 ජුනි 8 වැනිදා මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙණේදී කොළඹ පරම විඥනාර්ථ සමාගම පිහිටුවාලුවේ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමිවරුන්ද සමගයි.

ඕල්කොට්‌තුමාගේ දූත මෙහෙවරක්‌ ලෙස බ්‍රිතාන්‍යට ගිහින් මහ රැජිනට ඉදිරිපත් කළ සංදේශය ප්‍රකාරව 1885 සිට වෙසක්‌ දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට ප්‍රකාශයට පත් කරන්නට හැමිල්ටන් ගෝර්ඩ්න් ආණ්‌ඩුකාරවරයා නියෝග කළා. මේ පුනරුදයේ උද්දාමය නිසාම ෂඩ් වර්ණ බෞද්ධ කොඩියද නිර්මාණය වූයේ ඉහළ හිමිවරුන් ප්‍රමුඛ කොමිටියක්‌ මගින් මෙරට බෞද්ධ බාලක හා බාලිකා විද්‍යාල යනාදියත් ඇති වූයේ ඕල්කොට්‌තුමන්ගේ ලංකා ගමන හේතුවෙන්. 1880 දී ලංකාවට පැමිණ බොදු පුනරුදයේ සදා නොමැකෙන නමක්‌ තැබූ ඕල්කොට්‌තුමා 1906 දී අවසන් වරට ලංකාවෙන් පිටවූ අතර 26 වසරක අනුපමේය සේවයෙන් පසු 1907 පෙබරවාරි 17 වැනිදා මදුරාසියේ පරම විඥනාර්ථ සංගම් මූලස්‌ථානයේදී අවසන් සුසුම් හෙළුවා.

වැලිවත්ත විජයානන්ද විහාරය

අපගේ චාරිකාවේදී මේ උතුම් පිං බිමද නරඹා නමස්‌කාර කරන්නට අප අමතක නොකළේ පෙරකී බොදු පුනරුදයේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වෙමින් ඕල්කොට්‌තුමන්ට පංචශීලය ලබාදෙමින් ඔහු උතුම් බෞද්ධයකු කළ විහාරස්‌ථානය මේ නිසා.

විහාරාධිපති බේරතුඩුවේ ඥනවිසුද්ධි හාමුදුරුවෝ අපට කීවේ ඕල්කොට්‌තුමා විශාල ජනකායක්‌ සහභාගි වූ පෙරහැරකින් 1880 මැයි 19 වැනිදා මේ පන්සලට ඇවිත් බුදු දහම වැළඳගත් බවයි. එම කාර්ය සිදුවූ පැරැණි බණගෙයට ගොඩවන්නටත් අප අමතක කළේ නැහැ. විහාරාධිපති හාමුදුරුවෝ කියන විදිහට ලංකාවේ මුල්ම දහම් පාසල පටන් ගත්තෙත් මේ විහාරයේදී ඒ 1886 දී. අතරමග නැවතුණු මේ දහම් පාසල ආයෙමත් 1895 දී ආරම්භ කළාලු.

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය

පැති දෙකකින්ම මහ සයුර පෙනෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ගාල්ලේ ක්‍රීඩා ලකුණයි. පිහිටීම අනුව මෙය ලොව වඩාත් දැකුම්කළු පසුබිමක්‌ සහිත ක්‍රීඩා පිටියක්‌ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

හෙක්‌ටයාර් 4.216 ක විශාලත්වයකින් යුතු මෙය උපදින්නේ අදින් වසර 134 කට පෙර. ඒ තුරඟ තරග පිටියක්‌ ලෙසයි. කෙමෙන් තුරඟ තරගවලින් ක්‍රිකට්‌ තරඟ සඳහාත් පාසල් ක්‍රීඩා සඳහාත් මේ පිටිය කලක්‌ භාවිතා කළා. නමුත් 1927 වන විට මෙය පැවතියේ ක්‍රිකට්‌ ක්‍රීඩාංගනයක්‌ ලෙස.

ලණු පැදුරු තණතිල්ල වෙනුවට 1945 දී මෙහි සැබෑ තණතිල්ලක්‌ ඉදිවුණා. 1984 දී පසු පෙළ ක්‍රිකට්‌ තරග ඇරඹුණු මෙම ක්‍රීඩාංගණය 1998 ජුනි 3 වැනිදා ඇරඹි ශ්‍රී්‍රS ලංකා නවසීලන්ත ටෙස්‌ට්‌ තරගයත් සමග මෙරට 7 වැනි ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටිය ලෙස උසස්‌වීම් ලැබුවා.

2004 දෙසැම්බර් 26 වැනිදා තවත් මුහුදුබඩ ප්‍රදේශ මෙන්ම, ගාලු නගරයත් සමඟ මෙම ක්‍රීඩාංගණයත් සුනාමි ව්‍යසනයට හසුqවුණා. දැඩි ලෙස හානි වුණු ක්‍රීඩාපිටිය අවසානයේදී සුනාමි අවතැන් කඳවුරක්‌ බවට පත්වුණා. අනතුරුව රුපියල් කෝටි 500 ක වියදමෙන් යළි ඉදිවුණු මෙය 2007 දෙසැම්බර් 17 වැනිදා ඇරඹි ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් "පුනරුත්පත්තිය" ලැබුවා.

ඔස්‌ටේ්‍රලියානු ජාතික පා දඟ පන්දු යවන්නකු වූ ලෝප්‍රකට ෂේන් වෝන් ගේ 500 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල වාර්තා වුණේ මේ ක්‍රීඩාංගණයේදී. ඒ විතරද? ඇයි ලොව මෙතෙක්‌ බිහිවූ දක්‍ෂතම දඟ පන්දු යවන්නා වන අපේ මුත්තයියා මුරලිදරන් තමන්ගේ 800 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල හෙවත් ලොව වැඩිම ටෙස්‌ට්‌ කඩුලු ප්‍රමාණයක්‌ වාර්තා කරමින් තමන්ගේ අවසන් ටෙස්‌ට්‌ කඩුල්ල වාර්තා කර ගත්තෙත් මේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩා පිsටියේදී.

ගාලු කොටුවේ ඔරලෝසු කණුව

ගාලු කොටුව ගැනත්, එහි ඇති ඔරලෝසු කණුව ගැනත් කතා දෙකක්‌ අපට කියන්නට සිදුව ඇත්තේ මේ දෙක නිර්මාණ දෙකක්‌ වශයෙන් අවදි දෙකකදී සිදුව ඇති නිසා. ලන්දේසීන් ඉදිකළ ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් බැලූ බැල්මට පේන්නෙ එකම නිර්මාණයක්‌ විදිහට. ඉතින් බොහෝ දෙනෙක්‌ හිතන්නෙ ඔරලෝසු කණුවත් ලන්දේසීන්ගේ නිර්මාණයක්‌ කියලයි. ප්‍රකට ඉතිහාස ගවේෂක අහුන්ගල්ලේ දේ. සූ. ද සොයිසාගේ මගපෙන්වීම යටතේ අපි ඔරලෝසු කණුවේ ඉතිහාසය වෙනමම හොයාගෙන ගියේ මේ ඔරලෝසු කණුව ලන්දේසි යුගයට පසුව ඉදිවුණ නිර්මාණයක්‌ නිසාමත් නොවේ. බලපිටියේ මහා කප්පිණවලව්වට නෑකම් කියන දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයෙන් මෙය නිර්මාණය වුණු නිසා.

ගාලු කොටුවේ කළුගල්බැම්මට සමානව, එහි පෙනුමට හානියක්‌ නොවන විදිහටයි මේ අපූර්ව නිර්මාණය කරල තියෙන්නේ. 1883 දී ඉදිවුණු මෙයට වැය වී ඇත්තේ රුපියල් තුන්දහසක මුදලක්‌.

දහනව වැනි සියවසේ අවසාන කාර්තුවේ ගාලු දිසාවේ සේවය කළ ප්‍රකට වෛද්‍යවරයකු වූ ඉංග්‍රීසි ජාතික පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතාගේ සේවය අගය කරන්න සිහිවටනයක්‌ හදන්න ගාලු ජන ප්‍රධානීන් තීරණය කළා. ඒ සඳහා ඔරලෝසු කණුවක්‌ සුදුසු බවටත්, වියදම ගාලු නාගරික ජනතාවගෙන් එකතු කරන්නටත් තීරණය වූ තැන ඒ සඳහා යන බරපැන දරන්න ඉදිරිපත් වුණේ වාසල මහමුදලි කොස්‌ගොඩ කළුහත් සැම්සන්ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහතා. ඒ අනුව පෞරාණික ආකාරයට ඉදිවුණු මෙම ස්‌ථම්භය සේවයෙන් විශ්‍රාමගත් ඩැනියෙල් දොස්‌තර මහතා අතින් විවෘත වුණා.

සැම්සන් රාජපක්‍ෂ මැතිතුමා මෙය ඉදිකළ බවට වන ඵලකය ඔරලෝසු කණුවේ පහල දැන් මැකී යමින් පවතිනවා.

මහා කප්පිණ වලව්වේ විසූ ඉසුරුමුණි බ්‍රාහ්මනයාගේ පරපුරෙන් පැවත එන සැම්සන් රාජපක්‍ෂයන් උගතකු බුද්ධිමතකු හා ධනපතියෙක්‌. කටුනායක ගුවන්තොටුපළට වගේම කොළඹ ආනන්ද විද්‍යාලයටත්, කොළඹ වෛද්‍ය විද්‍යාලයටත් ඉඩම් පරිත්‍යාග කර ඇත්තේ මොහු විසින්.

ඓතිහාසික දෙල්ගස

ගාල්ල කොටු පවුර මත සිට ඒ අතීතාවර්ජනයත් සිදු කරමින් අපි කොටු පවුර මතින් ඒ වටේටම ඇවිද ගියා. ප්‍රදීපාගාරයත් නරඹා ඉන්පසු අපි ගියේ තවත් වැදගත් ස්‌ථානයකට. ඒ තමයි වරාය නිවාඩු නිකේතනයට යාව ඒ තුළ පිහිටි ඓතිහාසික දෙල්ගස.

Artocarpus altilis ලෙස විද්‍යාත්මකව හඳුන්වන දෙල් ගසේ ඵලය තරමක්‌ උෂ්ණාධිකයි. තම්බලා වගේම ව්‍යංජනයක්‌ ලෙසත් දෙල් හරි ප්‍රණීතයි. ඒත් මේ උෂ්ණාධික බව හින්දම සිරුරේ ශක්‌තිය හීන වන බවකුත් ඇතැමුන් කියනවා. ලන්දේසි කාරයො ඕලන්දයේ ඉඳල ලංකාවට දෙල් ගෙනාවෙ සිංහලයන්ගේ ශක්‌තිය හීන කරල කුසීත ජාතියක්‌ කරන්නලු. ඒත් බල මාළුවල උෂ්ණාධික බව බාල කරන්න බලමාළු එක්‌ක පොල් කන්න පුරුදු වෙලා හිටිය අපේ කට්‌ටිය ලන්දේසින්ගේ දෙල් කන්නත් පොල් භාවිත කරපු හින්ද ලන්දේසිනගේ උපාය අසාර්ථක වුණාලු. කොහොම හරි අද ලංකාව පුරා දෙල්ගස්‌ දහස්‌ ගණනක්‌ තිබෙන බව අපි දන්නවා. ඒ ගස්‌වල ප්‍රථම මවු ගහ තියෙන්නෙ කොහේ කියලද ඔබ හිතන්නෙ. ඇත්තටම ලන්දේසින් ගෙනාපු ප්‍රථම දෙල්ගහ වශයෙන් සැලකෙන්නෙ අදටත් ගාලු වරාය නිවාඩු නිකේතනයේ තියෙන යෝධ දෙල්ගහ. වසර 333 කටත් වඩා පැරණි යෑයි කියන මේ යෝධ දෙල්ගහ අදත් වරාය දෙස බලාගෙන යෝධයකු සේ නැගී සිsටින්නෙ මොනතරම් අතීතයක්‌ සඟවා ගෙනද? ඕලන්දෙන් ගෙනාපු ලංකාවේ පළමු දෙල්ගහ ලෙස සැලකෙන මෙය ඔබත් නැරඹිය යුතුම දෙයක්‌.

රූමස්‌සල
ගාලු පුරවරයට ලැබුණු සොබා දහමේ මහඟු දායාදය රූමස්‌සලයි. රූමස්‌සල කඳුවැටිය නිසා තමයි ගාල්ල වරාය නොහොත් ගාලුතොට පවා නිර්මාණය වෙලා තියෙන්නේ. නොගැඹුරු ගාලු මුහුදු තීරයේ බොනවිස්‌ටාව නමැති සුන්දර කොරල් පරයත්, උණවටුනත් රූමස්‌සල නිසාම බිහිවුණු මන බඳනා ප්‍රදේශයි. පෘතුගීසි බසින් "බොනවිස්‌ටා" කියල කියන්නෙත් සුන්දර දසුන යන්නලු.

රූමස්‌සල කන්ද නිර්මාණය වූණේ හිමාලයේ කන්දේ කොටසකින් කියලයි ජනප්‍රවාදයේ කියෑවෙන්නේ. ඒ රාවණා-රාම යුද්ධයේදී තුවාල ලැබූ රාමගේ සොයුරු ලක්‌ෂ්මණට ප්‍රතිකාර කරන්නට හනුමන්තා විසින් රැගෙන ආ බෙහෙත් පැළෑටි සහිත හිමාලයේ කොටසක්‌ වැටීමෙන් රිටිගලත්, රූමස්‌සලත් නිර්මාණය වුණු බව කියනවා.

මෙහි ඇති ජෛවවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය අභය භූමියක්‌ බවට රූමස්‌සල පත්කළා. හෙක්‌ටයාර් 170 ක්‌ වන රූමස්‌සල අභය භූමියේ හෙක්‌ටයාර් 20 ක්‌ම රක්‍ෂිත වනාන්තරයක්‌. මේ වනාන්තරයේ වටිනා දුලබ ඖෂධ ශාක රැසක්‌ දක්‌නට ලැබෙනවා.

රූමස්‌සල කන්ද මීටර් 120 ක පමණ උසකින් යුක්‌තයි. උණවටුන දක්‌වා පැතිර ඇති මෙය තුඩු දෙකකින් සමන්විතයි. එක්‌ තුඩුවක්‌ බොනවිස්‌ටා දෙසටද අනෙක්‌ තුඩුව වැල්ලේ දේවාලය දෙසටද පැතිර යනවා. මෙම කුඩා වනාන්තරයේ වෙරළ බඩ ශාක, කඩොලාන සිට තෙත් කලාපීය, වියළි කලාපීය, ශුෂ්ක කලාපීය වැනි ශාක ප්‍රජා කිහිපයක්‌ම දක්‌නට ලැබෙනවා. මේ වන වියන අතරින් ගාලු නගරයට දිස්‌වන ජපන් සාම චෛත්‍යය බොනවිස්‌ටා ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර, එහි සිට ගාලු ප්‍රදේශයත්, වරායත් අලංකාරව දැකගත හැකියි.

මෙම සාම චෛත්‍ය පසෙක හනුමන්තාගේ රුවක්‌ද නිර්මාණය කර ඇත්තේ මෙහි පවතින ජනප්‍රවාදය හේතුවෙන් විය හැකියි. මුහුද අද්දර පිහිටියත්, මෙම රූමස්‌සල වනවදුලේ කිතුල්, මාවේවැල්, රදලිය, ගොඩපර, මහනුග, ගොරක, මාදං, වල්අඹ, දිවුල්, රුක්‌ අත්තන, වල්දෙල් වැනි ශාකද දැකගත හැකියි. රුහුණු ඔසු උයන නමින් ප්‍රචලිත මෙහි ඖෂධ පැළෑටි 150 ක්‌ පමණ ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලය මගින් සනාථකර තිබෙනවා.

අතීතයේදී රූමස්‌සල ඝන වනාන්තරයකින් සමන්විත වූ බව කියනවා. එකල ගාලු වරායට පැමිණි නැව්වලට පානීය ජලය සපයා දී ඇත්තේත් රූමස්‌සල පිහිටි දියපාරවලින්. එවන් දියපහර අදත් දකින්නට තිබෙනවා. රූමස්‌සල ගතකළ දින කිහිපයේ අප මේ වනාන්තරවලත්. ජංගල් බීච් නම් ප්‍රකට වනමංවලත්, මුහුදු වෙරළේත් අසිරිය අපි විඳගත්තා. එදා වනාන්තරයක්‌ වුණත් අද සුවිසල් ගම්මානයක්‌ වන රූමස්‌සල වනපෙත විනාශ වීමේ අනතුරක තිබෙන බවත් මෙහි සඳහන් නොකර බැහැ.

අදහස්‌ ratawata.divaina@gmail.com
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා

http://www.divaina.com/2011/01/09/nimna04.html

0 comments:

Post a Comment