Pages

Monday, August 15, 2011

25 : සොබාදහමේ අපූරු නිමැවුම මිනිහා-ගල්කන්ද (යාල)

කිරිඳිඔය
කිරින්දෙන් කිරිඳිඔය මහ සයුරට එක්‌වන බව අපි මීට කලින් කිව්වා. ඒත් ඒ සටහනේම කිරිඳිඔය පටන් ගන්නා ස්‌ථානය ගැන අපි ලියල තිබ්බ සටහන දෝෂ සහිතයි කියලා හිතවත් පාඨකයෙක්‌ අපට දැනුම් දුන්නා. ඇත්ත කිරිඳිඔය පටන් ගන්නේ රත්නපුරෙන් නෙමෙයි. බණ්‌ඩාරවෙල - ලියන්ගහවෙල කිතල් ඇල්ල ප්‍රදේශයෙන් එහෙම පටන් ගන්නා කිරිඳිඔය, සුප්‍රකට රාවණා ඇල්ලත් නිර්මාණය කරමින් ඇල්ල - වැල්ලවාය ප්‍රදේශයෙන් ඌව තැනිතලාවට පැමිණෙනවා. වැල්ලවාය නගරාසන්නයෙන් දකුණු දෙසට එන කිරිඳිඔය, ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ බස්‌නාහිර මායිම දිගේ පැමිණ ලුණුගම්වෙහෙර ජලාශය තනා කිරින්දෙන් මුහුද සිප ගන්නවා.

කඩොල් ඇතාගේ දළ යුගල
දුටුගැමුණු රජතුමාට එළාර ප්‍රමුඛ සතුරු හමුදාව ජය ගන්නට මහත් වෙර වෑයමක්‌ සැපයූ කඩොල් ඇතා බැඳ තිබූ මාගම (තිස්‌සමහාරාමයේ) මැණික්‌ රජ මහා විහාරයේ "ඇතා බැඳි ගල" ගැන අපි පසුගිය දිනෙක කතා කළා. ඒ වගේම මේ කඩොල් ඇතු ගැන තවත් තොරතුරු ටිකක්‌ අදත් අපිට කියන්න තියෙනවා.

යුද්ධය නිමවීමෙන් පස්‌සෙ කඩොල් ඇතා යළිත් මාගමට ගෙනවිත් පැල්වත්ත - කුඩාඔය ප්‍රදේශයේ දිවි ගෙව්වාලු, බුත්තල යටියල්ලාතොට විහාරයේ විහාරාධිපති හිමියන් පැවැසූ පරිදි කඩොල් ඇතා වයෝවෘධ වනතුරු ඉඳල තියෙන්නේ බුත්තල දොරමැඬිල්ල කියන ස්‌ථානයේ. ඇතාට නාන්න පීල්ලක්‌ වගේ සාදා තිබූ ස්‌ථානය අදටත් එහි තියනවාලු. රාජ කුමාරවරු දෙදෙනකු භාරයේ හිටි කඩොල් ඇතු මේ කුමාරවරුන් අතර ඇති වු ආරවුලක්‌ හේතුවෙන් කුමාරවරු දෙදෙනාම මියගියාට පසු අවසන් සුසුම් හෙළුවාලු. කඩොල් ඇතාගේ භූමදානය සිදුකර ඇත්තේ අනුරාධපුරයෙන් ගෙනා මැණික්‌ ගැල් 21 ක්‌ සමඟලු. මේ ස්‌ථානයේ ගල්කණුවලින් ස්‌මාරකයක්‌ තනා තිබ්බ බවයි සලකන්නේ. කොහොමහරි කඩොල් ඇතුගේ අඩි 8 ක්‌ පමණවන දළ යුගලය එකල මෙහි සිටි වැදි නායකයකුට අයත්ව තිබූ බවත් ඔහු විසින් පසුව වැද්දන්ගේ ආච්චි ලෙස පිදුම් ලබන "වල්ලිඅම්මා" වෙනුවෙන් කතරගම මහ දේවාලයට ලබාදී ඇති බවත් අපට කිව්වෙ නායක හාමුදුරුවන්මයි. දේවාලයේ ලේකම්තුමා දයානන්ද අධිකාරි මහතාත් මේ කතාව අනුමත කළා.
දැන් දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාගේ දළ යුගලය සුරක්‍ෂිතව කතරගම දේවාලයේ තියෙනවා. වාර්ෂිකව ඇසළ මංගල්ලයේදී මේ දළ යුගල, මහජන ප්‍රදර්ශනයට තබනවා.

පලටුපාන ලේවාය / නිමලව
යාල හන්දියෙන් හැරී යාල වනෝද්‍යානය දෙසට යනවිට අපට පලටුපාන ලේවාය හමුවෙනවා. "ලංකා සෝල්ට්‌ ලිමිටඩ්" මගින් පාලනය කරන ලේවා තුනෙන් මහලේවාය, බූන්දල ලේවාය හැරුණු කොට ඉතිරිවන මීළඟ ලේවාය තමයි මේ පලටුපාන මෙහි වාර්ෂිකව ලුණු මෙටි්‍රක්‌ ටොන් 5000 ක නිෂ්පාදනයක්‌ සිදුකරනවාලු.

නිමලව අභය භූමිය / ආරණ්‍යය
පලටුපාන ආසන්නයේම තමයි නිමලවත් පිහිටල තියෙන්නේ. හරියටම කියනවානම් නිමලව යාල උද්‍යානයටම මායිම් වෙලයි තියෙන්නේ. ගල්කඳු, ලෙන්වලින් සමන්විත මෙය ඉතා පැරැණි ආරණ්‍යයක්‌ මෙහි පවතින වනගහනය ආරක්‍ෂා කරන්නන්, අලි - ඇතුන්, ගෝන - මුවන් ඇතුළු වනසතුන්ගේ පරිසරය ආරක්‍ෂා කරන්නත් 1993 දී මෙය රජය මගින් අභය භූමියක්‌ බවට පත්කළා. මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 1065 ක්‌.

යාල වනෝද්‍යානය
ඔන්න අපි ආයිමත් යාල ගැන කතා කරනවා. උද්‍යානයේ පොදු තොරතුරු අපි පහුගිය දිනක කතා කළ නිසා උද්‍යානය තුළ තියෙන සිතුල්පව්ව විහාරයත්, මඟුල් මහා විහාරයන් ගැන කතා කරගෙන අපි දැන් යාල කලාප අංක එකෙන් මැණික්‌ ගං මෝදර පසුකර මිනිහාගල්කන්ද ප්‍රදේශයේ රාත්‍රී කඳවුරුබිම බලා ගමන් කරනවා.

මඟුල් මහා විහාරය
කිරින්දට ගොඩ බැස්‌ස විහාරමහාදේවිය රැගත් නෞකාව පිළිගත් බව කියන එවක රුහුණේ රජුවූ කාවන්තිස්‌ස රජතුමා විහාරමහාදේවිය විවාහ කරගත් බව කියන්නෙ මඟුල් මහා විහාරයේ දීලු. (හැබැයි මේ කතාවම ලාහුගල මඟුල් මහා විහාරයේදීත් අපට අහන්නට ලැබෙනවා.) අද යාල උද්‍යානයේ කලාප අංක එකට අයත් වන මෙය මෑතකදී ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා.

සිතුල්පව්ව විහාරය
රුහුණේ පෞරාණිකම ආරාමයක්‌ වන මෙය ක්‍රි. පූ. 2 වැනි සියවසේදී කාවන්තිස්‌ස රජතුමා විසින් ඉදිකරනු ලැබ තිබෙනවා. ක්‍රි. පු. පළමුවැනි සියවසේදී, එනම් වළගම්බා රජදවස මෙහි දොළොස්‌ දහසක භික්‍ෂූන් වහන්සේලා. (රහතන් වහන්සේ සමඟ) වැඩසිටි බව පවතින විශ්වාසයයි. මේ ආශ්‍රිතව ශිලා ලේඛන 60 ක්‌ පමණ හඳුනාගෙන තියෙනවා. පර්වත මස්‌තකයෙහි පවතින දාගැබ කාවන්තිස්‌ස රජුගේ නිර්මාණයක්‌ වන අතර පරිවාර චෛත්‍යය වසභ රජුගේ නිර්මාණයක්‌ ලෙස සලකනවා. කෙසේ හෝ සිතුල්පව්ව රුහුණේ අසිරිමතම විහාරයක්‌ හැටියටයි සලකන්නේ.

වන මැදින් මිනිහාගල්කන්දට
පෙරවරු හය පමණ වන විට අපි පලටුපාන පිහිටි යාල උද්‍යානයේ මූලස්‌ථානයට පැමිණ සිටියා. එහිදී අපට එක්‌වූණේ උද්‍යාන පාලක ඩබ්ලිව්. ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ වනජීවී කාර්ය මණ්‌ඩලය. අප රැගත් ජීප් රථයත්, ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ ජීප් රථයත් ගමනට එක්‌ වුණේ ඉරු නැග එන උදයේදීමයි. ගොඩේ කළපුව උද්‍යාන පිවිසුම් දොරටුව ඔස්‌සේ මහාසීලව, පටනංගල, බුතව හරහා මඳ වේලාවකින් අපි පැමිණියේ පරණ තොටුපළ ළඟට. නැතිනම් මැණික්‌ ගං දෑලට. පළමුව ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ වනජීවී දෙපාර්තමේන්තුවේ කැබ් රථය මැණික්‌ ගඟ තරණය කළා. ඉන්පස්‌සෙයි අපගේ රථාචාර්ය උපුල් ශාන්ත පැදවූ දිය ගොඩ දෙකටම ඔබින "දඬුමොණරය" මැණික්‌ ගඟ තරණය කළේ.

මැණික්‌ ගඟට පසුව අපට හමුවෙන්නෙ පුළුල් තැනිතලාවක්‌. දැන් වියළී ගිය පිටියක්‌ වගේ දිස්‌වුණාට වැහි කාලයේදී මේ පිටිය මැදින් වාහනයක්‌ ධාවනය කරන්න අමාරුයි. ඒ එකම ගොහොරුවක්‌ බවට පත්වන නිසා. මඩේ යන්න ඉතින් සිව්බලය සහිත ජීප්රථයක්‌ වගේ දෙයක්‌ ඕනමයි.

කොහොමටත් යාල කලාප අංක දෙකට යන්න සිව්බල වාහන දෙකක්‌ අනිවාර්යයි. ඒ හදිසි විපතකදී පිහිටවීම සඳහා. අපට පළමුව හමුවන පිට්‌ටනිය නොහොත් පැරණි යාල වෙල පහුකරගෙන අපේ රථ දෙක ඉදිරියට ඇදුනෙ දූවිලි වළාවක්‌ නංවාගෙන. කුඩා කුඩා ආරවල් වලින්, වළ ගොඩැලිවලින් රථ දෙක එක හැල්මේ ඇදෙනවා. ත්‍රස්‌තවාදී කලබල පැවති දිනවල මේ පැත්තට නම් මේ වගේ වාහන ආවෙ නෑ. බයක්‌ නැතිව මේකෙ යන්නත් බැහැ. අද අපි ඇදෙන්නෙ මැණික්‌ ගං මෝය හරහා මිනිහා ගල්කන්ද කියන සුවිශේෂී පාෂාණ පිහිටි ප්‍රදේශයට. එක්‌ තැනකින් මාර්ගය දෙකට බෙදෙනවා. එක්‌ පැත්තක්‌ පහළ පොත්තන හරහා කුඹුක්‌කන් ඔයෙන් කුමන හරහා නැගෙනහිරට යන පාර. දැන් අපි යන්නෙ එතනින් දකුණට ඇති මුහුද දෙසට ඇති පාරෙ.

පැයක එක හමාරක විතර ගමනකින් ඔන්න අපට හමුවන්නෙ මැණික්‌ ගංමෝය. එතැනින් පාර හදාගෙන වගේ තවත් ඉදිරියට ගියහම වැලි කඳු යායක්‌ දකින්නට පුළුවන්. යාල උද්‍යානය ගැන පළපුරුදු කාර්ය මණ්‌ඩලය අපට මග පෙන්වනවා. වනජීවි කැබ්රථය ඉදිරියෙනුත්, අපගේ ජීප් රථය පසු පසිනුත් මේ වැලිතලාවේ ඉදිරියට ඇදෙන්නෙ අඩියක්‌ දෙකක්‌ එරෙන වැල්ලෙ මහ හඬ දීගෙන. තවත් මොහොතකින් අපි හිටියේ සාගරය හොඳින් දිස්‌වෙන මුහුදු බොක්‌කක වැලිතලාවක්‌ මත. දකුණු පසින් මැණික්‌ ගඟේ මෝය කට. වම් පසින් තෙර නොපෙනෙන සුදු වැලිතලාව. නැත්නම් සාගර වෙරළ. සුදු පෙණ පිඬු නංවා මහ මුහුද "හෝ ..... හෝ ......" නදින් වෙරළට ඇදී ආපසු යනවා. මේ අතර වනජීවි කාර්ය මණ්‌ඩලය අපි හැමෝටම උදේ ආහාරය පිළියෙළ කරනවා. පාන්, බනිස්‌, සීනි සම්බෝල, පොල් රොටි වැනි අතට අහුවුණු දෙයක්‌ ගිලදාල අපි දැන් යන්නට සැරසෙන්නෙ යාල කලාප අංක දෙකේ පිහිටි අර කිව්ව මිනිහාගල්කන්දට. මෙතැන ඉඳන් මිනිහාගල්කන්දට කිලෝමීටර් හයකවත් ගමනක්‌ තියෙනවා. ඉතින් අපි ලහි ලහියේ ඒකට ලැහැස්‌සි වුණේ දැඩි හිරු රැස්‌ දාහයෙන් මිදී එතැනට කල්වේලා ඇතිව එහි යා යුතු වූ නිසා. ඒත් ඉතින් රට වටා ගමනේදී අපි බලාපොරොත්තු වූ තවත් වැදගත් තැනකටයි අපි මේ ඇවිත් ඉන්නෙ. ඒ මැණික්‌ ගං මෝදර. ඒ නිසා එහි මඳක්‌ වේලා ගත කර ඒ ඡායාරූප ටිකත් අරගෙන මිනිහා ගල්කන්දට යන එක තමයි වඩා හොඳ කාර්යය. ඒ නිසා අපි උදයවරුව ගත කළේ ඒ කාර්යය වෙනුවෙන්. නමුණුකුල කඳු පන්තියෙන් ඇරඹෙන මැණික්‌ ගඟ. වැල්ලවාය ප්‍රදේශයෙන් ගලා ඇවිත් සෙල්ල කතරගම, කතරගම දේවාලය අසලින් යාල උද්‍යානයට ඇතුළු වෙනවා. ඒ ඇවිත් උද්‍යානය හරහා යන්නෙ යාල කලාප අංක එක හා දෙක කොටස්‌ වෙන් කරමින්. ඊළඟට තමයි ගිනිකොණ දිග මුහුදු වෙරළේදී සයුර සිප ගන්නේ. ඒ මෝයකට අසලදී මැණික්‌ ගංගාව දිය දහරා දෙකකට බෙදෙන්නෙ ඩෙල්ටාවක්‌ නිර්මාණය කරමින්. ඒ වගේම පුළුල් විල්ලුවක්‌ද නිර්මාණය කරනවා. මේ විල්ලුවේ මසුන්, ඉස්‌සන් වගේ කුඩා මසුන් මෙන්ම විටෙක මෝරුන් පවා දැක ගත හැකියි. අතීතයේදී මැණික්‌ ගඟ දිගේ කතරගම දක්‌වා මෝරුන් ආ බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ පොත්පත්වල සඳහන් වෙනවා.

කොහොම හරි අපි මැණික්‌ ගං මෝaයේ ගත කළ කාලය කෙළවර වුණේ දහවල් ආහාරයත් එහිම හිඳ පිසගනිමින්. වනජීවි නිලදරුවන් සමග එකතු වී ආහාරය සකසා කුස පුරවාගත් අපි ඔන්න දහවලේදී අපේ දවසේ ගමනේ ඉලක්‌කය වූ මිනිහා ගල්කන්දට ඇදුණා.

අපේ වාහන දෙක පාළු, හුදෙකලා වැලිතලාව අතර රැඳවූ පසු කට්‌ටියම ගමනට එකතු වුණා. පෙණ පිඬු නඟා ඇදෙන රැල්ලට පා දොවමින් අපි තවත් දකුණු දෙසට වෙරළ දිගේම ඇදුණා. ඔන්න සැතපුම් 2 ක්‌ විතර ගියහම වෙරළට උඩින් මුහුද දිහා බලාගත්ත කෙනෙක්‌ ඈත තියාම අපිට දැක ගන්න ලැබුණා. අඳුරගන්න බැරි වුණත් ඒ නම් මිනිස්‌ රුවක්‌ම තමයි. "කවුද ඒ" කියලත් අපේ කෙනෙක්‌ වනජීවි නිලධාරියකුගෙන් අහනව ඇහුණා. නමුත් මේ සැබෑ මිනිස්‌ රුවක්‌ හෝ මිනිස්‌ ඡායාවක්‌වත් නෙමේ. මේ තමයි මිනිහාගල්කන්දේ "මිනිහාගේ" රූපය. හරියටම මිනිස්‌ රුවක්‌ වගේ දිස්‌වෙන්නේ සොබා දහමේ විශ්මිත නිර්මාණයක්‌ සේ බිහිවුණු අපූරු පාෂාණ ස්‌ථම්භයක්‌. ටිකෙන් ටික ළං වෙන කොට මේ "මිනිසා" කවුද කියල අපි හොඳට හඳුනා ගත්තා. යාල කලාප අංක දෙකේ අවසන් කෙළවරට කිට්‌ටුව තියෙන මේ ස්‌ථානය සැබවින්ම විශ්මිත භූමි ප්‍රදේශයක්‌. ශ්වේත- රක්‌ත - පීත වන් පස්‌ තට්‌ටු පමණක්‌ නෙමේ, පඬුවන්, ලෝහිත වන් දිරාගිය පාෂාණත් මෙහි තිබෙනවා. හරියට උල්කාපාතයක්‌ කඩා වැටුණු ප්‍රදේශයක්‌ වගේ. අක්‌කර දහසක්‌ දෙදහසක්‌ වගේ ප්‍රදේශයක පාෂාණ ස්‌ථර ඛාදනය වෙලා තියෙන්නෙ හරියට යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක්‌ වගේ. ඒත් මේ සියල්ල සොබා දහමේ විශ්මිත ක්‍රියාකාරීත්වයක්‌.

මිනිහාගල්කන්දට ආපු අපි මේ බොහෝ තැන්වල ඇවිද්දා. ඒ කඳුගැටය මුදුනට නැඟල හිතේ හැටියට සාගර වෙරළේ ආශ්චර්ය විඳගත්තා. ඈතින් අපි ගිය සතියේ ගිය කුඩා රාවණා ප්‍රදීපාගාරය මුහුද මැද ඡායාවක්‌ වගේ දිස්‌වෙනවා. මොන තරම් ආශ්චර්යක්‌ද? අපේ රටේ මෙවන් දුලබ, සුන්දර තැන් දකින්න අපි මොනතරම් පිංකර තියෙනවද කියල අපිට මෙතනදී හිතුන. "ඇවිද්ද පය දහස්‌ වටී" කියල කියන්නෙ මේනිසා තමයි. අද අපගේ නවාතැන මේ සුන්දර වෙරළ තීරය. දකුණු දිග ශ්‍රී ලංකාවේ අපේ අවසන් කඳවුර බිමේ තමයි අපි අද ගත කරන්නෙ. මීළඟට අපි කුඹුක්‌කන් ඔයෙන් එගොඩව අම්පාර දිස්‌ත්‍රික්‌කයට පියනඟනවා. ඒත් ඊට කළින් තවත් නැවුම් අත්දැකීමක්‌ විදගන්න ලබන ඉරිදාත් අප සමඟ එකතු වන්න.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


ස්‌තූතිය - වනජීවී අධ්‍යක්‍ෂ චන්ද්‍රවංශ පතිරාජ, මෙහෙයුම් අධ්‍යක්‍ෂ රත්නායක, ප්‍රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර උද්‍යාන පාලක ඉන්aද්‍රජිත් යන මහත්වරුන්ට

http://www.divaina.com/2011/03/20/nimna02.html

0 comments:

Post a Comment