Pages

Monday, August 15, 2011

40 : නාවික යාත්‍රාවක ගිය කොට්‌ටියාර් බොක්‌කේ සංචාරය

මඩකලපුවේ අපි ගතකළ කාලයේදී කොළඹ කොටුවේ සිට මඩකලපු දුම්රිය ස්‌ථානය දක්‌වා දුම්රිය එන්ජිමක්‌ තුළ ගිය ගමන ගැනත් අපට ඉතා හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. ඉතින් · මේ දිනවල ත්‍රිකුණාමලය අවට චාරිකාවේ යෙදිල ඉන්න අපි, ගෝකණ්‌ණ තොට ගැන විතරක්‌ නෙමේ, ත්‍රිකුණාමලය බොක්‌ක (කොට්‌ටියාර් බොක්‌ක) තුළ පිහිටි තුඩු, බොකු, දූපත්, වරාය යනාදිය ගැනත් තොරතුරු කිව්වටම මදිනෙ. ඒවා දෑහින් දැකබලාගෙන, ඒ දූපතකට දෙකකට ගොඩවෙන්නට ඇත්නම් ඒකත් කෙතරම් අත්දැකීමක්‌ද කියල අපිට හිතුණ. අපි ගමනක්‌ ගිහිං අත්දැකීමක්‌ ලැබුව කියන්නෙ, ඔබටත් ඒ අත්දැකීමේ නැවුම් තොරතුරු කොටසක්‌ කියවන්න ලැබෙන කියන එක. ඒ හින්ද ඔන්න අපි ඔබව අද ත්‍රිකුණාමලය අවට සාගරයේ චාරිකාවකට කැඳවාගෙන යනවා. ත්‍රිකුණාමල වරායෙ නාවික කඳවුරේ ජැටියෙන් පිටත්වන අපි පළමුව සෝබෝර් දූපත්, රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය, එලිසබෙත් දූපත පසුකරල සාම්පූර් ජැටියට ළඟා වෙනවා. ඉන්පසු එතනින් ෆවුල් තුඩුවට යන්නෙ පෙර දවසක අපි කඳවුරු බැන්ද "ෆවුල් පොයින්ට්‌" මුහුදින් ගිහිං බලන්න ඕන හින්ද. ආයිමත් එතනින් මුහුදු චාරිකාවෙ දෙවැනි කොටස පටන් ගන්න අපි, කින්නියා පාලම, මාබල් බීච් ප්‍රදේශ පසුකරමින් කෝනේෂ්වරම් කඳුගැටය පාමුලට යනවා. ඉන්පසු යන්නෙ නිලාවැලි පරෙවි දූපතට. ඉතින්, අද එකතුවෙමු මහ මුහුදේ අසිරිය විඳින්න. මේ චාරිකාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වගේම නාවික හමුදාව අපට විශේෂ අවසරයක්‌ හා විශාල සහයෝගයක්‌ දුන් බවත් කිව යුතුමයි. චාරිකාව සඳහා භාවිත කළේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත "වෝටර් ජෙට්‌" වර්ගයේ අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක්‌.

නාවික ජැටියේ සිට සාම්පූර් දක්‌වා

නාවික සංචාරය සඳහා ත්‍රිකුණාමලයට ළඟාවුණු අපට, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතාගේ දැනුම්දීම පරිදි ත්‍රිකුණාමලයේදී සම්බන්ධ වුණේ නැගෙනහිර නාවික විධාන මෙහෙයුම් නිලධාරි කමාන්ඩර් පූජිත විතාන මහතා. ඔහුගේ දැනුම් දීම පරිදි හරියටම පෙරවරු හතහමාරට අපි නාවික හමුදා ගම්මිරිස්‌ (p.p) ජැටියට ළඟාවුණා. ඒ වන විටත් p-158 දරන "වෝටර් ජෙට්‌" වර්ගයේ යාත්‍රාව අප එන මඟ බලාපොරොත්තුව එහි රඳවා තිබුණා. නැගෙනහිර නාවික මාධ්‍ය අංශයේ රංගන සොයුරා අපව පිළිගෙන එහිදී අපව යාත්‍රාවට රැගෙන ගියා. ඔන්න දැන් අපේ ගමන ආරම්භ කරන්න සූදානම්.
පළමු ගමන අප යන්නෙ සාම්පූර් දක්‌වා. ඒ යන ගමනේදී සාම්පූර් නාවික ජැටියෙන් බැස ෆවුල් තුඩුව දක්‌වා ගමන් කරන්නත් කතිකා කරගත්තා. මොකද, මේ ගමනේදී නාවික යාත්‍රා ෆවුල් තුඩුවට ළංකරන්න බැරි බව යාත්‍රාවේ සෙබළ සොයුරන් අපට දැනුම් දුන්නා. ඒ ෆවුල් තුඩුව ආශ්‍රිත ප්‍රදේශයේ සාගරය ගල්පරවලින් සමන්විත වන නිසා.

ජැටියෙන් ගමන් ආරම්භ කළ "වෝටර් ජෙට්‌" යාත්‍රාව දිය දෙබෑ කරමින් සාම්පූර් (දකුණු දෙසට) බලා ඇදෙනවා. වම්පසින් නාවික අංගනය. එහි නොයෙකුත් නාවික යාත්‍රා රැසක්‌ දක්‌නට ලැබෙන අතර විශාල නෞකාත් නැංගුරම්ලා තිබෙනවා. දකුණු පස ඉදිරියෙන් අපට දක්‌නට ලැබෙන්නේ ත්‍රිකුණාමල ප්‍රීමා පිටි කම්හල. මෙම කර්මාන්තශාලාවට තිරිඟු රැගෙන පැමිණි නැව් කිහිපයකුත් මෙහිදී දැකගත හැකියි. මෙම කම්හල පසුකරන විටම තමයි සෝබෝර් දූපත් නෙත ගැටෙන්නේ. කුඩා සෝබෝර් හා මහා සෝබෝර් ලෙස යුගලක්‌ වශයෙන් පිහිටා තිබෙන මෙම දූපත් දෙක අභයභූමි ලෙස 1963 දී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තියෙන්නෙ එහි ඇති ජෛවවිවිධත්ව අගය නිසා. සෝබෝර් දූපත් පසුකළ පසු අපට ඈතින් දකින්නට ලැබෙන්නෙ "රවුන්ඩ් අයිලන්ඩ්" දූපත හා එහි මධ්‍යයේ තිබෙන ප්‍රදීපාගාරය.

රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය

රවුන්ඩ් අයිලන්ඩ් නොහොත් "වට දූපත" කොට්‌ටියාර් බොක්‌කේ තියෙන අලංකාරතම දූපතක්‌. සාම්පූර්, මුතූර්, කින්නියා, මාබල් බීච් වගේ අප පසුකර ආ කොට්‌ටියාර් බොක්‌ක වටා ඇති වෙරළබඩ මාර්ගයේ දිගින් දිගටම මේ දූපත විවිධ පැතිකඩවලින් අලංකාරව අපට දැකගන්නට ලැබුණා. එහෙත්, අද අපි මේ අරුණළු නැගෙන උදෑසන දූපතට සෘජුවම මුහුණලා ළඟ ළඟ ඉඳන් දූපත දකිනවා. ඒ විතරක්‌ නෙමේ එහි මැද පිහිටි පැරණි ප්‍රදීපාගාරයත් කදිමට මේ යාත්‍රාවට දිස්‌වෙනවා. අද අබලන්ව ක්‍රියාවිරහිතව පැවතියත් රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය 1863 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකර ඇත්තේ එකල ත්‍රිකුණාමල වරායට ඇතුළුවන නාවික යාත්‍රා සඳහා කදිම මඟපෙන්වීමක්‌ මේ මගින් ලබාදෙන නිසා. මෙහි උස අඩි 103 ක්‌.

එළිසබෙත් දූපත

මීළඟට අපිට මුණගැසෙන්නෙ තවත් අලංකාර දූපතක්‌ වන එළිසබෙත් දූපත. මෙයට ඒ නම භාවිත කෙරෙන්නෙ ඇයිද යන්න අපි දන්නෙ නැති වුණත්, ගල්පරවලින් සමන්විත මේ දූපතත් කොට්‌ටියාර් බොක්‌කෙ අලංකාර දූපතක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.

එළිසබෙත් දූපත පසුකරනවාත් සමඟ අපගේ යාත්‍රාව පැමිණෙන්නේ වඩාත් පුළුල් මුහුදු කලාපයකට. දකුණුපසින් මාබල් බීච්, කින්නියා පාලම පෙනෙන මහවැලි නදියේ මෝය කලාපය. වම්පසින් නොහොත් නැගෙනහිර දෙසින් පුළුල් වරාය විවරය දිස්‌වෙනවා. එහි පහළ කෙළවර තමයි ෆවුල් තුඩුව. මේ ගොඩබිම් තීරුවේ තවත් පහළට වෙන්නට තමයි සාම්පූර් පිහිටල තියෙන්නෙ. වම්පසින් සාගරයේ පැතිර තියෙන ගල්පර මගහරිමින් අපගේ යාත්‍රාව සාම්පූර්වල නාවික ජැටිය බලා ඇදෙනවා. තවත් මොහොතකින් අපි රැගත් යාත්‍රාව ජැටියට ළඟාවුණේ කලක්‌ කොටි බලකොටුවක්‌ව පැවැති මෙහි, වත්මන් ශ්‍රී ලංකා නාවික හමුදා අභිමානය දරාගත් නාවික සෙබළ කැළ අප බලාපොරොත්තුව එහි රැඳී සිටියදී.

ෆවුල් තුඩුව ප්‍රදීපාගාරය දක්‌වා

සාම්පූර් ජැටියෙන් බැසගත් අපිට, ෆවුල් පොයින්ට්‌ දක්‌වා යන්න ජීප් රථයක්‌ සමඟ එහි පැමිණ සිටියේ නාවික ලුතිනන් අනුරුද්ධ හේරත්. ආගන්තුක සත්කාරයට බොහොමත් කැමැති නාවික නිලධාරීන් සමඟ උදේ ආහාරය සාම්පූර් කඳවුරේදී ගත් අපි මීළඟට කෙළින්ම ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය දක්‌වා ජීප් රථයෙන් ගමන් ගත්තා. මේ ගැන අපි කලින් විස්‌තර කතා කර තියෙන නිසා අද වැඩි දෙයක්‌ කතා කරන්නේ නෑ.

ෆවුල් පොයින්ට්‌ ගමනෙන් පස්‌සෙ අපි "නෝර්වේ දූපතට" යන්න තීරණය කළා. කොට්‌ටියාරම් බොක්‌කෙ නාවික සංචාරයකදී මෙවන් දූපතකට ගොඩබැසීමත් සුවිශාල අත්දැකීමක්‌. ලුතිනන් හේරත් සාම්පූර් ජැටියේ ඉඳල නෝර්වේ දූපතට යන්න ඩිංගි බෝට්‌ටු දෙකක්‌ ලෑස්‌ති කළේ දූපතට ගොඩබහින්න ඕන හින්ද. ඔන්න ගමන ආරම්භ කරල විනාඩි 15 කින් විතර අපි නෝර්වේ දූපතට ගොඩබැස්‌සා. මේ දූපත වගේම, ඊට යාබදව පිහිටි "තට්‌ටගල" දූපතත් පිහිටල තියෙන්නෙ ෆවුල් තුඩුවට වයඹ දිගින්. හුදෙකලා දූපතක්‌ වන මෙය නාවික හමුදා මුරපළක්‌ ලෙස භාවිතයට ගැනෙන තැනක්‌. ඉපිල් ඉපිල් ගස්‌ යායත්, වෙනත් පඳුරු ශාකවලින් සමන්විත මේ දූපත අක්‌කර භාගයකින් පමණ සමන්විත වුවක්‌. මෙය කුරුල්ලන්ගේ කැදලි බිමක්‌ ලෙසත් භාවිත කෙරෙන බව එහි ගිය අපට දැකගන්න ලැබුණා. නෝර්වේ දූපතේ පැය භාගයක පමණ සංචාරයෙන් පස්‌සෙ අපි ආයිමත් ළඟාවුණේ සාම්පූර් ජැටියට. එතැනදී සාම්පූර් නාවික නිලධාරීන්ට සමුදුන්න අපි, නැවතත් අපව රැගෙන ගිය වෝටර් ජෙට්‌ යාත්‍රාවට ගොඩවුණා.

සාම්පූර් සිට කෝනේෂ්වරම් දක්‌වා

සාම්පූර්වලින් පිටත් වූ අපි ඊළඟට නැරඹුවේ වම්පසින් දිස්‌වන කින්නියා පාලම. ලංකාවේ දිගම පාලම මෙය බව ඔබට අපි පසුගිය දිනෙක කිව්වා මතක ඇති. එතැන් සිට නාවික යාත්‍රාංගනය පිහිටි "චැපල් හිල්" නම් කඳුවැටියට පිටින් අපි කෙළින්ම ඇදුණේ කෝනේෂ්වරම් තුඩුව දක්‌වා.

දිය දෙබෑ කරමින් ඇදුණු මේ වේග ප්‍රහාරක යාත්‍රාව මඳ වේලාවකින් ත්‍රිකුණාමල වෙරළ උද්‍යානය පසුකර, පෙඩි්‍රක්‌ කොටුව අසලින් පැමිණ කෝනේෂ්වරම් කඳු පාමුලදී නිසසල වුණේ, අපට එහි සිට කෝනේෂ්වරම් කෝවිලේ ඡායාරූපගත යුතු වූ නිසා. පසුගිය ඉරිදා මේ කෝනේෂ්වරම් දෙවොලේ ගෙමිදුලේ කඳවුරු බැඳ ගෝකණ්‌ණ වරායේ ඡායාරූපගත කරපු හැටි අපට මෙතැනදී මතක්‌ වෙනවා.

කෝනේෂ්වරම් සිට පරෙවි දූපතට

නිලාවැලි - පරෙවි දූපතට කිලෝමීටර් 13 ක විතර සෘජු දුරක්‌ තියෙනවා. ඒත් අධිවේගී යාත්‍රාව විනාඩි 20 ක විතර ගමනකින් පරෙවි දූපත ආසන්නයට පැමිණියා. මෙම යාත්‍රාව දූපතට ළඟා කරවිය නොහැකි නිසාත්, පරෙවි දූපත දැන් ජාතික උද්‍යානයක්‌ නිසාත්, මෙහි ඇතුළුවිය හැක්‌කේ අවසර ගෙන ප්‍රවේශපත් ලබා ගැනීමෙන් පසුව නිසාත් අදාළ කටයුතු කරගෙන අපි දූපතට ළඟා වුණේ තවත් ඩිංගි බෝට්‌ටුවකින්.

දහවල් ආහාරයෙන් පස්‌සෙ නිලාවැලියට සමුදුන් අපි ඊළඟට කෙළින්ම ඇදුනෙ ආයිමත් ඡඡ නාවික ජැටිය බලා. ඒ එන ගමනේදී කොට්‌ටියාර් බොක්‌කේ වැදගත් සුන්දර ස්‌ථාන සියල්ලම පාහේ දැකගන්න අපි අමතක කළේ නෑ. ඒ අනුව කෝනේෂ්වරම් තුඩුව, රොකී පොයින්ට්‌, චැපල් හිල්, කොරල් කෝව් වෙරළ තීරය, ගී්‍රන් බේ, චැපල් බීච්, චැපල් අයිලන්ඩ්, එළිෆන්ට්‌ අයිලන්ඩ්, (දූපත) එළිෆන්ට්‌ පොයින්ට්‌, තට්‌ටගල, නෝර්වේ අයිලන්ඩ් (දූපත), කුඩා සෝබෝර් හා මහා සෝබෝර් දූපත්, එළිසබෙත් දූපත, රවුන්ඩ් අයිලන්ඩ් (දූපත), ෆවුඩර් දූපත, ක්‍රෝව් අයිලන්ඩ් (කාක දූපත) යනාදියේ සුන්දරත්වය හා පිහිටීම් අපූරුවට අප විඳගත්තා. මේ සියල්ලම පාහේ නාවික හමුදාව යටතේ පාලනය වන බවත් මෙහිදී කිව යුතුයි. ඔන්න ඔය විදිහට තමයි කොට්‌ටියාර් බොක්‌කේ අපූරු නාවික සංචාරය අප හමාර කළේ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


ස්‌තුතිය - ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, නාවික මෙහෙයුම් අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා, ආඥපති නැගෙනහිර පෙදෙස රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, නැගෙනහිර විධාන මෙහෙයුම් නිලධාරී කමාන්ඩර් පූජිත විතාන සහ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය යන මහත්වරුන්ට.

http://www.divaina.com/2011/07/03/nimna04.html

39 : ගලේ කොටුව බැඳි තිරිකුණාමලේ ගෝකණ්‌ණ තොට

ගෝකණ්‌ණ තොට/වරාය

ත්‍රිකුණාමලය හෙවත් පැරණි ගෝකණ්‌ණ තොට ශ්‍රී ලංකාවේ පැරණිතම වරාය ලෙස හැඳින්වුවත් නිවැරැදියි. ලෝකයේ හොඳම ස්‌වභාවික වරායක්‌ ලෙස ගැනෙන මේ ගෝකණ්‌ණ තොට, අනාදිමත් කලක පටන් නාවිකයන් භාවිතයට ගෙන තිබෙනවා. රට වටාම මුහුද තිබුණත් ශ්‍රී ලාංකිකයන් නාවික ක්‍ෂේත්‍රයට යොමු වූ පැරණි තොරතුරු අපට හමුවන්නේ නැති තරම්. ඒත් අතීත රජදරුවන්ගේ සමයේදී ගෝකණ්‌ණ වරාය ගැන නිරතුරුව කියවෙන්නේ භාරතයේ මෙන්ම, අරාබි, රෝම, ග්‍රීක, චීන, පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ වැනි ජාතික වෙළෙඳුන් හා ආක්‍රමණිකයන් ලක්‌දිවට ගොඩබැසීම සඳහාත්, එකල රජවරුන් සමඟ සබඳතා පවත්වාගෙන යැම සඳහාත් මේ ගෝකණ්‌ණ තොට භාවිතයට ගෙන තිබෙන නිසා.

චයිනා බේ /කොඩ් බේ

යුරෝපීය ආක්‍රමණයන්ට පෙර සිටම ග්‍රීක, අරාබි, චීන වැනි වෙළෙඳුන් ගෝකණ්‌ණ වරාය ආශ්‍රිතව තාවකාලිකව ලැගුම්ගත් බව විශ්වාස කරනවා. සංකීර්ණ නැව් තොටක්‌ ලෙස මුහුදු බොකු ගණනාවකින් සමන්විත මෙහි චීනුන් ලැගුම්ගත් පෙදෙස "චීන වරාය" නොහොත් චයිනා - බේ වූ බවයි කියන්නෙ. නමුත් ඒ සඳහා තවත් හේතු තිබූ බව කවුරු හරි දන්නවා නම් ඒ බවත් අපිට ලියා එවන්න. නැතිනම් ඊ-මේල් කර එවන්න.

කොහොමහරි ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන පාලන කේන්ද්‍රස්‌ථානය වුණු ත්‍රිකුණාමලය හා එහි ස්‌ථාපිත කළ ඔවුන්ගේ නාවික කඳවුර හරහා තමයි අපගේ රට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීම හා ඉන්පසු රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය ඇතුළු කාර්යයන් සිදුකර ඇත්තේ. මේ නිසාම ත්‍රිකුණාමලය ආශ්‍රිත බොහෝ තැන් හැඳින්වීමට යොදා ඇත්තේ ඉංග්‍රීසි වදන්. "චයිනා - බේ" කියන්නෙත් ඒ නිසා. මෙතන තමයි අදත් වරායට ප්‍රධාන පිවිසුම් පෙදෙස තියෙන්නෙ. පිටි කම්හල, සිමෙන්ති කම්හල යනාදිය වගේම දුම්රිය ස්‌ථානයත් චීන වරායට යාබදව පිහිටා තිබෙනවා.

කොඩ්-බේ යනු ත්‍රිකුණාමල ප්‍රධාන ධීවර වරායයි. චීන වරායට යාබදවයි මෙය පිහිටා තිබෙන්නේ.

කන්නියා උණුවතුර ළිං

චීන වරාය ප්‍රදේශය පසුකර ඇවිත් ඉන්පසු අපි ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගට පිවිසුණා. එතැන් සිට තවත් සැතපුම් 2-3 ක්‌ යන විට 4 කණුව හන්දිය හෙවත් අනුරාධපුර හන්දිය හමුවෙනවා. මෙතැන් සිට අනුරාධපුර පාරේ තවත් කිලෝමීටර් පහක්‌ පමණ ගොස්‌ මිහිඳුපුර පසුකර වම්පසට හැරී ගිය විට තමයි උණුවතුර ළිං හමුවෙන්නෙ. මේ ප්‍රදේශය හඳුන්වන්නෙ කන්නියා කියන නමින්. කන්නියා පසුකර අනුරාධපුර මාර්ගයේම තවත් කිලෝමීටර් 7-8 කින් වෙල්ගම් වෙහෙර රජමහා විහාරයටත් යා හැකියි.

කන්නියා උණුවතුර ළිං බලන්න අපි ගියේ තරමක්‌ හැන්දෑ වෙලා. ඒ හින්ද එතරම් සෙනඟක්‌ හිටියෙත් නෑ. ළිං හොඳට පිරිලත් තිබුණ. ළිං හතක්‌ තියෙන මේ උණුවතුර ළිං සංකීර්ණයෙ විවිධ උෂ්ණත්ව පරාසයන්ගෙන් සමන්විත උණුවතුර බුබුළු නඟමින් ළිංවලට පිරෙනවා.

වෙරළ උද්‍යානය / පෙඩ්‍රික්‌ කොටුව

ඊළඟට අපි ත්‍රිකුණාමලය නගරයට ඇතුළුවුණා. ත්‍රිකුණාමල වරාය පිහිටි කොට්‌ටියාර් බොක්‌ක තවමත් මේ දක්‌වා සුවිසල්ව නැඟී සිටිනවා. ඒ ආශ්‍රිතව වැටී ඇති මාර්ගයෙන් පැමිණ නගරය හරහා ගොස්‌ ඊළඟට අපි නැවතුණේ වෙරළ උද්‍යානය ළඟ. ඈතින් අපට පෙනෙන නොපෙනෙන ගානට සාම්පූර් - µවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය දිස්‌වෙනවා. වම්පසින් ත්‍රිකුණාමල පෙඩි්‍රක්‌ කොටුව හා එහි කෙළවර තිරු කෝනේෂ්වරම් දෙවොල. ඉදිරියෙන් ධීවර ඔරු - බෝට්‌ටු වගේම අධිවේගී නාවික යාත්‍රාත් විටින් විට ඇදෙනවා. මේ සියල්ල වගේම වෙරළේ අසිරිය විඳින්නත් වෙරළ උද්‍යානය කදිම තැනක්‌. දකුණුපසින් මේ උද්‍යානයේ අපූරු හරිත තීරයක්‌ (Green Belt) දකින්න පුළුවන්. කස ගස්‌වලින් යුත් එය වෙරළට එකතු කරන්නෙ නැවුම් බවක්‌. මේ සියල්ල හෝරාවක්‌ දෙකක්‌ විඳගෙන තමයි අපි පෙඩි්‍රක්‌ කොටුව හරහා කෝනේශ්වරම් දෙවොලට යන්න තීරණය කළේ.

පෙඩ්‍රික්‌ කොටුව

මුහුදට නෙරාගිය තුඩු කිහිපයක්‌ ත්‍රිකුණාමලයේදී හඳුනාගත හැකියි. පහළින්ම තියෙන ෆවුල් තුඩුව, කෙසෙල් තුඩුව (ප්ලාන්ටන් පොයින්ට්‌) ඇත් තුඩුව (එළිෆන්ට්‌ පොයින්ට්‌) වගේම කෝනේශ්වරම් දෙවොල පිහිටි ප්‍රපාතාකාර තුඩුවත් ඒ අතර වෙනවා. මේ තුඩුව පෘතුගීසීන්, ලන්දේසීන් වගේම ඉංග්‍රීසීන්ගේත් බලකොටුවක්‌ ලෙස ප්‍රයෝජනයට ගත්තා. පෙඩි්‍රක්‌ කොටුව පිහිටා තිබෙන්නේ කෝනේශ්වරම් එහෙමත් නැතිනම් ගෝකණ්‌ණ තුඩුව ආරම්භ වන ස්‌ථානයේ ඉඳල. බලකොටුවේ පැති බැමි වගේම ප්‍රධාන ගොඩබිම් දොරටුවත් වෙරළ උද්‍යානය අවසානයේ දැකගත හැකියි. ඒ කොටුවෙන් ඇතුළු වූ පසු පැරණි ලන්දේසි නගරය දැකගත හැකියි. ආණ්‌ඩුකාරයාගේ නිල නිවහන, හමුදා බැරැක්‌ක, නිවාස රාශියක්‌ එහි තිබෙනවා. ඒ නිවාස අදත් ප්‍රයෝජනයට ගැනෙනවා. අදත් රජයේ කාර්යාල වගේම හමුදා කඳවුරු කිහිපයකුත් පෙඩි්‍රක්‌ (පේද්‍රිස්‌) කොටුව ඇතුළේ තිබෙනවා. කොටුවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී මඳක්‌ ඉදිරියට ඇදෙන විට වම්පසට ඇත්තේ ගෝකණ්‌ණ රජමහා විහාරය. 1623 දී පෘතුගීසීන් විසින් තනන ලද මෙම කොටුව 1639 දී ලන්දේසීන් අල්ලා ගනු ලැබුවා. 1672 දී මෙය ප්‍රංශ හමුදා මගින් ආක්‍රමණය කරන ලද අතර 1782 දී ඉංගී්‍රසීන්ගේ අණසකට යටත් වුණා. වරින්වර සතුරු ආක්‍රමණයට ලක්‌වුණත් යළිත් 1795 දී ස්‌ථිර ලෙසම බ්‍රිතාන්‍යයන් මෙහි අණසක නතු කරගත්තා. 1800 දී ඩියුක්‌ වෙලින්ටන් නමැති පාලකයාගේ නවාතැන්පළ බවටත් පත් වූ මෙම කොටුව ඔහු විසින් 1803 දී පෙඩි්‍රක්‌ බලකොටුව ලෙස නම් කර තිබෙනවා. 1942 දී මේ තුළට ජපනුන් බෝම්බ හෙලුවේ දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක තැනක්‌ ලෙස මෙය වැදගත් වුණු නිසා.

ගෝකණ්‌ණ රජමහා විහාරය

ගෝකණ්‌ණ රජමහා විහාරය අද මෙතැන කුඩා භූමි භාගයකට සීමා වී තිබුණත් අතීතයේදී මේ මුළු භූමි භාගයම එනම් කෝනේශ්වරම් දෙවොල පිහිටි භූමිය යනාදියත් ගෝකණ්‌ණ විහාරය ලෙස පැවැති බවයි විශ්වාස කරන්නේ. එහෙත් කලින් කල පැමිණි සතුරු ආක්‍රමණ අද ගෝකණ්‌ණ විහාරය ඉතා කුඩා භූමි ප්‍රදේශයකට සීමා කරල. එහි බෝධීන්වහන්සේ වගේම චෛත්‍යයෙත්, හිටිපිළිම වහන්සේත් ගෝකණ්‌ණ විහාරයේ දුක්‌බර කතාන්දරයක්‌ අපට කියනවා වගේ.

තිරුකෝනේශ්වරම් දෙවොල

ත්‍රිකුණාමලය තිරුකෝනේශ්වරම් දෙවොල ඉතාම ප්‍රකට ස්‌ථානයක්‌. මෙය ජනප්‍රිය වෙලා තියෙන්නෙ "කෝනේශ්වරම්" නමින්. ඔබට මතක නම් මෙසේ "වරම්" ලෙස හඳුන්වා අවසන් වන දේවාල ගැන සඳහනක්‌ අපි මඩකලපු චාරිකාවේදී කළා. මේ තමයි ශිව දෙවියන් සඳහා ඉදිවුණු දේවාල, නැතිනම් කෝවිල්. ලංකාව වටා එවන් කෝවිල් පහක්‌ තියෙන බවත් අපි ඔබට කිව්වා. මඩකලපුවෙ කාන්තෝන්

-දීශ්වරම් කෝවිල ගැන අපි කතා කළා. යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේෂ්වරම්, මන්නාරමේ තිරිකේදීශ්වරම් ඒ කෝවිල් පහයි. එයින් අපගේ චාරිකාවේදී දෙවැනියට හමුවන මෙවන් කෝවිල තමයි මේ තිරුකෝනේෂ්වරම් කෝවිල. අනුහස්‌ සහිත කෝවිලක්‌ ලෙස සැලකෙන මෙයට පැමිණෙන බොහෝ බැතිමත්තු, දරුවන් නැති මවුපියන් වීම විශේෂයක්‌. ඔවුන්ට දරුවන් පතා මේ කෝවිලේ ශාන්ති කර්ම වගේම භාරහාරත් සිදුකෙරෙනවා. හරිම අපූරු වටපිටාවකින් යුත් කෝනේශ්වරම් දෙවොල රාම-රාවණා කතාවටත් සබඳතාවක්‌ තිබෙනවා. මුහුදු මට්‌ටමේ සිට අඩි 100 - 150 ක්‌ පමණ උස ගල්කන්දක්‌ මත පිහිටි මෙතැනට අවට මුහුදු ප්‍රදේශය වගේම, සාම්පූර්, ත්‍රිකුණාමල නගරය, වරාය, චීන වරාය වගේ දේවලුත් උතුරින් පරෙවි දූපත නිලාවැලි වගේ ප්‍රදේශත් දැකගන්න ලැබෙනවා. ඔබත් ත්‍රිකුණාමලයේ සංචාරයක ගියොත් මෙතැනටත් යන්න අමතක කරන්න එපා. ඒ සුන්දරත්වයේ ආශ්වාදය අපි විඳගත යුතුම තැනක්‌ වන නිසා පැරණි ලන්දේසි වරාය "ඩට්‌ච්-බේ" පිහිටල තියෙන්නෙත් කෝනේෂ්වරම් හෙවත් ගෝකණ්‌ණ පාමුලයි.

රාවණ කැපුම / ලවර්ස්‌ ස්‌ලීප්

කෝන්ෂ්වරම් කෝවිල, මෙරට මහා බලගතු රජකු ලෙස වැඩ වාසය කළ රාවණ රජුට සබඳතා ඇති ස්‌ථානයක්‌. ඒ බවට වන අපූරු කතාන්තරයක්‌ සහිත පුවරුවක්‌ "රාවණ කැපුම" හෙවත් ලවර්ස්‌ ලීප්" ලෙස හඳුන්වන අසාමාන්‍ය, බියකරු ප්‍රපාතකාර බෑවුම අසල සවිකර තිබෙනවා. ඒ වගේම මුහුණු 10 ක්‌ (එතරම් නුවණක්‌) තිබූ බව විශ්වාස කරන රාවණයන්ගේ අපූරු මූර්තියක්‌ ද දෙවොලේ එක්‌ පසෙක ඉහළින්ම තනා තිබෙනවා.

පුවරුවේ සඳහන් පරිදි "රාවණ කැපුම" (එනම් බෑවුම) නිර්මාණය වී ඇත්තේ රාවණ රජු විසින් මෙම කන්ද තම කඩුවෙන් කැපීම හේතුවෙන්. ශිවලිංග පූජාවක්‌ සම්බන්ධයෙන් උරණවූ රාවණ රජු මෙසේ කඩුවෙන් කන්ද කැපූ බවත්, ඒ හේතුවෙන් දිව්‍ය කෝපයට ලක්‌වූ රජුගේ සිව භක්‌තිය නිසාම යළිත් සමාව ගෙන තම එක්‌ හිසක්‌ කපා වීණාවක්‌ සකස්‌ කර "සාම වේද" ගායනය සිදුකර සමාව ඉල්ලූ බවත් කියෑවෙනවා.

පසුව මෙම ස්‌ථානයෙන් පැන දිවි නසාගත් සුදු ජාතික යුවළක්‌ හේතුවෙන් මෙය "ලවර්ස්‌ ලීප්" බවට පත් වුණා.


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/06/26/nimna03.html

38 : සුන්දරත්වයේ අග රැජින මාබල් බීච් (ත්‍රිකුණාමලය)

නැගෙනහිර වෙරළ තීරය දිගේ උතුරට ඇදෙන අපගේ "රට වටා ගවේෂණ චාරිකාව" සති 36 කට පසුව එනම් මාස නවයකට පසුව ඔන්න අද ත්‍රිකුණාමලයට ළඟාවෙනවා. පහුගිය සතියෙ කඳවුරු බැන්ද සාම්පූර් (ෆවුල් තුඩුව) වල ඉඳන් ආයිමත් අපි මුතූර්වලට ළඟා වුණා. එතනින් ආරවල් කිහිපයක්‌ සහ මහවැලි නදියේ ප්‍රධාන අතු (අප) ගංගා දෙක පසුකරමින් කින්නියා ප්‍රදේශයට පැමිණ, ප්‍රකට කින්නියා පාලම පහුකරමින් තමයි ත්‍රිකුණාමලයට ඇතුළු වුණේ. ඒත් ත්‍රිකුණාමල නගරයට යන්න කලින් අපි අද දවසේ තවත් සුන්දර වෙරළක කඳවුරු බඳිනවා. ඒ තමයි "මාබල් බීච්". මේ වෙරලේ සුන්දරත්වය අත්විඳින්න වගේම එහි කඳවුරු බඳින්නත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපට විශාල සහයෝගයක්‌ ලබා දුන් බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි.

අවසන් පාලම්පාරුවෙන් ත්‍රිකුණාමලයට

මුතූර් ජැටියෙ ඉඳන් ත්‍රිකුණාමලයෙ ජැටිය දක්‌වා මගී ප්‍රවාහන නැව් සේවාවක්‌ ක්‍රියාත්මක වෙනවා. ඒ "සේරුවාවිල" කියන වරාය අධිකාරියට අයත් යාත්‍රාවක්‌. ඒත් අවාසනාවකට වගේ අපි මුතූර්වලට ගිය දවසෙ "සේරුවාවිල" යාත්‍රාව ක්‍රියාවිරහිත වෙලා. ඒ නිසා මුතූර් ඉඳන් කින්නියා හරහා යන්න කොඩ්ඩියාර් බොක්‌ක වටා යන දුෂ්කර මාර්ගය අපි තෝරාගත්තා. මේ අබලන් මාර්ගයේ යන්න "ෆෝවීල්" වාහනයක්‌ තියෙනවානම් වඩාත් සුදුසුයි. මොකද වලගොඩැලි සහිත මේ මාර්ගයත්, තවමත් පාලම් ඉදිවෙමින් පවතින නිසා විකල්ප මාර්ගත් භාවිත කළ යුතුව තියෙන නිසා. ඒත් ඉතාම ටික කලකින් මේ මාර්ගය දිවයිනේ තවත් සුපිරිතම මාර්ගයක්‌ බවට පත් වේවි.

නැගෙනහිර පළාතේ අන්තිම පාලම් පාරුවෙන් අපේ වාහනයත් සමඟ එගොඩවන්නටයි විශේෂයෙන්ම මේ පාරෙන් අපි ගමන් ගත්තේ. මුතූර්වල ඉඳන් තවත් සැතපුම් 5-6 ක්‌ විතර කොට්‌ටියාරම දෙසට යනවිට රාල්කුලිය ගම්මානය අපට හමුවෙනවා. මෙහිදී මහවැලි නදියෙන් බෙදීයන දියදහරක්‌ මුණගැහෙනවා. රාල්කුලිය ආරු කියලත් මෙය හඳුන්වනවා.

මේ ඔයටත් උඩින් දැන් පාලමක්‌ ඉදිවෙනවා, ඒත් අපි යනකොට මාර්ග සංවර්ධන අධිකාරියෙ පාලම් පාරුවක්‌ (ෙෆරිය) නොමිලයේම මිනිස්‌සු, වගේම කුඩා වාහනත් එගොඩ මෙගොඩ කරනවා. අපි දන්න විදිහට මේක තමයි නැගෙනහිර පළාතෙ අන්තිම පාලම් පාරුව. ඒකත් තව ටික දිනකින් විශ්‍රාම යාවි. අපි අපගේ ජීප් රථයත් එහි නංවාගෙන ඊළඟට මහවැලි නදිය කොට්‌ටියාරමට එකතුවන අපූරු පරිසරයට ආවා.

කොට්‌ටියාර් බොක්‌ක

දැන් අපි ඉන්නෙ කොට්‌ටියාරම් බොක්‌කෙ සුන්දර වෙරළ තීරයේ. මෙතැන වෙරළ කළුපාටයි. ඒ මෙහි වැඩිපුර "ඉල්මනයිට්‌" ප්‍රමාණයක්‌ තියෙන හින්ද. අපිට දකුණු පසින් ගොඩබිම් තීරුවේ පිළිවෙලින් මුතූර් හා ෆව්ල් තුඩුව ප්‍රදේශය දැකගන්න ලැබෙනවා. ඉදිරියෙන්ම පේන්න තියෙන්නේ ත්‍රිකුණාමල බොක්‌ක නොහොත් කොට්‌ටියාරම. වෙරළ තීරය දිගේම ධීවර ඔරු - බෝට්‌ටු. කෙළින්ම බැලුවොත් වරාය තුළ පිහිටි ප්‍රීමා පිටි කම්හලත් දැකගන්න පුළුවන්. තවත් නැගෙනහිර දෙසින් අපට දැකගන්නට ලැබෙන්නේ ප්‍රකට "රවුන්ඩ් අයිලන්ඩ්" හා එහි මැද තියෙන ප්‍රදීපාගාරය. තවත් තැනකින් එලිසබත් දූපතත් දැකගන්න පුළුවන්. මේවා ගැන තොරතුරු තවත් ඉදිරියේදී කතා කරන්න හිතාගෙන ඉන්පසු අපි තවත් කින්නියා දෙසට ඇදුණෙ "මහවැලි ගං මෝය" හමුවෙන තුරු.

මහවැලි ගඟ/ ගෙංගේ - ගංගේ

අපේ රටේ දිගම ගංගාව තමයි මහවැලි ගංගාව. එය කිලෝමීටර් 340 ක දුරක්‌ ගෙවාගෙන ඇවිත් මුහුද සිපගන්නෙ දැන් මේ අපි ඉන්න කොට්‌ටියාරම් බොක්‌ක කෙළවරදී. මධ්‍ය කඳුකරයේ, හෝර්ටන්තැන්න කඳුබෑවුම්වලින් පටන්ගන්නා දියදහරා කිහිපයක එකතුවකින් හටගන්නා "මහවැලි" කෝමළිය දහස්‌ ගණන් කෙත්වතු සරුසාරකරමින් මිනිසුන් හා වනසතුන් මෙන්ම ගස්‌වැල්ද පෝෂණය කරමින් මධ්‍යම පළාත, ඌව පළාත, උතුරුමැද පළාත, නැගෙනහිර පළාත ඔස්‌සේ පැමිණයි මෙසේ ත්‍රිකුණාමලයේදී මහා සාගරය හා එක්‌වන්නේ. මෙසේ කොට්‌ටියාරම් බොක්‌කට එකතුවන මහවැලි දියදහර එක්‌ ගංගා මෝදරක්‌ ලෙස පැහැදිලිව හඳුනාගත නොහැකියි. කුඩා අප ගංගා කිහිපයක්‌ මෙන්ම, ප්‍රධාන අප ගංගා දෙකකුත් තනමින් ගලායන එය මෝයකට දෙකකින් කරදිය හා මුසුවන්නේ ගෙංගේ සහ ගංගේ ලෙස හැඳින්වෙන මෝය ප්‍රදේශ දෙක මෙන්ම අගනා ඩෙල්ටාවක්‌ද නිර්මාණය කරමින්. අද මෙම අප ගංගා දෙකම යාකරමින් මහවැලි නදී මෝයට ඉහළින් දැවැන්ත පාලමක්‌ ඉදිවෙනවා. ඒ කින්නියා පාලමට පේන දුරින්.

කින්නියා / කින්නියා පාලම

කින්නියා ප්‍රදේශය පිහිටා තියෙන්නෙ කොට්‌ටියාරම් බොක්‌කට යාබදවයි. ධීවර පවුල් විශාල ප්‍රමාණයක්‌ දිවි ගෙවන මෙම ප්‍රදේශයේ කළපු ධීවර කර්මාන්තය වගේම දියඹේ ධීවර කටයුතුත් ප්‍රකටයි. වත්මන් රජය බලයට පත්වීමට කළින් කින්නියා ප්‍රදේශයේ ජනතාව ත්‍රිකුණාමලයට ගියේ පාලම් පාරුවේ. ඒ, තම්පලාගම් බොක්‌ක හෙවත් එම කලපුව නිසා. ඒත් වත්මන් රජය ලංකාවේ දිගින් වැඩිම පාලම ලෙස කින්නියාවත් - ත්‍රිකුණාමලයත් යා කරමින් පාලමක්‌ තැනුවා. දැන් අපි ගමන් ගන්නෙත් ඒ පාලමෙන් එගොඩ වෙලා තමයි. මීටර් 396 ක්‌ දිග මෙම පාලම මීටර් 10.5 ක්‌ පළලයි. ධාවනපථ දෙකකින් සමන්විතයි.

මාබල් බීච් - MARBLE BEACH


කින්නියාවේ "මාබල්බීච්" හරිම ප්‍රකට වෙරළ තීරයක්‌. අරුගම්බේ, පාසිකුඩා, කල්කුඩා, නැතිනම් අපි හඳුන්වාදුන් වෙරළ, සල්ලතිව් නොහොත් චල්ලතිව් වලින් පස්‌සේ කතාකරනවානම් ඉතින් හොඳම වෙරළ මාබල් බීච්ම තමයි. මේ වෙරළට යන්නෙත් කින්නියා පාලම ත්‍රිකුණාමලය පැත්තෙන් පටන් ගන්න තැනින්. එතැන් සිට කිලෝමීටර් එකහමාරක්‌ විතර ගියහම මේ අපූරු මුහුදු පරිසරය හමුවෙනවා. යුද සමයේ සිට මේ ප්‍රදේශයේ ආරක්‍ෂාව භාරව කටයුතු කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. යුද්ධයේ නිමාවත් සමඟ ඔවුන් දැන් මෙහි අපූරු නිවාඩු නිකේතනයක්‌ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම "මාබල් බීච්"වල කළමනාකරණ කටයුතු, පිරිසිදු කිරීම යනාදිය කරන්නෙත් ගුවන් හමුදාව.

ඇත්තටම "මාබල් බීච්" කියන්නේ ක්‍රිකුණාමල බොක්‌කේම (වරායේම) එක වෙරළ තීරයක්‌. මෙතැන ජල තටාකයක්‌ වගේ. ගැඹුරු නැහැ. වැලිතලාව හා ගල්පර වගේ තමයි තියෙන්නේ. හිරු එළියට ජල තලය මතින් වැටෙන රැස්‌දහරා අපූරු රටාවන් මේ නොගැඹුරු ජලතලයේ සිත්තම් කරනවා. "හරියට මාබල් ඇල්ලුවා වගේ" ඒ හින්ද තමයිලු මේක "මාබල් බීච්" වෙලා තියෙන්නේ. කොට්‌ටියාරම් බොක්‌කේ සාම්පූර් (ෆවුල් තුඩුව) ඉඳන් ත්‍රිකුණාමලය (එලිෆන්ට්‌ තුඩුව) දක්‌වා වු වක්‍රයේ හරි අර්ධය ගෙවෙන තැන මේ "මාබල් බීච්" කිව්වොත් නිවැරදියි කියලා අපට හිතෙන්නේ මෙතන ඉඳන් රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය වගේම (පෙර අපි කඳවුරු බැඳි) ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරයත් සරළ රේඩීයව මෙහි සිට දැකබලාගත හැකි වන නිසා.

මෙතැනට ත්‍රිකුණාමල වරායේ විවරය හරි අපූරුවට දැකගත හැකියි. "එළිෆන්ට්‌ (දූපත) අයිලන්ඩ්" වගේම එලිෆන්ට්‌ තුඩුවත්, වරාය කටත් පේන හින්ද මේ වෙරළ ආසන්නයටම වගේ නාවික යාත්‍රාත් දැකගත හැකියි.

"මාබල් බීච්" වල සංචාරකයන්ට වෙන්වුණු නොමිලයේ ඇතුළුවිය හැකි පොදු වෙරළ කලාපයකට අමතරව ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන නිවාඩු නිකේතනයක්‌ සහිත අවසරලත් පුද්ගලයන්ට පමණක්‌ ඇතුළු විය හැකි කොටසකුත් තියෙනවා. මෙහි මාබල් බීච් අයත් වනබද කඳුවැටියට සම්බන්ධව තැන තැන ඉදිවුණු කලින් වෙන්කරවා ගතයුතු සුඛෝපභෝගී වන නිවහන් කිහිපයකුත් ස්‌ථාපිත කර තිබෙනවා. අවන්හලක්‌ හා පූර්ණ ආරක්‍ෂාවක්‌ ද සහිත මෙම නිවාඩු නිකේතනයේ වන නිවහන් හා අනෙකුත් පහසුකම් භුක්‌ති විඳීමට ගුවන් හමුදාවේ මෙම නිවාඩු නිකේතනය ඇමතිය යුතුයි. මෙහි දුරකථන අංකය 026-2233272/3 වෙබ් අඩවිය www.airforce.lk/marblebeach


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/06/19/nimna04.html

37 : විජයග්‍රහණයේ පෙර මඟ සලකුණ ෆවුල් පොයින්ට්‌ (සාම්පූර්)

වාලච්ෙච්නට උතුරින් පිහිටි කජුවත්ත ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලයට දකුණින් පිහිටි සාම්පූර් දක්‌වා ප්‍රදේශය තිස්‌ වසරක යුද්ධයට ගොදුරුව ත්‍රස්‌තවාදීන්ගේ අණසකට යටත්වයි තිබුණේ. පසුගිය සතියෙ අපි කතාකරපු අපගේ වටිනාම ආගමික ස්‌ථානයක්‌ වුණු ලංකා පටුන, ඊට පෙර අපි කඳවුරු බැන්ද සල්ලතිව් (චල්ලතිව්) මේ සියල්ලම අපේ විරෝදාර රණවිරුවන් නැගෙනහිර මෙහෙයුමේදී මුදාගත් ප්‍රදේශ. ලංකා පටුනෙ ඉඳන් මුතූර්, සාම්පූර් දක්‌වා වැටී ඇති මුහුදුබඩ මාර්ගයත් මේ අනුව යුද සමයේදී සාමාන්‍ය ජනතාවට තහනම් වෙලයි තිබුණේ. මුතූර් ප්‍රදේශයේ ජනතාවට රජයේ රැකවරණය තිබුණත් එතනින් සැතපුම් 6-7 ක්‌ එපිටින් වූ සාම්පූර් ප්‍රදේශය එකල ත්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ. ප්‍රධාන බලකොටුව වශයෙන් පැවතුණා. ඔබට මතකද? සාම්පූර්හි ෆවුල් පොයින්ට්‌ පැරණි ප්‍රදීපාගාරය අපේ හමුදාවන් අත්පත් කරගනිමින් ඒ මත ජාතික ධජය ඔසවමින් නැගෙනහිර ත්‍රස්‌තවාදීන්ගේ අණසක නිමාකිරීමේ සටන ඇරඹුවා. අද අපි මේ කතාකරන්නෙත් ඒ විජයග්‍රහණයේ යෝධ සලකුණ, සාම්පූර් (ෆවුල් පොයින්ට්‌) ප්‍රදීපාගාරය අසල සිටයි. මේ ප්‍රදීපාගාරය අසලට යන්න ශ්‍රී ලංකා නාවික හමුදාව අපට විශාල සහයෝගයක්‌ ලබා දුන් බවත් මෙහිදී අප සිහිපත් කළ යුතුමයි.

ලංකා පටුන සිට මුතූර් දක්‌වා

ලංකා පටුන නම් අතිශය සුන්දර, නිසසල පරිසරයට සමු දී අපි මුතූර් බලා ඇදුණේ චමත්කාර වෙරළබඩ මාර්ගයක්‌ දිගේ. සේනම්වැලි ප්‍රදේශය පසුකර, 2004 සුනාමියෙන් මෙන්ම තිස්‌වසරක යුද්ධයෙන් දරුණු ලෙස බැටකෑ අහිංසක, දිළිඳු ජනතාවක්‌ වෙසෙන ගම් ප්‍රදේශ හරහා ගමන් කිරීම අපට මහත් අත්දැකීමක්‌ ගෙනදුන් බව සඳහන් කළ යුතුයි. මෙම ප්‍රදේශවල සංචාරය කිරීමට ඔබටත් අවස්‌ථාවක්‌ උදාවුවහොත්, මෙතෙක්‌ අපගෙන් සැඟව තිබී, නිදහසේ නාමයෙන් ජාතියට විවර වූ මෙම ප්‍රදේශවල නැවුම් ආස්‌වාදය කෙතරම්ද යන්න ඔබටත් වැටහෙනු නියතයි. රටවටා යන අපගේ ගවේෂණ චාරිකාව රසවිඳින බොහෝ පාඨකයින් නැගෙනහිර චාරිකාවකට එක්‌වන්නට තමන්ටත් අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙස අපගෙන් ඉල්ලීම් කරපු අවස්‌ථා කොතෙකුත් තිබෙනවා. ඒ ගැන සලකා නැගෙනහිර චාරිකාවක්‌ සංවිධානය කරන්නත් අපගේ අදහසක්‌ තිබෙනවා. කොහොමහරි දිගින් දිගටම අපගේ "රටවටා යන ගවේෂණ චාරිකාව" සමග රැඳී සිටින්න කියලත් අපි ඔබට සිහිපත් කරනවා.

සාම්පූර් ප්‍රදේශය දැන් අධිආරක්‍ෂිත කලාපයක්‌ ලෙස නම්කරල තියෙන හින්ද, මුහුදුබඩ දිගේ අපි කෙළින්ම ඒ පැත්තට ගියේ නෑ. මද විවේකයකටත් එක්‌ක ඔන්න ඊළඟට අපි ළඟාවුණේ මුතූර් නගරයට. ඉස්‌ලාම්වරු බහුතරයක්‌ දිවිගෙවන මෙම ප්‍රදේශය එකල නිරතුරුව ත්‍රස්‌තවාදී තර්ජනයට ලක්‌වුණු ප්‍රදේශයක්‌. ඔබට මතක නම් මාවිල්ආරු සොරොව්ව ත්‍රස්‌තවාදීන් විසින් වසා දමපු වෙලාවේ, සේරුනුවර, සේරුවිල, තෝපූර්, ඊච්චලන්පත්තු ජනතාව වගේම මේ මුතූර් ජනතාවත් විශාල අපහසුතාවකට පත්වුණා. ඔවුන්ගේ කෙත්වතු වතුර නැතිව විනාශ වුණා. ඒ විතරක්‌ නෙමේ සාම්පූර් ප්‍රදේශයේ ඉඳන් මුතූර්වලට කාලතුවක්‌කු, මෝටාර් ප්‍රහාර ඉල්ල වුණා. අවසානයේ මුතූර් ජනතාව කන්තලේ පැත්තට පලාගියා.

මුතූර් ප්‍රදේශයට ප්‍රවේශ මාර්ගය තියෙන්නෙ කන්තලේ හරහා. අල්ල - කන්තලේ මාර්ගයෙන් තමයි මේ ප්‍රදේශයට බස්‌ රථ පැමිණෙන්නේ. ඒත් තවත් ටික දවසකින් කින්නියා ප්‍රධාන පාලම ඔස්‌සේ මුතූර් - ත්‍රිකුණාමලය යාවෙනවා. ඒ මහවැලි ගඟට ඉහළින් වගේම තවත් ආරවල් දෙකකට ඉහළින් දැන් පාලම් ඉදිවෙන නිසා. ඔවුන්ට ආසන්නතම ප්‍රධාන නගරය වන ත්‍රිකුණාමලය තියෙන්නෙ පේන දුරකින්. නමුත් කොඩ්ඩියාර් බොක්‌ක නොහොත් මහවැලි ගඟ ත්‍රිතුණාමල මුහුදට එකතුවන 'කොට්‌ටියාරම' ඒ සඳහා ඔවුන්ට ලොකු බාධාවක්‌, එය ජයගන්න තමයි දන්නා කාලයක ඉඳන් මුතූර් ජනතාව මුතූර් ජැටියෙ ඉඳන් ත්‍රිකුණාමලයට බෝට්‌ටු හා මඟී යාත්‍රාවලින් ගමන් ගත්තේ. වාහනයක්‌ වුණත් මේ නැවෙන් පටවාගෙන ත්‍රිකුණාමලයට යන්න පුළුවන්. දැන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ "සේරුවාවිල" කියන මඟී යාත්‍රාව. වරාය අධිකාරිය තමයි මේ නැව් සේවාව පවත්වාගෙන යන්නෙ.

රොබට්‌ නොක්‌ස්‌ ගේ සියඹලා ගස

උදේ කෑමෙන් පස්‌සේ අපි කෙළින්ම ගියේ මේ අපූරු සියඹලා ගහ දැක බලාගන්න. වනසත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත යටතේ මේ රටේ සුවිශේෂී ගස්‌ පහක්‌ දිගු කලක සිට ආරක්‍ෂාව ලබනවා. පරකඩුවෙ නා ගස, ඇලහැර ඔරුබැඳි සියඹලා ගස වැනි ගස්‌ අතර රොබට්‌ කොක්‌ස්‌ සිහිවීමට ආරක්‍ෂා කරන මුතූර්වල මේ සියඹලා ගසත් අයත් වෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික රොබට්‌ නොක්‌ස්‌ වෙළෙඳ නැවක නාවිකයෙක්‌. ඔහු වසර 19 ක්‌ තිස්‌සේ අපේ රටේ සිරකාරයෙක්‌ බවට පත්වෙලා සිටියා. ඒ. මහනුවර (සෙංකඩගල) රජ කරපු දෙවැනි රාජසිංහ රජතුමාගේ (ක්‍රි.ව. 1634 - 1684) කාලයේදී. ඔහුගේ පියාට අයත් "ඈන්" නමැති වෙළෙඳ නැවෙන් ඉන්දියාවේ සංචාරයක නිරතවෙලා සිටිත්දී ඒ රුවල් නැව කුණාටුවකට අහුවෙලා කොට්‌ටියාරමට නොහොත් ත්‍රිකුණාමල වරායට එන්නේ 1660 මාර්තු මාසේ දවසක. කොහොමහරි නැව් කපිතාන් ජ්‍යෙෂ්ඨ රොබට්‌ නොක්‌ස්‌ සමඟ පුත් කනිෂ්ඨ රොබට්‌ නොක්‌ස්‌ ඇතුළු පිරිස අනවසරයෙන් රටට ඇතුල්වීම හා අවසර නැතිව කුඹ ගසක්‌ ලංකාවෙන් කපා ගැනීමේ වරදට හසුව 1660 අප්‍රේල් මස 4 වැනිදා උඩරට රජුගේ අත්අඩංගුවට පත්වෙනවා. ඒ මුතූර්වල තියෙන මේ සියඹලා ගහ යටදී. අවසානයේදී වසර 19 ක්‌ මෙරට සිරකරුවකුව දිවිගෙවන කනිෂ්ඨ රොබට්‌ නොක්‌ස්‌ගේ කපිතාන් පියතුමන් මැලේරියාව වැළඳී මෙහිදීම මියයනවා. රොබට්‌ නොක්‌ස්‌ ඉන්පසු 1679 දී තවත් සිරකරුවකු සමග මන්නාරමට පළාගොස්‌ ලන්දේසීන්ට එකතුව කොළොම්තොට හරහා යළිත් බ්‍රිතාන්‍යයට යනවා. එහෙත් ලංකාවේ ජනජීවිතය, උඩරට ප්‍රදේශය ගැන වගේම දෙවැනි රාජසිංහයන් ගැනත් කරුණු ඇතුළත් අපූරු පොතක්‌ ලියා පළකරනවා. ඒ තමයි "An Historical Relation of the Island Ceylon" නම් කෘතිය. මෙය ලංකාව පිළිබඳ සුදු ජාතිකයකු ලියූ ප්‍රථම ග්‍රන්ථය විදිහටයි සැලකෙන්නේ. එදා ඒ අත්අඩංගුවට පත්වීම සිහිකෙරෙන සියඹලා ගසේ ඊළඟ පරපුරට අයත් ගස්‌ තමයි දැන් තියෙන්නේ. වසර 300 කට වඩා පැරණි මුල් ගස 1978 සුළි සුළඟේදී ඉදිරී වැටී තිබෙනවා. 1893 දී තමයි මේ ගස ආරක්‍ෂාකොට එහි සිහිවටන ඵලකය තබා ඇත්තේ.

සාම්පූර්

නොක්‌ස්‌ගේ සියඹලා ගසත් බලාගෙන මීළඟට අපි ගමන් ඇරඹුවෙ සාම්පූර්වලට යන්න. මුතූර්වලින් හැරී අබලන් මාර්ගයේ අපේ ජීප් රථය ඉදිරියට ඇදෙනවා. මේ යන ගමනේදී කට්‌ටපරිච්චාන්, සාලසුර් යන ප්‍රදේශත් අපට මුණගැහෙනවා. අපේ මතකය නිවැරැදි නම් මේ කට්‌ටපරිච්චාන් ප්‍රදේශය එකල විශාල වශයෙන් ත්‍රස්‌තවාදීන් හා රජයේ හමුදා අතර ගැටුම් පැවැති ප්‍රදේශයක්‌. බිම්බෝම්බ හා බර අවි ප්‍රහාර හේතුවෙන් අපේ සෙබළුන් සැලකිය යුතූ පිරිසක්‌ වරින්වර මෙහිදී ජීවිත දන් දුන්නා.

මේ ප්‍රදේශ පහුකරගෙන ගියහම තමයි සාම්පූර් මුණගැහෙන්නෙ. ඔබ හොඳින් ත්‍රිකුණාමලය අවට සිතියම දෙස බැලුවොත් කොට්‌ටියාරම් බොක්‌කට පහළින් දකුණු පැත්තෙන් පෙනෙන නෙරාගිය ගොඩබිම් ප්‍රදේශයක්‌ දැකගත හැකියි. මේ තමයි සාම්පූර්. එහි කෙළවර හඳුන්වන්නේ "ෆවුල් පොයින්ට්‌" කියල. ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය පිහිටල තියෙන්නෙත් මෙහි. ෆවුල් පොයින්ට්‌ දැකගන්න අපි ප්‍රවාහන විධි කිහිපයක්‌ම භාවිත කළා. ඒ ගැන අපි ඉදිරියේදී වඩාත් විස්‌තරව කතා කරනවා. කොහොමහරි සාම්පූර් නාවික හමුදා කඳවුරට ගිය අපිව එහි
නිලධාරින් ඉතා සුහදව පිළිගත්තා. හැබැයි ෆවුල් පොයින්ට්‌ යන්න අපි ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම, නාවික හමුදා මූලස්‌ථානයෙනුත් අවසර ලබාගත් බව මෙහිදී සඳහන් කළ යුතුයි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා අධීක්‍ෂණ නිලධාරි මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ අවසරයෙන් පස්‌සෙ නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා ප්‍රමුඛ ඉහළ නිලධාරීන් වගේම ත්‍රිකුණාමලය, සාම්පූර් අණදෙන නිලධාරීන්ද අපට ඒ සඳහා නොමද අනුග්‍රහයක්‌ ලබා දුන්නා. ඒ අනුව ජීප් රථයකින් කිලෝමීටර් 7-8 ක්‌ ගිහිං තමයි ෆවුල් පොයින්ට්‌ වලට ළඟා වුණේ. එතනත් නාවික කඳවුරක්‌ තියෙනවා.

මේ ගමනේදී නාවික ලුතිනන් අනුරුද්ධ හේරත් අපට මඟ පෙන්වීමේ කාර්යය සිදු කළා.

ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය

නාවික කඳවුර මැදින් අපි ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය අසලටම ළඟා වුණා. මේ තමයි එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ විජයග්‍රහණය සනිටුහන් කළ යෝධ සලකුණ. ෆවුල් පොයින්ට්‌ හෙවත් 'කෙවුලියා' පොයින්ට්‌ ප්‍රදීපාගාරය ලෙසයි මෙය හඳුන්වන්නේ. 1863 දී ඉදිකර ඇති මෙහි උස මීටර් 32 (අඩි 105) ක්‌. වට ප්‍රමාණය මීටර් 25 ක්‌. දැන් මේ ප්‍රදීපාගාරය තරමක්‌ අබලන්
තත්ත්වයකයි තියෙන්නෙ. තට්‌ටු පහකින් සමන්විත මෙහි යකඩ තරප්පුපෙළ, ගරාදි, තට්‌ටු, බාල්ක යනාදිය හොඳටම දිරාපත් වෙලා. ඒ නිසා එතනට ගියත් අපට ප්‍රදීපාගාරයේ ඉහළ මහළවලට නගින්න බැරි වුණා. එහෙත් එතනට අනික්‌ පසින් පෙනෙන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශය වගේම, ෆවුල් පොයින්ට්‌ අවට පවතින අලංකාර ගල්පරවල සුන්දරත්වයන් විඳගත්තෙ රටවටා ගමනේ තවත් එක්‌ නාවතැනක්‌ බවට මේ සොඳුරු ෆවුල් පොයින්ට්‌ ප්‍රදේශය පත්කර ගනිමින්.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/06/12/nimna04.html

36 : උත්තම මුනි දළදා වැඩම වූ ලංකා පටුන (ඉලංකතුරෙයි)

වෙරුගල් / වෙරුගල් ඔය මෝය

වෙරුගල් ඔබට මතකද? වෙරුගල් යනු වාකරේ පසුවූ විට කදිරවේලි වලට පසුව අපට හමුවන ප්‍රදේශයක්‌. මෙතනින් තමයි සුප්‍රකට වෙරුගල්ඔය මුහුදට එකතු වෙන්නෙ. හෝර්ටන්තැන්න ප්‍රදේශයෙන් ඇරඹී උතුරු දෙසට ගලායන ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි නදියෙන් පැන නඟින වෙරුගල් ඔය සෝමාවතියට හා ත්‍රිකෝණමඩු රක්‍ෂිතයට නුදුරු ප්‍රදේශයේදී ඉපදී ත්‍රිකුණාමලයට දකුණු දෙසින් මුහුද සිපගන්නවා. මෙන්න මේ වෙරුගල් ඔය, මාවිල්ආරු ප්‍රදේශයේදී හරස්‌කොට විශාල ජලාශයක්‌ තනන්නෙ ඩී. එස්‌. සේනානායක යුගයේදී. එම ජලාශයේ ප්‍රධාන සොරොව්වක්‌ තමයි මාවිල්ආරු සොරොව්ව නමින් හැඳින්වෙන්නේ. එතැනින් පටන් ගන්නා මාවිල්ආරුව ඇල්ල, කන්තලේ, මුතූර්, සාම්පූර් දක්‌වා ජලය ගෙන යනවා. මේ සොරොව්ව වසා දමා කළ අපරාධයට වන්දි ගෙවන්නයි එල්. ටී. ටී. ඊ. ය තම විනාශය තමා අතින්ම සිදුකරගත්තේ.

ඉතින්, මාවිල්ආරුවට දියවර සපයන මේ වෙරුගල් ඔයම තමයි මඩකලපුව හා ත්‍රිකුණාමලය වෙන්කරන දිස්‌ත්‍රික්‌ මායිමත් වෙන්න. ඒ දිස්‌ත්‍රික්‌ මායිමට පැමිණ සිටින අපි වෙරුගල් ඔය පැන ත්‍රිකුණාමල බලප්‍රදේශයට යන්න කලින් වෙරුගල්ඔය මෝය කට දැකබලා ගන්න ගියා.

වෙරුගල් ඔය මෝය කට බලන්න යන්න අපට උදව් කළෙත් වාකරේ පොලිසියේ ලාල් හා සමීර යන පොලිස්‌ නිලධාරීන් දෙදෙනා. ගමන ආරම්භයේදීම තමයි මුහුදු වැදි පිරිසක්‌ මුණ ගැසුණේ.

වෙරුගල් ඔය මෝය

වාකරේ ඉඳන් ඌරියන්කඩ්ඩු, පල්ෙච්න, කඩ්ඩුමුරිච්චිකුලම්, කදිරවේලි, පුදූර් පසුකරමින් පැමිණි අපි වෙරුගල්මෝය කට සොයාගෙන තවත් නැගෙනහිර දෙසට ඇදුණෙ තල් වදුලු මැදින්. මේ ගමනට පුදූර් ධීවර සංගමයේ සභාපති සුබ්‍රමනියම් හා ලේකම් කෝපාල ක්‍රිෂ්නන් යන දෙදෙනාත් එකතු කරගත්තා. කලක්‌ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ දරුණුතම බල ප්‍රදේශයක්‌ වූ මෙම පෙදෙසේ සුන්දර මුහුදු ප්‍රදේශය දැක ගන්නට ලැබීමත් අපට විශාල ආශ්වාදයක්‌ වුණා. අපගේ ජීප් රථය පැදවූ උපුල් වළගොඩැලි සහිත පාරේ තල් වදුලු අතරින් රිංගා වෙරුගල් මෝය පේන තෙක්‌ මානයටම අපව රැගෙන ගියා. ඊට පසුව තවත් කිලෝමීටරයක පමණ දුරක්‌ වැලිතලාව මතින් ගෙවාගෙන තමයි වෙරුගල් මෝයට ළඟා වුණේ. ඒ වෙනකොටත් එහි රැස්‌වෙන මසුන් මරන්න ප්‍රදේශයේ ධීවරයන් දැල් දමමින් තමයි හිටියේ.

මුහුදු වැද්දෝ


වාකරේ ගැන කතා කරන විට මුහුදු වැද්දන් ගැනත් කතා කරන්න සිදුවෙනවා. සේවදේශික ජන කොට්‌ඨාසයක්‌ වන මොවුන් වැඩිපුර ව්‍යාප්තව ඉන්නෙ, වාලච්ෙච්නත් සාම්පූර් ප්‍රදේශයත් අතර මුහුදුබඩ තීරයේ ඒත් ඉතින් මේ ස්‌වදේශිකයන් අතළොස්‌සක්‌ තමයි දැන් හඳුනාගත හැක්‌කේ. තිස්‌ වසරක යුද්ධය හේතුවෙන් මේ පිරිසගෙ දිළිඳුභාවය තවදුරටත් වැඩිව ඇති බව වාකරේ වෙරුගල් ප්‍රදේශවල අප කළ සංචාරයේදී දැකගත හැකි වුණා.

මුහුදු වැද්දන් ගැන කතා කළාම අපට නිතැතින්ම වාකරේ සිහිපත් වෙන්නෙ ඒ සඳහා වාකරේ ප්‍රසිද්ධව ඇති නිසයි. මේ ජන කොට්‌ඨාසය දැක බලාගන්න අපි සල්ලතිව් (චල්ලතිව්) වල ඉඳල ගියේ වෙරුගල් ප්‍රදේශයට. ඒත් එදා ඒ මුහුදු වැදි නායකයා පත්තන් කදිතාමන් සහ පවුලේ පිරිස වෙරුගල් හන්දියේදීම අපට මුණගැසුණේ පවුලේ පිරිසක්‌ සමග කඩපළට පැමිණ සිටියදී. ඔවුන් අපට කිව්වෙ අතීතයේදී ඔවුන් දඩයම් කළත් දැන් මසුන් මැරීම සිදු කරන බවයි.

වෙරුගල් පාලම

සුනාමිය සමයේදී 2004 වසරේ මෙම වෙරුගල් පාලම දක්‌වා එන්න අපට අවස්‌ථාව උදාවුණා. හැබැයි ඒ වන විට මෙහි රජකරගෙන හිටියෙ කොටි ත්‍රස්‌තවාදීන්. ඒ වෙනකොට වෙරුගල් ඔයේ එහෙ මෙහෙ යන්න තිබුණෙ පාලම් පාරුවක්‌. මඩකලපුවේ ඉඳන් ත්‍රිකුණාමලයට ගිය ලංගම බස්‌රථය ඇතුළු අනෙකුත් වාහනත් එගොඩ මෙගොඩ වුණේ මේ පාලම් පාරුවෙන්, ඒත් අද යුද්ධය නිමාවෙලා. සාමය ඇතිවෙලා. සංවර්ධනය වෙරුගල් ඔයත් සොයාගෙන ඇවිත්. පාලම් පාරුව වෙනුවට දැවැන්ත වෙරුගල්පාලම දැන් එහි ඉදිවෙනවා.

කල්අඩි / පාෂාණ පබ්බත රජමහා විහාරය

ඊච්චලම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් කල්අඩි ප්‍රදේශය අපට හමුවන්නෙ ඊච්චලන්පත්තුවෙන් නැගෙනහිර දෙසට අතුරු පාරක යන විට. මේ ප්‍රදේශය එකල කොටි ත්‍රස්‌තවාදීන්ගේ අධිආරක්‍ෂිත ප්‍රදේශයක්‌ වගේ භාවිත කරපු ප්‍රදේශයක්‌. කල්අඩි ගම්මානය ඔවුන්ගේ රණවිරු ගම්මානයක්‌ වගේම, කොටිහඬ ගුවන් විදුලියත් පවත්වාගෙන ගිහිං තිබුණේ මෙහි. කල්අඩි පැරණි පාෂාණ පබ්බත විහාරය තමයි මේ කොටිහඬ තිබුණු තැන. එහි සම්ප්‍රේෂණ කුළුණ ඉදිව තිබුණේ පාෂාණ පබ්බත විහාරයේ දාගැබ පිහිටි කඳුගැටය මත.

එහි තවමත් මේ දාගැබේ පාදම හා නෂ්ටාවශේෂ දැකගත හැකියි. ඒ වගේම කොටිහඬ සම්ප්‍රේෂණාගාරය පිහිටි කන්ටේනර් පෙට්‌ටිය තමයි අදටත් විහාරයේ විහාරවාසීව වැඩවසන හිමියන්ගේ නවාතැන්පළ බවට පත්ව තියෙන්නේ. ක්‍රිස්‌තු වර්ෂ පළමුවැනි සියවසේදී මහාදාඨ§ක මහානාග රජතුමා විසින් ඉදිකරන ලද බව කියන මේ පාෂාණ පබ්බත විහාරය අද නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ විහාරාධිපති හිමියන් විසින් පවත්වාගෙන යනු ලබනවා.

ලංකා පටුන / සමුද්‍රගිරි විහාරය

සුප්‍රකට ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය අපට හමුවන්නෙ පාෂාණ පබ්බත විහාරය පසුකර මුහුදු අද්දරින් ඉදරියට ඇදෙන විට. මේ මාර්ගය එතරම් යහපත් තත්ත්වයක නැතත්, මුහුද බඩින් මුතූර් දක්‌වා ගමන් ගත හැකියි. තවත් කිලෝමීටර් 7-8 ක්‌ ගියවිට අප බලාපොරොත්තුව පැමිණි ලංකා පටුන සමුද්‍රගිරි විහාරය අපට මුණගැහෙනවා. මෙය අන්කිසිවක්‌ නොව හේමමාලා- දන්ත කුමරුන් විසින් කළිඟු රට සිට මෙහි වඩමවාගෙන පැමිණි ශ්‍රී දළදා වහන්සේ මෙම පුණ්‍යභූමියට රැගෙන ආ ස්‌ථානයයි.

කළිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරියත් ඇගේ සැමියාවූ උදේනි නුවර උදේනි රජු පුත් දන්ත කුමරුවන් යන දෙදෙනා (මොවුන් දෙදෙනා උදේනි රජුගේ දියණිය හා පුත් ලෙසද ඇතැම් විස්‌තර වාර්තාවල සඳහන් වේ) දඹදිව කාලිංග පුරයේ තාමුලිප්තයෙන් නැව් නැඟ, කිත්සිරිමෙවන් රජදවස බුදුන්වහන්සේගේ වාම දළදාවද සඟවාගෙන මෙසේ ලංකා පටුනට ගොඩබට බව දාඨාවංශය පවසනවා.

ලංකා පටුන හෙවත් ඉලංකතුරෙයි ලෙස හැඳින්වෙන මෙතැන පුරාණ වරායක්‌ පිහිටි තැනක්‌ ලෙස සැලකෙනවා.

අලංකාර පෙනුමක්‌ සහිත සුවිශේෂී භූ ලක්‌ෂණයන්ගෙන් සමන්විත ලංකා පටුන සුවිසල් කලපුවක්‌ නිර්මාණය කරනවා.

උලක්‌කාලේ නම් මේ කලපුව අද්දර සිට බටහිර පෙදෙස දෙස ඉතා ඕනෑකමින් බැලුවොත් සේරුවාවිල විහාරයත් දැකගත හැකියි. කලපුමෝය අද්දරම වම්පසින් කඳු ගැටයක්‌ පිහිටා තිබෙනවා. මේ තමයි සමුද්‍රගිර. ඉපැරණි ලංකා පටුන විහාරය තිබී ඇත්තේ මෙහි. කලපුව හරහා තිබූ පැරණි පාලම ත්‍රස්‌තවාදීන් විසින් පුපුරුවා හැරීම නිසා දැන් එහි තාවකාලික යකඩ පාලමක්‌ හමුදාව විසින් ඉදිකරනු ලැබ තිබෙනවා. එයින් එගොඩව මේ වටිනා පුණ්‍ය භූමියේ අසිරිය විඳින්නත් ලංකා පටුන විහාරය වන්දනා කරන්නත් අප අමතක කළේ නැහැ. ඒ මත සිට දකින හාත්පස සුන්දරත්වය විඳින්න නම් ඔබත් ලංකා පටුනට එක්‌ වරක්‌වත් ගොඩවිය යුතුමයි. අද අපි නම් ලංකා පටුනේ තවත් දිනෙකට කඳවුරු බඳිනවා.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/06/05/nimna03.html

35 : හිරු නැගෙන පුරයේ කන්‍යාවිය සල්ලතිව්(වාකරේ)

මඩකලපුවෙ කොත්තුරොටිය

කොත්තුරොටිය ගැන අද නොදන්න කෙනෙක්‌ නෑනේ. බත් නැත්නම් පාන් කාපු ජනතාවට දැන් ෆ්‍රයිඩ් රයිස්‌ නැතිනම් කොත්තු රොටියත් නැතිවම බැරි ආහාරයක්‌ බවට පත්වෙලා. සෑම නගරයකම, කඩපිලකම පාහේ හවස ඉඳන් රෑ රාත්‍රිය වෙනකං ඇහෙන්නෙම කොත්තු රොටි නාදය. "කොත්තු රොටී සංගීතයත්" දාගෙන තහඩු කෑලි දෙකක්‌ භාවිත කරමින් "කොටන" කොත්තුරොටිය විටෙක මහා කන්කරච්චලයක්‌. මේ කරච්චලය හින්ද උසාවි. පොලිසි, ගිය ඈයොත් ඉන්නවා. කොහොම වුණත් මේ කොත්තුරොටියේ උපත හැටියට සැලකෙන්නේ මේ දවස්‌වල අපි ගත කරන මඩකලපුව. කොත්තු රොටිය බිහි වුණේ කොහොමද කියල හරියට තොරතුරු අපට හම්බ වුණේ නෑ. නමුත් මඩකලපු ගිය ගමනේදී "ඔරිජිනල්" කොත්තුරොටියක රහ බලන්නත් අපි අමතක කළේ නැති බව කියන්න ඕන.

සයිවර් කඩයක්‌ හොයාගෙන රාත්‍රිය පුරා මඩකලපුව නගරයේ ඇවිද ගියත් අන්තිමේදී අපට පිහිට වුණේ කොත්තුරොටිය.


වැන්ඩලුස්‌ බොක්‌ක/ ඇත්තුඩුව

පාසිකුඩා බොක්‌කට උතුරින් තමයි මේ වැන්ඩලුස්‌ බොක්‌ක පිහිටා ඇත්තේ. ඊට පහළින් ඇති හොඬයක්‌ මෙන් විහිද ගිය ඇත්තුඩුව (එලිෆන්ට්‌ පොයින්ට්‌) අපට හමුවෙනවා. වැන්ඩලුස්‌ බොක්‌ක ඔස්‌සේ නිර්මාණය වන තවත් කලපුවක්‌ තිබෙනවා. ඒ තමයි වාලච්ෙච්න කලපුව. එය තරමක්‌ රට තුළට කාවැදුණු ජලාශයක්‌. ඔට්‌ටමාවඩි ප්‍රකට පාලමත් මෙම ජලාශය ඔස්‌සේ තමයි නිර්මාණය කර ඇත්තේ ඒ වගේම ඇත්තුඩුව මේ රටේ තවත් ප්‍රකටම භූ පිහිටීමක්‌ සහිත ස්‌ථානයක්‌. කලපු, බොකු, තුඩු යනාදී විවිධ භූරූප රැසක්‌ සහිත අපේ මේ සුන්දර දිවයිනේ ඇත්තුඩුවටද විශේෂ සැලකිල්ලක්‌ හිමිවෙනවා.


සින්න කායන්කර්නි

ඇත්තුඩුව පහු කරල වාලච්ෙච්න ප්‍රදේශයෙන් තවත් උතුරු දෙසට යන විට අපට වාකරේ මාර්ගය මුණගැහෙනවා. මේ මාර්ගය දිගේ ත්‍රිකුණාමලය දක්‌වා ගමන් කරන්න පුළුවන්. කාලයක්‌ මේ මාර්ගය කජුවත්ත දක්‌වා පමණයි රජයේ පාලනයට නතුව තිබුණේ. වන්නි මෙහෙයුමට පෙර නැගෙනහිර මුදාගැනීමේ සංග්‍රාමයේදී පළමුව වාකරේ බලයත් අල්ලාගන්න ආරක්‍ෂක හමුදා කටයුතු කළ හැටි අපට මතකයි. කොහොමහරි මේ මාර්ගයේ මඳ දුරක්‌ ඉදිරියට යනකොට අපට හමුවන්නේ සුවිසල් තෙත් බිම් ප්‍රදේශයක්‌, ලවණ වගුරු, ඇළ මාර්ග සහ මිරිදිය තෙත්බිම් ප්‍රදේශයන් මෙහිදී දැකගත හැකියි. මේ ප්‍රදේශයේ ඉතා සරුවට වැඩුණු කඩොලාන පරිසරය අපට මෙම ප්‍රදේශය අගනා පරිසර පද්ධතියක්‌ බව කියනවා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ සින්න කායන්කර්නි යන නමින්. අද මෙහි ඇළ මාර්ගයට ඉහළින් දැවැන්ත පාලමක්‌ ඉදිවෙනවා. ඒ සින්නකායන්කර්නි පාලමයි.

සින්න කායන්කර්නි ප්‍රදේශයෙන් පසු මීළඟට අපට හමුවන්නේ මාන්කර්නි, කිරිමිච්චායි හන්දියෙන් පසු හමුවන මේ ප්‍රදේශ එදා සම්පූර්ණයෙන්ම පාහේ ත්‍රස්‌තවාදීන්ගේ බලප්‍රදේශයක්‌ හැටියට තමයි තිබුණේ. සුනාමි ෙ€දවාචකය සිදුවූ 2004 වසරේ අවසන් දින කිහිපය තුළ අපිටත් මේ මාන්කර්නි ප්‍රදේශයට එන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒත් එදා මෙහි සිටි ත්‍රස්‌තවාදීන්ගෙන් අවසර ලබාගෙන තමයි එ.

මාන්කර්නියෙන් පස්‌සෙ ඔන්න අපට හමුවන්නේ පනිච්චන්කර්නි කලපුව නොහොත්, පනිච්චන්කර්නි වේලිමග. කලපුව හරහා පටු වේලිමගට සම්බන්ධව කුඩා පාලම් දෙකකුත් පිහිටා තිබෙනවා. එදා සුනාමි ෙ€දවාචකය සිදුවූ අවස්‌ථාවේදී මේ පාලම් විනාශ වුණා. ඉන්පසු එහි ඉදිවුණේ තාවකාලික යකඩ පාලම්. එහෙත් නැගෙනහිර මුදාගැනීමේ රජයේ භට පිරිස්‌ වාකරේ බලා ගමන් ගනිද්දී ත්‍රස්‌තවාදීන් විසින් මෙම පාලම පුපුරුවා හරිනු ලැබුවා.

හමුදාව නැවත පාලම ගොඩනැඟුවා. දැන් අපි ඉන්නෙ ඒ පාලම මත. අතිශය සුන්දර වටාපිටාවක්‌ සහිත පනිච්චන්කර්නිය දවසක්‌ දෙකක්‌ ගතකරන්න තරම් ආස හිතෙන, දාල යන්න හිතෙන්නෙ නැති තැනක්‌. මේ පුළුල් කලපුව හරිම නිසංසලයි. කාලයක්‌ තිස්‌සේ වෙඩිහඬට, අවි බලයට යටත්ව තිබුණ හින්ද මෙහි වැඩි ජනාකීර්ණ බවකුත් දකින්නට නැහැ. බැලූ අත පෙනෙන කලපු පරිසරයත් ඒ වටා පිහිටි දැඩි වනගහනයත් අපේ රටේ සෞන්දර්යය අගය මැනවින් ලොවට හඬගා කියන තැනක්‌. අතරින් පතර, කලපුව තුළ සාම්ප්‍රදායික ක්‍රමයට ඔරු, පාරුවල හිඳ මසුන් මරණ ධීවරයන් හැරුණු විට දකින්නට ඇත්තේ පනිච්චන්කර්නි මුරපළේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් විතරයි. එහෙත් දැන් කලපුව අසබඩම සංචාරක නිකේතනයකුත් ඉදිවෙමින් පවතිනවා.


මුහුදට ඉතා සමාන්තරව හා ආසන්නව පිහිටි පනිච්චන්කර්නිය පසුකර තවත් ටික දුරක්‌ ගියවිට තමයි අපට වාකරේ හමුවන්නෙ. අපේ ජීප්රථය ඊළඟ නිමේශයේදී නතර වූණේ වාකරේ රෝහල ඉදිරිපිට. ඒ ඉදිරියෙන් වාකරේ කලපුවත්, කලපුව හා සාගරය අතර පොල් අරඹක්‌ සහිත තවත් අලංකාර ගොඩබිම් ප්‍රදෙශයකුත් දැකගත හැකියි.

වාකරේ රෝහල නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුමේදී නිරන්තරයෙන්ම කතාබහට ලක්‌වුණු තැනක්‌ බවට පත්වුණා ඔබට මතක ඇති. මෙය රජයේ රෝහලක්‌ වුණත් ත්‍රස්‌තවාදීන් මෙය ඔවුන්ගේ කටයුතු සඳහා යොදාගත් බව රහසක්‌ නොවේ. විටෙක ඔවුන් මෙම රෝහලට රජයේ හමුදා ප්‍රහාර එල්ල කළ බවටත් ව්‍යාජ තොරතුරු ගෙන හැර පෑවා. කොහොම හරි අපගේ වීරෝදාර හමුදා වාකරේ රෝහල නිරුපද්‍රිතව බේරාගත් අයුරු එකල අපි ජනමාධ්‍ය මගින් දැකබලා ගත්තා. දැන් අපි ඉන්නේ මේ රෝහල ඉදිරියේමයි.

වාකරේ ප්‍රදේශයේ දැන් එතරම් ජන ඝනත්වයක්‌ දැකගත නොහැකි වුවත්, මෙය ඉතා හොඳ පරිපාලන නගරයක්‌. රෝහල, පොලිසිය, හමුදා බලසේනා මූලස්‌ථානය, බස්‌ ඩිපෝව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල, ගොවිජන සේවා කාර්යාලය ඇතුළු රජයේ ගොඩනැඟිලි රැසක්‌ මෙහි දක්‌නට ලැබෙනවා. පැරැණි මතකය අලුත් කරන්නට අප අකැමැති නමුත්, එකල නැගෙනහිර කොටි නවාතැන්පළවල් ලෙස තිබූ ස්‌වර්ණම් බේස්‌, ජීවන් බේස්‌ යන කොටි බලකොටුත් පිහිටා තිබී ඇත්තේ මේ වාකරේ කේන්ද්‍ර කර ගනිමින්. එමෙන්ම එදා කොටින්ගේ පොලිස්‌ ස්‌ථානය ලෙස භාවිතයට ගත් ස්‌ථානය අද ශ්‍රී ලංකා පොලිසියේ බැරැක්‌කයක්‌ ලෙසත් භාවිත කරන බවත් සඳහන් කළ යුතුයි. මේ සියලු දේ මෙන්ම, ජීවන්බේස්‌ නමින් තිබූ කොටි අඩවියත් බලා කියා ගෙන මීළඟට අපි ගියේ අති සුන්දර වෙරළ තීරයකට. ඒ තමයි සල්ලතිව්.


සල්ලතිව්

වාකරේ -සල්ලතිව් මුහුදු වෙරළ අතිශය රමණීය, සංචාරක නෙත පිනවන ආකර්ෂණීය මුහුදු කලාපයක්‌. එය පිහිටා ඇත්තේ වාකරේ සිට ආයිමත් දකුණු දිගට පැමිණ පෙර අප සඳහන් කළ පනිච්චන්කර්නි කලපුව ආසන්නයෙන් මුහුද දෙසට ගිය විට.

මේ රමණීය මුහුදු වෙරළ, සල්ලතිව් ගැන අපට ආරංචිය දුන්නෙ වාකරේ පොලිස්‌ ස්‌ථානාධිපති (හිටපු) සුමිත් පෙරේරා මහතා, ඒ විතරක්‌ නෙමේ සල්ලතිව් යන්න අපට ලොකු අනුග්‍රහයකුත් ලබා දුන්නා. නොදන්නා පළාතක්‌ වුණු මේ පැත්තට යන්න පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු යෙද වූ ඔහු ආහාර පානාදියෙන් අපට සංග්‍රහ කරන්නත් අමතක කළේ නැති බව මේ වෙලාවෙ අප කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

පනිච්චන්කර්නියෙන් හැරී මඳ වේලාවකින් අපේ ජීප්රථය වැලි පොළව මැදින් ඇවිත් නතර වුණේ ධීවර වාඩි කිහපයක්‌ ළඟ. මේ ස්‌ථානයේදී අපට මීගමුවේ ඉඳන් පැමිණි මෙහි ධීවර රැකියාව කරන සංචාරක ධීවර පවුලකුත් මුණගැහුණා. ඒ පවුලේ පුංචි දෝණියගේ පින්තූරයකින් තමයි අද අපේ පිටුව හැඩවෙන්නෙ.

සල්ලතිව් කියන්නෙ හැබෑවටම අතිශය සුන්දර වෙරළ තීරයක්‌. මේ ගැන අපිට ආරංචිය, දුන්නු වාකරේ පොලිස්‌ ස්‌ථානාධිපති (හිටපු) කිව්වෙ මෙය පාසිකුඩාවලටත් වඩා ලස්‌සනයි කියල. අපි ගිය දවස තරමක අඳුරු බර දවසක්‌ වුණත්, සල්ලතිව්වල ආකර්ෂණීය බවෙන් අපි මත් වුණා. එක්‌ පැත්තකින් මෙහි ගල්පරයක්‌ සහිත අලංකාර දූපතක්‌ පිහිටා තිබෙනවා. මේ ප්‍රදේශයේ මුහුද නොගැඹුරු හින්ද තරමක්‌ දුරට ඇවිද ගෙන වුවත් යා හැකියි. හරියට පාසිකුඩා වගේ.

කොහොම හරි අද අපට කඳවුරු බිම බවට පත්වන සල්ලතිව් වෙරළේ අසිරිය අප නොසෑහෙන සේ විඳ ගත්තා. අපේ උදව්වට ආපු වාකරේ පොලිසියේ ලාල් සාජන්වරයාත්, සමීර රත්නායක මහතාත් මේ ගමනේදී අපට විශාල සහයෝගයක්‌ ලබා දුන්නා. දූපත වටාත් සංචාරය කළා. ධීවරයන් සමඟත් මුහු වෙන්න අපට මේක කදිම අවස්‌ථාවක්‌ වුණා. එදා කොටි බලකොටුවක්‌ව පැවැති සල්ලතිව් අද නිදහසේ අරුණලු දහරින් පිබිදෙනවා. නැගෙනහිර අසිරිය සොයා ඇදෙන සංචාරකයන් හෙට සල්ලතිව් බලාත් ඇදේවි. එහෙත්, එසේ එන සංචාරක ඔබට අප විශේෂ සිහිපත් කිරීමකුත් කළ යුතුමයි. ඒ, අනෙකුත් වෙරළ තීරයන් මෙන් සල්ලතිව් රූමතිය නම් පොලිතින්, ප්ලාස්‌ටික්‌, කෑම කොළවලින් හිස්‌ වතුර බෝතල්වලින් වනසන්න එපා කියන එක. සල්ලතිව් ගැන අද අපි කියන්නෙ ඔබගේ දැන ගැනීමට වුවත්, මේ සුන්දර වෙරළේ පරිසරය විනාශ වුවහොත් එහි වගකීමෙන් කොටසක්‌ අපටත් බැරවන නිසා කරුණාකර මේ සුන්දර කන්‍යාවිය දූෂණය කිරීමෙන් වළකින්න. අද මේ වෙරළේ කඳවුරු බැඳගෙන කාරුණිකව අපි ඒ ඉල්ලීම ඔබගෙන් කරනවා.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න


අදහස්‌ jagathkanahara@gmail.com

http://www.divaina.com/2011/05/29/nimna03.html

34 : නැගෙනහිර සුන්දරිය පාසිකුඩා - කල්කුඩා

මඩකලපුව

මඩකලපුව ලෙසින් අද එම නගරය ප්‍රකටව ඇතත් එසේ හැඳින්වෙන්නේ ඒ ආශ්‍රිත සුවිසල් කලපුවයි. මඩකලපුව යන නම පටබැඳී ඇත්තේ කෙලෙසද පැහැදිලි නැතත් ගල්පරවල බැඳෙන "මට්‌ටි" නමැති බෙල්ලන් නිසා හෝ බහුලව මෙහි දිවි ගෙවන "ජෙලිෆිෂ්" මසුන් නිසා බව පවතින විශ්වාසයයි.

යාපනය කලපුව, පුත්තලම කලපුව හැරුණු විට මීළඟට මෙරට විශාලතම කලපු පරිසර පද්ධතිය ලෙස සැලකෙන්නේ මඩකලපුවයි. පුළුල් ලෙස පැතිරුණු හා ගැඹුරු කලපුවක්‌ ද වන මෙය, පටු විවර දෙකකින් මුහුද හා සම්බන්ධ වේ. මෝසම් වර්ෂාව සමයේදී මේ හා සම්බන්ධ දිය දහරා ඔස්‌සේ වැඩි මිරිදිය ප්‍රමාණයක්‌ කලපුවට එකතු වේ. මෙහි කඩොලානවලින් සමන්විත දූපත් රැසක්‌ ද වේ. ඉතා හොඳ මුහුදු තෘණ පරිසරයක්‌ ද මෙහි වේ. මෙනිසා කලපු මසුන් ඇතුළු ජල ජීවීන්ගේ හොඳ විවිධත්වයක්‌ මෙහි ඇත. ඉස්‌සන්, කකුළුවන් ඇතුළු කලපු ධීවර කටයුතු සඳහා මඩකලපුව ප්‍රකටය.


මඩකලපු ප්‍රදීපාගාරය


මඩකලපුව දුම්රිය ස්‌ථානයට කල්ලඩි පාලම පේන දුර. ගිය සතියෙ අපි ඒ ගැන කතා කළා. එතනම තමයි ශාන්ත සෙබස්‌තියන් දේවස්‌ථානය තියෙන්නෙත්. මේ දෙවොලත් බලා කියාගෙන පාලම අසලින් වැටී ඇති පාර දිගේ ගියහම මඩකලපු මෝයකට දක්‌වාම යන්න පුළුවන්. ඒ යන ගමනේදී අපට මඩකලපුව වෙරළ උද්‍යානය හමුවෙනවා. කලපු ධීවර කටයුතු සඳහා මෙන්ම සංචාරක බෝට්‌ටු සේවා සඳහාත් ප්‍රකට මේ ස්‌ථානය, මෝයකට දැකගන්නත් කදිම ස්‌ථානයක්‌. ඒ වගේම, ප්‍රකට මඩකලපුව ප්‍රදීපාගාරයත් පිහිටල තියෙන්නෙ මෙතැන. 1913 දී ඉදිකර ඇති මේ ප්‍රදීපාගාරයේ උස, අඩි 100 ක්‌ පමණ වෙනවා.


මාන්තිව් දූපත /ලාදුරු රෝහල

කලපුව මුහුදට සමාන්තරව පුළුල් ලෙස පැතිර තිබෙන අතර මෙහි ලොකු කුඩා දූපත් රැසක්‌ද පිහිටා තිබෙනවා. ඒ අතරින් පිළිවෙළින් වඩාත්ම විශාල දූපත් දෙක ලෙස සැලකන්නේ බµලෝ අයිලන්ඩ් සහ මාන්තිව් දූපත්. මඩකලපු නගරයට බටහිරින් පිහිsටි මෙම දූපත් අතරින් මාන්තිව් ප්‍රකටව ඇත්තේ එහි ලාදුරු රෝහලක්‌ ඇති නිසා. ඕලන්ද පාලන යුගයේදී පළමුව කොළඹ - හැඳල ලාදුරු රෝහල ඇති කළ බවත් ඉන්පසු ගාල්ලේ රූමස්‌සල හා මඩකලපුවේ මාන්තිව්වල පාළු හුදෙකලා ප්‍රදේශ තෝරා, ජනතාවගෙන් වෙන්වන පරිදි මෙවන් ලාදුරු රෝහල් ඇති කළ බවත් අතීත තොරතුරුවල සඳහන්. ඒ ලාදුරු බෝවන රෝගයක්‌ නිසා.

අක්‌කර 68 කින් තරම් විශාල කඩොලාන සහ අනෙකුත් වෘක්‍ෂ වදුලකින් සමන්විත මාන්තිව් දූපතත් එකල ලාදුරු රෝහලක්‌ බවට පත්වුණා. එදා සිට අද දක්‌වා වසර තුන්සියයකට ආසන්න කාලයක්‌ මෙය ලාදුරු රෝහලක්‌ ලෙස පවත්වාගෙන යනවා. එහෙත් එදා 350-400 ක පමණ රෝගීන්ගේ නවාතැන්පළක්‌ (ජීවිත කාලය පුරා) බවට පත්ව තිබූ මේ ලාදුරු රෝහලේ අද දිවිගෙවන්නේ රෝගීන් දෙදෙනකු පමණයි. ඒ මේ රෝගීන් දෙදෙනාගේ දුක සැප බලන්න මඩකලපු ගිය ගමනේදී අපිත් මාන්තිව් දූපතට ගියා. අසල පිහිටි ගුවන් හමුදා කඳවුරේත්, මඩකලපු රෝහල් අධ්‍යක්‍ෂවරයාගේත් විශේෂ අවසරයක්‌ ලබාගත් අපි රෝහලටම අයත් බෝට්‌ටුවෙන් මාන්තිව් ගියේ බොහෝ දෙනකුට දකින්නට නොලැබෙන ඒ දුලබ දසුන දැක බලාගෙන මාන්තිව් දූපතේ තොරතුරු ඔබටත් කියන්න හිතාගෙන.

වලයාරු ප්‍රදේශයෙන් බෝට්‌ටුවට නැඟුන අපි කලක්‌ කොටි බලකොටු ලෙස පැවැති පුදූර්, වව්නතිව් කොක්‌අඩි චෝල ප්‍රදේශත් ඇස ගැටෙන මායිමෙන් තවත් කෙටි වේලාවකදී මාන්තිව් බෝට්‌ටු ජැටියට ළඟා වුණා. එහි අපි එනතුරු රෝහල් සේවකයින් කිහිප දෙනකු රැඳී සිටියා. එතැන් සිට මීටර් හාරසියයක්‌ පමණ යනතුරු පවතින අඩිපාර වැටිල තිබුණෙ අපමණ ජලජ කුරුල්ලන් රැසක්‌ කූඩු තනා තිබූ රූස්‌ස වන වදුල අතරින්. තවත් පැත්තකින් වන වැදුණු කුඩා කුඩා නිවහන් (වාට්‌ටු) රාශිය අපට කියා පෑවේ රෝහලේ අතීත කතාව. පන්සල, පල්ලිය, කෝවිල, මුස්‌ලිම් පල්ලිය යනාදිය අද වනාන්තරයට වැහී ගිහිං. එදා මුළු ජීවිතය කාල පුරාවටම දෙමවුපියන්ගෙන්, සහෝදර, නෑදෑහිතමිතුරන්ගෙන් වෙන්වෙලා ගිය අයට මේ ආගමික ස්‌ථාන සැබෑම සුවයක්‌ ලබාදෙන්න ඇති. පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණය, යෝධ වතුර ටැංකිය පවා දැන් අභාවයට යමින් පවතිනවා. ත්‍රස්‌තවාදී ප්‍රශ්න නිසා මෙහි ජල හා විදුලි

සැපයුම් දැන් විසන්ධි වෙලා. රජයේ වෙනත් කාර්යාලයක්‌ හැටියට මාන්තිව් දූපතේ කුඩා තැපැල් කාර්යාලය තවමත් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් අපි රෝහලේ ඉන්න අන්තිම ලාදුරු රෝගීන් දෙදෙනා හොයාගෙන ගියා. කොළඹ ඉපදුණා යෑයි කියන සේනත් යාපනයේ ඉපදුණා යෑයි කියන කුරුනාදනුත් තවමත් මාන්තිව් දූපතට තනි රකිනවා. රෝහල් සේවකයින් 16 ක්‌ වගේම වෛද්‍යවරයෙකුත් වරින් වර මාන්තිව් දූපතේ රාජකාරියට එනවා. රාත්‍රියේදී රෝගීන් දෙදෙනාත් එක්‌ක බොහෝ විට මාන්තිව් රෝහලේ පස්‌හයදෙනෙක්‌ විතර තනිsවෙනවා.

කොහොම වුනත් මාන්තිව් අලංකාර, ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනූන දූපතක්‌. ඒක කුරුල්ලන්ගේ කැදලි බිමක්‌ නොහොත් කුරුලු පාරාදීසයක්‌. වවුලන්ද ඇති තරම් මෙහි දිවි ගෙවනවා. ඒ නිසා එය අභය භූමියක්‌ බවට පත්කළ යුතුය යන්න මාන්තිව් දූපතේ සැරිසැරූ අපේ අදහස වන්නේ.


කාන්තෝන්දීස්‌වරම් කෝවිල

දකුණේදී අපි කතරගම දෙවියන් ගැනත්, කතරගම දේවාල ගැනත් කතා කළා. කතරගම කැබලිත්ත, ඕකන්ද පානම වැනි ප්‍රදේශ කතරගම දෙවියන් නොහොත් ශ්‍රී මුරුගන් දෙවියන්ගේ දේවාල හැටියට සලකනවා. ශ්‍රී මුරුගන්ගේ පියා හැටියට සැලකෙන්නේ ශිවදෙවියන්. ශිව වෙනුවෙන් තැනුනු දේවාල නොහොත් කෝවිල් පද්ධතියකුත් අපේ රටේ විවිධ තැන්වල පිහිටා තිබෙනවා. එම කෝවිල "වරම්'' ලෙසයි හඳුන්වා අවසන් කරන්නේ. මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම හා හලාවත යන තැන්වලදී මෙම ශිව දෙවි කෝවිල් අපට රට වටා ගවේෂණ චාරිකාවේදී හමුවීමට නියමිතයි. පළමුව අපට හමුවන එවන් කෝවිලක්‌ තමයි මඩකලපුවේ කාන්තෝන්දීස්‌වරම් කෝවිල. අද මෙම කෝවිලේ ගත කරන අපි ඉදිරියේදී අනෙකුත් සියලුම ශිව දේවාල ගැනත් කතා කරනවා.

පසුගිය සතියේ නැගෙනහිර අප කළ දුම්රිය චාරිකාවේදී ඈතින් සුප්‍රකට තොප්පිගල දිස්‌වුනා කියල අපි කිව්ව ඔබට මතක ඇති. මඩකලපුවටත් මෙසේ තොප්පිගල ඈතින් දැකගත හැකියි. මඩකලපු නගරයේ ගත කළ කාලය අපි නිමා කරල ඊළඟට පාසිකුඩා කල්කුඩා ප්‍රදේශ බලා ගමන් ආරම්භ කළා. ඒ ගමනේදී ඌරනිය ගම් ප්‍රදේශය පහුකරන කොටම ආපහු අපට අපේ වම් දෙසින් සුවිසල් (මඩ)කලපුව හමුවෙනවා. මෙන්න මේ කලපුවට ඉහළින් තමයි ඈතින් ''තොප්පිගල' හොඳට පෙනෙන්නෙ. කුඩාවට පේන මේ දර්ශනය වාසලගේ අධිබල කැමරාවේ පිහිටෙන් සමීපකරගත් ඡායාරූපයක තමයි අද අපි මෙහි පළකර තිබෙන්නේ.


පාසිකුඩා - කල්කුඩා

පාසිකුඩා සහ කල්කුඩා කිව්වොත් මේ රටේ නොදන්නා කෙනෙක්‌ නැති තරමට මේ සුන්දර වෙරළ තීරය හරිම ප්‍රකටයි. ඇත්තටම නැගෙනහිර වෙරළේ ප්‍රකටම ස්‌ථානය නොහොත් නැගෙනහිර සුන්දරිය තමයි මේ පාසිකුඩා - කල්කුඩා වෙරළ.

වාලච්ෙච්න ප්‍රදේශයෙන් හැරී තවත් මුහුද දෙසට කිලෝමීටර් 10 ක්‌ පමණ පොල්වතු, තල් වදුලු පසුකර ගියහම මේ අපූරු වෙරළ මුණ ගැහෙනවා. රළ වේගය අඩු, නොගැඹුරු මෙම මුහුදු ප්‍රදේශය ජල තටාකයක්‌ වගේ. පවුලේ ලොකු කුඩා හැමෝටම

වතුරේ බැස විනෝදවන්නට හැකි නිසාම බොහෝ දෙනා මේ ප්‍රදේශයට ඇලුම් කරනවා. පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකක්‌. කොරල් පර වගේම කැස්‌බෑවනුත් මෙහිදී දැක ගත හැකියි


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි

ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

http://www.divaina.com/2011/05/22/nimna04.html