කැලණි ගං මෝදර ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ කොළඹ වරාය ආශ්‍රිතව ඊට උතුරින් පිහිටා ඇත. මෙම ගංමෝදර බස්‌නාහිර පළාතේ පිහිටන අතර මේ මගින් කොළඹ සහ ගම්පහ දිස්‌ත්‍රික් වෙන්වේ. මෝය කටෙන් දකුණු ප්‍රදේශය මෝදර නොහොත් කොළඹ 15 ප්‍රදේශය ලෙස නම්කර ඇත. මෝයෙන් උතුරු කොටස ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ හැඳල, හේකිත්ත හා උස්‌වැටකෙයියාව ප්‍රදේශයයි. මෙම ප්‍රදේශ දෙකම අධික ජනාවාස වූ ප්‍රදේශවන අතර, ලක්‍ෂ සංඛ්‍යාත ජනගහනයක් අද මෙහි වෙසේ. කැලණි ගං මෝය ආශ්‍රිතවම මුහුදට සමාන්තරව දිවෙන පරිදි කැලණි ගංගාවත්, මීගමුව කලපුවත් යා කරමින් උතුරු දෙසට දිවෙන පුළුල් ඇළ මාර්ගයකි. එය හැමිල්ටන් ඇළ යි. මෙනිසා කැලණි ගංමෝදර දෙමෝදරකි. ලන්දේසින් විසින් නිර්මාණය කරනු ලැබූ බව කියන මේ මගින් එදවස මීගමු කළපුවේ සිට කැළණි ගංගාව දක්‌වාත්, කැලණි ගංගාව දිගේ රට තුළටත් වශයෙන් බඩු-භාණ්‌ඩ එහා මෙහා ප්‍රවාහනය කර තිබේ. එකල තිබූ පහසුම ප්‍රවාහන මාධ්‍යය ඔරු, පාරු සේවයයි. ඉංග්‍රීසි යුගය දක්‌වා මෙසේ කැලණි ගංගාවේ ඔරු පාරු සේවය ක්‍රයාත්මකව තිබී ඇති අතර අදටත් කැලණි ගඟ ඉහත්තාවේ සිට (කිතුල්ගල, අවිස්‌සාවේල්ල) ලී, කොටන්, උණගස් යනාදිය එකට බැඳ කොළඹ තොටළඟ දක්‌වා ප්‍රවාහනය කරනු ලැබේ. කොළඹ 14 ප්‍රදේශයේ තොටළඟ මෙවන් කාර්යයන්ගේ නැවතුම්පොළ හා කැලණි ගංගාවෙන් එගොඩ මෙගොඩ වූ ස්‌ථානයයි.
කැලණි ගං මෝදර සිට කැළණි විහාරයට ඇත්තේ කිලෝමීටර් 6-7 ක පමණ දුරකි. පූජනීය මෙම විහාරය බුදුරදුන් තෙවනවර ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පිං බිමයි. බුද්ධත්වයෙන් අටවන වසරේ උදාවූ වෙසක් පොහෝ දිනයේදී මනි අක්ත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩි බුදුරදුන් එහිදී කැලණියේ විසූ නාග ගෝත්‍රික ජනයාට දහම් දෙසා පසුව එහි පැමිණි සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමන්ත කූටය මෂ්තකයෙහි වාම ශ්‍රී පාද ලංCඳනය පිහිට වූ බව බෞද්ධ ඉතිහාසයෙහි සඳහන් වේ. අනතුරුව පන්සියයක් රහතන්වහන්සේලා පිරිවරා ශ්‍රී පාද හිමේ වූ දිවා ගුහාවෙහි දිවා විහරණය කළ බැව්ද සඳහන්ය. මෙම පූජනීය ස්‌ථානද්වයම කැලණි ගංගාව පටන් ගන්නා ලෝක උරුම සමනළ අඩවියේ පිහිටා තිබීම විශේෂත්වයකි.
කැලණිය එකල නාග හා දේවගෝත්‍රිකයන් විසූ ජනාවාසයක්‌ව තිබී ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි. අමතරව මීට වසර පන්දහසකට පෙර මෙරට ජීවත්වූවා යෑයි කියන යක්‍ෂ ගෝත්‍රික ජනයාගේ නායකයාවූ සිරිලක කිරීටය දැරූ රාවණා රජුගේ සමයේදී ඇතිවූ රාවණා- රාම (දකුණු ඉන්දීය රජෙකි) යුද්ධයේදී රාවණයන් ඇතුළු යක්‍ෂයන්ගේ මරණයට උදව් දෙමින් රාමට එක්‌වූ බව කියන රාවණයන්ගේ සහෝදර විභීෂණ පසුව ශ්‍රී ලංකාවේ රජකම රැගෙන කැලණිපුරයට පැමිණි බව පවතින විශ්වාසයයි. සාධාරණත්වයේ සංකේතය ලෙස දේවත්වයෙන් පුදනු ලැබූ විභීෂණයන්ගේ මහ දෙවොල අදත් කැලණි විහාරයේ පිහිටා තිබේ. සාධාරණත්වය අපේක්‍ෂාවෙන් අදත් බැතිමත්හු කැලණියේ වීභීෂණ දෙවියන් පුදනු ලබති.
ඉන් පසු කැලණිය ගැන වැදගත් සඳහනක් ලෙස ඇත්තේ ක්‍රි. පූ. 2 වැනි සියවසේ දී කැලණි තිස්‌ස රාජ සමයේදීය. ප්‍රාදේශීය පාලකයකු වන ඔහුගේ සමයේදී මුහුද ගොඩගැලීමේ ව්‍යවසනයකට රට මුහුණදී ඇත. ඊට පිළියම් ලෙස රට බේරා ගැනීමේ අවශ්‍යතාව සඳහා ඔහුගේ දියණිය (පසුව විහාර මහාදේවිය) කැමති කරවා කැළණි ගං මෝදරින් නැව් නංවා මුහුදේ පාකර හැර තිබේ. දකුණේ මාගමදී හෝ නැගෙනහිර මුහුදු මහා විහාරය අසලදී යළිත් ගොඩඹට ඈ දකුණේ රජ කළ කාවන්තිස්‌ස රජු හා සරණ බන්ධනයෙන් පසු උපන් කුමරා ගාමිණී දුටු ගැමුණු වී පසුව දකුණු ඉන්දීය ආක්‍රමණියන්ගෙන් රට බේරා ගෙන රට එක්‌සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපතියා බවට පත්විය.
සංදේශ කාව්‍ය ඉතිහාසයේ ඉහළින්ම සඳහන් වන සැලළිහිණි සංදේශය හා කැලණි විහාරය අතර ඇත්තේද නොබිඳෙන සබඳතාවකි. එනම් සැලළිහිණි සංදේශය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් මෙමකාව්‍ය සංග්‍රහයට වස්‌තුබීජ කරගෙන ඇත්තේ කැලණි වෙහෙරේ විභීෂණ දෙවොලය. 15 වැනි සියවසේදී මෙරට රජකම් කළ 6 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ දියණියට පුත්කුමරුවකු පතා විභීෂණ දෙවිඳුන්ගෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රකාරව කතුවර හිමියන් විසින් සැලළිහිණි සංදේශය රචනා කර තිබේ.
මෙවන් වටිනාකම් රැසකින් හෙබි කැලණි පුරවරය ආගමික සංස්‌කෘතිකමය, සමාජයීය හා ආර්ථිකමය වශයෙන් අග්‍රගන්‍ය වූ උතුම් භූමියකි. කැලණි ගං මෝදර සිට අද අප ඔබට පවසන්නේ එකී කතා පුවතය.
"පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිනිය විමන් වට
නොව පැරැණිය වන රමණිය විටින් විට
සැලළිහිණිය වදු කැලණිය පුර වරට
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් චිරත සැලළිහිණි සංදේශ කාව්‍ය සංග්‍රහයෙනි.
කැලණි ගඟ
ගංගාවේ දිග - කිලෝමීටර් 145 (සැ.87) ලංකාවේ දිගම සිව්වැනි ගංගාව.
ආරම්භ වන ස්‌ථානය - සමනළ අඩවිය. ලෝක උරුම වනාන්තරය (සමනළ කන්ද)
සමනළ කන්දේ උස - මීටර් 2224
(ශ්‍රී ලංකාවේ සිව්වැනි උසම කඳු මුදුනයි.)
කැලණි ගංගාවේ ආරම්භක දිය දහරා - කෙහෙල්ගමු ඔය සහ මස්‌කෙළිය ඔය.
ගංගාවේ ගලා යන ජල ප්‍රමාණයේ පරාසය - වර්ග අඩි 706 සිට වර්ග අඩි 52972.
ගංගාවේ ඉහළ ප්‍රදේශයේදී හමුවන ජලාශ - මාඋස්‌සාකැලේ සහ කාසල්රී. (කුඩා ජලාශ 02කි. ඒ ලක්‍ෂපාන සහ කැනියොන් ය)
ජලවිදුලි බලාගාර - ලක්‍ෂපාන 50 පඅ, නවලක්‍ෂපාන 100 පඅ, විමලසුරේන්ද්‍ර (නෝර්ටන්)50 පඅ, පොල්පිටිය (සමනළ) 75 පඅ, කැනියොන් 30 පඅ.
අපේ ගමන් මග
රට වටා යන මේ ගමන අප ආරම්භ කරන්නේ කැලණි ගං මෝදරෙනි. ඒ, කොළඹ නගරය පිළිබිඹු කරන ප්‍රධාන මං සලකුණ කැලණි ගං මෝදර නිසාය. ඉංග්‍රීSසිs, ලන්දේසි, පෘතුගීසි ආක්‍රමණයන්ගෙන් එහා ගිය අතීතයක් මෙහි පවතී. කැලණි නදී තෙර කොළොං තොට දේව, නාග වැනි ගෝත්‍රික ජනයා විසූ ජනාවාසයකි. රට බේරා ගන්නට කැලණිතිස්‌ස රජුගේ දියණිය (පසුව දුටුගැමුණු රජුගේ මව) විහාරමහා දේවිය දියඹට පාකර යෑවූ තොටුපළයි. ඒ නැතත් කොළඹ දැන් අපේ අග නගරයයි.
කැලණි ගං තොටෙන් ඇරැඹෙන අපගේ රට වටා ගවේෂණ චාරිකාව දකුණු දිග - නැගෙනහිර වෙරළබඩ තීරය ඔස්‌සේ ගොස් උතුරට පැමිණ වයඹ දිග මුහුදු තීරයේ ඇවිද යළිත් කැලණි ගං මෝදරින් අවසන් කෙරේ. හුදෙක් සාම්ප්‍රදායික චාරිකාවක් නොවන මේ ගමනේදී අප තොරතුරු තාක්‍ෂණය (Information Technology) සහ චන්ද්‍රිකා පණිවිඩ මග පෙන්වීමේ තාක්‍ෂණය (GPS Navigator Technology) වැනි නූතන සංනිවේදන උපක්‍රමද භාවිතයට ගනු ලබන්නේ තාක්‍ෂණය හා ගවේෂණය අතර සහ සම්බන්ධයක් ගොඩනඟනු පිණිසය.
රස විඳින්න
රට වටා යන ගවේෂණ චාරිකාව රට වට බැඳි රන් වැට අද කැලණි ගං මෝදර සිට.....
දන්නවද?
කැලණි ගං මෝදරේ තතු සොයන්නට අප පැමිණියේ අපූරු දවසක. මොකද, ගඟේ ජල මට්‌ටම මනින තොටළඟ - නාගලගන්වීදියේ ජල මාපකයේ අඩි 3.9 ක් සටහන්වෙලා තිබුණ. ඒ කියන්නේ ගඟේ උපරිම ජලමට්‌ටමට ළඟා වෙලා. අඩි 4-5 ත් අතරදී තමයි ගඟ පිටාර ගලන්නෙ.
ශ්‍රී පාදස්‌ථානය බුදුන් වැඩි පිං බිමයි. සමනළ අඩවිය බුදුන්ගේ පාද ස්‌පර්ශය ලද මෙරට සොළොස්‌මස්‌ථානයන්ගෙන් ස්‌ථාන දෙකක්‌ම හිමි වනඅරණයි. අද මෙය ලෝක උරුම වන භූමියකි. ස්‌වභාව රක්‍ෂිතයකි. අභය භූමියකි. සමනළ අඩවියේ සමනළ කන්ද, බෑණ සමනළ, ගොංමොල්ලිය, කුණුදිය පර්වතය දෙතනගල වැනි කඳු වැටි ගණනාවකි. මෙයින් මෙම වැටියේ උසම කඳුවැටිය සමනළයි. පිදුරුතලාගල, කිරිගල්පොත්ත, තොටුපළ ළඟට ශ්‍රී ලංකාවේ සිව්වැනි උසම කඳු ශිඛරයද වන සමනළ නොහොත් ශ්‍රීපාදස්‌ථානය මීටර් 2224 ක උසකින් සමන්විතය. බෞද්ධයන් ඇතුළු සර්වාගමිකයන්ගේ මුදුන් මල්කඩක් සේ පිදුම් ලබන සමනළ කන්ද සුමන සමන් දිව්‍යරාජයාගේ වාස භවනයි.
සමනළ අඩවිය හා ශ්‍රී පාදස්‌ථානය පාරිසරික වශයෙන් අද්විතීය වනාන්තරයක් සේ සලකනු ලබයි. ශ්‍රී ලංකාවේ අවසන් වැසි වනාන්තර හා තෙත් කඳුකර වනාන්තර අයත් වන මෙම කඳුකර පෙදෙස මධ්‍යම කඳුකරයට අයත් වැදගත්ම ජල පෝ`ෂක ප්‍රදේශයද වේ. අප රටේ ප්‍රමුඛතම ගංගා ලෙස සැලකෙන කැලණි, කළු, වලවේ යන ගංගා ත්‍රිත්වයේ උපත සෘජුවම සිදුවන්නේ සමනළ කන්දෙනි. (මහවැලි ගංගාවේ ප්‍රධාන ජල පෝෂක හා මුල් දියදහරා ආරම්භ වන්නේ හෝර්ටන්තැන්න ප්‍රදේශයෙනි.
"මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා"
(පී. බී. අල්විස් පෙරේරා සූරීන්ගේ "මගේ රට" කවි පන්තිය ඇසුරෙනි.) ඒ, කවියා දුටු සමනළ කන්දේ අගය නොහොත් වටිනාකමයි.
සමනළ කන්දෙන් ඇරැඹෙන ගංගා අතරින් කැලණි ගංගාව ශ්‍රී ලංකාවේ සිව්වැනි දිගින් වැඩිම ගංගාව වේ. එහි දිග කිලෝ මීටර් 145 කි (හැතැප්ම 87) කි. සමනළ අඩවිය අයත් සබරගමුව හා මධ්‍යම පළාත් දෙකෙන් කැලණි ගංගාවේ ආරම්භය සිදු වන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයෙනි. කෙහෙල්ගමු ඔය හා මස්‌කෙළිඔය කැලණි ගංගාවේ ආරම්භක දිය දහරා දෙකයි. කෙහෙල්ගමු ඔයෙන් නිර්මාණය වන කාසල්රී ජලාශයත්, මස්‌කෙළියෙන් නිර්මාණය වන මාඋස්‌සාකැලේ ජලාශයත් පෝෂණය කිරීමෙන් පසුව මෙම ඔය කැලණි ගඟ ලෙස එකතු වේ. කිතුල්ගලින් පසුව සබරගමු පළාතේa කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට කැලණි ගඟ ඇතුළු වේ. ඉන්පසු එහි යටියන්තොට, රුවන්වැල්ල පසුකර කොළඹ දිස්‌ත්‍රික්‌කයත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයත් වෙන් කරමින් පූගොඩ (කපුගොඩ) හංවැල්ල, කඩුවෙල, අඹතලේ ආසන්නයෙන් ගලාවිත් ශ්‍රී පාදස්‌ථානයට ප්‍රථම තවත් බුදුන් වැඩි පිං බිමක් වූ කැලණි වෙහෙර නමදිමින් ගම්පහ, කොළඹ දිස්‌ත්‍රික් වෙන් කරමින් කොළඹ 15 ප්‍රදේශයේ මෝදර හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ හැඳල ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේදී ඉන්දියන් සයුර සිප ගනී.සමනළ අඩවියේ සිට කොළඹ නගරය බලා එන ගමනේදී කැලණි ගංගාව සුවිසල් ජල කඳක් රැගෙන එයි. කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල සම්පූර්ණ පානීය හා අනෙකුත් ජල අවශ්‍යතාවෙන් 80% ක් සැපයෙන්නේ මෙසේ කැලණි ගංගාව රැගෙන එන ජලයෙනි.
මීට අමතරව ප්‍රවාහන, ධීවර, කසළ බැහැර කිරීම, වැලි කැණීම සහ ජල විදුලි බලය නිෂ්aපාදනය යන කරුණු රැසක් සඳහා කැලණි ගංගාව යොදා ගැනේ. මේ මගින් වාර්ෂිකව වැලි වර්ග මීටර් 600,000 සිට වර්ග මීටර් 800,000 (වර්ග අඩි 6,458,346 සිට වර්ග අඩි 8,611,128) ක් ඉවත් කරන බව වාර්තාවල සඳහන් වේ.
කැලණි ගංගාව මගින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන්නේ ගංගාව පටන් ගැනීමට මත්තෙනි. ඒ කෙහෙල්ගමු ඔය හා මස්‌කෙළිය භාවිතයට ගනිමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරය වන 1950 වසරේදී ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතා විසින් නිර්මාණය කරන ලද ලක්‍ෂපාන බලාගාරය පිහිටියේද කැලණි ජල දහරාවේය. විමලසුරේන්ද්‍ර නොහොත් නෝර්ටන් බ්‍රිජ, නව ලක්‍ෂපාන, පොල්පිටිය හෙවත් සමනළ, කැනියොන් යන විදුලි බලාගාර සංකීර්ණය මෙසේ කැලණි ජල දහරාවෙන් විදුලිය නිපදවා කිලෝමීටර් 145 ක් මඟ ගෙවා කොළඹ නගරය අසලින් මහ මුහුද සිප ගන්නේ කැලණිතිස්‌ස තාප බල විදුලි බලාගාර සංකීර්ණයද පසුකරමිනි. කැලණි ගංගාව ගලා එන නිම්න පෙදෙස නොහොත් කැලණි මිටියාවත අතීතයේ සිට ජනාවාසව පැවැති සශ්‍රීක භූමි ප්‍රදේශයකි. 1505 දී පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටදී කන්ද උඩරට රාජධානියට පෙර මෙරට පැවති රාජධානිය වූ කෝට්‌ටේට පසු 1521 දී හා 1581 දී සීතාවකපුරයේ රාජධානි ඇතිවිය. ඒ මෙම කැලණි මිටියාවත තුළය. බහුල වශයෙන් නිවර්තන තෙත් වැසි වනාන්තර පැතිර තිබූ මෙම මිටියාවත, ගොවිතැනෙන් සශ්‍රීක වූ පෙදෙසක් විය. එහෙත් 1815 න් පසු ඉංග්‍රීසීන්ට ශ්‍රී ලංකා රාජ්‍යය යටත් වූ පසු බහුල ලෙස මෙහි රබර් හා තේ වගාවට නතු විය. ඊට පහසු වන පරිදි කැලණි මිටියාවත ඔස්‌සේ දුම්රිය හා මහා මාර්ගද ඉදිවිය.
සටහන - ජගත් කණහැරආරච්චි ඉන්ද්‍රජිත් සුබසිංහ
ඡායාරෑප - වාසල සේනාරත්න
1 comments:
උපුටා ගැනීම :
http://www.divaina.com/2010/10/10/nimna04.html
Post a Comment