Pages

Sunday, August 14, 2011

11 : රුක්‌ කලාවේ කෞතුකාගාරය අම්බලන්ගොඩ

ගෙඳවානාගල
අපගේ රට වටා යන ගවේෂණ චාරිකාව දැන් අම්බලන්ගොඩට ළඟා වෙලා. අද අප කඳවුරු බැන්දෙ අම්බලන්ගොඩ නගරයට නුදුරුව තියෙන අපේ රටේ දෙවැනි කුඩාම අභය භූමිය අසල. ඒ තමයි ගෙඳවානාගල, නැතිනම් ගෙඳවාන. ගල්පර දූපත කියල කියන්නෙත් මේ ගෙඳවානාගලටම තමයි. අම්බලන්ගොඩ ධීවර වරායේ කෙළවර පිහිටල තියෙන මේ ගෙඳවානාගල ධීවරයන් තමන්ගේ දැල් වේලාගැනීම ඇතුළු කටයුතු සඳහා භාවිතා කරනවා. එහෙත් මෙහි ඇති තවත් සුවිශේෂීතාවය වන්නේ, මේ දූපත මෙරට වෙසෙන සුවිශේෂ මුහුදු පක්‍ෂීන් පිරිසකගේ පාරම්පරික නවාතැන්පළක්‌ වී ඇති නිසා. මේ අය තමයි මහ කොණ්‌ඩ මුහුදු ලිහිණියා සහ රෝස මුහුදු ලිහිණියා.

අඛණ්‌ඩව මේ දූපත වෙත පැමිණෙන මේ ළිහිණින් විශාල වශයෙන් මෙහි කැදලි තනනවා. උන්ගේ කැදලි බිම ආරක්‍ෂා කළ යුතු නිසා වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව 1940 වසරේදී මෙම දූපත ඇතුළු ආශ්‍රිත කුඩා ගල්පර හෙක්‌ටයාර් 1.2 කින් සමන්විත අභය භූමියක්‌ බවට පත් කළා. එහෙත් අවාසනාවකට අපි ගෙඳවානාගලට යන විට එහි ළිහිණින් පැමිණ සිටියේ නැහැ. දැන් ගෙඳවානාගලට මේ පක්‍ෂීන්ගේ ආගමනය සිදු නොවන තරම්. ඒකට හේතුව ලයිට්‌කෝස්‌ භාවිතය නිසා මොවුන්ගේ ආහාර අඩුවීම බව පරිසරවේදීන් හඳුනාගෙන තිබෙනවා.

අහුන්ගල්ල

සාහිත්‍ය ග්‍රන්ථකරණයට තෝතැන්නක්‌ වූ කොස්‌ගොඩ ගනේගොඩැල්ල රාජමහා විහාරය ගැන අප පසුගිය සතියේ තොරතුරු කීවා ඔබට මතක ඇති. එසේම සිරිලක පුස්‌කොල පොත් නාමාවලියක්‌ සැකසූ සහ පන්සිය පනස්‌ ජාතික පොත වර්තමානයේ ඇති ආකාරයට සැකසූ මහ වියත් ලුවිද සොයිසා මහමුදලිතුමා ජීවත් වූ ගම්මානයත් මේ කොස්‌ගොඩයි. ඒ බවත් සිහිකරමින් අහුන්ගල්ලේ තවත් තොරතුරු සැකෙවින් කියන්නයි අපගේ සූදානම.

විමල් පෙණ පිඬුවෙන් වළාකුලෙව් නුඹ
සුසැදි වැලි තුඩුවෙන් යනෙන ඔබින් ඔබ
ලියන් නෙත් කඩුවෙන් පහර තෝ නොලැබ
අසුන් ගල් කඩුවෙන් යාගන් මිතුර සුබ
-තිසර සංදේශය

එදා රුහුණේ මාගම්පුරය හා කැලණිපුරය බලා පයින් ගිය ජනයාට ගිමන් නිවීම සඳහා මාවත්, මධු හා වාඩිවී සිටීමට අසුන් ගල් හෙවත් ගල් ආසන පනවා තිබුණු නිසා අසුන්ගල් කඩුව ලෙස එදා අහුන්ගල්ල හඳුන්වා තිබෙනවා.

දඹදෙණි යුගයේ දේවපතිරාජ අමාත්‍යවරයාගේ අශ්ව හමුදාව සඳහා අශ්වගාල තිබූ තැන අසුන්ගල්ල බවද කියනවා. අදත් අහුන්ගල්ල කැකිරිවත්ත සිරි විජයාරාම විහාරස්‌ථානය අසල තිබෙන "ගල් බැඳි පොකුණ" එදා අශ්වයින් නෑවීමට භාවිතා කරන ලද පොකුණ බව පවතින විශ්වාසයයි. ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි - බෞද්ධ පාඨශාලාව 1879 ජනවාරි මස 7 වැනිදා ආරම්භව ඇත්තේත් අහුන්ගල්ලේදී. අහුන්ගල්ල පසුකර පැමිණි ගමනේදී හමුවූ බලපිටියේ තොරතුරුද අප පසුගිය ඉරිදා තරමක්‌ කතා කළා. මේ එහි ඉතිරි හරිය.

බලපිටිය
අද බලපිටිය එදා වැලිතොට නොහොත් වැලිතරයි. වැලිතොට ග්‍රාමය බ්‍රාහ්මණවංශිකයන් දිවිගෙවූ ඉපැරැණි ග්‍රාමයක්‌ ලෙසයි ප්‍රකටව පවතින්නෙ. "බ්‍රාහ්මණවත්ත" හැඳිල තියෙන්නෙත් ඒ නිසාලු. දඹදිව කළිඟු රට විසූ උදේනි රජුගේ පුත් හා දියණිය දන්තකුමරු හා හේමමාලා කුමාරිය බුද්ධ වර්ෂ 847 දී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සඟවාගෙන නැගෙනහිර මුහුදෙන් ලංකා පටුනට පැමිණ, මෙම බ්‍රාහ්මණවත්තට ළඟාවූවා යෑයි කියන්නේ වැලිතොටෙන් එතෙරවීලු.

බ්‍රාහ්මණවත්තේ සිට කොස්‌ගොඩ පරතරකයට පැමිණි බවද සඳහන් වෙනවා. ඒ පරතරකයේ දළදා වහන්සේ තැබූ තැන "දළදාවත්ත" ලෙස අදටත් හඳුන්වනවා. වීර කැප්පෙටිපොලයන්ගේ මුත්තනුවන් වූ දොන් කොස්‌මෝ විඡේසේකර යුද මුදලිගේ ගම්මානයත් මෙම බ්‍රාහ්මණවත්ත ලෙස හඳුන්වනවා.

දළදා වහන්සේ වැඩම කළ කොත්දුව

දළදා වත්තෙන් දළදා වහන්සේ වැඩි ආරක්‍ෂාව සඳහා ගෙන එන ලද්දේ අහුන්ගල්ල ගල්වෙහෙර වාලුකතිත්ථ විහාරයට බවත් එහි දෙතිස්‌ථල රුහ බෝධිය ආසන්නයේ මෙය සඟවා තැබුවේ වැලිකොතක්‌ ලෙස බවත් පසුව එය කොත්දුව ලෙස ප්‍රකට වූ බවත් පවතින විශ්වාසයයි.

කොත්දුව ලෙස ප්‍රකට මෙම දූපත අනිකක්‌ නොව පසුගිය සතියේ අප මාදුගඟ ගැන කළ කතාවේදී විස්‌තර කළ කොත්දූවම තමයි.

ප්‍රකට ලේඛකයකු හා ඉතිහාස ගවේෂකයකු වන අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා මහතා අපට මෙම චාරිකාවේදි මාර්ගෝපදේශ කාර්යය සලසමින් අවධාරණය කර සිටියේ වීදිය බණ්‌ඩාරයන්ද දළදා වහන්සේගේ ආරක්‍ෂාවට දළදා වහන්සේ කොත්දුවේ සඟවා වැලිගම දක්‌වා තිබූ පරංගි බලය සම්පූර්ණයෙන්ම වනසා දමා දළදා වහන්සේ කෝට්‌ටේ රාජධානියට වැඩම කළ බවයි.

කොත්දුවේදී ඔෆිසර සංදේශය රචනා නොවූ බවත් එය ලියෑවුණේ වැලිතර පුෂ්පාරාම මහා විහාරයේදී (නායක පන්සල) බවත් ලෙස නිවැරදි කරන සොයිසා මහතා, අපට පැවසුවේ ඉංග්‍රීසි ආක්‍රමණ සමයේදී නොව පෘතුග්‍රීසි ආක්‍රමණික සමයේදී දළදා වහන්සේ කොත්දූවේ සඟවා තැබූ බවයි.

දේවානම් පියතිස්‌ස රජ සමයේදී ජයශ්‍රී මා බෝධියෙන් පැන නැගුණු දෙතිස්‌ඵල රුහ බෝධින්වහන්සේ නමක්‌ කොත්දුවේ රෝපණය කළ බවද මෙම බෝධිය සමග මෙම ප්‍රදේශයේ නවත්වන ලද බ්‍රාහ්මණ පිරිසේ නායකයා වූ ඉසුරුමුණි කප්පිණ බ්‍රාහ්මණයාගේ පරපුරෙන් පැවත එන අය වැලිතර මහා කප්පිණ වලව්වේ පදිංචිවූ බවත් සඳහන් වෙනවා.

නායක පන්සල
මේ සංචාරයේදී අප ගොඩ වූ තවත් විහාරස්‌ථානයක්‌ තමයි නායක පන්සල. නැතිනම් බලපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරය. අමරපුර චූලගණ්‌ඨ§ මහ නිකායේ මූලස්‌ථානය වන්නේ මෙම විහාරයයි.


රූකඩ

රූකඩ ගැන කතා කරන කොට අපට මතක්‌ වෙන්නෙ අම්බලන්ගොඩ. ඒත් රූකඩවලට අතීතයේදී ප්‍රසිද්ධ වෙලා තිබුණ කියන්නෙ බලපිටිය. බෝගහවත්ත, වතුගෙදර, පරගහතොට ගම්මාන තමයි රූකඩ කලාවට ප්‍රසිද්ධ. ප්‍රසිද්ධ රූකඩ කණ්‌ඩායම් තුනක්‌ අතරින් සම්මානලාභී පුරෝගාමී රූකඩ කලාවක නිරත "ශ්‍රී අනුර" නාමයේ අධ්‍යක්‍ෂ නලින් ගම්වාරි මහතා සොයාගෙන අපි ඔහුගෙ ගෙදරට ගියේ අම්බලන්ගොඩ ආ ගමනේදී "රූකඩ" කලාව ගැනත් තොරතුරු ටිකක්‌ දැන ගෙන යන්න.

සුරකන්, ලව්නේරිස්‌ ගම්වාරි ගෙන් පසුව තමයි නලින් ගම්වාරි මේ රූකඩ කර්මාන්තයේ හිමිකරුවෙක්‌ වුණේ. ඒ කියන්නේ සීයා සහ තාත්තාගෙන් පසුව. දැන් අම්බලන්ගොඩටම ඉන්නෙ රූකඩ කණ්‌ඩායම් තුනක්‌ විතරයි. ජාතක කතා සහ එවන් බොදු කතාංග ඇසුරෙන් නිර්මාණය වී රූකඩ කැපීම, වර්ණ ගැන්වීම, ඇඳුම් නිර්මාණය, ප්‍රදර්ශනය, දෙබස්‌ කැවීම, ගීත ගායනය, සංගීතය වැනි සියලුම අංග කැටිකොට එකම ශිල්පීන් කොටසක්‌ මගින් සිදුකරන රූකඩ කලාව සැබවින්ම රටේ අභිමානය ලොවට කියන කලාවක්‌. සංස්‌කෘතික අංගයක්‌ මෙන්ම ජනමනස අවදිකරන සුවපත්කරන ඔසුවක්‌. ඊටත් වඩා අද "රූකඩ කලාව" සැබවින්ම මෙම ශිල්පීන්ට අභියෝගයක්‌. තවත් කෙටි කලකින් අම්බලන්ගොඩ ගැන කතා කළත් අපට රූකඩ ගැන කතා කරන්නට දෙයක්‌ ඉතිරිවේදැයි සැබවින්ම අපටත් ප්‍රශ්නාර්ථයක්‌.

මහා කප්පිණ වලව්ව
මහා කප්පින වලව්ව මෙරට වළව් අතරින් ප්‍රකට වූවක්‌. මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ග්‍රන්ථයන් ඇසුරෙන් නිර්මානය වූ ගම්පෙරළිය, විරාගය, මඩොල්දූව, යන චිත්‍රපට සඳහා පසුබිම් වූයේද මෙම වළව්වයි. අද එය මෙහි දකින්නට නැහැ. (කඩා ඉවත් කර ඇත) මහා කප්පිනවලව්ව බලපිටියේ විසූ ඉසුරුමත් දානපති රාජපක්‍ෂවරුන් සතුවුණා. රටපුරා පන්සල් හා පාසල් ගොඩනැඟූ ඔවුන් අහුන්ගල්ල රාජපක්‍ෂ විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය යනාදියත් ගොඩනැඟුවා.

වාසල මුදලි වලව්ව

බලපිටිය ග්‍රාමයේ ඇති තවත් වැදගත් තැනක්‌ තමයි වාසලමුදලි වලව්ව. තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන මුදලිතුමන්ගේ නිවස මෙයයි. ලංකාවේ නොව එවක ආසියාකරයේම විසූ අග්‍රගන්‍ය පඬිවරයකු සේ ප්‍රකට ඔහු රාජගුරු වස්‌කඩුවේ සිරි සුභූති හිමියන්ගෙන් ධර්ම ශාස්‌ත්‍රය ලබා භාෂා පරිවර්තක මුදලිවරයකුවී ඇති අතර පසුව ඉංග්‍රීසි පාලන සමයේදී වාසල මුදලි තනතුරෙන් පිදුම් ලබා තිබෙනවා.

සිරිලක ප්‍රථම ඉංග්‍රීසි සිංහල හා සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ දෙක ලියා පළ කළ විද්වතා වන ඔහු, සිංහල භාෂාව සඳහා "ෆ" අකුර නිර්මාණය කළ මූලාචාරිවරයාද වශයෙන් සලකනවා.
ගරුමුණි වලව්ව
ගාලු දිසාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනකු බිහිකළ ගරුමුණි වලව්ව බලපිsටියේදී අපට හමුවන වැදගත් ස්‌ථානයක්‌. එකල දෙස්‌ විදෙස්‌ ප්‍රභූන්ගේ නවාතැන් පළක්‌ වූ මෙය සිරිලක නිදහස්‌ සටන උදෙසා දකුණේ නායකයන් නිබඳව රැස්‌ව සාකච්ඡා කළ මන්දිරයයි. පරම විඥනාර්ථ බෞද්ධ සමාගමේ ලේකම් පදවියත් කොළඹ සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති පදවියත් දැරූ ගරුමුණි රොබට්‌ ද සොයිසා මහතාගේ උපන්ගෙයි වන මෙම වලව්ව සිරිලක ආගමික හා ජාතික ප්‍රබෝධයේ කේන්ද්‍රස්‌ථානයක්‌.

වෙස්‌ මුහුණු කලාව

අම්බලන්ගොඩ ගැන කතා කරන විට වෙස්‌මුහුණු, රූකඩ හා ලී කැටයම් කලාවත් වඩු වැඩ කලාවත් අමතක කරන්න බැහැ. අපගේ ගවේෂණයේදී මේ ගැන සොයා බලන්නත් අපි අමතක කළේ නැහැ. මේ අනුව පළමුව අප ගියේ අම්බලන්ගොඩ වෙස්‌මුහුණු කෞතුකාගාරය සහ ප්‍රදර්ශනාගාරයට. හෙළ සංස්‌කෘතික හා සමාජ සිරිත් විරිත් රැසකට උරුමකම් කියන අම්බලන්ගොඩ, දේශීය පුද පූජා ඇදහිලි, විශ්වාස හා කෝලම් නැටුම් ගැන දක්‌වන පාරම්පරික හිමිකම් ගැන මේ කෞතුකාගාරයෙන් අපි තොරතුරු ලබාගත්තේ ආරියපාල ගුරුතුමන්ගේ දියණිය වන ජුවන්වඩු දයා විඡේසූරිය සහ ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ යූ. එල්. ගුණරත්න මහතාගේද දායකත්වය ඇතිවය.

අම්බලන්ගොඩ "රුක්‌" කර්මාන්තය පාරිම්පරිකව රැගෙන එන පරම්පරාව අතර ඉහළින්ම සිටින්නේ විඡේසූරිය පරම්පරාවයි. ඔවුන් දැනටමත් මේ කර්මාන්තයේ යෙදී සිටින අතර අංග සම්පූර්ණ වෙස්‌මුහුණු 120 ක්‌ භාවිත කරමින් කෝලම් ඇතුළු වෙස්‌මුහුණු කර්මාන්තයේ යෙදී සිටිනවා.

දිවයින පුරා ලී හා කැටයම් කර්මාන්තය සිදුව ඇති බව කියන්නේ අම්බලන්ගොඩින්. ඒ අතර කදුරු ලීයෙන් හැඩවැඩවන වෙස්‌ මුහුණු කලාව අපට කිසිසේත් අමතක කරන්නට බැහැ. හෙළ කලාවේ පහතරට සලකුණ ලෙස මේ අනුව අම්බලන්ගොඩ හඳුන්වා දෙන්න පුළුවන්. වෙස්‌ මුහුණු 120 කට අධික ප්‍රමාණයකට ජීවය දෙමින් රටේ සාඩම්බරය තවමත් සුරකින අම්බලන්ගොඩ කලා කරුවෝ කෝලම්, බලි, තොවිල්, යනාදියටත් තවමත් තම උපරිම ශක්‌තියෙන් කැප කිරීම සිදු කරන්නෙ මේ කලාවන් නැති නොවීමේ අසීරු වගකීම කරට අරන්.

රන්දොඹේ විහාරය
බලපිටිය පෙදෙසින් අම්බලන්ගොඩ දෙසට යන විට අපට හමුවන තවත් වැදගත් ග්‍රාමයක්‌ හා විහාරස්‌ථානයක්‌ තමයි "රන්දොඹේ". දඹදෙණි යුගයේ රජකම් කළ දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ ප්‍රධාන ඇමැතියා වූ දේවපතිරාජ ඇමැතිවරයා විසින් දොඹ කැළෑවක්‌ හෙළි පෙහෙළි කොට ගොඩනංවන ලද ගම්මානය "රන්දොඹේ" යි. මෙම විහාරයද දේවප්‍රතිරාජ ඇමතියන්ගේ සද්කාර්යයක්‌. ආරම්භයේදී මහා මංගල සමුද්‍රරාමය වූ මෙය, පසු කලෙක උප සංඝරාජ හිමි නමක්‌ වැඩ සිටි බැවින් සංඝරාජ මහා විහාරයක්‌ බවට පත්වී තිබෙනවා.

දකුණු ලක ප්‍රථම පිරිවෙන 1842 දී පිහිටුවා ඇත්තේ මේ විහාරයේ. මෙහි වැඩ සිටි රන්දොඹේ ධම්මාලංකාර හිමි විසින් ලියන ලද "සීමානය දප්පන" නම් පාලි ග්‍රන්ථය ග්‍රන්ථ ලියාපදිංචි ලේඛනයේ මුල්ම ග්‍රන්ථය බවට පත්කළේ ඉංග්‍රීසි රජයෙන් පැනවූ ග්‍රන්ථ ලියාපදිංචි නීතිය හේතුවෙන්.

රට වට ගැන කියන්න ඔබටත් පුළුවන්...

මීළඟට කහව, සීනිගම, තොටගමුව, හික්‌කඩුව දොඩන්දූව, බූස්‌ස ඔස්‌සේ අපි ගාල්ලට ළඟා වෙනවා. මේ එන ගමනේ රසවත් හා වැදගත් තොරතුරු ඔබත් දැන සිටින්නට පුළුවන්. ඒ තොරතුරු අපට මේ ගවේෂණ චාරිකාවේ දී වැදගත් වේවි. ඉතිං ඒ තොරතුරු අපට ලියන්න,
"රට වට බැඳි රන්වැට"
දිවයින - උපාලි පුවත්පත් සමාගම
223, බ්ලුමැන්ඩල් පාර, කොළඹ 13

විශේෂ ස්‌තූතිය
දේ. සු. ද සොයිසා සහ බලපිටිය අනුර යසමිත්
අදහස්‌ ratawata.divaina@gmail.com

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න

0 comments:

Post a Comment