Pages

Monday, August 15, 2011

20 : කැස්‌බෑවන්ගේ අභය බිම රැකව

දෙවුන්දර තුඩුවෙන් සමුගෙන අද අපි අපේ ගමනේ දෙවැනි අදියරට පා තබනවා. ඒ තංගල්ලෙ රැකව මුහුදු වෙරළේ කඳවුරු බැඳගෙන. කොළොම් තොටෙන් පටන්ගෙන දකුණු දිග ඔස්‌සේ නැගෙනහිරට යන ගමනේ අපි තාමත් ඉන්නෙ දකුණු පළාතේ. ඒත් අපි මාතර පහුකරල. දැන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට ඇවිල්ලා. තවත් නොබෝදිනකින් හම්බන්තොට නගරයට අපි ළඟාවෙනවා.

වාර්තාගත සැතපුම් කණුව
දෙවිනුවර පූජා භූමි නගරය ආසන්නයේදී අපට තවත් වැදගත් මං සලකුණක්‌ හමුවෙනවා. ඒ, තමයි 103 වැනි සැතපුම් කණුව, මේ කණුව අඩි හතක්‌ පමණ උසයි. 1808 දී ග්‍රෑන්ඩ් විල් නමැති ඉංග්‍රීසි ජාතිකයා තමයි මෙය පිහිටුවා ඇති බව කියන්නෙ. ලංකාවේ මෙවන් උස සැතපුම් කණුවක්‌ තවත් හමුවන්නේ නැති බවයි අපට ආරංචි වුණේ.

හුම්මානය / Blow hole
දෙවුන්දර තුඩුව පහුකරල තවත් දකුණට යනකොට අපිට ගන්දර කුඩාවැල්ල ප්‍රදේශ හමුවෙනවා. මේ කුඩාවැල්ල ප්‍රදේශය මුහුදු වෙරළේ සුවිශේෂී භූ පිහිටීමකට ඉතාම ප්‍රකටයි. ඒ තමයි අපි කවුරුත් දන්න "හුම්මානය". කුඩාවැල්ලෙන් හැරිල කිලෝමීටර දෙකක්‌ විතර ගියාම හුම්මානයට ළඟා විය හැකියි. කිලෝමීටරයක්‌ විතර වාහනයකින් ගිහිං, වාහන මග නවත්තල තමයි හුම්මානයට, නැත්නම් කුඩාවැල්ලට පයින් යන්න තියෙන්නේ. හුම්මානය අපට හුරුපුරුදු තැනක්‌ වුණාට, රට වටා ගවේෂණ චාරිකාවේදීත් අපි හුම්මානය බලන්න ගියා.
මෙතැන මුහුදට තියෙන්නෙ දළ බෑවුමක්‌. ගල්පරවලින් සමන්විතයි. කුඩා කඳුගැටයක්‌ මත ඉඳන් බලන්න තියෙන මේ "හුම්මානය" කියන්නේ ගල් දොබොක්‌කාවක්‌ අතරින් එන වේගවත් රළ පහරට ජල කඳක්‌ ඉහළට විදීමයි. හරියට වතුර මලක්‌ මෙන් ඉහළට විඳින ජල කඳ පෙණපිඬු වගේම, පිනි වළාවක්‌ හදල ආයිමත් ගල් දෙබොක්‌කාවට වැටෙනවා. මේ වගේ දුලබ, වටිනා ස්‌ථාන අපේ රටට ආඩම්බරයක්‌. සංචාරකයින් ආකර්ෂණය කරන්නා මෙවන් තැන් මගින් අපේ රටට විදේශ විනිමයන් එකතුවෙනවා. අපි යනකොටත් හුම්මානය බලන්න සැලකිය යුතු සංචාරක පිරිසක්‌ එහි පැමිණ සිටියා. ඇත්තටම වේගයෙන් ආ රළ දහරක්‌ වැදී සංචාරකයින් අමන්දානන්දයට පත්කරමින් "හුම්මානයේ" වතුර මල" ක්‍රියාත්මක වුණේ අප හැමගේම අත්පොලසන් හඬ මැද්දේ.

වැව්රුකන්නල
බුදු පිළිමය නිර්මාණය කිරීම ඇතුළු මේ විහාරයේ ඉතිහාසය කතාව අපට කිව්වේ විහාරාධිපති ආචාර්ය දික්‌වැල්ලේ තිස්‌ස නාහිමියන්.

මේ විහාරය බිහිවෙලා තියෙන්නේ මහනුවර යුගයේදී. රාජාධිරාජසිංහ රජුගේ සහ මඩකුඹුරේ වාසල දේවියගේ පුත්, කිරින්දේ සිරි සීලානන්ද සංඝරතන නමින් වෙස්‌වලාගෙන පැවිදිවෙලා හිටිය කියන්නේ මේ වැව්රුකන්නල විහාරය හැදුව නැත. එදා එල්ලවුනු සතුරු ආක්‍රමණයන්ගෙන් බේරෙන්න. රාජකුමාර හාමුදුරුවෝ නමින් ප්‍රකට වුනු ඒ හාමුදුරුවන්ට සීලානන්ද නම ලැබුණෙ ගම්පල තමන් දිවිගෙවූ සුදස්‌සනානන්ද වලව්ව හින්දලු. කොහොමහරි අමුරපුර නිකාය පිහිටුවීමේලා කිරින්දේ හිමියන් සැලකිය යුතු මෙහෙයක්‌ ඉටුකළ බව අපට විහාරාධිපති හාමුදුරුවන් කිව්වෙ කැලණියේ තියෙන සෙල්ලිපියක්‌ ගැන සිහිපත් කරමින්. කිරින්දේ හාමුදුරුවන් තමයි වැව්රුකන්නල විහාරයේ දාගැබ තනවා එහි ධාතූන් නිධන් කර ඇත්තේ. එදා පටන් ගත්ත සති පිරිත් දේශනය අද දක්‌වාත් මෙහි සිදු කරනවාලු.

1839 දී පිරිත් මණ්‌ඩපයක්‌ හැදුව විහාරාධිපති වැලිහිටියේ සිරි සුමන හාමුදුරුවෝ සති පිරිත් දේශනය තවත් උත්කර්ෂවත්ව කර තිබෙනවා. ඒ හදපු පිරිත් මණ්‌ඩපය අදත් විහාරයේ තියෙනවා. අදත් පිරිත් කියන්නේ ඒ මණ්‌ඩපයේ තමයි. දැන් ඊට වසර 171 ක්‌.
සම්බුලා ජාතක කතාව, දීඝිති කෝසල ජාතක කතාව, නව මයුර සංදේශය වැනි ග්‍රන්ථ රැසක්‌ රචනා කළ වැලිහිටිය හාමුදුරුවෝ වියත් පඬිරුවනක්‌.
1899 පසු විහාරාධිපතිධුරයට පත් බත්ගම සිරි සද්ධාතිස්‌ස හාමුදුරුවෝ වත්මන් විහාර ගෙය ගොඩනැඟුවා. පොළොන්නරු යුගයෙන් පසු බිහිවූ වටිනාම විහාර කර්මාන්තය මේ බවයි විද්වතුන් කියා සිටින්නේ. බත්ගම හාමුදුරුවන් මැව්ව සිහිනයක්‌ තමයි මේ වැව්රුකන්නල විසල් පිළිමය. ඒ සඳහා 1914 අප්‍රේල් 21 වැනිදා "ලක්‌මිණි පහන" පුවත්පතේ දැන්වීමක්‌ පවා පළකරල අසු අට රියන් පිළිමයක්‌ තනන්නට උන්වහන්සේ කටයුතු කරල තියෙනවා. ඒත් ඒ සිහිනය ඉටු නොවීම උන්වහන්සේ 1955 දී අපවත් වුණා. ඉන් පස්‌සේ විහාරාධිපති වුණු දික්‌වැල්ලේ සිරි විමලතිස්‌ස හාමුදුරුවෝ තම නායක හිමියන්ගේ සිහිනය ඉටු කරමින් රියන් සියයක (අඩි 150) පිළිමය තැනුවේ 1966 - 69 දී අවුරුදු තුනක්‌ වැනි කෙටි කාලයකදී.

ලංකාවේ යෝධ ඔරලෝසුව
ලංකාවේ ලොකුම ඔරලෝසුව තියෙන්නෙත් වැවුරුකන්නල විහාරායේම තමයි. මේ ඔරලෝසුව විහාරයට ගෙනල්ල තියෙන්නේ බත්ගම හාමුදුරුවෝ ඒ, 1928 දී හාමුදුරුවෝ දවසක්‌ මග්ගොන මඩමෙ නතර වුණා. එදා රාත්‍රිය පුරා පැයෙන් පැයට ඝණ්‌ඨාර නාදයක්‌ ඇහුනලු. ඒ ගැන විපරම් කරද්දී තමයි දැනගෙන තියෙන්නේ මේ ඔරලෝසුව ගැන. මග්ගොන එලාරිස්‌ ද සිල්වා වඩු ආරච්චිල තමයි මේකෙ නිර්මාණකරුවා. ජර්මන් තාක්‍ෂණය ඇති වයින්කරන ඔරලෝසුවක්‌ දැකල ඒකට ලී වලින් අනුරුවක්‌ හදපු එලාරිස්‌ ද සිල්වා වඩුතැන, ඒ සඳහා ඉන්දියාවෙන් දැති රෝද වක්‌කරගෙන ඇවිත් තමයි මේක හදල තියෙන්නෙ. කාමරයක ඉඩක්‌ ඕන මේ ඔරලෝසුව වයින්කරල තිබ්බම. කිලෝගණක බරකින් තමයි වැඩකරන්නෙ. බලන්න රටක්‌ විටින මේ නිර්මාණය වැව්රුකන්නල විහාරයේ කෞතුකාගාරයේ තියෙනවා. වෙලාවත් තවම දුවනවා. බත්ගම හාමුදුරුවෝ එලාරිස්‌ වඩුතැනගෙන් මේක ගෙනැල්ල තියෙන්නෙ රුපියල් 3000 කට. ඒ 1928 දී.

කුමාරතුංග මුණිදාසයන්
හෙළ බසට මහත් සේවාවක්‌ ඉටුකළ කුමාරතුංග මුණිදාසයන් අපට කිසි සේත් අමතක කළ නොහැකි චරිතයක්‌. එතුමන්ගේ උපන් ගමත් දික්‌වැල්ල. ඔහු මූලික අධ්‍යාපනය හැදැරුවෙත් අකුරු කෙරුවෙත් වැව්රුකන්නල බුදුරද විහාරයෙන් බව අපට කිව්වේ විහාරයේ විද්‍යාතුංග විද්‍යාතන පිරිවෙණේ පරිවේණාධිපති සහ එහි සිංහල සමිතියේ සභාපති කරතොට පඤaඤdශීල හාමුදුරුවෝ. කුමාරතුංග මුනිදාසගේ පියා දොන් අබියස්‌ කුමාරතුංග පන්සලේ ප්‍රධාන දායකයෙක්‌ වෙලා හිටියා. ඔහු මෙහි පැවති සුදස්‌සන පිරිවෙණේ ඉගෙන ගත්තෙ වෛද්‍ය විද්‍යාව. පස්‌සෙ ආරම්භ වුණු විද්‍යා චක්‍ර පිරිවෙණේදී තමයි පුත් කුමාරතුංගයන් සංස්‌කෘත හා පාලි ඉගෙන ගෙන තියෙන්නෙ. කොහොමහරි දිsක්‌වැල්ලේ සිරි විමලතිස්‌ස හිමියන්ද ඇතුළුව කුමාරතුංග මුණිදාසයන් හෙළ හවුල ආරම්භ කර සාහිත්‍යට හා භාෂාවට අපමණ සේවාවක්‌ සිදු කළා. අද ඔහුගේ නිවස දික්‌වැල්ලේ දක්‌නට නැති වුණත්, ඒ ඉඩම පිහිටි තැන පසුව ඉදිවුණු කුමාරතුංගයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ ස්‌මාරකය බලන්න අපි අමතක කළේ නෑ. ඒත්, එය කැලෑවට යටවෙලා. ඉඩම වල් බිහිවෙලා. ඇයි මෙතන පුරාවිද්‍යා බලධාරීන්ට, ජාතික උරුමයන් පිළිබඳ බලධාරීන්ට අමතක වෙලාද?

තංගල්ල කොටුව / ධීවර වරාය
තංගල්ලට ආපු අපි එහි සුන්දර වෙරළ තීරයේත්, වෙරළ උද්‍යානයේත් සැරිසරා ඡායාරූප ගැනීමෙන් පස්‌සේ ගියේ පැරණි ලන්දේසි කොටුවට. ඒක දැන් තංගල්ල බන්ධනාගාරය බවට පත්වෙලා. ඒ හින්ද අපට එහි ඡායාරූපයක්‌ ගන්න බන්ධනාගාර නිලධාරීන් අවසර ලබා දුන්නේ නෑ. කොටුපවුරු බලාගෙන කොටුවේ තියෙන පොලිසිය, නාවික කඳවුර බලාගෙන ඊළඟට අපි ගියේ තංගල්ලේ තියෙනවා කිව්ව පැරණි ඉංග්‍රීසි කාලේ එල්ලුම් ගහ හොයා ගෙන. ඒත් එහෙම දෙයක්‌ තංගල්ලෙදී අපට හමුවුණේ නෑ.
තංගල්ල ධීවර වරාය

බේරුවල, වැලිගම, මිරිස්‌ස, දෙවිනුවර වගේම තංගල්ල ධිවර වරායත් අපට අමතක කරන්න බැරි තැනක්‌. වෙරළ උද්‍යානයට යාබදව පිහිටා තියෙන මේ ධීවර වරායටත් ගොඩවැදිල, එහි දිය කඩනය දිගේ ගිහිං වරායෙ අසිරියත් අපි නැරඹුවෙ. මුහුදේ අස්‌වැන්න ගොඩදාන්නට තංගල්ල ධීවරයන් ගන්නා දහදිය මහන්සිය ගැනත් වචනයක්‌ හෝ ලිවිය යුතුව ඇති නිසා.

රැකව අභය භූමිය
තංගල්ල නගරය මැදින් ගලා බහින කිරම ඔය පසුකර ඊට පස්‌සෙ අපි දකුණු දෙසට ඇදුනෙ රැකව වෙරළ තීරයට යන අදිටනින් වැහි දිනයක්‌ වුණත්, රැකව වෙරළ තීරයට යන්න අපට එය වැඩි බාධාවක්‌ වුණේ නෑ.. ඇත්තටම රැකව ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වෙරළ තීරයක්‌. රැකව කළ පුවත් රැකව වෙරළත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නෙ කැස්‌බෑවුන්ගේ නිජබිමක්‌ විදිහට. ලංකා වේ කැස්‌බෑවන් ගේ පාරාදීසය විදිහට සලකන්නෙත් රැකවම තමයි. මේ නිසාම තමයි "ලංකාවේ ප්‍රථම කැස්‌බෑ අභය භූමිය" විදිහට 2006 දී රැකව නම් කළෙත්. මේ අභය භූමියේ විශාලත්වය අක්‌කර 677 ක්‌. මේ අභය භූමිය විවෘත කළ දවසෙත් අපි හිටියෙ රැකව වෙරළ තීරයේ බව අපට දැන් වගේ මතක්‌ වෙනවා.

තංගල්ලෙ ඉඳල රැකවට කිලෝමීටර් හතක්‌ විතර තියෙනවා. එහි දැන් රජය මගින් හා පෞද්ගලික අංශය මගිනුත් කැස්‌බෑවන්ගේ කැදලි සංරක්‍ෂණය සඳහා ව්‍යාපෘති ක්‍රියාවට නැඟෙනවා.

කැස්‌බෑවෝ
බිත්තර දැමීමට ශ්‍රී ලංකාවට එන කැස්‌බෑ විශේෂ පහ අතරින් රැකවදී හතර දෙනෙක්‌ම ප්‍රධාන වශයෙන් දැකගත හැකියි. ඒ කොළ කැස්‌බෑවා, බටු කැස්‌බෑවා, දාර කැස්‌බෑවා, ඔළුගෙඩි කැස්‌බෑවා යන විශේෂ. දාර කැස්‌බෑවා, මුහුදු කැස්‌බෑවන් අතර විශාලතම කැස්‌බෑවද වෙනවා. කැස්‌බෑවන් සාමාන්‍යයෙන් තමන් උපන් වෙරළටම බිත්තර දැමීමට පැමිණීම සිරිතක්‌. මේ පුරුද්ද අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ පවතින්නක්‌ නිසාත්, රට රටවල් අතර සබඳතා පැවැත් වූ "තානාපති" සතුන් අතර සංචාරක කුරුල්ලෝ සහ කැස්‌බෑවන් සිටින නිසාත්, අපි හිතන්නෙ මිනිසා නම් වන අපිටත් වඩා, රැකව වෙරළේ අයිතිය තියෙන්නෙ මෙසේ එන කැස්‌බෑවන්ට. ඒ හින්ද හෙට දවසෙදිත් රැකව ආරක්‍ෂාවිය යුතු බිම් තීරයක්‌. අද රැකවදී කඳවුරු බඳින අප එයත් ඔබට සිහිපත් කරමින් මේ සුන්දර වෙරළට පෙම් බඳින්නේ ලබන ඉරිදා තවත් මෙවැනිම වටිනා තැනක ඉඳ ඔබ හමුවෙන බලාපොරොත්තුවෙනි.


GPS ඛණ්‌ඩාංක
දෙවුන්දර තුඩුව
N - 50 55" 12.8""
E - 800 35" 35.0""

හුම්මානය
N - 50 58" 52.6""
E - 800 44" 09.4""

රැකව
N - 60 03" 07.1""
E - 800 51" 58.9""

අදහස්‌ ratawata.divaina@gmail.com
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා

http://www.divaina.com/2011/02/13/nimna03.html

1 comments:

Feeling and life said...

good

youtube channel ekak nadda

Post a Comment