Pages

Monday, August 15, 2011

41 : දූපත් වනෝද්‍යානය පරෙවි දූපත (නිලාවැලි)

ෆෙඩ්‍රික් කොටුව

ෆෙඩ්‍රික් බලකොටුව මුලින්ම තැනුවේ පෘතුගීසීන් විසින්. ඒ 1623 වසරේදී. ඒ වන විටත් ත්‍රිකුණාමලය නොහොත් ගෝකණ්‌ණ වරාය චීන, අරාබි, ගී්‍රක, ඊජිප්තු වැනි වෙළෙඳුන්ගේ පාරාදීසයක්‌ බවට පත්වෙලා තිබුණා. කොහොම නමුත් ත්‍රිකුණාමලයේ බලය අල්ලාගත් පෘතුගීසීන් එහි බලකොටුවක්‌ තැනුවා. ඉන්පසු එය ලන්දේසීන් අතට පත් වුණා. ඒ 1639 දී. ලන්දේසීන් විසින් මෙම බලකොටුව ශක්‌තිමත්ව හා පුළුල්ව ගොඩනැඟුවා. ඒ තුළ නගරයක්‌ ද නිර්මාණය කළා. ලන්දේසි වරාය නොහොත් ලන්දේසි බොක්‌ක පිහිටියේ මේ බලකොටුව පාමුල. කෙසේ හෝ ඉන් පසුව බලකොටුව ඉංගී්‍රසීන්ගේ ග්‍රහණයට නතු වුණා. ඒ 1782 දී. වරින්වර මෙයට ප්‍රංශ හමුදාව ද ප්‍රහාර එල්ල කළා. කෙසේ හෝ 1795 දී පූර්ණ වශයෙන් බලකොටුව ඉංගී්‍රසීන්ට අයත් වුණා. එතැන් පටන් දියුණු වූ මේ තුළ නාගරික අවශ්‍යතා ගොඩනැඟුණා.

බල්ලන් වෙනුවෙන් සුසානයක්‌

ෆෙඩ්‍රික් කොටුව තුළ බල්ලන් වෙනුවෙන් තැනුණු සොහොන් කොත් කිහිපයක්‌ අදටත් දැකගත හැකියි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම සොහොන් ඉදිවී ඇත්තේ ත්‍රිකුණාමලයේ දිවි ගෙවූ බ්‍රිතාන්‍ය හමුදා සේනාංක සඳහා සේවය කළ සුනඛයින් වෙනුවෙන්. අද කැලෑ වැදී ඇතත්, එකල මේවාට නිසි සැලකිල්ල හා ගෞරව පවා දක්‌වන්න ඇති. හමුදා කඳවුරු, ඉහළ නිලධාරීන්ගේ නිල නිවාස යනාදිය එකල පිහිටා තිබී ඇත්තේ ෆෙඩි්‍රක්‌ කොටුව තුළ. ඒත් අද මෙය බොහෝ සෙයින් පාළු ස්‌වභාවයක්‌ උසුලනවා. ගෝකණ්‌ණ විහාරය, කෝනේෂ්වරම් දෙවොල හා කඳවුරු කිහිපයක්‌ම මේ තුළ තිබෙනවා.

ත්‍රිකුණාමලය යුද සුසාන භූමිය

දෙවැනි ලෝක යුද සමයේ දී ත්‍රිකුණාමල වරාය ඉන්දියන් සාගරයේ වැදගත්ම යුද කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස භාවිතයට ගත්තා. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන්හි නාවික නැවතුම්පළක්‌ ලෙස භාවිතයට ගත් අවස්‌ථාවේදී ජපනුන් ඇතුළු සතුරු හමුදා ප්‍රහාරවලට මුහුණදීමට මෙම හමුදාවන්ට සිදු වුණා. එහිදී සැලකිය යුතු සෙබළුන් පිරිසක්‌ ලංකාවේදී මරණයට පත්වුණා. ඔවුන්ගේ සිරුරු මිහිදන් කළ යුද සුසාන නොහොත් යුද ස්‌මාරක ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 3 ක්‌ උතුරු දෙසින් නිලාවැලි මාර්ගය අද්දර පිහිටුවා තිබෙනවා. 1948 දී පිහිටුවන ලද මෙහි සොහොන් කොත් 362 ක්‌ දැකගත හැකියි. ශ්‍රී ලංකාවේ සෙබළුන් කිහිප දෙනකුගේ සුසාන ද ඒ අතර වෙනවා. වර්තමානයේ පොදු රාජ්‍ය මණ්‌ඩලය මගින් පාලනය කරනු ලබන මේ සඳහා නඩත්තුව, ආරක්‌ෂාව ඇතුළු සියලු කටයුතු සඳහා ද එම සංවිධානය මගින් ප්‍රතිපාදන ලබාදෙනවා.

සල්ලි කෝවිල

සල්ලි කෝවිල අපට හමුවන්නෙ ත්‍රිකුණාමල නගරය පසුකර තරමක්‌ උතුරු දිසාවට, එනම් නිලාවැලි ප්‍රදේශය දෙසට යන විට.

මේ මාර්ගයේ කිලෝමීටර් 2 ක්‌ පමණ යන විට මාර්ගයේ වම්පස විශාල, අභිනවයෙන් ඉදිවන කෝවිලක්‌ දැකගත හැකියි. එහෙත්, එය පසුකර තරමක්‌ ඉදිරියට ගොස්‌ සාම්පල් තිව් කියන ගම් ප්‍රදේශයට යන මාර්ගයේ පැමිණ තමයි මේ සල්ලි කෝවිලට නොහොත් සල්ලි අම්මන් කෝවිලට ළඟා විය හැක්‌කේ. මුහුද අද්දරම සුන්දර ස්‌ථානයක පිහිටි මෙය පෙර දා කෝනේෂ්වරම් සිට පරෙවි දූපත දක්‌වා යන ගමනේදීත් අපට සාගරයේදී දැකගත හැකි වුණා. සල්ලි අම්මන් කෝවිල ත්‍රිකුණාමලයටම විශේෂිත වූ ස්‌ථානයක්‌. හින්දු බැතිමතුන්ගේ අති උතුම් පූජනීය බිමක්‌ වන මෙය කාලිඅම්මා, භද්‍රකාලි වෙනුවෙන් පුද පූජා පවත්වන තැනක්‌. කාලි අම්මා වෙනුවෙන් කෝවිල් රටේ වෙනත් තැන්වලත් ඉදිවී තිබුණත්, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ ආකාරයෙන් අදහන නිසා සල්ලි (අම්මන්) කෝවිල ත්‍රිකුණාමලයට විශේෂිත ස්‌ථානයක්‌ බවයි මෙහිදී අපට කරුණු දැක්‌වූ හින්දු බැතිමතෙක්‌ සඳහන් කළේ.

නිලාවැලි

සාම්පල්තිව් මුහුදු තීරයෙන් නික්‌මුණු අපි නැවතත් ත්‍රිකුණාමල පුල්මුඩේ මාර්ගයට එකතු වුණා. එතැන් සිට තවත් කිලෝමීටර් 5-6 ක්‌ ගිය විට තමයි සුප්‍රකට නිලාවැලි මුහුදු තීරය මුණගැසෙන්නේ. සංචාරක කලාපයක්‌ සේ ප්‍රකට නිලාවැලියට අතීතයේ පටන් දෙස්‌-විදෙස්‌ සංචාරකයන් ඇලුම් කළා. එහෙත්, රටේ පැවැති යුද බිය නිලාවැලිය සංචාරකයන්ගෙන් තොර කලාපයක්‌ බවට පත් කළා. යුද්ධය නිමවීමෙන් පස්‌සෙ ආයිමත් නිලාවැලි සුරකොමළිය නිදි ගැට හැරදා පිබිදෙනවා. දැන් ආයිමත් නිලාවැලිය පාසිකුඩා, අරුගම්බේ වෙරළ වගේම සංචාරකයන් අතර ජනප්‍රියයි. ත්‍රිකුණාමලයට යන උදවිය නිලාවැලි යන්නත් අමතක කරන්නේ නෑ. ඒ හින්ද අපිත් ඔන්න නිලාවැලියට ගොඩවැදුණා. අපට මතක්‌ වෙනවා පෙර දිනෙක නාවික යාත්‍රාවකින් පැමිණ නිලාවැලියට ආ ඒ සුන්දර මුහුදු චාරිකාව. මේ වෙරළේ ඉඳගෙන හාත්පස සුන්දරත්වය විඳිද්දී නැගෙනහිර මුහුදේ ප්‍රකට "පරෙවි දූපත" දිස්‌වෙනවා.

පරෙවි දූපත

පරෙවි දූපත තමයි ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ ප්‍රකාශයට පත් කර ඇති එකම දූපත් ජාතික උද්‍යානය. කුච්චවැලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මෙය දූපත් දෙකක්‌ වශයෙන් පිහිටා තිබෙනවා. ප්‍රමාණයෙන් වඩා විශාල දූපත තමයි "පරෙවි දූපත" කියල කියන්නෙ. අනෙක්‌ දූපත කාක දූපත කියලයි හඳුන්වන්නෙ. ඒත්, නිල වශයෙන් මේ දූපත් දෙක හා නොගැඹුරු, කොරල් සහිත හෙක්‌ටයාර් 471 ක්‌ විශාල ප්‍රදේශයක්‌ තමයි මෙසේ පරෙවි දූපත ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කර තියෙන්නේ.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරෙවි දූපත් ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2003 දී. එහෙත් නිල වශයෙන් සංචාරකයන්ට විවෘත කරනු ලැබුවේ 2011 මැයි 28 වැනිදා. මේ සඳහා ඇතුළුවීමේ ගාස්‌තුවක්‌ අය කරන අතර, නිලාවැලි වෙරළේ සිට බෝට්‌ටු සේවාවක්‌ ක්‍රියාත්මක වෙනවා.

පරෙවි දූපත් ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත, හොඳ වනගහනයක්‌ සහිත දූපත් ලෙසයි සැලකෙන්නේ. මෙහි ගල් පරෙවියන් බහුලව දකින්නට ඉන්න නිසයි පරෙවි දූපත කියල කියන්නෙ. උන්ගේ කැදලි රැසක්‌ මෙහි ගල්පර අතර තිබෙනවා. ඒ වගේම කටුස්‌සන් වැනි උරග විශේෂ, මුහුදු ලිහිණියන්, බමුණු පියාඋකුස්‌සන් කපුටන්, පරෙවියන් වැනි කුරුලු විශේෂ හා ගල්පර ආශ්‍රිත මසුන් රැසක්‌ ද ඉතා හොඳ කොරල් විවිධත්වයක්‌ ද වාර්තා වෙනවා. පොතු කැස්‌බෑවන් ද මෙහිදී වාර්තා වී තිබෙනවා. පරෙවි දූපතේ එක්‌ වෙරළ කලාපයක්‌ තනිකරම කැඩී ගිය කොරල්වලින් සමන්විතයි. එය දූපතට අලංකාරයක්‌ එකතු කරනවා. පරෙවි දූපත සංචාරක රජදහනක්‌ ලෙස හැඳින්වීමත් නිවැරැදියි. කිමිදුම්කරුවන් ඉතාමත් ආස කරන දූපත් ප්‍රදේශයක්‌ ලෙසත් පරෙවි දූපත සැලකෙනවා.

මේ අලංකාර දූපතට සංචාරකයන් වගේම රට වට ගවේශනයේ යෙදෙන අපේ කණ්‌ඩායමත්

බොහෝ සේ ඇලුම් කළා.

ඒ නිසාමයි අද අපේ කඳවුරු බිම හැටියට පරෙවි දූපත තෝරාගත්තේ.


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/07/10/nimna06.html

0 comments:

Post a Comment