Pages

Monday, August 15, 2011

36 : උත්තම මුනි දළදා වැඩම වූ ලංකා පටුන (ඉලංකතුරෙයි)

වෙරුගල් / වෙරුගල් ඔය මෝය

වෙරුගල් ඔබට මතකද? වෙරුගල් යනු වාකරේ පසුවූ විට කදිරවේලි වලට පසුව අපට හමුවන ප්‍රදේශයක්‌. මෙතනින් තමයි සුප්‍රකට වෙරුගල්ඔය මුහුදට එකතු වෙන්නෙ. හෝර්ටන්තැන්න ප්‍රදේශයෙන් ඇරඹී උතුරු දෙසට ගලායන ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි නදියෙන් පැන නඟින වෙරුගල් ඔය සෝමාවතියට හා ත්‍රිකෝණමඩු රක්‍ෂිතයට නුදුරු ප්‍රදේශයේදී ඉපදී ත්‍රිකුණාමලයට දකුණු දෙසින් මුහුද සිපගන්නවා. මෙන්න මේ වෙරුගල් ඔය, මාවිල්ආරු ප්‍රදේශයේදී හරස්‌කොට විශාල ජලාශයක්‌ තනන්නෙ ඩී. එස්‌. සේනානායක යුගයේදී. එම ජලාශයේ ප්‍රධාන සොරොව්වක්‌ තමයි මාවිල්ආරු සොරොව්ව නමින් හැඳින්වෙන්නේ. එතැනින් පටන් ගන්නා මාවිල්ආරුව ඇල්ල, කන්තලේ, මුතූර්, සාම්පූර් දක්‌වා ජලය ගෙන යනවා. මේ සොරොව්ව වසා දමා කළ අපරාධයට වන්දි ගෙවන්නයි එල්. ටී. ටී. ඊ. ය තම විනාශය තමා අතින්ම සිදුකරගත්තේ.

ඉතින්, මාවිල්ආරුවට දියවර සපයන මේ වෙරුගල් ඔයම තමයි මඩකලපුව හා ත්‍රිකුණාමලය වෙන්කරන දිස්‌ත්‍රික්‌ මායිමත් වෙන්න. ඒ දිස්‌ත්‍රික්‌ මායිමට පැමිණ සිටින අපි වෙරුගල් ඔය පැන ත්‍රිකුණාමල බලප්‍රදේශයට යන්න කලින් වෙරුගල්ඔය මෝය කට දැකබලා ගන්න ගියා.

වෙරුගල් ඔය මෝය කට බලන්න යන්න අපට උදව් කළෙත් වාකරේ පොලිසියේ ලාල් හා සමීර යන පොලිස්‌ නිලධාරීන් දෙදෙනා. ගමන ආරම්භයේදීම තමයි මුහුදු වැදි පිරිසක්‌ මුණ ගැසුණේ.

වෙරුගල් ඔය මෝය

වාකරේ ඉඳන් ඌරියන්කඩ්ඩු, පල්ෙච්න, කඩ්ඩුමුරිච්චිකුලම්, කදිරවේලි, පුදූර් පසුකරමින් පැමිණි අපි වෙරුගල්මෝය කට සොයාගෙන තවත් නැගෙනහිර දෙසට ඇදුණෙ තල් වදුලු මැදින්. මේ ගමනට පුදූර් ධීවර සංගමයේ සභාපති සුබ්‍රමනියම් හා ලේකම් කෝපාල ක්‍රිෂ්නන් යන දෙදෙනාත් එකතු කරගත්තා. කලක්‌ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ දරුණුතම බල ප්‍රදේශයක්‌ වූ මෙම පෙදෙසේ සුන්දර මුහුදු ප්‍රදේශය දැක ගන්නට ලැබීමත් අපට විශාල ආශ්වාදයක්‌ වුණා. අපගේ ජීප් රථය පැදවූ උපුල් වළගොඩැලි සහිත පාරේ තල් වදුලු අතරින් රිංගා වෙරුගල් මෝය පේන තෙක්‌ මානයටම අපව රැගෙන ගියා. ඊට පසුව තවත් කිලෝමීටරයක පමණ දුරක්‌ වැලිතලාව මතින් ගෙවාගෙන තමයි වෙරුගල් මෝයට ළඟා වුණේ. ඒ වෙනකොටත් එහි රැස්‌වෙන මසුන් මරන්න ප්‍රදේශයේ ධීවරයන් දැල් දමමින් තමයි හිටියේ.

මුහුදු වැද්දෝ


වාකරේ ගැන කතා කරන විට මුහුදු වැද්දන් ගැනත් කතා කරන්න සිදුවෙනවා. සේවදේශික ජන කොට්‌ඨාසයක්‌ වන මොවුන් වැඩිපුර ව්‍යාප්තව ඉන්නෙ, වාලච්ෙච්නත් සාම්පූර් ප්‍රදේශයත් අතර මුහුදුබඩ තීරයේ ඒත් ඉතින් මේ ස්‌වදේශිකයන් අතළොස්‌සක්‌ තමයි දැන් හඳුනාගත හැක්‌කේ. තිස්‌ වසරක යුද්ධය හේතුවෙන් මේ පිරිසගෙ දිළිඳුභාවය තවදුරටත් වැඩිව ඇති බව වාකරේ වෙරුගල් ප්‍රදේශවල අප කළ සංචාරයේදී දැකගත හැකි වුණා.

මුහුදු වැද්දන් ගැන කතා කළාම අපට නිතැතින්ම වාකරේ සිහිපත් වෙන්නෙ ඒ සඳහා වාකරේ ප්‍රසිද්ධව ඇති නිසයි. මේ ජන කොට්‌ඨාසය දැක බලාගන්න අපි සල්ලතිව් (චල්ලතිව්) වල ඉඳල ගියේ වෙරුගල් ප්‍රදේශයට. ඒත් එදා ඒ මුහුදු වැදි නායකයා පත්තන් කදිතාමන් සහ පවුලේ පිරිස වෙරුගල් හන්දියේදීම අපට මුණගැසුණේ පවුලේ පිරිසක්‌ සමග කඩපළට පැමිණ සිටියදී. ඔවුන් අපට කිව්වෙ අතීතයේදී ඔවුන් දඩයම් කළත් දැන් මසුන් මැරීම සිදු කරන බවයි.

වෙරුගල් පාලම

සුනාමිය සමයේදී 2004 වසරේ මෙම වෙරුගල් පාලම දක්‌වා එන්න අපට අවස්‌ථාව උදාවුණා. හැබැයි ඒ වන විට මෙහි රජකරගෙන හිටියෙ කොටි ත්‍රස්‌තවාදීන්. ඒ වෙනකොට වෙරුගල් ඔයේ එහෙ මෙහෙ යන්න තිබුණෙ පාලම් පාරුවක්‌. මඩකලපුවේ ඉඳන් ත්‍රිකුණාමලයට ගිය ලංගම බස්‌රථය ඇතුළු අනෙකුත් වාහනත් එගොඩ මෙගොඩ වුණේ මේ පාලම් පාරුවෙන්, ඒත් අද යුද්ධය නිමාවෙලා. සාමය ඇතිවෙලා. සංවර්ධනය වෙරුගල් ඔයත් සොයාගෙන ඇවිත්. පාලම් පාරුව වෙනුවට දැවැන්ත වෙරුගල්පාලම දැන් එහි ඉදිවෙනවා.

කල්අඩි / පාෂාණ පබ්බත රජමහා විහාරය

ඊච්චලම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් කල්අඩි ප්‍රදේශය අපට හමුවන්නෙ ඊච්චලන්පත්තුවෙන් නැගෙනහිර දෙසට අතුරු පාරක යන විට. මේ ප්‍රදේශය එකල කොටි ත්‍රස්‌තවාදීන්ගේ අධිආරක්‍ෂිත ප්‍රදේශයක්‌ වගේ භාවිත කරපු ප්‍රදේශයක්‌. කල්අඩි ගම්මානය ඔවුන්ගේ රණවිරු ගම්මානයක්‌ වගේම, කොටිහඬ ගුවන් විදුලියත් පවත්වාගෙන ගිහිං තිබුණේ මෙහි. කල්අඩි පැරණි පාෂාණ පබ්බත විහාරය තමයි මේ කොටිහඬ තිබුණු තැන. එහි සම්ප්‍රේෂණ කුළුණ ඉදිව තිබුණේ පාෂාණ පබ්බත විහාරයේ දාගැබ පිහිටි කඳුගැටය මත.

එහි තවමත් මේ දාගැබේ පාදම හා නෂ්ටාවශේෂ දැකගත හැකියි. ඒ වගේම කොටිහඬ සම්ප්‍රේෂණාගාරය පිහිටි කන්ටේනර් පෙට්‌ටිය තමයි අදටත් විහාරයේ විහාරවාසීව වැඩවසන හිමියන්ගේ නවාතැන්පළ බවට පත්ව තියෙන්නේ. ක්‍රිස්‌තු වර්ෂ පළමුවැනි සියවසේදී මහාදාඨ§ක මහානාග රජතුමා විසින් ඉදිකරන ලද බව කියන මේ පාෂාණ පබ්බත විහාරය අද නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ විහාරාධිපති හිමියන් විසින් පවත්වාගෙන යනු ලබනවා.

ලංකා පටුන / සමුද්‍රගිරි විහාරය

සුප්‍රකට ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය අපට හමුවන්නෙ පාෂාණ පබ්බත විහාරය පසුකර මුහුදු අද්දරින් ඉදරියට ඇදෙන විට. මේ මාර්ගය එතරම් යහපත් තත්ත්වයක නැතත්, මුහුද බඩින් මුතූර් දක්‌වා ගමන් ගත හැකියි. තවත් කිලෝමීටර් 7-8 ක්‌ ගියවිට අප බලාපොරොත්තුව පැමිණි ලංකා පටුන සමුද්‍රගිරි විහාරය අපට මුණගැහෙනවා. මෙය අන්කිසිවක්‌ නොව හේමමාලා- දන්ත කුමරුන් විසින් කළිඟු රට සිට මෙහි වඩමවාගෙන පැමිණි ශ්‍රී දළදා වහන්සේ මෙම පුණ්‍යභූමියට රැගෙන ආ ස්‌ථානයයි.

කළිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරියත් ඇගේ සැමියාවූ උදේනි නුවර උදේනි රජු පුත් දන්ත කුමරුවන් යන දෙදෙනා (මොවුන් දෙදෙනා උදේනි රජුගේ දියණිය හා පුත් ලෙසද ඇතැම් විස්‌තර වාර්තාවල සඳහන් වේ) දඹදිව කාලිංග පුරයේ තාමුලිප්තයෙන් නැව් නැඟ, කිත්සිරිමෙවන් රජදවස බුදුන්වහන්සේගේ වාම දළදාවද සඟවාගෙන මෙසේ ලංකා පටුනට ගොඩබට බව දාඨාවංශය පවසනවා.

ලංකා පටුන හෙවත් ඉලංකතුරෙයි ලෙස හැඳින්වෙන මෙතැන පුරාණ වරායක්‌ පිහිටි තැනක්‌ ලෙස සැලකෙනවා.

අලංකාර පෙනුමක්‌ සහිත සුවිශේෂී භූ ලක්‌ෂණයන්ගෙන් සමන්විත ලංකා පටුන සුවිසල් කලපුවක්‌ නිර්මාණය කරනවා.

උලක්‌කාලේ නම් මේ කලපුව අද්දර සිට බටහිර පෙදෙස දෙස ඉතා ඕනෑකමින් බැලුවොත් සේරුවාවිල විහාරයත් දැකගත හැකියි. කලපුමෝය අද්දරම වම්පසින් කඳු ගැටයක්‌ පිහිටා තිබෙනවා. මේ තමයි සමුද්‍රගිර. ඉපැරණි ලංකා පටුන විහාරය තිබී ඇත්තේ මෙහි. කලපුව හරහා තිබූ පැරණි පාලම ත්‍රස්‌තවාදීන් විසින් පුපුරුවා හැරීම නිසා දැන් එහි තාවකාලික යකඩ පාලමක්‌ හමුදාව විසින් ඉදිකරනු ලැබ තිබෙනවා. එයින් එගොඩව මේ වටිනා පුණ්‍ය භූමියේ අසිරිය විඳින්නත් ලංකා පටුන විහාරය වන්දනා කරන්නත් අප අමතක කළේ නැහැ. ඒ මත සිට දකින හාත්පස සුන්දරත්වය විඳින්න නම් ඔබත් ලංකා පටුනට එක්‌ වරක්‌වත් ගොඩවිය යුතුමයි. අද අපි නම් ලංකා පටුනේ තවත් දිනෙකට කඳවුරු බඳිනවා.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/06/05/nimna03.html

0 comments:

Post a Comment