Pages

Monday, August 15, 2011

35 : හිරු නැගෙන පුරයේ කන්‍යාවිය සල්ලතිව්(වාකරේ)

මඩකලපුවෙ කොත්තුරොටිය

කොත්තුරොටිය ගැන අද නොදන්න කෙනෙක්‌ නෑනේ. බත් නැත්නම් පාන් කාපු ජනතාවට දැන් ෆ්‍රයිඩ් රයිස්‌ නැතිනම් කොත්තු රොටියත් නැතිවම බැරි ආහාරයක්‌ බවට පත්වෙලා. සෑම නගරයකම, කඩපිලකම පාහේ හවස ඉඳන් රෑ රාත්‍රිය වෙනකං ඇහෙන්නෙම කොත්තු රොටි නාදය. "කොත්තු රොටී සංගීතයත්" දාගෙන තහඩු කෑලි දෙකක්‌ භාවිත කරමින් "කොටන" කොත්තුරොටිය විටෙක මහා කන්කරච්චලයක්‌. මේ කරච්චලය හින්ද උසාවි. පොලිසි, ගිය ඈයොත් ඉන්නවා. කොහොම වුණත් මේ කොත්තුරොටියේ උපත හැටියට සැලකෙන්නේ මේ දවස්‌වල අපි ගත කරන මඩකලපුව. කොත්තු රොටිය බිහි වුණේ කොහොමද කියල හරියට තොරතුරු අපට හම්බ වුණේ නෑ. නමුත් මඩකලපු ගිය ගමනේදී "ඔරිජිනල්" කොත්තුරොටියක රහ බලන්නත් අපි අමතක කළේ නැති බව කියන්න ඕන.

සයිවර් කඩයක්‌ හොයාගෙන රාත්‍රිය පුරා මඩකලපුව නගරයේ ඇවිද ගියත් අන්තිමේදී අපට පිහිට වුණේ කොත්තුරොටිය.


වැන්ඩලුස්‌ බොක්‌ක/ ඇත්තුඩුව

පාසිකුඩා බොක්‌කට උතුරින් තමයි මේ වැන්ඩලුස්‌ බොක්‌ක පිහිටා ඇත්තේ. ඊට පහළින් ඇති හොඬයක්‌ මෙන් විහිද ගිය ඇත්තුඩුව (එලිෆන්ට්‌ පොයින්ට්‌) අපට හමුවෙනවා. වැන්ඩලුස්‌ බොක්‌ක ඔස්‌සේ නිර්මාණය වන තවත් කලපුවක්‌ තිබෙනවා. ඒ තමයි වාලච්ෙච්න කලපුව. එය තරමක්‌ රට තුළට කාවැදුණු ජලාශයක්‌. ඔට්‌ටමාවඩි ප්‍රකට පාලමත් මෙම ජලාශය ඔස්‌සේ තමයි නිර්මාණය කර ඇත්තේ ඒ වගේම ඇත්තුඩුව මේ රටේ තවත් ප්‍රකටම භූ පිහිටීමක්‌ සහිත ස්‌ථානයක්‌. කලපු, බොකු, තුඩු යනාදී විවිධ භූරූප රැසක්‌ සහිත අපේ මේ සුන්දර දිවයිනේ ඇත්තුඩුවටද විශේෂ සැලකිල්ලක්‌ හිමිවෙනවා.


සින්න කායන්කර්නි

ඇත්තුඩුව පහු කරල වාලච්ෙච්න ප්‍රදේශයෙන් තවත් උතුරු දෙසට යන විට අපට වාකරේ මාර්ගය මුණගැහෙනවා. මේ මාර්ගය දිගේ ත්‍රිකුණාමලය දක්‌වා ගමන් කරන්න පුළුවන්. කාලයක්‌ මේ මාර්ගය කජුවත්ත දක්‌වා පමණයි රජයේ පාලනයට නතුව තිබුණේ. වන්නි මෙහෙයුමට පෙර නැගෙනහිර මුදාගැනීමේ සංග්‍රාමයේදී පළමුව වාකරේ බලයත් අල්ලාගන්න ආරක්‍ෂක හමුදා කටයුතු කළ හැටි අපට මතකයි. කොහොමහරි මේ මාර්ගයේ මඳ දුරක්‌ ඉදිරියට යනකොට අපට හමුවන්නේ සුවිසල් තෙත් බිම් ප්‍රදේශයක්‌, ලවණ වගුරු, ඇළ මාර්ග සහ මිරිදිය තෙත්බිම් ප්‍රදේශයන් මෙහිදී දැකගත හැකියි. මේ ප්‍රදේශයේ ඉතා සරුවට වැඩුණු කඩොලාන පරිසරය අපට මෙම ප්‍රදේශය අගනා පරිසර පද්ධතියක්‌ බව කියනවා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ සින්න කායන්කර්නි යන නමින්. අද මෙහි ඇළ මාර්ගයට ඉහළින් දැවැන්ත පාලමක්‌ ඉදිවෙනවා. ඒ සින්නකායන්කර්නි පාලමයි.

සින්න කායන්කර්නි ප්‍රදේශයෙන් පසු මීළඟට අපට හමුවන්නේ මාන්කර්නි, කිරිමිච්චායි හන්දියෙන් පසු හමුවන මේ ප්‍රදේශ එදා සම්පූර්ණයෙන්ම පාහේ ත්‍රස්‌තවාදීන්ගේ බලප්‍රදේශයක්‌ හැටියට තමයි තිබුණේ. සුනාමි ෙ€දවාචකය සිදුවූ 2004 වසරේ අවසන් දින කිහිපය තුළ අපිටත් මේ මාන්කර්නි ප්‍රදේශයට එන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒත් එදා මෙහි සිටි ත්‍රස්‌තවාදීන්ගෙන් අවසර ලබාගෙන තමයි එ.

මාන්කර්නියෙන් පස්‌සෙ ඔන්න අපට හමුවන්නේ පනිච්චන්කර්නි කලපුව නොහොත්, පනිච්චන්කර්නි වේලිමග. කලපුව හරහා පටු වේලිමගට සම්බන්ධව කුඩා පාලම් දෙකකුත් පිහිටා තිබෙනවා. එදා සුනාමි ෙ€දවාචකය සිදුවූ අවස්‌ථාවේදී මේ පාලම් විනාශ වුණා. ඉන්පසු එහි ඉදිවුණේ තාවකාලික යකඩ පාලම්. එහෙත් නැගෙනහිර මුදාගැනීමේ රජයේ භට පිරිස්‌ වාකරේ බලා ගමන් ගනිද්දී ත්‍රස්‌තවාදීන් විසින් මෙම පාලම පුපුරුවා හරිනු ලැබුවා.

හමුදාව නැවත පාලම ගොඩනැඟුවා. දැන් අපි ඉන්නෙ ඒ පාලම මත. අතිශය සුන්දර වටාපිටාවක්‌ සහිත පනිච්චන්කර්නිය දවසක්‌ දෙකක්‌ ගතකරන්න තරම් ආස හිතෙන, දාල යන්න හිතෙන්නෙ නැති තැනක්‌. මේ පුළුල් කලපුව හරිම නිසංසලයි. කාලයක්‌ තිස්‌සේ වෙඩිහඬට, අවි බලයට යටත්ව තිබුණ හින්ද මෙහි වැඩි ජනාකීර්ණ බවකුත් දකින්නට නැහැ. බැලූ අත පෙනෙන කලපු පරිසරයත් ඒ වටා පිහිටි දැඩි වනගහනයත් අපේ රටේ සෞන්දර්යය අගය මැනවින් ලොවට හඬගා කියන තැනක්‌. අතරින් පතර, කලපුව තුළ සාම්ප්‍රදායික ක්‍රමයට ඔරු, පාරුවල හිඳ මසුන් මරණ ධීවරයන් හැරුණු විට දකින්නට ඇත්තේ පනිච්චන්කර්නි මුරපළේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් විතරයි. එහෙත් දැන් කලපුව අසබඩම සංචාරක නිකේතනයකුත් ඉදිවෙමින් පවතිනවා.


මුහුදට ඉතා සමාන්තරව හා ආසන්නව පිහිටි පනිච්චන්කර්නිය පසුකර තවත් ටික දුරක්‌ ගියවිට තමයි අපට වාකරේ හමුවන්නෙ. අපේ ජීප්රථය ඊළඟ නිමේශයේදී නතර වූණේ වාකරේ රෝහල ඉදිරිපිට. ඒ ඉදිරියෙන් වාකරේ කලපුවත්, කලපුව හා සාගරය අතර පොල් අරඹක්‌ සහිත තවත් අලංකාර ගොඩබිම් ප්‍රදෙශයකුත් දැකගත හැකියි.

වාකරේ රෝහල නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුමේදී නිරන්තරයෙන්ම කතාබහට ලක්‌වුණු තැනක්‌ බවට පත්වුණා ඔබට මතක ඇති. මෙය රජයේ රෝහලක්‌ වුණත් ත්‍රස්‌තවාදීන් මෙය ඔවුන්ගේ කටයුතු සඳහා යොදාගත් බව රහසක්‌ නොවේ. විටෙක ඔවුන් මෙම රෝහලට රජයේ හමුදා ප්‍රහාර එල්ල කළ බවටත් ව්‍යාජ තොරතුරු ගෙන හැර පෑවා. කොහොම හරි අපගේ වීරෝදාර හමුදා වාකරේ රෝහල නිරුපද්‍රිතව බේරාගත් අයුරු එකල අපි ජනමාධ්‍ය මගින් දැකබලා ගත්තා. දැන් අපි ඉන්නේ මේ රෝහල ඉදිරියේමයි.

වාකරේ ප්‍රදේශයේ දැන් එතරම් ජන ඝනත්වයක්‌ දැකගත නොහැකි වුවත්, මෙය ඉතා හොඳ පරිපාලන නගරයක්‌. රෝහල, පොලිසිය, හමුදා බලසේනා මූලස්‌ථානය, බස්‌ ඩිපෝව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල, ගොවිජන සේවා කාර්යාලය ඇතුළු රජයේ ගොඩනැඟිලි රැසක්‌ මෙහි දක්‌නට ලැබෙනවා. පැරැණි මතකය අලුත් කරන්නට අප අකැමැති නමුත්, එකල නැගෙනහිර කොටි නවාතැන්පළවල් ලෙස තිබූ ස්‌වර්ණම් බේස්‌, ජීවන් බේස්‌ යන කොටි බලකොටුත් පිහිටා තිබී ඇත්තේ මේ වාකරේ කේන්ද්‍ර කර ගනිමින්. එමෙන්ම එදා කොටින්ගේ පොලිස්‌ ස්‌ථානය ලෙස භාවිතයට ගත් ස්‌ථානය අද ශ්‍රී ලංකා පොලිසියේ බැරැක්‌කයක්‌ ලෙසත් භාවිත කරන බවත් සඳහන් කළ යුතුයි. මේ සියලු දේ මෙන්ම, ජීවන්බේස්‌ නමින් තිබූ කොටි අඩවියත් බලා කියා ගෙන මීළඟට අපි ගියේ අති සුන්දර වෙරළ තීරයකට. ඒ තමයි සල්ලතිව්.


සල්ලතිව්

වාකරේ -සල්ලතිව් මුහුදු වෙරළ අතිශය රමණීය, සංචාරක නෙත පිනවන ආකර්ෂණීය මුහුදු කලාපයක්‌. එය පිහිටා ඇත්තේ වාකරේ සිට ආයිමත් දකුණු දිගට පැමිණ පෙර අප සඳහන් කළ පනිච්චන්කර්නි කලපුව ආසන්නයෙන් මුහුද දෙසට ගිය විට.

මේ රමණීය මුහුදු වෙරළ, සල්ලතිව් ගැන අපට ආරංචිය දුන්නෙ වාකරේ පොලිස්‌ ස්‌ථානාධිපති (හිටපු) සුමිත් පෙරේරා මහතා, ඒ විතරක්‌ නෙමේ සල්ලතිව් යන්න අපට ලොකු අනුග්‍රහයකුත් ලබා දුන්නා. නොදන්නා පළාතක්‌ වුණු මේ පැත්තට යන්න පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු යෙද වූ ඔහු ආහාර පානාදියෙන් අපට සංග්‍රහ කරන්නත් අමතක කළේ නැති බව මේ වෙලාවෙ අප කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

පනිච්චන්කර්නියෙන් හැරී මඳ වේලාවකින් අපේ ජීප්රථය වැලි පොළව මැදින් ඇවිත් නතර වුණේ ධීවර වාඩි කිහපයක්‌ ළඟ. මේ ස්‌ථානයේදී අපට මීගමුවේ ඉඳන් පැමිණි මෙහි ධීවර රැකියාව කරන සංචාරක ධීවර පවුලකුත් මුණගැහුණා. ඒ පවුලේ පුංචි දෝණියගේ පින්තූරයකින් තමයි අද අපේ පිටුව හැඩවෙන්නෙ.

සල්ලතිව් කියන්නෙ හැබෑවටම අතිශය සුන්දර වෙරළ තීරයක්‌. මේ ගැන අපිට ආරංචිය, දුන්නු වාකරේ පොලිස්‌ ස්‌ථානාධිපති (හිටපු) කිව්වෙ මෙය පාසිකුඩාවලටත් වඩා ලස්‌සනයි කියල. අපි ගිය දවස තරමක අඳුරු බර දවසක්‌ වුණත්, සල්ලතිව්වල ආකර්ෂණීය බවෙන් අපි මත් වුණා. එක්‌ පැත්තකින් මෙහි ගල්පරයක්‌ සහිත අලංකාර දූපතක්‌ පිහිටා තිබෙනවා. මේ ප්‍රදේශයේ මුහුද නොගැඹුරු හින්ද තරමක්‌ දුරට ඇවිද ගෙන වුවත් යා හැකියි. හරියට පාසිකුඩා වගේ.

කොහොම හරි අද අපට කඳවුරු බිම බවට පත්වන සල්ලතිව් වෙරළේ අසිරිය අප නොසෑහෙන සේ විඳ ගත්තා. අපේ උදව්වට ආපු වාකරේ පොලිසියේ ලාල් සාජන්වරයාත්, සමීර රත්නායක මහතාත් මේ ගමනේදී අපට විශාල සහයෝගයක්‌ ලබා දුන්නා. දූපත වටාත් සංචාරය කළා. ධීවරයන් සමඟත් මුහු වෙන්න අපට මේක කදිම අවස්‌ථාවක්‌ වුණා. එදා කොටි බලකොටුවක්‌ව පැවැති සල්ලතිව් අද නිදහසේ අරුණලු දහරින් පිබිදෙනවා. නැගෙනහිර අසිරිය සොයා ඇදෙන සංචාරකයන් හෙට සල්ලතිව් බලාත් ඇදේවි. එහෙත්, එසේ එන සංචාරක ඔබට අප විශේෂ සිහිපත් කිරීමකුත් කළ යුතුමයි. ඒ, අනෙකුත් වෙරළ තීරයන් මෙන් සල්ලතිව් රූමතිය නම් පොලිතින්, ප්ලාස්‌ටික්‌, කෑම කොළවලින් හිස්‌ වතුර බෝතල්වලින් වනසන්න එපා කියන එක. සල්ලතිව් ගැන අද අපි කියන්නෙ ඔබගේ දැන ගැනීමට වුවත්, මේ සුන්දර වෙරළේ පරිසරය විනාශ වුවහොත් එහි වගකීමෙන් කොටසක්‌ අපටත් බැරවන නිසා කරුණාකර මේ සුන්දර කන්‍යාවිය දූෂණය කිරීමෙන් වළකින්න. අද මේ වෙරළේ කඳවුරු බැඳගෙන කාරුණිකව අපි ඒ ඉල්ලීම ඔබගෙන් කරනවා.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/05/29/nimna03.html

0 comments:

Post a Comment